ශ්‍රී.ල.නි.ප.ය සමාජ දේශ­පා­ලන වලං­ගු­තාව අහිමි කර ගනී | සිළුමිණ

ශ්‍රී.ල.නි.ප.ය සමාජ දේශ­පා­ලන වලං­ගු­තාව අහිමි කර ගනී

 

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති වූ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන අව­සා­නයේ ස්වාධීන විය. ගෝල බාලයෝ කද­වුර පිටින් ම ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ ජය තහ­වුරු කිරී­මට ශ්‍රී ලංකා පොදු­ජන පක්ෂයේ වේදි­කා­වට ගොඩ වූහ. පසු­ගිය බදාදා අනු­රා­ධ­පු­රයේ දී පැවැති මංගල ජන හමුවේ වේදි­කා­වට ගොඩවී ජන­තාව අම­ත­න්නට ගිය හිටපු අමාත්‍ය දුමින්ද දිසා­නා­ය­කට නොන­ව­තින හූ සංග්‍ර­හ­යක් හා චෝදනා ගොන්නක් ඉදි­රි­පත් විය. 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා මෛත්‍රී­පාල සිරි­සේන පොදු අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් වෙමින් එකතු කර ගත් ජනතා කෘත­වේ­දී­ත්වය අබ මල් රේණු­වක තර­මට හෝ ඉතිරි කර­ගෙන තිබුණේ නම් ගිය බදාදා එය ද ඔවුහු අහිමි කර ගත්හ.

 

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ ලේකම් ධූරය හෙබවූ මෛත්‍රී­පාල සිරි­සේන තමන් දැරූ සියලු වර­දාන අම­තක කර­මින් පොදු අපේ­ක්ෂ­කයා ලෙස 2014 වසරේ අව­සා­නයේ දී මහ ජන­තාව ඉදි­රි­යට එන විට ඒ පිටු­ප­සින් ආ සිය­ල්ලන්ට ම රාජ­ප­ක්ෂ­ව­රුන් සමඟ පුද්ග­ලික ගැටු­මක් පැව­තුණි. බර්ටි ප්‍රේම­ලාල් දිසා­නා­ය­කගේ පොල්ම:කාර­ක­මට ලියවී තිබූ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අනු­රා­ධ­පුර අයි­තිය උදුරා ඔහු­ගේම පෞද්ග­ලික ලේකම්ට හා ශරී­රා­ර­ක්ෂ­ක­යාට ඒ සන්ත­කය පැව­රී­මට රාජ­ප­ක්ෂ­වරු ක්‍රියා කළහ. එයින් දොම්න­සට හා කළ කිරී­මට පත්වූ බර්ටි ප්‍රේම­ලාල් දිසා­නා­යක මිය ගියේ ය. ඔහුගේ පුත් දුමින්ද දිසා­නා­යක පොදු අපේ­ක්ෂ­කයා හා එළි­යට ඇවිත් රාජ­ප­ක්ෂ­ව­රුන්ට එරෙ­හිව අවි අතට ගත්තේය.

ගිය බදාදා යළි රාජ­ප­ක්ෂ­ව­රුන් කරා ගියේ ඒ තාත්තගෙ පුතා වූ දුමින්ද දිසා­නා­යක ය. දුමින්ද ව රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ අනු­රා­ධ­පු­රයේ අනු­ගා­මි­ක­යන් උණු­සුම් ව පිළි­ගැ­නීම ස්වයං­සි­ද්ධව සිදු­වූ­වක් නම් එය දුමි­න්දගේ දේශ­පා­ලන අව­සා­නය වන්නේ ය. එය පොහො­ට්ටුවේ අනු­රා­ධ­පුර නාය­ක­යන්ගේ උසි­ගැ­න්වීම මත වූවා නම් එයත් දුමින්ද ගේ දේශ­පා­ලන අව­සා­න­යට හේතු­වන්නේ ය. රාජ­ප­ක්ෂ­ලාට හතර අතේ දෝෂ­රෝ­ප­ණය කර­මින් සිටි දුමි­න්ද­ලාට යළි රාජ­ප­ක්ෂලා කරා කෙසේ ගිය ද උරුම වන්නේ දේශ­පා­ලන අව­සා­නය පම­ණක් බව ලියා තැබිය යුතු සත්‍ය­යකි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ ලේකම් ධූරය හැර එළි­යට ආ මෛත්‍රී­පාල සිරි­සේන සමඟ එදා යම්ත­ර­ම­කට හෝ අවං­ක­භා­ව­ය­කින් එළි­යට ආවේ දුමින්ද දිසා­නා­යක පමණි. අනෙක් සියල්ල ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන වටා එක් රොක් වූයේ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසුව ය. ඒ ජය­ග්‍ර­හ­ණයේ වර­දාන වලින් කොට­සක් තමන්ට ද ලබා ගන්නට ය. එසේ ආ කොට­සක් 2015 මහා මැති­ව­ර­ණයේ දී රාජ­ප­ක්ෂ­ව­රුන් විසින් පරා­ජය කරන ලදී. ඔවුන්ට පවා ජාතික ලැයි­ස්තු­වෙන් මහ­ජන මන්ත්‍රී ධූර­යන් ප්‍රදා­නය කළේ ජන­පති මෛත්‍රී­පාල සිරි­සේන ය. අද ඔවුහු ඒ මන්ත්‍රී ධූර දර­මින් ම ගෝඨා­භය රාජ­පක්ෂ වටා පැද­කුණු කරති. එළැ­ඹෙන මහා මැති­ව­ර­ණයේ දී ඔවුන්ට රාජ­ප­ක්ෂ­ව­රුන් විසින් දෙවැනි පාඩම ද කියා­දෙ­නවා නිසැක ය.

දස වස­ර­කට ආසන්න රාජ­පක්ෂ පාල­නය බිද දැමීම සඳහා පොදු විප­ක්ෂ­යට 2015 දී තීර­ණා­ත්මක සහාය ලැබුණේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෙත්‍රී­පාල සිරි­සේ­න­ගෙන් බව නොර­හ­සකි. ඒ තීර­ණා­ත්මක ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී පොදු විපක්ෂ අපේ­ක්ෂ­ක­යාගේ ජය­ග්‍ර­හ­ණය රාජ­පක්ෂ පාල­න­යට එරෙ­හිවූ සමස්ත මහ­ජ­න­යා­ගේම ජය­ග්‍ර­හ­ණ­යක් බවත් නොර­හ­සකි. ඔහු බල­යට පත්වූයේ රාජ­පක්ෂ දේශ­පා­ල­නය විසින් විනාශ කර තිබූ සමාජ ක්‍රමය හා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සංස්කෘ­තිය යළි බිහි­කර ශක්ති­මත් කර­න්නට ය.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඒ දේශ­පා­ලන පෞරු­ෂය සම­හර විට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ කේඩ­ර­යන් ඇද බැද තබා ගන්නට තරම් ශක්ති­මත් නොව­න්නට ඇත. සම­හ­ර­විට ඒ පෞරු­ෂ­යට සංවේදී වන්නට තරම් දැනු­මක් පක්ෂ කේඩ­ර­යන් තුළ නොති­බුණා විය හැකිය. සම­හර විට පාදඩ ආර්ථි­කයේ ක්‍රියා­කා­ර­කම් වලින් ගඳ ගසන තත්ත්ව­යට පත්ව සිටි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ගොඩ එන්නට නම් අවශ්‍ය වන්නේ මහින්ද රාජ­ප­ක්ෂම බව තීන්දු­ව­කට පැමිණ සිටියා විය හැකි ය.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දේශ­පා­ලන පෞරු­ෂය හැකි­ළෙ­මින් ජන­වාරි අට­වැ­නිදා ජය­ග්‍ර­හ­ණය පසු­පස සිටි ජන බල­වේ­ගය කෝප ගන්වන හා මහත් අප­හ­සු­තා­ව­කට පත් කරන හැසි­රී­ම­කට කල්යත්ම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය පෙල­ඹීම කන­ගා­ටු­දා­යක ය. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ පාල­නය සිය අතට ගනි­මින් ඒ පක්ෂය ශක්ති­මත් කර­න්නට ජනා­ධි­ප­ති­ව­රයා වෙහෙස දැරීම ප්‍රඥා­ගෝ­චර නොවූ­වකි. එහෙත් ජනා­ධි­ප­ති­ව­රයා ගමන් ගත්තේ ඒ මගෙ­හිම ය.

වසර දහ­ය­කට ආසන්න කාල­යක් පුරා පාදඩ දේශ­පා­ලන නාය­ක­ත්ව­යක් මගින් පාල­නය කළ පක්ෂ­යක් මෛත්‍රී­පාල සිරි­සේන වැනි දේශ­පා­ලන චරි­ත­ය­කින් නම්මා ගත හැකි යැයි විශ්වාස කළ නොහැ­කිය. පක්ෂයේ තීරක තීන්දු ගන්නා තැන් වල බලය සමාජ විරෝධී ක්‍රියා­කා­ර­කම් වල යෙදුණ පුද­ග­ල­යන් අතට පත්ව තිබූ අව­ස්ථා­වක ඔවුන් ඉල්ලන්නේ එවැ­නිම සමාජ විරෝධී ගති ලක්ෂණ හිමි නාය­ක­ත්ව­යකි. ඒ අනුව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය 2005 න් පසුව ව්‍යුහ­ගත වූ පරිදි ඊට අවශ්‍ය වූයේ “මහින්ද රාජ­පක්ෂ” කෙනෙකි.

රාජ­පක්ෂ පාර්ශ්වය විසින් 2015 මහ මැති­ව­ර­ණයේ දී පක්ෂයේ බලය අල්ලා ගත් අතර මැති­ව­ර­ණයේ දී නාම යෝජනා සකස් කිරීම ද ඔවුන්ට අවශ්‍ය පරිදි සකස් කර ගත්හ. ජනා­ධි­පති මෙත්‍රී­පාල සිරි­සේන අල්ලපු අත්තත් නොමැති පය ගහපු අත්තත් නොමැති අස­රණ තත්ත්ව­යට පත්වූ අතර ඒ නිසා පුද්ග­ලි­කව ඔහු පම­ණක් නොව ජන­වාරී අට­වැ­නිදා සමාජ ජය­හ්‍ර­ග­ණ­යට දායක වූ ජන­තාව ද උප­හා­ස­යට ලක් වූහ.

ජන­වාරි අට­වැ­නිදා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණයේ සටන අනුව හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ හා සමගි සම්මු­ති­යක් ඇති­වීම වලංගු දේශ­පා­ලන කරු­ණක් නොවේ. ඒ ජනා­ධි­ප­ති­ව­රණ සටන ඇර­ඹුණේ මුළු­ම­නින් ම මහින්ද රාජ­ප­ක්ෂගේ සිතුම් පැතුම් වලට එරෙ­හිව ය. සම­ස්ත­යක් ලෙස එලෙස බල­මුළු ගැන්වූ සට­න­කින් පරා­ජය කළ අයකු හා නැවත සංධාන ගත­වීම දේශ­පා­ල­නි­කව ප්‍රති­වි­රෝ­ධතා නිර්මා­ණය කරයි. එහෙත් ගිය වසරේ ඔක්තෝ­බර් මාසයේ දී හිටි­හැ­ටියේ අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිං­හව ධූර­යෙන් පහ කර­මින් මහින්ද රාජ­පක්ෂ එම ධූරයේ පිහි­ටු­ව­න්නට ජනා­ධි­ප­ති­ව­ර­යාට අවශ්‍ය විය.

ධ්‍රැවී­ක­ර­ණය වන තත්ත්ව අනුව ජනා­ධි­ප­ති­ව­රයා සූදු ක්‍රීඩා­වක යෙදී සිටියේ තමන් බල­යට පත් කළ දේශ­පා­ලන බල­වේ­ග­යන් සමඟ ය. බල­යට පත්ව මාස හයක් හෝ ඉක්ම යන්නට මත්තෙන් තමන්ගේ දේශ­පා­ලන පද­නම් හා සූදු ක්‍රීඩා­වක යෙදීම අති­ශ­යෙන් භයා­න­කය විය. එක් අත­කින් ජන­වාරී අට­වැ­නිදා ජය­ග්‍ර­හ­ණය ලැබූ බල­වේග විසින් අත් හරින ජනා­ධි­ප­ති­ව­රයා ආරක්ෂා කර ගැනී­මට රාජ­පක්ෂ බල­වේ­ගය ඉදි­රි­යට ආවේ නැත. අනෙක් අතින් ඔහුට ගොඩ­නඟා ගන්නට අලුත් දේශ­පා­ලන බල­වේ­ග­යක් ද නොප­වතී.

මහින්ද චින්තන සංස්කෘ­තිය පර­ද­ව­මින් අලුත් දේශ­පා­ලන සංස්කෘ­ති­යක් කරා සමා­ජය පිය­වර තැබුවේ දීර්ඝ කාල­යක් තිස්සේ අහිමි වෙමින් තිබූ සමාජ පුරු­ෂා­ර්ථ­යන් දෙස කම්පි­තව බල­මින් ශෝක වූ ජන­තා­වයි. එහෙත් ඒ ජන­තාව කම්ප­නය පත් කර­මින් කරන සූදු ක්‍රීඩාව විසින් සමා­ජය තල්ලු කරන්නේ පතු­ලක් නොපෙ­නෙන අගා­ධ­ය­කට ය.

රාජ­පක්ෂ සංස්කෘ­තිය ඉති­හා­සයේ අව­සා­න­යට පැමි­ණෙ­මින් තම ධූර කාලය අව­සන් වන­විට සිටියේ තව­දු­ර­ටත් සමා­ජයේ බුර බුරා දැවෙන ප්‍රශ්න­යන්ට විස­දුම් නොමැ­තිව ය. එය තර්කා­නු­කූල අව­සා­න­යට ආවේ නව දේශ­පා­ලන සම්මු­ති­යක් ඇති කර ගනි­මිනි. එහෙත් අවා­ස­නා­වට නැව­තත් රට මහින්ද චින්තන සංස්කෘ­ති­යක් කරා යොමු වන්නේ නම් පුපුරා නැඟෙන සමාජ ප්‍රශ්න විසින් ජන­තාව විනා­ශ­යට යොමු කරන බව කිව යුතු නැත. සමා­ජයේ ප්‍රශ්න විස­දීමේ ලා රාජ­පක්ෂ සංස්කෘ­ති­යට තව­දු­ර­ටත් විස­ඳුම් නැත. ජන­වාරී අට­වැ­නිදා පරා­ජය දෙස බැලුවේ ද හාස්‍ය­යෙන් හා බොළඳ ලෙස මිස තමන්ගේ වැරදි නිවැ­රදි කර ගනි­මින් ඉදි­රි­යට ගමන් කරන ශක්ති­මත් දේශ­පා­ලන අර­මු­ණ­කින් නොවේ. ඒ නිසා රාජ­පක්ෂ සංස්කෘ­ති­යට සමා­ජයේ ප්‍රශ්න දෙස අලුත් කෝණ­ය­කින් බල­න්නට තරම් හැකි­යා­වක් නොප­වතී.

ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන කළ යුතුව තිබුණේ පක්ෂයේ අභි­ලාශ වෙනු­වෙන් පෙනී සිටීම නොව රටේ අභි­ලා­ශ­යන් වෙනු­වෙන් පෙනී සිටී­මයි. ඒ සඳහා ජන­වාරී අට­වැ­නිදා සුවි­ශාල දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් ඔහු පිටි­ප­සින් සිටියේ ය. ඒ දේශ­පා­ලන ව්‍යාපා­රය තව­මත් ජීව­මාන ය. ජනා­ධි­ප­ති­ව­රයා ඒ මත පද­නම් වෙමින් රටේ අභි­ලාශ සාධ­නයේ ලා කට­යුතු කළේ නම් තව­දු­ර­ටත් ඔහු ජන­තාව ඉදි­රියේ ශක්ති­මත් වන්නේ ය.

2015 ජනා­ධි­ප­ති­ව­රණ ව්‍යාපා­රය තුළ මෙත්‍රී­පාල සිරි­සේ­නට පක්ෂ අභි­ලාශ තිබුණේ නැත. ඔහු පද­වි­යට පත්වූ පසුත් කීවේ පළමු ධූර කාල­යෙන් පසුව ගෙදර යන බව ය. එසේම ධූර කාලය වසර පහ­කට සීමා කරන බව ය. බලා­පො­රොත්තු වූ පරිදි විධා­යක ජනා­ධි­පති ක්‍රමය මුළු එකක් ලෙස අහෝසි කිරී­මට නොහැකි වුවත් මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා ස්වේච්ඡා­වෙන් ම තම බල­තල අත්හ­රි­මින් විධා­ය­කයේ බලය පාර්ලි­මේ­න්තු­වට පැව­රුවේ ප්‍රශස්ත ලෙස ය. එවැනි ජනා­ධි­ප­ති­ව­ර­යකු පක්ෂ අභි­ලාශ මත කට­යුතු කර­මින් තම ගෞර­වය අහිමි කර ගැනීම නම් එය කන­ගා­ටු­වට හේතු­වකි.

තම­න්ටම ආවේ­ණික දේශ­පා­ලන පෞරු­ෂ­ය­කින් රටට නාය­ක­ත්වය දී විශ්‍රාම යෑමට බලා­පො­රු­ත්තු­වෙන් සිටින ජනා­ධි­ප­ති­ව­රයා නාය­ක­ත්වය දිය යුතුව තිබුණේ තමන් බල­යට පත් කළ 2015 මහ­ජන අභි­ලා­ශ­යන් නියෝ­ජ­නය කළ සමාජ තීරුව ය. ඒ අනුව ජන­වාරි 08 වන දා බලා­පො­රොත්තු වූ ජනතා ජය­ග්‍ර­හ­ණය සඳහා මූලික වූ දේශ­පා­ලන සම්මු­තිය ශක්ති­මත් කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා පෙරට ඒම ඔහු විසින් සම්පූර්ණ කළ යුතුව තිබුණ වග­කීම විය.

Comments