සීනි - මාගරින් යීස්ට් නැති සිරුරට හිතකර පාන් | Page 2 | සිළුමිණ

සීනි - මාගරින් යීස්ට් නැති සිරුරට හිතකර පාන්

යීස්ට් වෙනුවට කොළ ඇපල්

මාගරින් රත් වුණාම නරකම මේද අම්ලය වන Trans fat හැදෙනවා

බොහෝ දෙනකු පාන් කෑමට පුරුදු ව සිටින්නේ පහසුව නිසාය. අතීතයේදී නගරයට පමණක් සීමා වී තිබුණු පාන්, අද ගමේ සෑම අස්සක් මුල්ලකම දක්නට ලැබේ. එහෙත් පාන් යනු ගුණයක් ඇති ආහාරයක් නොවේ. දියවැඩියාව, අධික ස්ථුලතාව ඇති අයට කිසිසේත් පාන් ආහාරයට ගැනීම සුදුසු නැත. ඇතැම් විට ගැස්ට්‍රික් රෝගයෙන් පෙළෙන අයට පාන් කෑමෙන් පසු රෝගය උත්සන්න වේ. ශරීර සෞඛ්‍යයට හිතකර පාන් නිපදවිය හැකි ආකාරය ගැන සොයා බැලීමේ අදහසක් විපුල් රංජිත්ට ඇති වූයේ එමනිසාය.

විපුල් රංජිත් බේකරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත වීම නිසා ම ඔහුගේ අදහස ක්‍රියාත්මක කිරීම සඳහා සෙමෙන් සෙමෙන් පියවර තැබීමට හැකි විය. ඔහු බේකරි නිෂ්පාදන කටයුතු සඳහා අත්පොත් තැබුවේ ලංකාවේ ප්‍රසිද්ධ බේකරි පාසලකිනි. ඒ කාර්මිකයකු (Bakery and pastry technician) වශයෙන් සේවයට එකතු වීමෙනි. ඉන් අනතුරුව සහය උපදේශකවරයකු වශයෙන් ඔහු ප්‍රීමා සමාගමට බැඳුණේ 2000 වසරේදීය. බේකරි නිෂ්පාදනය ගැන මනා දැනුමක් ලබා ගත් විපුල් රංජිත් 2002 වසරේදී සිංගප්පුරුවට යවනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමටය.

“ඊට පස්සේ මැලේසියාව, ඉන්දියාව, තායිලන්තයට ගිහින් මේ ගැන ඉගෙනගත්තා. බේකරි සහ පේස්ට්‍රි හදන ආකාරය ගැන පුහුණු වුණා. වැඩමුළුවලට සහභාගී වුණා. දැන් මම ප්‍රීමා සමාගමේ බේකරි සහ පේස්ට්‍රි පාසලේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරනවා. කොහොමත් මම පොඩි කාලේ ඉඳලා සුපවේදියකු වෙන්න කැමතියි. ඉවුම් පිහුම්වලට කැමතියි. ඒ නිසා මම ආහාර ගැන අත්හදා බැලීම් කරන්නේ” යනුවෙන් පැවසුවේ විපුල් රංජිත්ය.

ශරීර සෞඛ්‍යයට හිතකර කාබනික පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට අදහස් කළ ඔහු ඒ සඳහා යීස්ට් වෙනුවට භාවිත කළ හැකි ද්‍රව්‍යයක් ගැන සිතන්නට විය. මේදය නැති සීනි නැති පාන් ගෙඩියේ යීස්ට් ක්‍රියාකාරිත්වය ලබා ගත හැක්කේ කෙසේදැයි සිතමින් ඒ ගැන විවිධ පර්යේෂණ සහ අත්හදා බැලීම් කළ ඔහුට අවසානයේදී ඊට විසඳුමක් සොයා ගත හැකි විය. ඒ යීස්ට් වෙනුවට කොළ ඇපල් යොදා සකස් කර ගත් මුහුන්වලින් පාන් සාදා ගැනීමය. මේ සඳහා ඔහු ඇපල් සොයා ගත්තේ ගන්නෝරුවේ පිහිටි කෘෂිකාර්මික මධ්‍යස්ථානයෙනි. විපුල් රංජිත්ට යීස්ට් රහිතව පාන් සාදා ගැනීමට නවසීලන්තයේ සිටින මිතුරකු අදහස් සහ යෝජනා දක්වා තිබුණේ නවසීලන්තයේ 100% ක්ම කාබනික ආහාර අලෙවි කරන නිසාය.

“මම 100% ක් ම කාබනික පාන් හදන්න හිතුවාට එය එහෙම කරන්න බැරි වුණේ කාබනික තිරිඟු පිටි ලංකාවේ අලෙවි නොකරන නිසා. ඒත් මාගරින් සීනි සහ යීස්ට් නැතිව පාන් හදන්න මට පුළුවන් වුණා” යනුවෙන් සඳහන් කළේ විපුල් රංජිත්ය.

රසායනික පොහොර යොදා වගා කරන තිරිඟු වගාවෙන් ලබා ගන්නා තිරිඟු ධාන්‍යවලින් සකස් කරන තිරිඟු පිටි ලංකාවට ලැබෙන්නේ ලෝකයේ බහුජාතික සමාගම්වලිනි. අනෙක තිරිඟු ඇට පිටි බවට පත් කිරීමේදී නිස්සාරණය (Extraction) කෙරේ. එයින් පෝෂණ කොටස් ඉවත් වේ. (එනම් තයමින්, නියැසින්, රයිබොෆ්ලේවින් යන සංඝටකවලින් 60% - 70% ක ප්‍රමාණයක් පිට පොත්තත් එන්ඩොස්පර්මි නම් ඇතුළත කොටසකුත් නිස්සාරණයේදී ඉවත් වන බව අප සිහි තබා ගත යුතුය.)

‍ලෝකයේ තිරිඟු පිටි සමාගම්වලින් අපට කාබනික තිරිඟු පිටි ලබා ගත නොහැකි වී තිබෙන්නේ එබැවිනි. එමෙන්ම පාන්වලට එකතු කරන මාගරින් රත් වීමේදී Trans fat නිපදවේ එයින් බොහෝ රෝග ඇති වේ. එසේම බේකින් පවුඩර් එකතු කිරීමෙන් Hyperosmolar Syndrome නම් රෝගී තත්ත්වය ඇතිවේ. කාබනික පාන් ආහාරයට ගැනීමට අපට ඉඩකඩ ලැබුණොත් රෝග සංකූලතා රැසකින් මිදිය හැකිය. මේ අනුව මාගරින්, සීනි සහ යීස්ට් රහිතව විපුල් රංජිත් නිපද වූ පාන් ගෙඩිය, එහි පළමු පියවර ලෙස සැලකිය හැකිය.

“මම මේ ගැන අවුරුදු 3ක් පරීක්ෂණ කළා. 2016 දී පටන් ගත්තේ. මුලින්ම නම් ගැටලු මතු වුණා. හරියට පිපුණේ නැහැ. පාන් පෙත්තේ මැද ඇලෙන්න වුණා. ඒ අඩුපාඩු හදාගන්න තව කාලයක් ගියා. ප්‍රීමා සමාගමේ රංජන් අමරසිංහ මහත්තයා තමයි මට ගොඩාක් උදව් කළේ. දැන් නම් මම හදන පාන් නියම තත්ත්වයට ඇවිත් තියෙනවා. ප්‍රීමා සමාගමේ කට්ටියක් සතුටු වුණා මම හදපු යීස්ට් නැති පාන් කාලා. මේ විදිහටම ඇපල් මුහුන් යොදලා මම ක්‍රොසොන් පේස්ට්‍රි හැදුවා. හැබැයි මම තවම මගේ නිෂ්පාදන එළියට දාලා නැහැ.” යනුවෙන් විපුල් රංජිත් විස්තර කළේය.

විසි වසරක වෘත්තීය අත්දැකීම් තිබෙන විපුල් රංජිත්ට වරක් සොලමන් දුපතේ සංචාරයකට ඉඩ ප්‍රස්තා ලැබුණේ පෞද්ගලික ආරාධනාවකට අනුවය. එහිදී රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වීමට ඔහුට අවස්ථාව ලැබිණි. එරට පුවත්පතක පවා ඔහු ගැන ලිපියක් පළ වූයේ නව නිපැයුම් සඳහා විවිධ අත්හදා බැලීම් කරන පර්යේෂකයකු ලෙස ඔහුව හඳුන්වමිනි.

මේ වන විට කුරහන්, බතල වැනි දේශීය ආහාර යොදා ගනිමින් පාන්, පේස්ට්‍රි, බිස්කට් නිෂ්පාදනය කිරීමේ වෑයමක ඔහු නිරත වී සිටියි.

මේ සා දුර ගමනක් ඔහු පැමිණියේ මල් ඇතිරූ මාවතක නම් නොවේ. රත්නපුර කලවාන පොතුපිටියට නුදුරු දුෂ්කර ගම්මානයක ඉපදුණු විපුල් රංජිත්ගේ පියා ගොවියෙකි. පවුලේ සහෝදර සහෝදරියන්ගේ බරත් ඔහුගේ බරත් දරාගෙන මවුපියන් කරන ජීවන අරගලය දැක විපුල් 15 වැනි වියේදී ගමෙන් පිටවන්නේ පවුලේ බර සැහැල්ලු කිරීමටය. පිළියන්දල හිතවත් පවුලකගේ සෙවනේ හැදී වැඩුණු විපුල්, සූපවේදය ගැන ඉගෙනීමට යොමු වූයේ එහිදීය. අද වන විට ඔහු එම අංශයෙන් ඉදිරියටම පැමිණ සිටියි. බේකරි නිෂ්පාදන ගැන සිය දහස් ගණනකට උගන්වයි.

 

Comments