හෙට දවසේ හැඩවන ජාතියේ මල් සම්පත | සිළුමිණ

හෙට දවසේ හැඩවන ජාතියේ මල් සම්පත

 

නා­ධි­ප­ති­ව­රණ උණු­සු­මත් ඒ සමඟ ම සමාජ ගත­ක­රනු ලබන විවි­ධා­කාර දේශ­පා­ලන විසූක දස්ස­නත් නර­ඹ­මින් සිටින මේ මොහො­තෙහි ඊට ඉඳුරා වෙනස් මාතෘ­කා­වක් පිළි­බඳ ව කතා කිරීම ප්‍රායෝ­ගික නො‍වේ යැයි ඔබ සිත­න්නෙහි නම් අපට එයට විරුද්ධ විය නොහැ­කිය. එහෙත් මේ දේශ­පා­ලන සර­දම් විසින් හෙට උදා­වන ලෝකයේ සාඩ­ම්බර උරු­මය අහිමි කරන අපේ ළමා පර­පුර හා ඔවුන්ගේ ඉර­ණම පිළි­බ­ඳව සබු­ද්ධික කිසි­ව­කුට තුෂ්ණී­ම්භූත ව සිටිය හැකි යැයි අපට නම් නිග­ම­නය කළ නොහැ­කිය. මක්නි­සාද යත්, හෙට ලෝකය අයත් වන්නේ ජර­පත් මහ­ල්ලන්ට නොව විය­පත් තාරු­ණ්‍ය­යට යැයි අප ද පිළි­ගන්නා හෙයිනි.

ඒ තාරු­ණ්‍යයේ අරු­ණෝ­දය ජාති­යක මල් සම්පත බඳු දරු­වන් යැයි අපට ද දැනෙන හෙයිනි. මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා ලෝක ළමා දිනය සිහි­පත් කර­මින් දරු­වන් සුර­කිමු ජාතික අර­මු­දල ස්ථාප­නය කරන්නේ ද ඒ ජාතියේ මල් සම්පත සුරැ­කීමේ රාජ්‍ය නායක වග­කී­මත්, දරු­වන්ට අසී­මි­තව ආද­රය කරන පිය­කුගේ උදා­ර­ත්ව­යත් විශද කර­මින් බව නිසැක ය. මහත්මා ගාන්ධි­තු­මන් වරක් ප්‍රකාශ කළේ වැඩි­හි­ටි­යන් සතු ධෛර්යය, පෞරු­ෂය, ශික්ෂ­ණය මෙන්ම පීඩා දරා­ගැ­නීමේ ශක්තිය හා උතුම් අර­මුණු වෙනු­වෙන් කැප­වීමේ වටි­නා­කම ද සිය දරු­වන්ට ලබා දිය යුතු බව ය.

ශ්‍රේෂ්ඨ සිති­වි­ලි­ව­ලින් හා දයා­න්විත හද­වත් විසින් නිර්මා­ණය කරන ලද ඉති­හා­සයේ දොර­ගුළු දරු­වන්ට හැර­දීම ජාති­යක අභි­මා­නය වඩ­න්නක් බව තවත් විශිෂ්ට භාර­තීය පුත්‍ර­යෙක් වූ ජව­හ­ර්ලාල් නේරු ද ප්‍රකාශ කර ඇත. මෛත්‍රී ජන­ප­ති­ඳුන් මෙරටේ දරු­වන් දෙස බලන්නේ ද සීතල කරුණා හද­ව­තින් පම­ණක් ම නොව ඊට වඩා ගැඹුරු සමාජ දෘෂ්ටි­ය­කින් ය.

‘‘ඕනෑම රටක අනා­ගත අභි­වෘ­ද්ධිය හා ප්‍රෞඪ­ත්වය රඳා පව­තින්නේ වත්මන් ළමා පර­පුර ලෙස හැදී වැඩෙන අනා­ගත වැඩි­හිටි ප්‍රජාව මත ය. දැනුම කුස­ලතා හා යහ­පත් සාර­ධ­ර්ම­ය­න්ගෙන් සපිරි, වෙනස් වන සමාජ ආර්ථික අව­ශ්‍ය­තා­වන්ට මනා ලෙස ගැළ­පෙන අභි­යෝ­ග­යන්ට සාර්ථ­කව මුහුණ දිය හැකි ඵල­දායී ළමා පර­පු­රක් බිහි­කි­රීම වත්මන් යුගයේ අව­ශ්‍ය­තාව යි.

එහෙ­යින් රජ­යක් වශ­යෙන් හා වැඩි­හි­ටි­යන් ලෙස ළම­යින් හට වඩා සුර­ක්ෂිත හා හිත­කාමී සමාජ පරි­ස­ර­යක් තහ­වුරු කරන යහ­පත් සමා­ජ­යක් නිර්මා­ණය කිරී­මට අධි­ෂ්ඨා­න­යෙන් කැප­විය යුතුව ඇත. මෙවර ‘සුමි­තුරු දැය­කින් - දින­වමු දරු­වන්’ තේමා­වෙන් ලෝක ළමා දින ජාතික සැම­රුම මගින් අප බලා­පො­රොත්තු වන්නේ එවැනි යහ­පත් ඉස­ව්වක් කරා දරු­වන් රැගෙන යෑමයි. ’’

මෛත්‍රී ජන­ප­ති­ඳුන් විසින් අව­ධා­ර­ණය කරන ලද එකදු ලකු­ණක් හෝ අද මෙරටේ ළමා පර­පුර කෙරෙහි අපට දැක­ගත හැකිද? වැඩි­හි­ටි­ය­න්ලෙස අප සතු ඒ සමාජ වග­කීම් ඉටු කර ඇත්තෙ­මුද? දේශ­පා­ලන, සමාජ හා සංස්කෘ­තික වශ­යෙන් වල්මත් වූ යුග­යක හෙම්බත්ව සිටින සමා­ජ­යක දරු­වන්ට තබා වැඩි­හි­ටි­ය­න්ට­වත් රැක­ව­ර­ණ­යක් තිබිය නොහැ­කිය.

දරු­වන් වෙනු­වෙන් ජාත්‍ය­න්තර වශ­යෙන් වෙන්වූ ළමා දින ප්‍රකා­ශ­යට පත්වු­වත්, සමස්ත ලෝක­වාසී දරු­ව­න්ගෙන් වැඩි දෙනෙ­කුගේ ඉර­ණම ශෝකා­න්ත­යක් බව ජාතික ළමා ආර­ක්ෂණ අධි­කා­රියේ සභා­ප­ති­ව­රයා ද පසු­ගිය දිනක පවසා තිබුණි. මේ වන­විට ළමා අප­යෝ­ජන නඩු පම­ණක් 8500ක් පමණ තිබෙන බව අධි­ක­රණ හා බන්ධ­නා­ගාර ප්‍රති­සං­ස්ක­රණ ඇම­ති­ව­රිය ද සඳ­හන් කර­න්නීය. ශ්‍රී ලංකාවේ තිබෙන මේ තතු තවත් බොහෝ රට­ව­ලින් ලබා­ගත හැකිය.

ලෝකයේ ඉහළ ම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය හා නිද­හස ඇතැයි පිළි­ගනු ලබන ඇමෙ­රි­කාවේ ළමා පර­පුර මුහුණ දී සිටින ඉර­ණම දුක්බර කතා­ව­ලින් හා බිහි­සුණු පුව­ත්ව­ලින් යුතු බව රහ­සක් නොවේ. ඇමෙ­රි­කාවේ පාසල් දරු­වන් අතර නොයෙක් ප්‍රචණ්ඩ ක්‍රියා­කා­ර­කම් පවා සිදු වෙයි. ඇමෙ­රි­කාවේ විශිෂ්ට ජනා­ධි­ප­ති­ව­ර­යකු වූ ඒබ්‍ර­හම් ලින්කන්ට අනුව දරුවා යනු මානව වර්ගයා සතු අමිල සම්ප­තකි. අනා­ගත මානව සංහ­තිය නම් අද සිටින දරුවෝ වෙති. සුදු පැහැති කඩ­දා­සි­යක් බඳු ඒ දරු­වාගේ මන­සෙහි පළමු සට­හන තබනු ලබන්නේ මව, පියා සහ සහෝ­දර සහෝ­ද­රි­යන් විසින් බවද ඔහු අව­ධා­ර­ණය කර තිබේ.

ඉන්දි­යාව, බංග්ලා­දේ­ශය, නේපා­ලය වැනි රට­වල දරු­වන් වහල් සේවා­වන් සඳහා යොදා­ගෙන තිබෙන බව කියති. ඉන්දි­යාවේ උත්තර ප්‍රදේ­ශයේ හා නැගෙ­න­හි­රත් ව්‍යාප්තව තිබෙන බුමු­තු­රුණු නිෂ්පා­දන කම්හ­ල්වල නිර්දය ලෙස ළමා ශ්‍රමය සූරා­කන බවට ද චෝදනා නැගෙයි.

විචිත්‍ර රටා­ව­ලින් හා රම­ණීය වර්ණ­ව­ලින් අලං­කාර වූ ඉන්දි­යාවේ බුමු­තු­රුණු මත දෙපා තබන කිසි­ව­කුට එහි සුමුදු පහස විනා ඒවාට යට වූ කඳු­ළත්, ළම­යින්ගේ සිහින් දෑත්ව­ලින් වැටුණු රුධි­ර­යත් පිළි­බඳ බින්දු මාත්‍ර­යක හැඟී­මක් නැති බව ඒ ළම­යින්ගේ ජීවි­ත­යට එබී බැලූ දුක් කවි­යක සට­හන් වී තිබුණි. එසේම අස්වා­මික ලියන් වෙනු­වෙන් නිමැ­වෙන සති පූජා දර­සෑ­යත්, බාල ළමා විවාහ ගැනත් අද ඉන්දි­යාව තුළම සංවා­ද­යක් මතුවී තිබේ.

ශ්‍රී ලංකාවේ ද වැඩි­හි­ටි­යන් මෙන් විවිධ දුෂ්කර සේවා ඉටු කරන ළමා වහ­ලුන් පිළි­බඳ වාර්තා දුලබ නැත. ළමා මෙහෙ­කාර සේවය නිර්බා­ධි­තව සිදු­වෙ­මින් තිබේ. ගේදොර අතු­ප­තු­ගෑම්, වතු ශුද්ධ පවිත්‍ර කිරීම්, බර ඇදීම්, සත්ව ගොවි­ප­ළ­වල හා කර­වල වාඩි­වල දුෂ්කර සේවා ඉටු කිරීම් මෙන්ම කුඩා දරු­වන් බලා­ගැ­නීම් ද ඒ ළමා මෙහෙ­ක­රු­වන්ට අයත් රාජ­කාරි අතර තිබේ. ඇතැම් ස්වාමි­ව­රුන්ගේ හිංසා පීඩා­වට ලක්වන දරු­වන් ගැන වාර්තා නොවන දින­යක් නැති­ත­රම් ය.

ජාතික ළමා ආර­ක්ෂණ අධි­කා­රියේ සභා­ප­ති­ව­රයා විසින් පුව­ත්ප­ත­කට (අරුණ, ඔක්.01) දෙන ලද සම්මුඛ සාක­ච්ඡා­ව­කින් හෙළි කර තිබුණේ මේ රටේ ළමා පර­පුර අද මුහුණ දී සිටින දුක්බර යථා­ර්ථය හා පීඩ­නය පිළි­බඳ සැබෑ චිත්‍ර­ය­කැයි සිතිය හැකිය. ඔහු විසින් කරන ලද බර­ප­තළ අනා­ව­ර­ණ­යක් වූයේ ශ්‍රී ලංකාවේ ගැහැනු දරු­වන් මෙන් දෙගු­ණ­යක් පිරිමි දරු­වන් අප­යෝ­ජ­න­යට ලක්වන බවය.

ලිංගික වශ­යෙන් දරු­වන් ගොදුරු වී සිටින අන­තු­රු­ව­ලට අම­ත­රව දරු­වන් නොස­ලකා හැරීම, අධ්‍යා­ප­නය කඩා­ක­ප්ප­ල්වීම හා මත්කුඩු වැනි විෂ­මා­චා­ර­ව­ලට ගොදුරු වීම ඇතුළු විප­ත්ව­ලට ඇතැම් දරු­වන්ට මුහුණ දීමට සිදුව ඇත. මෛත්‍රී ජන­ප­ති­ඳුන් විසින් පාසල් මට්ට­මින් ක්‍රියා­ත්මක කරන ලද බක්මහ දිවු­රුම වැනි සාධ­නීය වැඩ­ස­ට­හන් අද ක්‍රියා­ත්මක ව තිබේ.

බොහෝ විට ඈත ගම්බද ජන­ජී­වි­තය තුළ දරු­වන් පත්ව සිටින හුදෙ­ක­ලාව ඔවුන්ට විපත් සඳහා අත වනන බව ද සමාජ සමී­ක්ෂ­ණ­ව­ලින් හෙළි වී තිබේ.

දරු­වාගේ පළමු ආර­ක්ෂ­කයා මව හෝ පියා වුවත්, ඈත ගම් දන­ව්වල ඒ වග­කීම ලිහිල් ව තිබේ. ගෙද­රින් පසු දරුවා දිගු කාල­යක් ගෙවන්නේ පාසලේ ය. එහෙත් ඇතැම් පාස­ල්වල දරු­වන්ට ගුරු­ව­ර­යා­ගෙන් ලැබෙන ආද­ර­යක් නැති බව ද කියති. ඒ සමඟ ම ගුරු­ව­රුන්ගේ නරුම දඬු­වම් නිසා ඇට්ටර වන දරු­වන් පිළි­බ­ඳව ද පුවත් වාර්තා වේ. ළඟම පාසල හොඳ ම පාසල යැයි අලං­කාර කිය­මන් ඇසු­ණත් බොහෝ දෙම­ව්පියෝ නරක යැයි හඟ­වන කොළඹ ජන­ප්‍රිය පාස­ල­කට තම දරු­වන් ඇතු­ළත් කර ගැනී­මට අප්‍ර­මාණ දුක් ගනිති.

ශ්‍රී ලංකාව යනු තිස්ව­ස­රක බිහි­සුණු යුද්ධ­යක් සමඟ විනාශ වී ගිය රටකි. දැන් යුද්ධය නිමවී දස­ක­ය­කට ආසන්න කාල­යක් ගත­වු­වද ඒ යුද පීඩ­න­යට ලක්වූ ජන­කො­ට­ස්වල ගැටලු විසඳා නැති බව ද රහ­සක් නොවේ. උතුරේ අහිං­සක දෙමළ ජන­තා­වගේ දරු­වන් බොහෝ දෙනෙ­කුගේ සුන්දර ළමා­විය ප්‍රභා­ක­රන්ගේ ත්‍රස්ත­වා­දය විසින් උදුරා ගනු ලැබුණි.

මේ ළමා සොල්දා­දු­වන් අතර කිසි­දි­නක පාස­ල­කට පා නොතැබූ දරුවෝ ද වෙති. යන්තම් දැළි රැවු­ල­වත් නොවැ­ඩුණු සාමාන්‍ය දෙමළ ජන­තා­වගේ දරු­වන්ට තමන්ට උසු­ලා­ගත නොහැකි ප්‍රමා­ණයේ බර අවි උර­හිස දරා­ගෙන යුද බිමට යෑමට සිදු විය. එහෙත් දෙමළ නාය­ක­යන්ගේ කිසිම දරු­ව­කුට එබඳු අවා­ස­නා­වන්ත ඉර­ණ­මක් අත් නොවූ බව ද සඳ­හන් කළ යුතුය. ළමා­වියේ අවි­හිං­ස­ක­ත්වය වෙනු­වට වෛරයේ ක්‍රෑර­ත්වය හා සාහ­සි­ක­ත්වය රෝප­ණය කළ ප්‍රචණ්ඩ මන­සක් සහිත උතුරේ දරු­වන් වෙනු­වෙන් පුන­රු­ත්ථා­පන වැඩ පිළි­වෙ­ළක් හෝ නිසි පරිදි ක්‍රියා­ත්මක නොවීය.

එහෙත් දෙමළ ජන­තා­වගේ මානව හිමි­කම් ගැන මොර­දෙන කවර හෝ ඇන්ජීඕ නඩ­යක් මේ ළමා හිමි­කම් ගැන කතා කරත්ද? ළමා සොල්දා­දු­වන් පිළි­බඳ කිසිදු තොර­තු­රක් රැස්කර තිබේද යන්නත් අවි­නි­ශ්චිත ය. වැඩි­හි­ටි­යන්ගේ දුෂ්ට අර­මු­ණු­වල ගොදුරු බවට පත්ව යුද බිමෙහි මිය­ගිය දරු­වන් ගැන මෙන්ම අදත් නන්න­ත්තාර වී සිටින උතුරේ ඇතැම් දරු­වන් ගැනද නිසි අව­ධා­න­යක් යොමු වී තිබේද? ලෝකයේ වෙනත් රට­වල දරු­ව­න්ටද එබඳු යුද්ධ වෙනු­වෙන් අසා­ධා­රණ ලෙස දිවි පිදී­මට සිදුවී ඇත.

ඉරා­කයේ පම­ණක් දරුවෝ ලක්ෂ පහ­කට අධි­කව යුද්ධ­යෙන් මිය­ගොස් සිටිති. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ නිල­ධා­රි­නි­යක් වන මැග්ලින් ඕල්බ්‍ර­යිට් මහ­ත්මි­ය­ගෙන් වරක් රූප­වා­හිනී මාධ්‍ය­වේ­දි­යෙකු (සී.බී.ඇස්. රූප­වා­හි­නිය) ඉරා­කයේ දරු­වන් යුද්ධ­යෙන් මිය යෑම ගැන ප්‍රශ්න­යක් අසා තිබුණි.

ඇගේ පිළි­තුර වූයේ එය අසීරු දෙයක් වුවත් එහි වර­දක් නැති බව ය. ශ්‍රී ලංකාවේ මානව හිමි­කම් කඩ­වීම් පිළිබඳ වෙහෙ­සෙන ඇමෙ­රි­කාවේ වැද­ගත් නිල­ධා­රි­නි­යන්ගේ හැසි­රිම් එබඳු ය.

දරු­වන්ගේ හෙට දවස සුර­කින්නේ මේ වර්ගයේ මානව දයා­ව­කින් යුතු කතුන් සමඟ ද?

මේ අතර මෛත්‍රී ජන­ප­ති­ඳුන් විසින් අව­ධා­ර­ණය කරන ලද ප්‍රෞඪ­ත්වය සාර­ධර්ම සපිරි ප්‍රබුද්ධ ළමා පර­පු­රක් බිහි­කි­රීම සඳහා උචිත සමාජ ආර්ථික සැල­සුම් ද රටට අව­ශ්‍යය යන කරුණ ද කිසි­සේත් බැහැර කළ නොහැ­කිය. යහ­පත් සමා­ජ­යක් යනු යහ­පත් සිති­විලි සහිත සමා­ජ­යකි.

ඒ සඳහා ඉති­හා­සය හා සාහිත්‍ය අධ්‍ය­යන කිරී­මට උචිත බුද්ධි­මය අව­කා­ශ­යක් ද තිබිය යුතුය. මෙරටේ බුද්ධි­මය ක්ෂේත්‍ර හැකි­ළෙ­මින් තිබෙන අතර සංස්කෘ­තික දරි­ද්‍ර­තා­වක් ව්‍යාප්ත වෙමින් ඇත. වර­කා­ගොඩ ඥාන­ර­තන අස්ගිරි මහ නාහි­මි­යන් නොබෝ දා මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ද සහ­භා­ගිවූ ශාස්ත්‍රීය හමු­ව­කදී ප්‍රකාශ කර තිබුණේ ද පාසල් දරු­වන්ට ඉති­හා­සය ඉගෙ­නී­මට තිබෙන අවස්ථා පුළුල් කළ යුතු බව ය.

කවර රටක කෙබඳු සමා­ජ­යක වුවද ප්‍රමුඛ හා වටිනා දායා­ද­යක් ලෙස ඒ සමා­ජ­යට අයත් සාහිත්‍ය, කලාව හා ඉති­හා­සය සඳ­හන් කළ හැකිය. එවන් අමිල දායාද නිර්බා­ධි­තව දරු­වන්ට ලබා­ගත හැකි සමාජ දේශ­පා­ලන අව­කා­ශ­යක් හා අධ්‍යා­ප­න­යක් ලබා­දී­මට ද වැඩි­හි­ටියෝ බැඳී සිටිති.

පෙර’පර දෙදි­ගම බොහෝ ලේඛ­ක­යන් විසින් ජාතික අභි­මා­නය, මනු­ෂ්‍ය­ත්වයේ උදා­ර­ත්වය, දේශීය සංස්කෘ­තික උරු­මය ආදිය මාතෘකා කර ගත් නිර්මාණ බිහි­ක­ර­මින් ඒ ජාතික වග­කීම හා අභි­ලා­ෂය ඉටු කරනු ලැබ ඇති බව ද සඳ­හන් කළ යුතුය.

එදා මෙරටේ ළමා පර­පුර සඳහා සාහි­ත්‍ය­යක් ද විය. ටිබැට් ජාතික මහින්ද හිමි, ආනන්ද රාජ­ක­රුණා, කුමා­ර­තුංග මුනි­දාස ආදී වියත්හු ඒ සඳහා කැප වූ අය අතර ප්‍රමු­ඛයෝ ය. ළමා මන­සෙහි සුන්ද­ර­ත්වය පසක් කර­ගත් අගනා නිර්මාණ සමු­ච්ඡ­යක් ඔව්හු ජාතිය සතු කළහ. මහින්ද හිමි­යන්ගේ ප්‍රකට නිර්මාණ වන දරු නැල­විල්ල හෙවත් ජාතික තොටිල්ල අදත් ළමා පර­පු­රට නව­තා­වෙන් යුතුව විඳ ගත හැකි අපූර්ව නිර්මා­ණ­යකි.

 

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොට­සක් රට සමය වෙතේ
පුද නොක­ළොත් උඹෙන් පුතේ
මෙලො­වට කිසි පලක් නැතේ

 

විදු සක්විති ඇදු­රිඳු ගේ
බුත්ස­ර­ණෙහි තිබෙන අගේ
දැන­ගෙන පොඩි පුතා මගේ
වෙන්න උඹත් මතු එ වගේ

 

මහින්ද හිමි­යන්ගේ ළමා කවි මෙන්ම එහි­මි­යන්ගේ නිර්මාණ එන්ජීඕ තරා­දි­ව­ලින් කිරන ව්‍යාජ මානව හිත­වාදී රූකඩ ඒ සිය­ල්ලට ම ජාති වාදී මුද්‍රාව තබා වීසි කිරී­මට ද යෝජනා කරති. එහෙත් එදා වූ ජාතික නිද­හස් සටන වෙනු­වෙන් පෑන මෙහෙය වූ උන්ව­හන්සේ පිළි­බඳ අපගේ කිය­වීම වෙනස් ය. ඒ නිර්මාණ අතර රැඳුණු අගනා සුභා­ෂි­ත­යන් බැහැර කිරී­මට අප රිසි නොවන බව ද සඳ­හන් කළ යුතුය.

විශ්ව කීර්ති­යට පත් රුසි­යාවේ ලෙනින් දරු­වන්ට හොඳ ම දේ දිය යුතු යැයි යෝජනා කර තිබු­ණත් අපේ දරු­වන්ට හොඳම දේ තබා බොහෝ දේ අහි­මිව තිබෙන බව ද අපි දනිමු. මෙරටේ දැරු­වන්ට කිසි­යම් දේශ­පා­ලන වටි­නා­ක­මක් හිමි වූයේ නම් ඇතැම් විට ඔවුන් කෙරෙහි දේශ­පා­ලන අව­ධා­නය යොමු වීමට ද තිබුණා විය හැකිය.

කිසිම දරු­වෙක් තම හිමි­කම් ගැන කතා කරත් ද, තමන්ගේ අයි­තීන් සඳහා වර්ජන තර්ජන කරත් ද? වීදි­ව­ලට බැස ඝෝෂා කරත් ද? ඒ දරු­වන් රැක­බලා ගැනීමේ සමාජ වග­කීම නිතැ­තින්ම මව්පි­යන්ට ම බාර වී තිබේ. සිය දරුවා මවට බරක් නොවු­වද, ඒ දරු­වන් දැඩි කළ නොහැකි මව්ව­රුන් කිරි­කැ­ටි­යන් තුරුලු කර­ගෙන ගංගා­ව­ලට පැන දිවි නසා ගන්නා සංවේදී සිදු­වීම් බොහෝ විට බොහෝ දෙනෙ­කුට හාන්සි­පු­ටු­වල හිඳ කිය­වන පුවත් පම­ණක් වී තිබේ.

මේ අතර පැළ නැති හේනේ අකාල මහ වැහි වැටෙද්දී සිය දරු­වන් තුරුළේ හංගා­ගෙන එක පිම්මේ සිටින මව්වරු ද වෙති. ඈත ගම් දන­ව්වල, ගොවි­බි­ම්වල, වැඩ­බි­ම්වල සිටින බොහෝ අම්ම­ලාට දරු­වන්ට දීමට ඉති­රිව තිබෙන්නේ ද ඒ මව් සෙනෙ­හස පමණි.

අද බොහෝ මධ්‍යම පාන්තික දරු­වන්ගේ ජීවිත කෙරෙහි අය­හ­පත් බල­පෑම් කරන නූතන සන්නි­වේ­ද­නය හා තාක්ෂණ මෙව­ලම් ගැන ද වාර්තා වේ. රූප­වා­හි­නිය අබි­යස සිටින දරු­වන් ගැන ප්‍රවේ­ශම් වන්නැයි අධ්‍යා­පන මනෝ­වි­ද්‍යා­ඥයෝ අව­වාද කරති.

එහෙත් මේ ධන­වාදී පාරි­භෝ­ගික සමා­ජය තුළ බොහෝ දෙම­ව්පියෝ ඒවා බර­ප­තළ කරණු ලෙස නොස­ල­කති. තම පුතා හෝ දිය­ණිය ‘සුපිරි තරු­වක්’ කිරී­මට සිහින දකින මව්පියෝ සුලබ ව සිටිති.

ඇතැම් ‘සුපර් ස්ටාර්’ තර­ග­වල කුඩා දරු­වන් ලවා ගයනා කරනු ලබන ගීත කෙබඳු දැයි නික­ම­ට­වත් සිතා බලන්නෝ වෙත් ද? ශෘංගා­රය, විරහ වේද­නාව ප්‍රේමයේ උම­තුව ළමා මන­සට කොත­රම් ගෝච­ර­දැයි ඒවාට ඔල්ව­ර­සන් දෙන කීදෙ­නෙක් විමසා බලත්ද? ඒ සිල්ලර ජන­ප්‍රි­ය­ත්වය ලුහු­බ­ඳන අම්මලා ගැන අපට ඇත්තේ දුකකි.

කෙසේ හෝ අපගේ දේශ­පා­ලන සංස්කෘ­තිය තුළ මෙන්ම වැඩි­හිටි සමා­ජ­යෙන් ද දරු­වාට ලැබෙන පර­මා­දර්ශ ඉතා අඩු බව කිව යුතුය ‘‘මල්ලි­ටයි මටයි ගෙඩි දෙකක් ඇති - වැඩිය කඩන නරක ළමයි හෙම නොවෙයි මේ අපි’’යි යනු­වෙන් එදා පන්ති කාම­ර­යෙන් ඇසුණු ආද­ර­ණීය ගුරු මවගේ කට­හඬ අද ඇසේ­දැයි නොද­නිමු.

කුම­ක්වු­වත් සියල්ල බදා ගන්නා සමාජ දේශ­පා­ලන සන්ද­ර්භ­යක යස ඉසුරු ලුහු­බ­ඳි­මින් මී පොර­යට වැටී­සි­ටින, දේශ­පා­ලන බල ලෝභය ඉහ­වහා ගිය සමා­ජ­යක දරු­වන්ට ලැබෙන පර­මා­දර්ශ ගැන කතා කිරීම ද නිෂ්ඵල ය.

එහෙත් කායික ව මෙන්ම මාන­සික ව ද පීඩා­වට පත්වන දරු­වන් සිටින කවර රට­කට වුවද හෙටක් ඉතිරි නොවන බව අප ලියා තැබිය යුතුය. වස­ර­කට වරක් එළැ­ඹෙන අන්ත­ර්ජා­තික ළමා දිනයේ දී ළම­යින් ගැන ලියා තිබෙන වග­වා­ස­ගම් දෙඩ­වීම හෝ එක්සත් ජාතීන්ගේ ළමා අයි­ති­වා­සි­කම් පිළි­බඳ ප්‍රඥ­ප්තිය එළි­යට ගැනීම හෝ ළම­යින් උදෙසා කෙරෙන ජාතික මෙහෙ­ව­රක් නොවන බව අමු­තු­වෙන් කිව යුතු නැත.

මෛත්‍රී ජන­ප­ති­ඳුන් විසින් දරු­වන්ගේ අභි­වෘ­ද්ධිය උදෙසා ස්ථාප­නය කරන ලද දරු­වන් සුර­කිමු ළමා අර­මු­දල නොයෙක් හේතු නිසා අස­රණ වී සිටින අපේ දරු­වන්ට හෙට දවස පිළි­බඳ සුබ ආරං­චි­යක් වනු ඇතැයි අපිට හැඟෙන්නේ මේ පසු­බිම තුළ ය.

ලෝක ළමා දිනය වෙනු­වෙන් ජාතියේ දරු­වන්ට පිරි­නැමූ ඒ ත්‍යාග­යට සියලු පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ නොම­සුරු සහ­යෝ­ගය ලබා­ගැ­නීම ද අගය කළ යුතුය.

 

Comments