බෙල්ලන්විල අභය භූමියේ බයිසිකලයක් පැද යමුද? | Page 2 | සිළුමිණ

බෙල්ලන්විල අභය භූමියේ බයිසිකලයක් පැද යමුද?

වටේම පිහිටි විල් පිසගෙන හමා එන මඳ සුළඟ ගතට දැනවූයේ සුවදායි බවක්. තවම පරිසරය නම් ගිනියම්. වෙලාව හවස 5 විතර වුණත් හිරු නම් සඳ එළියට පායා එන්න ඉඩදෙන්න සූදානමක් නෑ වගේ. ඒත් හිරු අහසේ ගිනිගෙන දැවෙන නිමේෂය නම් ගෙවිලා ගිහින්. එක පැත්තකින් ඇතුළ නොපෙනෙන විදියට හිරුගෙන් මිහිකත මුවා කරගෙන සිටින දැවැන්ත වෘක්ෂලතා නෙතට අපූර්ව සිසිලසක් ගෙන දෙනවා.

බෙල්ලන්විල කිව්ව ගමන් අපිට එක පාරට ම මතක් වෙන්නේ බෙල්ලන්විල රජමහා විහාරය. ඓතිහාසික වටිනාකමෙන් ආඩ්‍ය මේ රජමහා විහාරයත් එක්කම තිබුණු වෘක්ෂලතාවලින් හෙබි නීලවර්ණ අභය භූමිය ඔබට මතක ඇති. දැන් ඒ අභය භූමිය වටා ඔබේ ඔබේ ශරීර සෞඛ්‍ය රැකගන්න උපකාරී වන මාවතක් තනා තිබෙනවා. ඒ විතරක් නොවෙයි, නිසසල බවේ අසිරිය විඳිමින් බයිසිකල් පදින්න ඕන නම් ඊටත් පැති මාවතක් නිර්මාණය කර තිබෙනවා.

ඔබ දන්නවද ඉස්සර බෙල්ලන්විල අභය භූමිය පිහිටි භූමියේ තිබුණේ විශාල විලක්. කාලයාගේ ඇවෑමෙන් මේ විල ගොඩවෙලා එහි වෘක්ෂලතා වැවුණා. මේ විල ගොඩවූණේ වෙල් ආත්තා කියන ආක්‍රමණික ශාකයෙන්. ඒ ආක්‍රමණික ශාක වලින් වැහුණු බිම යළිත් හාරලා ඒ විල වටා තැනූ කුඩා මාවතක් තමයි දැන් ඔබට මේ සනීපවත් සුළඟ විඳිමින් ඇවිදින්න හැකි ආකාරයට තනා තිබෙන්නේ. ඇත්තෙන්ම පෙර ඔබ බෙල්ලන්විල ප්‍රදේශයට යද්දි දැකපු පරිසරයට හාත්පසින්ම වෙනස් පරිසරයක් අද තිබෙන්නේ. පරිසරය කොයිතරම් සුන්දරව ගොඩනඟලා තිබුණත් මේ සුන්දර බව පිටුපස්සෙ අසුන්දර පරිසර විනාශයක් තියෙනවද කියලා දැනුණු සැකය නිසාම මම පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතාගෙන් මේ බව විමසුවා. එතුමා නම් පවසන්නේ අභය භූමියට මේ නව ඉදිකිරීමෙන් හානියක් වුණේ නැහැ කියලයි. පොඩි ම පොඩි හානියක් වීමටවත් පරිසරයට හිතැත්තන් කොහොමත් ඉඩ දෙන්නේ නැහැ.

මේ සුන්දර නිදහස් පරිසරය තවත් හේතුවක් නිසා අපට වැදගත්. වැලි ඇතිරූ මා‍වත දිගේ ඇවිදගෙන හෝ බයිසිකලයක් පැද ගෙන එන ඔබේ පිපාසය සංසිඳුවන්න සිසිල් දොඩම් සකසා දෙන ස්ථාන පාර දෙපැත්තෙම තියෙනවා. ඒ විතරක් නොවෙයි. ඔබ විවිධ දේශීය කෑම වර්ග රස විඳින්න කැමති නම්, එහෙමත් නැත්නම් විවිධ වි‍දේශීය ආහාර නැතිනම් අයිස්ක්‍රීම්, රටකජු, කඩල වගේ දෙයක් කන්න කැමති නම් මේ ඕනෑම දෙයක් තිබෙන අවන්හල් එකතුවක් එහි තිබෙනවා. ඒ විතරක් නොවෙයි, විවිධ අත්කම්, කලා නිර්මාණ, ගේ දොර අලංකරණ උපකරණ හා ආභරණ පවා මේ ස්ථානයේ ප්‍රධාන මාර්ග දෙපස විකුණන්නට තිබෙනවා. ඒකාකාරී නාගරික බවෙන් හෙම්බත් වුණු මිනිස්සුන්ට තමන්ගේ මනස සුවපත් කරගන්න, මඳ ඉසිඹුවක් ලබා ගන්න නගරයට ඉතා ආසන්න බෙල්ලන්විල වගේ ප්‍රදේශයට යන්න හැකිවීමම කෙතරම් දෙයක් ද?

ඔබ දන්නවද බෙල්ලන්විල අභය භූමිය නිසා තවත් අලුත්ම ජීවන මාර්ගයක් ගම් වාසින්ට උදාවෙලා. ඒ තමයි පාපැදි පදින්න කැමති අයට ඒවා පැය ගණනකට කුලියට දෙන කඩ බෙල්ලන්විල මහරගම පාර දෙපැත්තෙම විවෘත කර තිබීම. මේ බයිසිකල් අපි කැමති පැය ගණනක් සඳහා මුදල් ගෙවා ලබාගත හැකියි.

අභය භූමියේ බයිසිකලයක් පදිමින් සිටි මා එක්වරම තිගැස්සුණෙ, ශෝකී ගී රාවයක් හද පසාරු කරගෙන නුබ ගැබ පුරා විසිරී ගිය නිසා. සිය ප්‍රියම්බිකාව සොයා තනි කු‍රුල්ලෙක් පියඹා ගියේ හදිස්සියෙන්. මේ භූමියට සංක්‍රමණික වගේම නේවාසික කුරුල්ලන්ගෙන් අඩුවක් නෑ. ලබන මාසයේදී විදේශීය කුරුල්ලන් බහුලව ලංකාවට එන්නට පටන් ගන්නවා. උන්ගේ නිදහසට බාධා නොකර ඔබ නිසොල්මනේ බලා සිටියොත් බොහෝ වෛවර්ණ කුරුල්ලන් දකින්න වගේම උන්ගේ ළයාන්විත නාද අසන්නටත් පුළුවන්. සුළඟත් සමඟ නැළවෙමින් විලේ පාවෙන පාත්තයන් වගේම පැස්තුඩුවන් ද පරිසරයේම කොටසක් වගේ. මුළු පරිසරය ම නිසොල්මන්.

නිහඬ පරිසරයට බාධාවක් නොවන පරිද්දෙන් මම බයිසිකලය පැදගෙන ගියා. මීට පෙර වෙන වෙනම මාර්ග දෙකක් ඔස්සේ පැමිණිය යුතු බෙල්ලන්විල හා පිල්ලෑව පන්සල් මේ මාර්ග නිසා එකම මාර්ගයකින් වන්දනා කිරීමට හැකිවීම වැදගත්. බෙල්ලන්විල පන්සල අසලින් ඇරැඹි මගේ පාපැදි ගමන පිල්ලෑව පසුකර නැවත බෙල්ලන්විල දෙසට අඳුණා. හාත්පස හමා යන සුළඟ සුගන්ධවත්. ඒකට හේතුව මේ පරිසරය අපූරු සංස්කෘතික, ආගමික මධ්‍යස්ථාන දෙකක පහස ලැබීම. ඒ නිසා හඳුන්කූරු සුවඳ,තෙල්, මල් සුවඳ දසත පැතිරිලා. එක අතකට දවල් දොළහට පවා තෙල් හඳුන්කූරු මල් පිදෙන පන්සල් දෙකක් පසුබිමේ ‍ෙමවන් පරිසයක් පිහිටා තිබීමම ආශ්චාර්යයක්.

ක්‍රමයෙන් සැදෑ අඳුර හිරු පරදමින් පරිසරය වෙළාගෙන. හිරු සුමුදු සඳවතට පැරදී නික්ම යන්නට සැරසෙනවා. කුරුල්ලන් ලහිලහියේ කැදලි කරා පියඹන්නේ සැදෑ කළුවරට කලින්. බයිසිකලය පා‍රේ අයිනටම ගත් මම ක්‍රමයෙන් වේගය අඩු කළේ දාහය සනීපත් සුළඟට පවරමින්. ඒත් දැන් දැන් ගොයම් මැස්සන් මුහුණේ වදින තරම් රෑ බෝවෙලා; ඒක පීඩාකාරියි. කුඩා දරුවන් මේ මං තීරුවේ අපරික්ෂාකාරීව පාපැදි පැද යන බැවින් මා පා පැදිය පැද යා යුත්තේ පරිස්සමින්. ඔබ පාපැදියක් පදින්නේ නම් ඒ ගැන තරයේ සිහිතබා ගත යුතුමයි. දරුවන් වෙනුවෙන් වෙනම මං තීරුවක් හදන්නේ නම් එය වඩාත් ප්‍ර‍වේශම් සහගත වනු බව අපේ විශ්වාසයයි.

සෞම්‍ය සඳ එළිය විල් ජලය මත වැටී රන්වන් කිරණ ජලතලය පුරා විහිදු වන්නේ අපූර්ව චමත්කාරයක් මවමින්. ඉදහිට සුළඟට පැද්දෙන රැලි මතට සඳ එළිය වැටුණු පරිසරය සොබාවත්. ගස් අතුමත වැසූ සුදු කොක්කු රෑ පිපි මල් වගේ. පරිසරය ජනාකීර්ණ වුවද සුවදායි බවෙන් යුතුයි. මෙතෙක් ඔබ බෙල්ලන්විල අභය භූමිය වටා ඉදිවුණු මං තීරුවට නොගියේ නම් මේ එහි යෑමට සුදුසුම කාලයයි.

 

Comments