ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මිහින්තලය අතිශය වැදගත් වන්නේ බෞද්ධ සංස්කෘතියේ ආරම්භය සනිටුහන් කරන ප්‍රධාන ස්ථානය ලෙස පිළිගත හැකි භෞතික තොරතුරු හා ඓතිහාසික තොරතුරු රාශියක් පුරාද්‍යා හා සාහිත්‍ය මූලාශ්‍රය මඟින් හඳුනාගත හැකි වන බැවිනි. මුහුදු මට්ටමින් මීටර් 300කට වඩා ඉහළ උපරිම උසකින් යුත් ශේෂ කඳු කිහිපයක් වන ඇත් වෙහෙර කන්ද, අම්බස්ථල කන්ද, කණ්ඨක සෑ කන්ද, ආනෛකට්ටි කන්ද, රාජගිරි ලෙන කන්ද ඇසුරු කරගෙන මිහින්තලය ආරාම සංකීර්ණය පිහිටා තිබේ.
මූලාශ්රවල මිස්සක පව්ව, සෑගිරිය, අම්බස්ථලය ආදී විවිධ නම්වලින් හඳුන්වා ඇති මිහින්තලය මිහිඳු මහරහතන් වහන්සේ හා දේවානම්පියතිස්ස රජු මුණගැසී බෞද්ධාගම මෙරට ආරම්භ වීමට මුල් පදනම සැපයූ ස්ථානය ලෙස සැලකේ.
මිහින්තලේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳ විමර්ශනය කිරීමේ දී එම ස්ථානය බෞද්ධාගම ස්ථාපිත වීමට ප්‍රථමව සිට එවක ජීවත් වූ මිනිසුන් මිස්සක පබ්බතය ඇදහීම් සිදු කරන්නට ඇති බව පුර්ව බෞද්ධ සමයේ මෙරට වූ බව පිළිගැනෙන කඳු වන්දනාමාන කිරීම පිළිබඳ වන සඳහන් අනුව මිස්සක පබ්බතය ද එවැනි කටයුතුවලට බද්ධ වන්නට ඇති බව සමහර විද්වතුන්ගේ මතය වී තිබේ. එසේම බුදුරජාණන් වහන්සේගේ තෙ වැනි ලංකාගමනයේ දී උන් වහන්සේ විවේක සුවයෙන් සේල චෛත්‍ය පිහිටි ස්ථානයේ වැඩ සිටි බව සඳහන් වීමෙන් ද බුදුන් වහන්සේ එම ස්ථානයට වැඩම කරන්නට ඇත්තේ ඒ වන විටත් මිහින්තලය ලක්දිව ජනතාව අතර ප්‍රචලිතව තිබූ වැදගත් ස්ථානයක් වූ නිසා බව විශ්වාස කළ හැකිය.
බු.ව 236 දී, එනම් ක්‍රි.පූ 247 දී මහින්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේ මිහින්තලේට වැඩම කරවීමෙන් පසුව එතැන් සිට මිහින්තලේ බුදුදහම සමඟ බද්ධ වූ ක්‍රියාකාරකම් රාශියකට පත් වූ පූජා භූමියක් බවට පත් වී තිබේ. මිහින්තලේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳ විමර්ශනය කිරීමේ දී සාහිත්‍ය මූලාශ්‍රය හා පුරාවිද්‍යා මූලාශ්‍රය අතිශය වැදගත් වේ. මහාවංසයේ සඳහන් වන ආකාරයට මිහින්තලාව චේතියගිරිය වශයෙන් ද මුලින් හඳුන්වා තිබේ. ඒ සඳහා පාදක වී ඇත්තේ මහින්ද මහ රහතන් වහන්සේ සමඟ මෙරටට වැඩම කරන ලද සුමන සාමනේර හිමියන් තුසිත දෙව්ලොව සිළුමිණ සෑයේ සිට වඩම්මවන ලද ධාතූන් වහන්සේ මිශ්‍රක පර්වතයේ එනම් මිහින්තලාවේ වඩාහිඳුවන ලද බැවින් ඒ සමඟම එම ස්ථානය චෛත්‍ය පර්වතය හෙවත් චේතියගිරිය හෙවත් සෑගිරිය ලෙස ව්‍යවහරයට පත් වී තිබේ.
ඒ බව තවදුරටත් තහවුරු වන්නේ දේවානම්පියතිස්ස රජුගේ තිස් හත් වැනි රාජ වර්ෂයේ දී සෑගිරිගල විහාරයේ නවකම් සිදු කරන ලද බව මෙන්ම ඊට පසුව උත්තිය රජුගේ රාජ්‍ය පාලන සමයේ දී මහින්ද මහ රහත් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව උන්වහන්සේගේ ධාතූන් වහන්සේ කොටසක් වැඩමවා සෑගිරියේ සෑයක් බැඳ වූ බව මහාවංසසේ සඳහන් වී ඇති බැවිනි. එසේම මිහින්තලාව සෑගිරිය ලෙස හැඳින්වූ බවට තව දුරටත් තහවුරු වන්නේ එළාර රජු සෑගිරියට ගොස් පැමිණීමේ දී ඔහුගේ රථය දාගැබක වැදී එහි කොටසක් කැඩීගිය බව මහාවංසයේ සදහන් වීම මෙන්ම ලඤජතිස්ස රජු (ක්‍රි.පූ 119-109) සෑගිරි විහාරයේ ඇති කටුසෑයේ ධාතු ගර්භය කරවන ලද බව මෙන්ම කූඨකණ්නතිස්ස රජු ක්‍රි.පූ (41-19) සෑගිරියේ පෙහොයගෙය හා ශිලා ස්තූපය බැඳවීම හා භාතිකාභය රජු (ක්‍රි.පූ 19 ක්‍රි.ව 09) සෑගිරි විහාරයේ භික්‍ෂූන්ට සලාක දානය දුන් බව සඳහන් වීමෙන්ය.
එසේම චීන ජාතික ෆාහියන් භික්‍ෂුව ක්‍රි.ව පස් වැනි සියවසේ ශ්‍රී ලංකාවට පැමිණ සිය දේශාටන වාර්තාවේ දක්වා තිබෙන ආකාරයට අභයගිරි විහාරයෙන් ලී 40ක් නැගෙනහිරින් (සැතපුම් 07) දුරින් කන්දක් මත චේතියගිරි විහාරය නම් විහාරය පිහිටා ඇති බවත්, එහි භික්‍ෂූන් 2000ක් වැඩවාසය කරන බව දක්වා ඇති හෙයින් ද ක්‍රිස්තු වර්ෂ 4 වැනි සියවස වන විටත් මිහින්තලාව සෑගිරිය හෙවත් චේතියගිරිය ලෙස හඳුන්වා ඇති බව පැහැදිලි වේ.
ලෙන් ආරාම හා සෙල් ලිපි
මිහින්තලාව ආරම්භයේ සිට විහාරයක් ලෙස සංවර්ධනය වීමේදී ලෙන් ආරමයක් ලෙස ආරම්භ වී ක්‍රමයෙන් ඓන්ද්‍රීය විහාරයක සිට පධානඝර ආරාමයක් දක්වා විකාශනය වී ඇති ආකාරය හඳුනාගත හැකි ඓතිහාසික හා පුරාවිද්‍යා සාධක බොහොමයක් තිබේ. මිහින්තලේ ආරාම සංකීර්ණය තුළ දැකගත හැකි ආරම්භක වාස්තුවිද්‍යා නිර්මාණ ලෙන් ආරාමයක් මුල් කරගෙන ආරම්භ වූ බවට පුරාවිද්‍යා සාධක බොහොමයක් තිබේ.
මිහින්තලේ දක්නට ලැබෙන පැරණිම වාස්තුවිද්‍යා නිර්මාණ අතරට අටසැට ලෙන් වශයෙන් හඳුන්වන ලෙන් ආරාම අයත් වේ. ආරම්භයේ දී මහින්ද මහ රහත්න් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේ එම ලෙන් හැට අට ඇසුරින් වැඩවාසය කළ බව මහාවංසයේ සඳහන් වී තිබේ. ස්වභාවික ලෙන් පද්ධතියක් මුල් කරගෙන ආරම්භ වූ එම ලෙන් විහාරයේ ඇති ස්වාභාවික ලෙන් සංඝායා වහන්සේගේ වාසස්ථාන ලෙස සැකසීමේ දී කටාරම් සකස් කර වැසි ජලය ගුහාව තුළට පැමිණීම වළක්වා තිබේ. එසේම එම ලෙන් සකස් කර භික්‍ෂු සංඝයා සඳහා පූජා කළ පුද්ගලයාගේ විස්තර ද කටාරයට පහළින් සඳහන් කර තිබේ.
ක්‍රි.පූ 3-2 සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් කොටා ඇති එම ශිලා ලේඛන මඟින් සිව් දිශාවෙන්ම පැමිණෙන සංඝායා සඳහා ඒවා පූජා කර ඇති බව එම අභිලේඛන අධ්‍යයනය කර ඇති දෙස් විදෙස් විද්වතුන් වන පී.ගෝල්ඩ්ස්මිත්, එඩිවඩ් මුලර්, ඩී.එම්.ඩී. ඉසෙඩ් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන, සිරිමල් රණවැල්ල ආදීන් පෙන්වාදී ඇත. ඔවුන් ප්‍රකාශ කර ඇති ආකාරයට එම ලිපි මඟින් එවක සමාජය පිළිබඳ තොරතුරු රාශියක් අනාවරණය කරගත හැකි වී තිබේ. ඒ අතර පුද්ගල නාම, සමාජ කණ්ඩායම්, තනතුරු නාම, සමාජ ස්ථර හා පදවි ආදී තොරතුරු හඳුනාගත හැකි වේ. සෙනරත් පරණවිතාන විසින් රචනා කර ඇති Inscriptions of Ceylon Vol. I ග්‍රන්ථයේ සඳහන් තොරතුරු අනුව මිහින්තලේ ආරාම සංකීර්ණයේ පූර්ව බ්‍රහ්මී හා අපර බ්‍රහ්මී ලෙන් ලිපි 75ක් පමණ පවතින බව වාර්තා කර තිබේ. එම ලෙන් ලිපි මිහින්තලා කන්ද, අනෛයිකුට්ටි කන්ද, රාජගිරි ලෙන කන්ද යන ස්ථානවල ස්ථානගතව ඇත.
පුරාණ සමාජය
මිහින්තලේ දැකිය හැකි සෙල්ලිපි අතර මහරජ, ගපති, උපශික, පරුමක, බත, ගමික, ගමණි, බ්‍රහ්මණ යන පදවි දැරූ පුද්ගලයන් විසින් එම ලෙන් පූජා කර තිබේ. එම පදවිවලින් එවක සමාජය හා එම සමාජයෙන් හඳුනාගත හැකි පන්ති පෙළ ගැස්ම පැහැදිලි වන බව මිහින්තලේ ඇති සෙල්ලිපි මඟින් හඳුනාගත හැකිය. මිහින්තලේ ඇති පූර්ව හා අපර බ්‍රාහ්මී අභිලේඛන අතර රාජකීය පදවිය සහිත මහරජ හෝ රජ පදවිය දැරූ පුද්ගලයන් වේ ඒ අතර අතර මහරජ ගමණි තිස්ස, දෙවනපිය මහරජ, දීපරජ, ගමණි ධම්මරජ, ගමණි උති මහරජ යනුවෙන් සඳහන් වන රජ පදවි දැරූ පුද්ගලයන් එවක රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙමින් මිහින්තලේ සංවර්ධන කටයුතු සඳහා දායකත්වය දක්වා ඇති බව පුරාවිද්‍යා මූලාශ්රයවලින් පැහැදිලි වේ.
මුල් ඓතිහාසික අවධියේ මිහින්තලේ ආරාම සංකිර්ණය සඳහා ලෙන් ප්රදානය කරන ලද ජන කණ්ඩායම් අතර පරුමක ජන කණ්ඩායම ද හඳුනාගත හැකිය. මොවුන්ගේ කාර්යභාරය යථෝක්ත කාල පරිච්ඡේදය තුළ දී කෘෂිකාර්මික කටයුතු, වාණිජ කටයුතු, පාලන කටයුතු හා විවිධ ශිල්ප කටයුතු ඇතුළු විශාල ක්ෂේත්රයක් පුරා විහිදී තිබූ බව පූර්ව හා අපර බ්‍රාහ්මී අභිලේඛන අනුව පැහැදිලි වේ.
පරුමකවරුන් සම්බන්ධ පී.ගෝල්ඩන් ස්මිත් විසින් සිදු කර තිබෙන අධ්‍යයන අනුව පරුමකවරුන් යනු බ්‍රාහ්මණයන් විය හැකි යැයි අදහස් පළ කර ඇත. එච්.සී.පී. බෙල් විසින් පරුමක යනු ප්‍රධාන (Chief) යන අරුත ගැබ් වූ පදවි නාමයක් බව පෙන්වා දී එය සංස්කෘත ප්‍රමුඛ සිංහල පාමොක්, දෙමළපෙරුමකන් යනුවෙන් භාවිත වන බව විග්‍රහ කර තිබේ . පරුමකවරු සම්බන්ධව විග්‍රහ කර ඇති පරණවිතාන ඉන්දීය - ආර්ය පුරෝගාමී පරපුරකට අයත් විශේෂ කණ්ඩායමක් වශයෙන් අර්ථ දක්වා ඇත.
සුදර්ශන් සෙනෙවිරත්නගේ පැහැදිලි කිරීම අනුව ඔවුන් දකුණු ඉන්දීය ජන සම්භවයක් සහිත ජන කණ්ඩායමක් බව පෙන්වාදෙන අතර එම ජන කණ්ඩායමේ මූලය පූර්ව ඓතිහාසික අවධියට (Proto history) සම්බන්ධ වීමට පවතින ඉඩකඩ වැඩි බව ද ප්‍රකාශ කර ඇත. සෙනරත් පරණවිතාන රජ හා මහරජ යන පදවි නාම සමඟ පරුමකවරු සම්බන්ධ කරමින් මපරුමක, මපුරුමුකා , මපුරුමු යන නාම සමඟ පරුමකවරුන්ගේ සම්බන්ධයක් පවතින බව පෙන්වා දී ඇත.
පරුමකවරුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වා ඇති සුදර්ශන් සෙනෙවිරත්න පූර්ව රාජ්‍ය සමයේ දී යුදකාමී වතාවරණයක් සමාජය තුළ ඇති වූයෙන් පරුමකවරුන් සමාජයේ ප්‍රධාන පුද්ගලයන් (Bigman) බවට පත් වන්නට ඇති බව පෙන්වා දෙයි. එහි දී ඔවුන් වංශ කණ්ඩායම් තුළ අධිකාරිත්වයක් පිහිටුවා ගනිමින් ඉතාම සීමිත ප්‍රදේශවල දේශපාලන බලයක් ද අත්පත් කරගෙන සිටින්නට ඇතැයි ප්‍රකාශ කර ඇත. මිහින්තලෙන් හමු වන පරුමක ශිලා ලිපි අතර පරුමක බඩගරික (භාණ්ඩාගාරික), පරුමක චුඩ (මැණික්කරු), ආදි තනතුරු දැරූවන් විසින් ලෙන් පූජා කළ බව හඳුනාගත හැකි බැවින් ඔවුන් එම ප්‍රදේශයේ ආර්ථිකය හැසිර වූ ප්‍රබල ජන කණ්ඩායමක් බව ද පෙන්වාදිය හැකිය.
මිහින්තලේ පුර්ව හා අපර බ්‍රාහ්මී සෙල්ලිපිවල සඳහන් ජන කණ්ඩායම් අතර ගමික හා ගමණි යන ජන කණ්ඩායම් ද මුල් ඓතිහාසික අවධියේ මිහින්තලේ ආරාම සංකීර්ණය ගොඩනැඟීම සඳහා දායකත්වය දක්වා තිබේ. ඔවුන් පරුමකවරුන් මෙන්ම පාලන, වෙළඳ, ශිල්ප හා කර්මාන්ත සම්බන්ධ කටයුතුවල නියැලී ඇති අකාරය පැහැදිලි වේ. ඒ අනුව මුල් ඓතිහාසික අවධියේ දී ආර්ථික හා සමාජ කරුණු රැසක බලපෑම මත මිහින්තලා පුදබිම සංවර්ධනය සඳහා මහරජ, රජ, පරුමක, ගමණි, ගමික, බත, උපශක, ආදී වශයෙන් වන්නා වූ පදවි දැරූ ජන පිරිස් සුවිශාල කාර්යභාර්යක් සිදු කර ඇති බව පූර්ව හා අපර බ්‍රාහ්මී අභිලේඛනවල සඳහන් වන එම පුරාවිද්‍යා සාධක ඇසුරෙන් හඳුනාගත හැකිය.
සෙල් ලිපිවලින් හෙළි වන මිහින්තලේ ආරාම කළමනාකරණය පූර්ව බ්‍රාහ්මී හා අපර බ්‍රාහ්මී ලිපිවලට අමතරව ගිරි ලිපි, ටැම් ලිපි හා පුවරු ලිපි රාශියක් ද මිහින්තලේ තිබෙන අතර ඉන් පුරාණ ආරාම කළමනාකරණයට අදාළ සෙල්ලිපියක් ශ්‍රී සංඝබෝධි අභය රජු (iv වැනි මිහිඳු ක්‍රි.ව. 952-972) රාජ්‍යයත්වයට පැමිණ දස වැනි වසරේ දී පිහිටුවා තිබේ. අභයගිරියෙහි විසූ භික්‍ෂූන් වහන්සේ හා චේතියගිරියේ විසූ භික්‍ෂූන් වහන්සේගේ පොදු එකඟතාව අනුව ගත් තීරණයක් එම සෙල් ලිපිය මඟින් එළි දැක්වෙන අතර ආරාම කළමනාකරණයට අදාළ අතිශය වැදගත් පුරාණ තොරතුරු රාශියක් එම සෙල් ලිපියේ අඩංගු වේ.
විහාර කළමනාකරණය
එම සෙල් ලිපියේ සඳහන් වන කරුණු අතර, විහාරයේ නඩත්තු කටයුතු, භික්‍ෂූන් වහන්සේට දිය යුතු දීමනා , නිලධාරීන්ට දිය යුතු දීමනා , භික්‍ෂූන් වහන්සේ පිළිපැදිය යුතු කරුණු , කාර්මිකයන්ට දිය යුතු දීමනා , විහාරයට අයත් දේපළ, විහාරයට ලැබිය යුතු බදු , වරද කළවුන්ට දඩ ගැසීම හා දඬුවම් , ගිහියන් සඳහා නීති , දේපළ හා අයවැය ලේඛන ගත කිරීම යන ආරාම කළමනාකරණයට යන තොරතුරු අන්තර්ගත වී තිබේ. එසේම එම පුවරු ලිපියේ සඳහන් වන විහාර කළමනාකරණයට අදාළ පුද්ගල නාම අතර සුවිශේෂ තනතුරු රාශියක් ද දක්නට ලැබේ. එම කටයුතු අතර කාර්ය සංවිධායකයා නියම් ජෙටු , උත්සව සංවිධායකයා මඟුල් ජෙටු , විහාර ආරක්ෂකයා වෙහෙර් පිරිවහනුවා, කෝෂ්ඨාගාර ආරක්ෂක කොට රැකිනා, පධානඝරභාර නිලධාරියා පියන්ගල් පෙරෙවැළි, පර්වතයභාර නිලධාරි පවු පෙරෙවැලි , විහාරය සරසන්නා පිරිවනු වත්කැමි, විහාර කාර්මිකයන් වෙහෙර් කැමියන්, ධාතුගෙය භාරකරු - දාගේ අත්සමු, සිත්තර - සිත්තරක්නට්, ධාතුගෙය රකින ප්‍රධානියා - දාගේ රක්නා, කෙරන්ඩි සපයන්නා - පුනා කැමි, ප්‍රතිමාගේ ප්‍රධාන කාර්මික - පිළිමගෙහි කම්තැන්දෙරු, වඩු ආචාර්ය - වඩුමහ අදුර්, කැටයම්කරු - සිර්වඩු, ප්‍රධාන මැණික්කාරක - මිණිර්මහ ඇදුර්, ලීවඩු කටුවඩු - සුනු පුලුස්සන්නා - සුනුබොල්නට් , කරත්තකරු - ගැල්ලන් ,චෛත්‍ය ආරක්ෂක - සෑ ගොවුවන්, දාගැබ් පිරිසුදු කරන්නා - මහවර් කුලි වෙලට්සි, දාන ශාලාවේ මෙහෙකරුවන් -බත්ගෙහි මෙහෙ කරන මිනිසුන්, පොරෝනා හා වසුන් සෝදන්නා - අපුලන රඳවුන් ආදී වූ විශාල පිරිසක් මිහින්තලා ආරාම කළමනාකරණය සඳහා දායකත්ත්වය සපයා ඇති බවත්, විහාර කළමනාකරණ කටයුතු විධිමත්ව සිදු කර ඇති අකාරය එම සෙල්ලිපියේ සඳහන් කරුණු මඟින් මැනවින් හඳුනාගත හැකිය.