අතී­ත­යට සමු දීමට සැර­සෙන පිට­කො­ටුව මැනිං වෙළ­ඳ­පොළ | Page 2 | සිළුමිණ

අතී­ත­යට සමු දීමට සැර­සෙන පිට­කො­ටුව මැනිං වෙළ­ඳ­පොළ

 

කොළඹ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අග­න­ග­රය ද, පරි­පා­ලන කේන්ද්‍ර­ස්ථා­නය ද වෙයි. එය වාණිජ අග­න­ග­රය ද වන බැවින් ජන­ඝ­න­ත්වය අතින් ද ප්‍රමු­ඛ­ස්ථා­නයේ පවතී. තෙත් කලා­පීය පරි­ස­ර­යක් ඇති කොළඹ ආස­න්න­යෙන් ගලා යන කුඩා අතු ගංගා සහ ඒවා­යින් බෙදී යන ඇළ මාර්ග හා ඔය­වල් වැනි ජල මූලා­ශ­ව­ලින් නිර්මා­ණය වූ විශාල ජලාශ ද ග්‍රාමීය වැව් ද කීප­යකි. කොළො­න්තො­ටද, එතැ­නින් කෙළ­වර වන කොළොන් ඔය ද, කොළඹ වැව ද නග­රයේ සංස්කෘ­තිය උප­ද­ව­න්නට ඍජුව සම්බන්ධ මූලා­ශ්‍රයෝ වෙති. පිට­කො­ටුව එහි වැඩි ම ජන­වර්ග හා ආග­මික මිශ්‍ර­ණ­ය­කින් යුත් සංකීර්ණ වාණිජ මූල­ස්ථා­නය ය.

 

12 වන සිය­වසේ සිට වෙළ­ඳ­පො­ළක් ලෙස ප්‍රච­ලි­තව පැව­තිය ද කොළඹ ඉති­හා­ස­යට වැඩි බල­පෑ­මක් එල්ල වන්නේ පෘතු­ගී­සින්ගේ පැමි­ණී­මත් සමඟ ය. වර්ෂ 1505 වන විටත් ජන­ප්‍රි­ය­ත්වය එසේ ම වූ අතර ඊට මූලික නගර සැලැ­ස්මක් සකස් කරනු ලැබුවේ ද පෘතු­ගී­සින් විසිනි. ඔවුන් ඉදි කළ මුල් ම බළ­කො­ටුව දැව දඬු හා මැට්ටෙන් කළ කුඩා නිර්මා­ණ­යක් විය. ඒ තුළ ගබ­ඩා­වක් ද තැනිණි. ඔවුහු එහි සිට කුරුඳු වෙළ­ඳාම ද කොළො­න්තොට ආරක්ෂා කිරීම ද ගිවි­සුම් ප්‍රකා­රව සිදු කළහ.

1518 දී එහි අලුත් කොටු­වක් නැවත කබොක් හා හුනු­ග­ලින් ශක්ති­මත්ව බැන්දවී ය. වර්ෂ 1521-24 අත­රදී කොළඹ කොටුව නැවත කඩා දමා ආර­ක්ෂක කපොලු ද සමඟ තව­දු­ර­ටත් විශාල කරනු ලැබී ය. එහි බැම්ම කයි­මන් දොර­ටුව අසල සිට ගාලු මුව­දොර දක්වා සැත­පුම් 3ක් දිගු එකක් විය.

පෘතු­ගී­සීහු කොළො­න්තො­ටට ගලා ගිය ජල පහර කයි­මන් දොර­කඩ අස­ලින් හරස් කර එය තම බළ­කො­ටුවේ ආර­ක්ෂා­වට ‘ජල දුර්ග­යක්’ ලෙස භාවිත කළෝ ය. 1554දී තව­දු­ර­ටත් විශාල කර තැනූ කොටුවේ හා නගර ප්‍රාකා­රයේ මුර අට්ටාල 14ක් විය. එහි නැගෙ­න­හිර ආර­ක්ෂක ප්‍රාකා­රය ශාන්ත ජෝන් මාළු වෙළ­ඳ­පළ පැවති ස්ථානයේ සිට වර්ත­මාන හත­ර­වන හරස් වීදි­යට සමා­න්ත­රව පිට­කො­ටුව හරහා ගොස් පසු­ක­ලක මැනිං වෙළඳ පොළ පිහි­ටු­වන ලද කොළඹ වැව (පසුව බේර වැව) මායිම තෙක් විහි­දිණි. එම කෙළ­වරේ හිය­රෙ­නිමෝ (Hieronimo) නමින් මුර­පො­ළක් ද විය.

පිට­කො­ටුවේ කඩ­පේළි (බාසාර්)

1656න් පසු ඕලන්ද පාල­නයේ දී කොළඹ වැවට සොරො­ව්වක් බැඳ ජලය පාල­නය කර කෘත්‍රිම ලෙස එය විශාල කෙරිණි. පැවති පෘතු­ගීසි කොටුව ද සම්පූ­ර්ණ­යෙන් ම සම­තලා කොට ඒ මත අලුත් ඕලන්ද කොටු­වක් ඉදි විය. කොළඹ වැව හා නව බළ­කො­ටුව අතර ඇළ මාර්ග කැපී­මෙන් ද වැවේ ඇතැම් කොටස් ගොඩ කිරී­මෙන් ද කොටුව තව­දු­ර­ටත් පුළුල් ආර­ක්ෂිත එකක් බවට පත් කෙරිණි. තාරකා හැඩ­යෙන් යුත් එම ඕලන්ද කොටුවේ මුර කුටි 09ක් විය.

කොටුව වටා යන පරිදි දිය අගල් කැණ ඒවා කොළොන් ඔයේ ජලය හා මුහුදු ජල­යෙන් පුර­වනු ලැබී ය. එයින් ඔබ්බෙහි ප්‍රදේ­ශය (අවු­ට්ස්ටැට්) ‘පිට­කො­ටුව’ නම් විය. එහි අලු­තෙන් පොල් වගා කෙරිණි. නිවාස ඉදි වූයේ ද එම පිටත ප්‍රදේ­ශ­යයේ ය. මීග­මු­වට, කඳු­ර­ටට හා කෝට්ටේ රාජ්‍ය­යට විහි­දෙන මාර්ග ආරම්භ වූයේ එතැන් සිට ය. මැලි­බන් වීදියේ හා කෙයි­ස­ර්වී­දියේ තුරු ලතා ගහන නිසං­සල පරි­ස­ර­යක ප්‍රභූ නිවාස රැසක් විය. මේ ප්‍රදේ­ශය වරා­යට සමී­පව පිහිටි බැවින් අතී­තයේ සිට ම විවිධ ජාතීන්ට අයත් වෙළෙ­න්ද­න්ගෙන් ගහන විය. ඉන් බහු­ත­රය වූයේ සුළු වෙළෙ­න්දන් ය.

1796 දී බ්‍රිතාන්‍ය ජාති­කයෝ ඕල­න්ද­යන් පරා­ජය කර කොළඹ අල්ලා ගත්හ. ඔවුහු එහි තිබූ බොහෝ ඕලන්ද ඉදි­කි­රීම් කලක් ගත වන තුරු ම භාවිතා කළහ. එයින් ඇතැම් ඉදි­කි­රීම් අද­ටත් ඉතිරි වී තිබේ. දිව­යින සම්පූ­ර්ණ­යෙන් ම අල්ලා­ගැ­නී­මෙන් පසු 1870 දී ඕලන්ද කොටුවේ බොහෝ පවුරු කඩා දමා ඉවත් කෙරිණි. ඒ වෙනු­වට බ්‍රිතාන්‍ය පරි­පා­ලන ගොඩ­නැ­ගිලි, නිල නිවාස, දේව­ස්ථාන, පාසල්, හෝටල්, හමුදා බැරැක්ක ඉදි විය. ඉදි­කි­රීම් සඳහා කළු­ගල් මහර, පමු­ණු­ගම ආදී ප්‍රදේ­ශ­ව­ලින් ගෙන්වා ගන්නා ලදී.

19 සිය­වස මුල වන විට වෙ‍ළෙඳාම තව­දු­ර­ටත් පුළුල් වූයෙන්, ප්‍රදේ­ශයේ පැව­තියේ සිංහල, දෙමළ, මුස්ලිම්, අරාබි, පාර්සි, ඇෆ්ගන්, බෝරා, බර්ගර්, කාපිරි,චෙට්ටි, මල­බාර්, පර­වර්, මුක්වා, ජා, මැලේ, චීන, මාල­දි­ව­යින් ආදී සංක්‍ර­ම­ණික ජනයා බහුල කල­බ­ල­කාරී පරි­ස­ර­යකි. ඉන්දි­යානු ක්‍රම­යට හැඩ­ගැ­සුණු කඩ­වීදි (බාසාර්) සහිත නග­ර­යක් වූ මෙහි දෙමළ බස කතා කර­න්නන් බහුල වූයෙන් ‘කොටු­වෙන් පිටත’ යන අරුත ඇති ‘පෙටායි’ යන වදන ඉංග්‍රී­සීහු ද පිට­කො­ටු­වට එලෙස ම භාවිත කළහ.

ඉහ­තින් සඳ­හන් කළ අතී­ත­යෙන් පිට­කො­ටුව මැනිං වෙළ­ඳ­පොළ පෙදෙස ද වියුක්ත නොවේ. ඒ අතී­තය විදහා දක්වන පැරණි ස්ථාන සහ ස්මාරක වරි­න්වර කාලීන සංව­ර්ධන කට­යුතු අත­රෙහි අතු­රු­දන් වුව ද ස්වප­ල්ප­යක් තව­මත් ඉතිරි වී ඇත. මතු දැක්වෙන්නේ මැනිං වෙළ­ඳ­පොළ හා ආස­න්නයේ ම ඇතිවූ ඓති­හා­සික වෙනස් වීම් හා පැරණි ඉදි­කි­රීම් පිළි­බඳ කෙටි සිහි­ගැ­න්වී­මකි.

මැනිං වෙළ­ඳ­පොළ භූමිය

ජෝන් ඇන්ඩ­ර්සන් ආණ්ඩු­කා­ර­යාගේ අභා­ව­යෙන් පසු 1918 සැප්තැ­ම්බර් 11 වන දින සිට ලංකාවේ ආණ්ඩු­කා­ර­ව­රයා ලෙස පත් වූයේ විලි­යම් හෙන්රි මැනිං ය. කේම්බ්‍රිජ් විශ්ව­වි­ද්‍යා­ලයේ හා සැන්ඩ්හර්ස්ට් ආර­ක්ෂක විද්‍යා­ලයේ අධ්‍යා­ප­නය හා හමුදා පුහු­ණුව ලත් ඔහු නිල­යෙන් උප අද්මි­රා­ල්ව­ර­යෙක් විය. ඔහුගේ පාලන සමයේ පිට­කො­ටුව බෝධි­යට විරුද්ධ දිශාවේ පිහිටි පිට­කො­ටුව දුම්රි­ය­පොළ ඉවත් කර යාබද වැවේ මායිම ද මුහු­දු­වැ­ලි­ව­ලින් පුරවා එම බිමේ ධාන්‍යා­ගා­ර­යක් ඉදි­ක­රන ලදී. එය විවෘත කරන ලද්දේ 1919 ජන­වා­රි­යේදී ය.

කොළඹ පිට­කො­ටුවේ, අලු­ත්කඩේ ප්‍රදේ­ශ­යට ආස­න්නව කොළඹ කච්චේ­රිය අවට ඒක­රා­ශිව සිටි එළ­වළු, පල­තුරු, කර­වල වෙළෙ­න්දන් ඒවා එළි­ම­හනේ තබා වෙළ­ඳාම් කළ අතර, තාව­කා­ලික පිළි­ය­මක් ලෙස ඔවුන් ඉහත කී ධාන්‍යා­ගාර ගොඩ­නැ­ගිලි පරි­ශ්‍ර­යට (එය මැනිං ආහාර ගබ­ඩාව යයි ද හඳු­න්වයි) ගෙන යන ලදී. අක්කර තුනක පමණ ඉඩ­කඩ සහිත පරි­ශ්‍ර­යක් වූ එය එතැන් සිට ‘කච්චේ­රිය පාර වෙළ­ඳ­පොළ’ නමින් හැඳි­න්වුව ද පසුව පැරණි මැනිං ගොඩ­නැ­ගිල්ලේ නාම­යෙන් ම ‘මැනිං මාකට්’ යයි පහ­සු­වෙන් වහ­ර­න්නට විය.

 

පිට­කො­ටුව පැරණි දුම්රිය පොළ

 

පිට­කො­ටුව මැනිං වෙළ­ඳ­පොළ ආශ්‍රි­තව ගැව­සෙන කාර්මික ජන­ග­හ­නය හා වෙළඳ ප්‍රජාව ක්‍රම­යෙන් ඉහළ යත්ම අලු­තින් දුම්රිය ස්ථාන­යක අව­ශ්‍ය­තාව ඇති විය. පළමු දුම්රිය පොළ ඕල්කට් මාවතේ (පැරණි නොරිස් පාරේ වර්ත­මාන බෝධි­යට ප්‍රති­වි­රුද්ධ පැත්තේ පිහිටා තිබිණි. එනම් මැනිං වෙළ­ඳ­පොළේ බට­හිර පැත්තෙනි. ඊට ‘අන්තර් මධ්‍ය නැව­තුම’ ලෙස ද හැඳි­න්වූයේ කාර්මික විද්‍යා­ලය අසල තිබූ කොළඹ ප්‍රධාන දුම්රිය පොළත් ලෝටස් පාරේ පාලම අසල වූ කොටුවේ පැරණි දුම්රිය පොළත් අතර එය පිහිටි බැවිනි. එහි 1897 වන විට කාර්ය මණ්ඩ­ලය 23 දෙන­කු­ගෙන් සම­න්විත විය. එහෙත් එය ඉතා කෙටි කල­කින් ම එනම්, 1917 මාර්තු 05 වන දින සිට වසා­දැ­මී­මට හේතු වූයේ ද පිට­කො­ටුවේ පැවති අධික කල­බ­ල­කා­රී­ත්ව­යත්, වෙළ­ඳා­මත්, දුම්රිය කට­යු­තු­ව­ලට අව­හි­ර­යක් වූ බැවිනි. ඊට ආස­න්නයේ ම කොටුව වත්මන් ප්‍රධාන දුම්රිය පොළ ඒ වන විට ඉදි­වෙ­මින් තිබී­මත් තවත් හේතු­වක් විය. පිට­කො­ටුව දුම්රි­ය­පළ ඉවත් කර එතැන පසුව මැනිං ආණ්ඩු­කාර සමයේ ධාන්‍යා­ගා­රය ඉදි විය.

පැරණි මාර්ග වර්ණනා කවි­යක එවක තතු මෙසේ සඳ­හන් වී තිබේ.

රටින් දන ඇවිත් ගැව­සෙන බල­කො­ටුවේ
යනෙන දන ගොසින් රැස්වෙති බෝට්ටුවේ
නොයන දන බලන් සිටි­තැයි ගේට්ටුවේ
දුවනා හැඩ බලන් දුම්රිය පිට­කො­ටුවේ

පිට­කො­ටුව පැරණි බෝධිය

පිට­කො­ටුව දුම්රිය නැව­තුම් පොළ - ඉදි­රි­යෙන් ඇත්තේ ඕල්කට් මාවත හෙවත් පැරණි නොරිස් පාර හා කොටුව දෙසට ඇති ට්‍රෑම් රථ මාර්ගය යි. එම ගොඩ­නැ­ගිල්ල ඉවත් කිරී­මෙන් පසු මැනිං ධාන්‍ය ගබඩා ඉදි කර තිබේ

ප්‍රධාන වීදි තුනක් එකට හමු වන මංසං­න්ධියේ පිහිටා ඇති පැරණි වූ ද ජීව­මා­වන වූ ද ස්මාර­ක­යකි. පිට­කො­ටුවේ සංකේ­ත­යක් බඳු එය පැරණි ග්‍රන්ථ­ව­ලට අනුව (20th Century Impressions of Ceylon -Arnold Wright-1905) බුද්ධ­ග­යාවේ මුල් බෝධි­යෙන් පැවත එන අංකු­ර­යක ප්‍රති­ඵ­ල­යකි. බැති­ම­තුන්ගේ විශ්වා­ස­යන්ට අනුව එය වසර 180කට වඩා පැරණි යැයි කියවේ. එව­කට බේර වැව බෝධිය ආස­න්න­යට ම පැවති අතර පසුව එම පෙදෙස් ගොඩ කර කොටු­වත් පිට­කො­ටු­වත් යා කරන නොරිස් පාර (ඕල්කට් මාවත) ඉදි විය.

 

පිට­කො­ටුව පැරණි ගෑස් සමා­ගම

 

කොළඹ පැරණි නගර ශාලාව හා එඩි­න්බරෝ වෙළ­ඳ­පො­ළට ප්‍රති­වි­රුද්ධ දිශාවේ පිහිටා තිබුණු පැරණි ගොඩ­නැ­ගිලි කොළඹ ගෑස් සහ ජල සමා­ග­මට අයත්ව තිබූ ඉදි­කි­රීම් විය. වාස්තු­වි­ද්‍යා­ත්මක අලං­කා­ර­යක් නැති ඒවා ගබ­ඩා­වල ස්වරූ­පය ඇති සරල ඉදි­කි­රීම් ය. වර්ෂ 1872 දී රජයේ වැඩ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ඉදි කළ ඒ ආය­ත­න­යෙන් සිදු වූයේ අඩක් දැවුණ අඟුරු (කෝක් අඟුරු) දහ­නය කර ගෑස් නිප­දවා කොළඹ අවට ගොඩ­නැ­ගිලි ආලෝක කිරීම පිණිස නළ මගින් බෙදා හැරීම යි. එන්ජින් විදුලි උත්පා­දක යන්ත්‍ර වාෂ්ප යෙන් ක්‍රියා­ත්මක පොම්ප එහි තුළ ක්‍රියා­ත්මක විය. දැනට මෙම පරි­ශ්‍රය රථ­වා­හන ගාලක් ලෙස භාවිත කෙරේ.

විදුලි ට්‍රෑම් රථ අංග­නය

කොළඹ කොටුවේ ගෑන්ඩ් ඔරි­ය­න්ටල් හෝට­ලය අස­ලින් ඇරඹී තොට­ලඟ හා බොරැ­ල්ලට ගිය ට්‍රෑම් රථ සේවාවේ ප්‍රධාන අංග­ණය පිහිටා තිබුණේ පිට­කො­ටුවේ මැනිං වෙළ­ඳ­පො­ළට උතුරු දෙසින් ‘ගෑස් වර්ක්’වීදියේ ය. ඉන්දි­යා­වෙන් ආන­ය­නය කළ ගල් අඟුරු දහ­නය කරන එන්ජින් කාම­රය, විදුලි බලා­ගා­රය, බොයි­ලේ­රුව හා ට්‍රෑම් රථ අංග­ණය මෙහි විය. එයින් දින­කට ගල් අඟුරු ටොන් 16ක් දහ­නය කර කිලෝ වොට් පැය 4300ක් උත්පා­ද­නය කෙරිණ. වර්ෂ 1898 වසරේ එම සමා­ගම ආරම්භ වන විට පාල­නය වූ ට්‍රෑම් රථ ගණන 23කි.

ඒ හැර රජයේ කර්මාන්ත ශාලාව පැව­තියේ වර්ත­මාන ප්‍රධාන බස්නැ­ව­තුම් පොළ භූමියේ ය. පාලම් තැනීම, යකඩ වැඩ, වාත්තු වැඩ, ලී ඉරීම හා වඩු වැඩ එහි ක්‍රියා­ත්මක විය.

කොළඹ පැරණි එඩි­න්බරෝ වෙළඳ පොළ

කොළඹ නගර සභා ගොඩ­නැ­ගිල්ලේ ම කොට­සක් ලෙස බැඳී පව­තින එහි පසු­පස කොටස ‘එඩි­න්බරෝ වෙළඳ සල’ නම් වේ. ඊට මුල්ගල තබන ලද්දේ 1870 දී එඩි­න්බරෝ ආදි­පාද ඇල්ෆ්‍රඩ් කුමරු විසිනි. වර්ෂ 1873 දී ආණ්ඩු­කාර විලි­යම් ග්‍රෙගරි (1872-77) අතින් එය විවෘත කෙරිණි.

එම ගොඩ­නැ­ගිල්ලේ නිර්මාණ සැලැස්ම ජේම්ස් ස්මිදර්ගේ ය. තනි මහලේ දිගු ශාලා­වක් වන මෙහි වහ­ලය කොටස් 4කින් යුක්ත වේ. පසාරු කැට­යම් සහිත ලෝහ­මය ආරුක්කු කණු සහිත ඉදි­කි­රී­මක් වන මෙය ඝර්ම කලා­පීය පරි­ස­ර­යට සුදුසු ලෙස වැඩි වාතා­ශ්‍ර­යක් ලැබෙන පරිදි ඉදි කර තිබේ. 1978 දී මෙය ප්‍රති­සං­ස්ක­ර­ණය කෙරිණ.

මෙය කලක් ‘බැසට් වෙළඳ පොළ’ නමින් ද හැඳි­න්විණි. නගර ශාලා­වට මුල්ගල තැබූ එඩි­න්බරෝ ආදි­පා­ද­ව­ර­යාගේ නමි­නුත්, අලෙවි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නි­යාව සිටි ‘බැසට්’ මහ­තාගේ නමි­නුත් එසේ නම් දෙක­කින් හඳුන්වා ඇත. වර්ෂ 1985 සිට මෙම විවෘත ශාලාව කුඩා කාම­ර­ව­ලට බෙදා ව්‍යාපා­රික කට­යු­තු­ව­ලට යොදවා තිබේ.

 

ඕල්කට් නිවස - මැලි­බන් වීදිය

 

ඕල්කට් මාව­තට උතුරු දෙසින් මැලි­බන් වීදියේ පිහිටි පැරණි දෙම­හල් ගොඩ­නැ­ගි­ල්ලකි. දෙවැනි හර­ස්වී­දි­යෙන් ද එම ස්ථාන­යට ළඟා විය හැකි ය. 19 වන සිය­වසේ අග භාගයේ දිව­යි­නට පැමිණි බෞද්ධ පුන­රු­දයේ පුරෝ­ගා­මි­යෙකු වූ හෙන්රි ස්ටීල් ඕල්ක­ට්තුමා විසින් පිහි­ටු­වාලූ පරම විඥා­නාර්ථ බෞද්ධ සමා­ගමේ මූල­ස්ථා­නය වූයේ එම ගොඩ­නැ­ගි­ල්ලයි. වර්ෂ 1881-85 අතර ඉදිවූ මෙය එතු­මන්ගේ වාස­ස්ථා­නය ද විය. පසු කලෙක ‘පිට­කො­ටුව ඉංග්‍රීසි බෞද්ධ පාසල’ ආරම්භ කළේ මෙහි උඩු­ම­හලේ ය. (ළම­යින් 20 කගෙන් ආරම්භ වූ එය පසුව කොළඹ ආනන්ද විද්‍යා­ලය නමින් මර­දානේ ස්ථාප­නය විය.)

බෝධිය, පිට­කො­ටුව දුම්රි­ය­පොළ, සහ පිලිප් නේරි පල්ලිය :වම් පසින් කොටුව දෙසට දුම්රිය මාර්ග­යත්
ද්විත්ව ට්‍රෑම් රථ මාර්ග­යත් මෙහි පෙනෙයි

දෙම­හල් ඉදි­කි­රී­මක් වන ඕල්කට් ගොඩ­නැ­ගිල්ල උඩු මහල බෙදී ඇත්තේ දැව තට්ටු­ව­කිනි. ඊට ප්‍රවේශ වීමට දැව­මය තරප්පු පෙළකි. පාඨ­ශා­ලාව පවත්වා ගෙන ගිය විසල් ශාලා කාම­රය හැර පහත මහලේ ඊට කුඩා කාමර සමා­ගමේ මුද්‍ර­ණා­ලය ලෙස භාවිත විය. වර්ෂ 1929 දී පරම විඥා­නාර්ථ බෞද්ධ සමි­තියේ හා අවට ප්‍රදේශ වාසීන්ගේ ආග­මික කට­යුතු සඳහා ‘බෞද්ධ මන්දි­රය’ නමින් මහල් ගොඩ­නැ­ගි­ල්ලක් මෙයට ම ඈඳා ඉදි විය. එයින් ඕල්කට් නිවසේ උප­යෝ­ගී­තාව අඩු වී කලක් කඩ කාමර ලෙස පව­ත්වා­ගෙන ගිය ද දැනට පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් පැරණි ස්මාර­ක­යක් ලෙස නඩත්තු කර පව­ත්වා­ගෙන යනු ලබයි.

කයි­මන් දොර­ටුව ඝණ්ටාර කුලුන - ගෑස් පහ හන්දිය

පැරණි නගර ශාලා­වට බට­හිර කෙළින් වීදිය අයිනේ පිහිටා ඇත. පෘතු­ගීසි හා ඕලන්ද යුග­යේදී කොළඹ නග­රයේ ප්‍රධාන වීදිය වූයේ ද කෙළින් වීදිය යි. එම ස්ථානයේ පෘතු­ගීසි අව­ධියේ ‘ශාන්ත ජෝන්’ නම් වූ ඇළක් කපා කොටුව වෙන් කර තිබිණි. කොළඹ වැවේ සිට එම ඇළ ඔස්සේ පැමි­ණෙන කිඹු­ලන් මෙහි නිතර ගැව­සීම නිසා කිඹු­ලන් හැඳි­න්වී­මට යෙදූ ‘කෙයි­මන්’ (Keymen) යන වද­නක් හේතු­වෙන් කයි­මන් දොර­ටුව ලෙස එම ස්ථානය හැඳි­න්වි­ණැයි කියවේ.

එහි අසල ඇති ඝණ්ටාර කුලුන ඉදි කළ වර්ෂය නිශ්චිත නැතත් එය ඕලන්ද පාලන සම­යට (1760 පමණ) අයත් යැයි සැලකේ. කුලුන මුදුනේ ඇති ඝණ්ටා­රය කෝට්ටේ ‘ශාන්ත ෆ්‍රැන්සිස් නම් පෘතු­ගීසි දේව­ස්ථා­න­යක් කඩා බිඳ දැමී­මෙන් පසු රැගෙන වුත් මෙහි සවි කළ එක­කැයි කියවේ. මෙහි අපැ­හැ­දිලි ලතින් පාඨ­යක් වෙයි. ඇතුළු කොටු­වෙන් ඔබ මොබ යන්නන්ට දොර­ටුව වසන වේලාව දැන්වී­මට මෙය නාද කෙරිණි. පසු වුල්වැ­න්ඩාල් පල්ලියේ දේව මෙහෙ­යන් දැනුම් දීම පිණිස නාද කෙරිණි. 1926 දී නාද කිරීම නවතා ඇතත්, 1945 දෙවන ලෝක යුද සමයේ නැව­තත් නාද කර ඇත්තේ අන­තුරු ඇඟ­වීමේ මාධ්‍ය­යක් වශ­යෙනි.

පිලිප් නේරි දේව­ස්ථා­නය - ඕල්කට් මාවත

 

මැනිං වෙළ­ඳ­පො­ළට ඉදි­රි­පි­ටින් ඕල්කට් මාවතේ අනෙක් පස පිහිටා ඇති පැරණි රෝමානු කතෝ­ලික දේව­ස්ථා­න­යකි. මෙහි මූලා­ර­ම්භය 1862 වුවත් අද එහි ඇත්තේ 1906 දී ඉදි කරන ලද ගොඩ­නැ­ගි­ල්ලකි.

වඩාත් උස්ව ඉදි කර ඇති ඉදි­රි­පස මුහු­ණත සීනු කණු දෙක­කින් සම­න්විත ය. මුදුනේ වූ කුරු­සය දෙප­සින් බීරළු වැට­වල් ද, කුඩා කොත් කීප­යක් ද අර්ධ උන්නත කොරි­න්ති­යානු ශෛලීයේ කුලුනු සහ ආරුක්කු හැඩැති බිත්ති කප­රාරු ද වෙයි.

 

Comments