සන්ධ්‍යා රඟපානවාට උපාලි කැමැති වුණේ නැහැ
සන්ධ්‍යා කුමාරි යනු හැටේ දශකයේ මෙරට සිනමා අඹරට පෑයූ රන්තාරකාවක ලෙස හඳුන්වා දිය හැකිය. සරල චරිතයකට වුවද ගැඹුරක් එක්කිරීමට ඇය දැක්වූ දක්ෂතාව හෙළි කළේ චරිතාංග නිළියක ලෙස ඇය සතුව තිබූ කුසලතාව නිසාමය. මීට පෙර ඇය පිළිබද පුවත්පත් ලිපි පළවුවත් ඇගේ ප්රශස්ත ප්‍රතිභාව පිළිබඳ ග්රන්ථයක් රචනා වී තිබුණේ නැත. එහෙත් ඒ අඩුව මකාලන්නට පසුගියදා සුනිල් ලීනස් නම් කෘතහස්ත ලේඛකයා සමත් විය.
වසර හතළිස් පහකට ආසන්න කාලයක් සිනමාව හා සක්‍රීයව සම්බන්ධ වී සිටින ඔහු 1974 දී ‘චලන රේඛා’ සිනමා සඟරාව සම්පාදනය කරමින් සිනමා ලේඛනයට පිවිසියේය.පසුව 1977 දී ‘මංජුසා’ නම් සිනමා ප්‍රකාශය එළිදැක්විය. 1978 දී ‘සිනමාස්’ සමාගම ප්‍රකාශයට පත්කළ සිනමා සඟරාවේ ආරියරත්න කහවිටගේ ඇරයුමෙන් එම සඟරාවට සම්බන්ධ වන සුනිල් ලීනස් 2008 වසරේ සිට 2013 දක්වා සිනමා වාර්ෂික සමුහයක් ද සම්පාදනය කළේය.
මා දන්නා අයුරින් මෙය ‘සන්ධ්‍යා කුමාරි’ නම් රංගවේදිණිය පිළිබඳ ලියැවුණු කුළුඳුල් ග්රන්ථයද වෙයි.
“ඔව්; ඇත්තටම මීට පෙර ඇය ගැන විවිධ පුවත්පත්වල ලිපි ඕනෑතරම් පළවෙලා තියෙනවා. ඒත් සන්ධ්‍යා ගැන මා දන්නා තරමට ග්රන්ථයක් රචනා වන්නේ පළමු වතාවටයි.මම මෙය රචනා කරන්නට පටන් ගත්තේ දැනට වසර පහකට පෙර සිටයි. ප්‍රකාශකයකු නොමැතිකම නිසා තමයි මෙතෙක් මේ ග්‍රන්ථය එළිදක්වන්නට ප්‍රමාද වුණේ. ඒත් මට ඒ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන් වුණේ රොෂාන් වෙදගමගේ නිසයි.”
සුනිල් ලීනස්ට රොෂාන්ව මුණගැසෙන්නේ මීට ඉහතදී ඔහු විසින් රචිත විජය කුමාරතුංගයන්ගේ ග්‍රන්ථය නිසාය.
“රොෂාන් කියන්නේ මගේ පුතාගේ වයසේ දරුවෙක්. ඔහු මම විජය ගැන ලියපු පොත දැකලා දවසක් මාව මුණගැහෙන්න අපේ නිවෙසට ආවා. මම ඒ දවස්වල අසනීපයෙන් හිටියේ. එදා මම සන්ධ්‍යා ගැන ලියපු පොත ගැන රොෂාන්ට කීවා. ඔහු සිලෝන් සිනමා එන්ටර්ටේට්මන් කළමනාකරණ අධ්යක්ෂ විදියට කටයුතු කරනවා. ඒ ග්‍රන්ථයේ ප්‍රකාශන අනුග්‍රහය ලබා දෙන්න එදා ඔහු එකසිතින් කැමැති වුණා. ඔහු නිසා තමයි පසුගිය දිනක චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී ‘සන්ධ්‍යා කුමාරි’ ග්‍රන්ථය සාර්ථක ලෙස එළිදක්වන්නට මට හැකි වුණේ.
කතුවරයා ග්‍රන්ථය නම්කරලා තියෙන්නෙ ‘සිනමාවේ නොමියෙන දෑස’ කියලයි. මේ වගේ නමක් යොදන්නට විශේෂ හේතුවක් ඇති.
සන්ධ්‍යා කියන්නේ බොහොම සුරූපී රුවක් තියෙන නිළියක්. ඇගේ රුවට වඩා දුටුවන් වශිකරවන නෙත් සඟලක් ඇයට තිබුණා.සන්ධ්‍යා ගැන ලියැවුණ කෘතියට ‘සිනමාවේ නොමියෙන දෑස’ කියලා නම් කළේ නිසයි.
ඇය ගැන කෘතියක් ලිවීමට තරම් සුනිල් ලීනස් ඇගේ රංගන ප්‍රතිභාවට ආදරය කළ, ඇළුම් කළ ආදරණීය ප්‍රේක්ෂකයෙක් වූ බව නම් නොඅනුමානයි. සන්ධ්‍යා කුමාරි නම් වූ ඒ සුරූපිනිය රඟපෑ එකදු චිත්රපටයකවත් අත නොහැර නැරැඹූ ඔහු ඇගේ රංගනයට ආසක්ත වූයේය. ඒ බවට මෙය මනා සාක්ෂි නොවේද? ඇගේ හැම සිනමා නිර්මාණක්ම නරඹන්න ඇති? ඇගේ සිනමා පට අදටත් මා ළඟ තියෙනවා. විවේකය ලැබුණු විට ඒවා නරඹනවා. මට මතකයි ගාමිණී සිනමා ශාලවේදී අවුරුදු දහයේදී තමයි ඇය රඟපෑ ‘ධීවරයෝ’ චිත්‍රපටය මුලින්ම මම නැරැඹුවේ.
තිරයේ ඔහු දුටු සන්ධ්‍යා කුමාරි කල්ගතවනවිට සැබෑ ජීවිතයේ දී සමීපව ඇසුරු කරන්නට ඔහුට වාසනාව හිමි විය.
සුනිල් ලීනස් කියන්නේ එදත් අදටත් ඇයව ළඟින්ම ඇසුරු කළ සමිපතම හිතවතෙක්. ඔහුට සන්ධ්‍යා කුමාරිව මුලින්ම මුණගැහෙන්නෙ 1973 දී විභාග ප්‍රතිඵල එනතුරු ඇරඹු ‘නැණ සම්පත’ අධ්‍යාපන සඟරාව දැන්වීමක් පළ කර ගැනීම සඳහා රත්මලානේ සිට උපාලි ආයතනයට ගිය දිනයේදීය. උපාලි පෙරේරා යනු සන්ධ්‍යා කුමාරිගේ ස්වාමියාය. සුනිල් එදින ඔහුව මුණගැසීමට ගියද එදින උපාලි නොමැති බවත් වෙනත් දිනයක එන ලෙසත් පැවසුවේ සන්ධ්‍යා කුමාරිය. සුනිල් සන්ධ්‍යාව මුලින්ම දකින්නෙ එදින ය.
ඔව්. මට මතකයි ඔබ කියු ඒ දවස මට උපාලිව මුණගැසෙන්නට බැරිවුණා. දැන්වීම ගන්න වෙනත් දවසක යන්නටත් නොහැකි වුණා.පසු දවසක ‘චලන රේඛා’ ප්‍රකාශ කරන විට එහි දැන්විමක් දාගන්නට ආරියරත්න කහවිට මුණගැසෙන්නට ‘සිනමාස්’ ආයතනයට ගියාම ඔහු මට කීවා මොරටු යමු කියලා. ඒත් මම දැනන් හිටියේ නෑ ඒ යන්නෙ කොහාටද කියලා. අපි ගියපු කාර් එක මොරටුවේ නිවෙසක මිදුලක නතර කළා. පසුව තමයි දැනගත්තේ අපි ඒ ගියේ සන්ධ්‍යාගේ ගෙදර කියලා. එලෙස ඇරඹුණු මිතුදම ඇගේ කිට්ටු හිතවතෙක් තරමටම දුරදිග ගියේය. සන්ධ්‍යා කුමාරි කොයි වගේ කෙනෙක්ද කියලා දැන ගන්නට මීට වැඩිය කෙනෙක් ඇද්ද?
සොඳුරු රුව වගේම ලස්සන හදවතක් ඇයට තිබුණා. කොතරම් මිල මුදල් තිබුණත් බොහොම සරල විදියට ජීවත් වුණු කෙනෙක්. ඇගේ ඒ සොඳුරු රුව නිසාම වෙන්න ඇති ඇගේ සැමියා උපාලි සන්ධ්‍යා රංගනයේ නියැළෙනවාට කැමැත්තක් දක්වලා නැහැ.
සන්ධ්‍යා කියන්නේ සම්මානනීය නිළියක්. ‘සැනසුම කොතැනද’ චිත්රපයට නිසා ඇය සම්මානයෙන්ද පිදුම් ලැබුවා. එහෙත් ඇගේ කුසලතාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට මෙරට සිනමාවට හැකියාව නොලැබුණු නිසා සන්ධ්‍යාගේ අසීමිත වූ ප්‍රතිභාව ඉස්මතු වීමට ඉඩ ලැබුණේද යන්න ප්‍රශ්නාර්ථයකි. එසේ වුවද ‘ධීවරයෝ’ චිත්‍රපටයේ ‘රොසලින්’ ලෙස ඇය ගෙන ආ රංගනය කවර හෝ නිළියකට අදටද අභියෝගයක් වන තරමට ප්‍රශස්තය. සැනසුම කොතැනද, සැපත සොයා, යටගිය දවස, අල්ලපු ගෙදර, සත පනහ, මහරෑ හමුවුණු ස්ත්‍රිය, සිහින හතක්, සූර චෞර්යයා, බයිසිකල් හොරා, නාරිලතා, අනුපමා, ඇගේ ප්රශස්ත රංගන ප්‍රතිභාව පිළිබඳ මතක සටහන්ය.
රජයේ මෝටර් කාර්මිකයකු ලෙස සිය වෘත්තියේ නියැලෙමින් සිනමා ලේඛනයට පිවිසි සුනිල් ලීනස් අපදාන ග්රන්ථ හතරක්ද පද්‍ය ග්රන්ථ තුනක්ද වේදිකා නාටය තුනක් හා චිත්‍රපට සඟරා නවයක්ද මේ වනවිට රචනා කර තිබේ. එදා සන්ධ්‍යා කුමාරි ජීවතුන් අතර සිටින සමයේ ආරියරත්න කහවිට ඔහුට පැවසුවේ ඇය ගැන කෘතියක් කරන ලෙසය. එහෙත් 1984 වසරේ ත්රස්ත්රවාදී කලබල වූ නිසා දුෂ්කර පළාත්වල රාජකාරි කටයුතු සිදු කළ බැවින් ලේඛනයෙන් මදක් ඈත්වුණු සුනිල් ලීනස් නැවත ලේඛනයට අවතීර්ණ වන්නෙ 2008 වසරේදීය. සන්ධ්‍යාගේ 25 වන ගුණ සැමරුම වෙනුවෙන් රචිත මෙම ග්‍රන්ථය මෙන්ම ඉදිරියේදීද සිනමාවට සැබවින්ම ආලෝකයක් වූ අපදාන පිළිබඳ ග්රන්ථ රචනා කරන්නට ද ඔහු අදහස් කරගෙන සිටියි.
රුක්මණි දේවියගේ සිට මා ප්‍රිය කරන චරිත 50ක් ඇතුළත් කොට ‘ලාංකේය සිනමාවේ සුපිරි තරු’ කියලා ග්රන්ථයක් ලබන වසරේ එළිදක්වන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දවස්වල ඒ කටයුතුවල නියැළෙනවා.”
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න