හුස්ම ලංකාවේ සත්‍යය සිදුවීමක්... | සිළුමිණ

හුස්ම ලංකාවේ සත්‍යය සිදුවීමක්...

සුදේශ් වසන්ත පීරිස්ගේ “හුස්ම” චිත්‍රපටය නරඹන්න රසිකයන් බොහෝ පිරිසක් සිනමාහල්වලට ඇදෙනවා කියලා ආරංචි වුණා. සුදේශ් කියන්නේ, බයිස්කෝප් රජා ලෙසින් විරුදාවලිය ලැබූ සුනිල් සෝම පිරීස්ගේ පුතා. සුනිල් සෝම වගේම සුදේශ් ප්‍රකට වුණෙත් බයිස්කෝප්කාරයෙක් විදිහටයි. ඔහු ආ ගමන් මඟ වෙනස් කළ සන්ධිස්ථානයක් විදිහට හුස්ම හඳුන්වන්න පුළුවන්. අපි ඒ ගැන සුදේශ්ගෙන්ම අහමු.

 

“මම ඉපදෙන්නෙත් සිනමාවේම තමයි. තාත්තා සහාය අධ්‍යක්ෂණය කරන කාලෙත් මම රූගත කිරීම් බලන්න ගියා. තාත්තා මට කීවා මම ඔයාව උඩින් තියන්නෙ නෑ. ඔයාගේ හැකියාවෙන් ඉස්සරහට යන්න කියලා. නැත්නම් ඔයාට තනියෙන් නැගිටින්න බැරිවෙයි කියලා. මමත් තාත්තා වගේම බයිස්කෝප්කාරයෙක් වෙනවා කියලයි මුලින් හිතුවේ. තාත්තගේ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය නිසා සිනමාවේ පිබිදීමක් ඇතිවුණා. සුනිල් සෝම පීරිස්ගේ පුතා ලෙස ගොඩනැගෙනවාට වඩා සුදේශ් වසන්ත ලෙස මගේම අනන්‍යතාවකින් ගොඩනැගීම වැදගත් කියලා මමත් මුලදිම හිතට ගත්තා. කොහොම නමුත් ඔහුගේ පුතා වීම මට හරිම ආඩම්බරයක්.

ඔය කලාත්මක, වාණිජ කියන සිනමාත්මක බෙදීමට මම කැමැති නැහැ. ගුණාත්මක බවයි වඩා වැදගත් වෙන්නේ. මට හිතුණ සිනමාවේ අලුත් විදිහකට එන්න කියලා. එහෙම නම් මුළු රටම කතාකරන දෙයක් කළ යුතුයි කියලා.”

 

“හුස්ම” නිර්මාණය වෙන්නෙ කොහොමද?

මේක ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීමක්. මීට වසර ගණනාවකට පෙර නීති ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවක් මිය ගියා කියා සිතා මෘත ශරීරාගාරයට දාලා ති‍ෙයනවා. මෝචරිය භාරව සිටින පිරිමියා ඇයව දූෂණය කරද්දි ඈට සිහිය ඇවිත්. දැනටත් ඔහු ඉන්නේ සිරගෙදර.

 

ඊට අමතරව, හුස්ම විදේශීය සිනමා කෘතියක කොපියක් නේද?

අපි ඉපදුණ දා පටන්ම කරන්නේ කොපි කරන එකනේ. අපි අලුත්ම දෙයක් කරනවා කියනවා නම් ඒක බොරු. ‘හුස්ම‘ ගේන්න කලින් මම තොරතුරු හෙව්වා. කීප ආකාරයකින් සිද්ධීන් එකතු කරලා ලංකාවට උචිත විදිහට වෙනස් කළා. අපිට ඔරොත්තු දෙන විදිහට යොදාගත්තා. ඔරිජිනල් පිටපතේ නැති හුඟක් දේ මම පිටපතට ඇතුළත් කළා. අපැහැදිලි සිද්ධ නොවෙන දේවල් විදේශීය සිනමාපටයේ තිබුණා. මම ඒවා සත්‍ය ලෙසම සිද්ධ වන දේවල් විදිහට වෙනස් කළා. මුළු රටම කතා කරන්න නම් මැජික් එකක් කළ යුතුයි මට හිතුණා. ඒ උත්සාහය හරි ගියා.

කොහොමද හුස්ම රූගත කරද්දි ලැබුණු අත්දැකීම්?

මේ චිත්‍රපටය මුළුමනින්ම දිවෙන්නේ මෘත ශාරීරාගාරය හා ඒ අවට. එකම දර්ශන තලය, නළු නිළියෝ හතර පස් දෙනයි ඉන්නේ. නළු නිළියන්ගේ දායකත්වය විශාල පිටිවහලක් වුණා. මේ චරිතවලට මා ‍තෝරගත්තේ තුන් ආකාරයක දේහ ලක්ෂණ තියන අය. ඒ අනුව චරිත මෙහෙයවීම පහසු වුණා. චිත්‍රපටය පුරාවටම, ඒකාකාරීත්වය බිඳ දමලා විවිධත්වය ඇති කරමින් රසිකයන් චිත්‍රපටයට බැඳ තබාගන්නේ නළු නිළියන්ගේ හැකියාව නිසයි.

 

මේ චිත්‍රපටයේ අභව්‍ය දේවල් ඇත්තෙම නැද්ද? මේ තරම් දේවල් වෙද්දිත් කිසිවකුත්ම දකින්නේ නැත්තේ...?

මේ චිත්‍රපටයේ සිදුවීම් පටන්ගන්නේ රෑ 11ට විතර. උදේ වෙද්දි සියලු දේ සිදුවී හමාරයි. මේ චිත්‍රපටය කරද්දි අනිත් ඒවට වඩා මම හොඳට හෙව්වා; හොඳට හිතුවා. මෙහි මෝචරිය තියෙන්නේ 6 වැනි තට්ටුවේ. මිනියක් අරගෙන එන කෙනෙක් ඇරෙන්න වෙන කවුරුත් මෝචරියට එන්නෙ නෑ. ඒ වෙලාවෙ මෝචරිය අසල කොරිඩොරවල කවුරුත් යන්නෙත් නෑ. රෑ එළිවෙද්දි හැමදේම වෙලා ඉවරයි.

 

ලංකාව වගේ සිංහල බෞද්ධ සංස්කෘතියකට “හුස්ම” අමු වැඩි නැද්ද?

මේ වගේ දේවල් සිද්ධ නොවෙන්නෙ නෑනේ. මට ලැබුණු ප්‍රතිචාර නම් 99% හොඳයි. ලංකාවේ හැමෝටම හොඳ වෙන විදිහට චිත්‍රපටයක් හදන්න බැහැ. චිත්‍රපටය කොපියක් වුණත් ඒකවත් හරියට කරන්න බැරි අය කොච්චර ඉන්නවද. මේක හැම ගැහැනියක්ම දැනගත යුතු දෙයක්. මැරිලා මෝචරියකට දැම්මාම ලස්සන කෙල්ලෙකුගේ මිනිය එක්ක ලිංගිකව හැසිරෙන්න මුදල් දීලා යන අය ඉන්නවා.

මැරුණා කියලා මිනිය ගල්වෙන්නෙ නැහැ ෆෝමලීන් ගහනකම්. අනික මිනියෙන් පැය ගානක් දින ගානක් යනකම් විෂබීජ පිටවෙන්නේ නැහැනේ. මේක තමයි යථාර්ථය. තාවකාලිකව සිහි විසඥ වූ අයකුට හුස්ම, නාඩි අල්ලා හදවතට කරන්ට් ෂොක් එකක් දුන්නාම පණ ගන්න පුළුවන්. Sex වලින් හදවතේ ස්පන්ධනය ඉතා වේ‍ගයෙන් වැඩි කරනවා. ලංකාවෙ නීතිය අනුව මෘත ශරීරයක්වත් දූෂණය කරන්න බැරි වුණත් මේ වගේ සිදුවීම් ලෝකයේ සිදුවෙලා තියනවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් චමත්කා ලොකු කැපවීමක් කළා. ඇයට මේ චිත්‍රපටය නිසා කැළලක් ඇති නොවන ලෙස කටයුතු කරන පදනමින් තමයි එකඟ වුණේ. නිරුවත් දර්ශනවලට ඈ පමණක් නොවේ තවත් කාන්තාවකුත් හිටියා.

සාමාන්‍යයෙන් මෘත ශරීරයක් මෝචරියට දාන්නේ නිරුවත්ව සුදු රෙද්දකින් වහලා තමයි. එහෙම නිරුවත් දර්ශනවලට හිටියට සැබෑවටම ලිංගික ක්‍රියාවල යෙදුණේ නැහැ. එහෙම රඟපාන්නේ ඔවුන්ගේ දක්ෂතාවය නිසයි.

මේ චිත්‍රපටය බලලා තාත්තා (සුනිල් සෝම පීරිස්) මොකද කිව්වේ?

තාත්තට ඇත්තටම සතුටුයි. එයාට බැරිවූ දෙයක් මම කළාට.

 

පවුලේ අයට චිත්‍රපටය පෙන්නුවද?

බිරියගෙන් ලැබුණු සහාය එහෙම කොහොමද?

ගෙදර අය මාව තේරුම් නොගත්තා නම් මට මේ ක්ෂේත්‍රයේ රැ‍ඳෙන්න බැහැනේ. වෙන කිසිම චිත්‍රපටයකටත් වඩා මෙයට බිරිය තුෂානි වීරක්කොඩිගෙන් මට සහාය ලැබුණා. ඇය ඉස්සර රඟපෑවා. දැන් නැටුම් අධ්‍යක්ෂණය කරනවා. ලොකු දුව චමත්කා උපාධිය හදාරන්න ඉන්නේ. පොඩි දුවට අවුරුදු 8යි. ෂෙනුලිට දරුවන්ට අවුරුදු 18 සම්පූර්ණ වෙලා නැති නිසා චිත්‍රපටය පෙන්නුවෙ නැහැ.

 

කාලයක් ඔබ නිහඬ වෙලා හිටියා... මගේ තාත්තට වකුගඩුවක් බද්ධ කරලා හිටිය නිසා. ඔහුට උදව් කළා.

 

ඔබගේ ඊළඟ නිර්මාණය මොන වගේ එකක් වේවිද?

කුතුහලයෙන් පිරි කලාත්මක නිර්මාණයක් වෙයි. අනාගතයෙත් මගේ රැකියාව වෘත්තීය සිනමා ජීවිතය තමයි. 80 ගණන්වල වගේ නොවෙයි දැන් අපි ලෝක සිනමාවත් සමඟ සිටිය යුතු කාලය ඇවිත්.

හුස්මත් එක්ක අලුත් හුස්මක් ගත්ත අපි සුදේශ්ගේ අලුත් නිර්මාණයක් ගැන ආයෙත් කතා කරන්න බලා සිටිමු විමසිල්ලෙන්.

 

Comments