ඒ චරිතය හරිම බැරෑරුම් | සිළුමිණ

ඒ චරිතය හරිම බැරෑරුම්

කිසිදු  හැඳුනුම්කමක් නැතිවයි මම මේ ක්ෂේත්‍රයට  පිවිසෙන්නේ

ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ නවතම නිර්මාණයවන ‘ගාඩි‘ චිත්‍රපටයේ ටිකිරි කුමාරි හාමි ලෙස සිනමා රංගනයට වරම් ලබන ධිනාරා පුංචිහේවා කුඩාකල සිට කලාවටත් රංගනයටත් ඇති ඇල්ම නිසා පාසල් වේදිකාවේ සිටම රංගනයෙන් තම කුසලතා හඳුනා ගනිමින් එය ඔපමට්ටම් කර රංගනයේ දිගු ගමනක් යන්නට උත්සාහ කරන නවක රංගන ශිල්පිනියකි.

 

ඔබ සිනමාවට පිවිසෙන්නේම ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු යටතේ?

මගේ හීනයක් ඉටු වුණා වගේ මට දැනුණේ පුංචි කාලේ ඉඳන් නිළියක් වෙන්නමයි ආසාවෙන් හිටියේ. මම කිසිඳු හැඳුනුම්කමක් නැතිවයි මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ප්‍රසන්න සර්ගේ ඔඩිෂන් එකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. එයට සහභාගි වුණාම තමයි මාව තේරුණේ. වාසනාව කියලත් ඒ මොහොතේ හිතුණා. ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.

ඉන් පෙර ඔබේ රංගන කටයුතු ගැන කියමු?

මම තුන වසරේදි අපට සිංහල උගන්වපු ගුරුතුමිය දවසක් මට කිව්වා ‘ඔයා නම් නිළියක් වෙන්නම ඕනේ‘ කියලා. ඒ කතාවත් මගේ ඔළුවේ තිබ්බා. පාසල් වේදිකාව තමයි මගේ ඇරැඹුම. පස්සේ ලයනල් වෙන්ට්ඩ් එකේ සිංහල සහ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඉන්පසු මම නාට්‍ය හා රංග කලාව පිළිබඳ එංගලන්තයේ උපාධිය හැදෑරුවා. ඉන්දියාවේ වැඩමුළු කිහිපයකටත් සහභාගී වුණා. ඊට අමතරව පාඨමාලා දෙකක් කළා. ලංකාවට ආ පසු නැවත වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන ගමන්ම ‘මාලා‘ කෙටි චිත්‍රපටයකුත් අධ්‍යක්ෂණය කළා.

 

රංගනයෙන් ඉදිරියට යනවට ගෙදරින් කැමැත්තක් තිබුණා ද?

පොඩි කාලේ ඉඳන් ගෙදරින් මට ලොකු සහායක් ලැබුණා. කලා කටයුතුවලට තමයි ගෙදරින් වැඩිපුරම මාව යොමු කළේ.

 

ඔබේ මුල්ම ගුරුවරයා?

පාසලේ විරන්ති සහ වාසනා කියන ගුරුමෑණිවරු , ඉන්පසු මගේ විශ්ව විද්‍යාලයේ ගුරුවරු කිහිපදෙනා. ඔවුන් හැම දෙනාවම මම ආදරයෙන් සිහිපත් කරනවා.

 

‘ගාඩි‘ ඔබේ රංගනය ගැන කතා කළොත්?

ඉතා බැරෑරුම් අභියෝග ගොඩක් තිබෙන චරිතයක්. 1815 උඩරට කතාවක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. මාස 8ක් අපි හැමෝම මේ චිත්‍රපටයට අදාළ වැඩමුළුවලට සහභාගි වුණා. ප්‍රසන්න සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. ඒ කාලය පුරාවට මම ඉතිහාස පොත් ගොඩාක් කියෙව්වා. මාව චිත්‍රපටයේ ටිකිරි කුමාරි හාමිගේ චරිතයට තෝර ගත් දා පටන් ඒ චරිතය තුළයි මම ජිවත් වුණේ. චිත්‍රපටය රූ ගත කළ මාස දෙකහාමාර පමණ කාලයේදිත් මම උපරිම කැපවීමෙන් ඒ චරිතයට සාධාරණයක් කළා යැයි සිතනවා.

 

ධිනාරා පූර්ණකාලීනව රංගන ශිල්පිනියක් වේවිද?

පහු ගිය කාලේ නම් මගේ සම්පුර්ණ කාලය ‘ගාඩි‘ වෙනුවෙන් වෙන් කළා. නමුත් දැන් ඉන්දියාවේ වැඩමුළු කිහිපයකටත් සහභාගී වෙනවා. ළඟකදි තව වේදිකා නාට්‍යකකටත් සහභාගී වුණා. ඊට අමතරව දැන් නාට්‍ය හා රංගකලාව උගන්වනවා.

 

ඒ කියන්නේ ඔබ ගුරුවරියක්?

එය ඇත්තටම සමාජ සත්කාරයක් ලෙසයි කරන්නේ. ළමා නිවාසවල තමයි මම නාට්‍ය උගන්වන්නේ. ළඟදි ‘පුංචි ඇක්ටර්ස්‘ කියලා පුංචි එකමුතුවක් හදා ගත්තා. ඒ සංවිධානය එක්ක තමයි මේ කාර්යයට සම්බන්ධ වෙලා ඉන්නේ.

 

රංගනයට වෙනත් ආරාධනා ලැබුණාද?

අධ්‍යක්ෂවරු කිහිප දෙනකුම කතා කළා. නමුත් තවම ස්ථීර නැහැ. චිත්‍රපටයත් තවම ප්‍රදර්ශනය නොවුණු නිසා වෙන්න ඇති කවුරුත් මං ගැන වැඩිය දන්නෙත් නැහැ.

 

සිනමාවේ දිගටම රැඳෙන්නද බලාපොරොත්තුව?

මම සිනමාව, වේදිකාව සහ ටෙලි නාට්‍ය යන මේ ත්‍රිත්වයටම කැමැති. එයින් වැඩිපුරම මගේ කැමැත්ත සිනමාව සහ වේදිකාවට. වේදිකාවට මම ගොඩක් ආදරෙයි.

ඉතින් මේ ත්‍රිත්වයේ හොඳ පිටපතක් සහ හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ මට සුදුසු චරිත තෝර ගනිමින් දිගටම රැඳෙන්නයි මගේ කැමැත්ත.

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

Comments