සෑ ගිරි අරණේ ලෙන් ලිපි හෙළි කරන පුරාණ ගිහි බොදු සමා­ජයේ රුව ගුණ වරුණ | සිළුමිණ

සෑ ගිරි අරණේ ලෙන් ලිපි හෙළි කරන පුරාණ ගිහි බොදු සමා­ජයේ රුව ගුණ වරුණ

 

ශ්‍රී ලංකාවේ ඉති­හා­සය පිළි­බඳ සාකච්ඡා කිරීමේ දී මිහි­න්ත­ලය අති­ශය වැද­ගත් වන්නේ බෞද්ධ සංස්කෘ­තියේ ආර­ම්භය සනි­ටු­හන් කරන ප්‍රධාන ස්ථානය ලෙස පිළි­ගත හැකි භෞතික තොර­තුරු හා ඓති­හා­සික තොර­තුරු රාශි­යක් පුරාද්‍යා හා සාහිත්‍ය මූලා­ශ්‍රය මඟින් හඳු­නා­ගත හැකි වන බැවිනි. මුහුදු මට්ට­මින් මීටර් 300කට වඩා ඉහළ උප­රිම උස­කින් යුත් ශේෂ කඳු කිහි­ප­යක් වන ඇත් වෙහෙර කන්ද, අම්බ­ස්ථල කන්ද, කණ්ඨක සෑ කන්ද, ආනෛ­කට්ටි කන්ද, රාජ­ගිරි ලෙන කන්ද ඇසුරු කර­ගෙන මිහි­න්ත­ලය ආරාම සංකී­ර්ණය පිහිටා තිබේ.

 

මූලා­ශ්‍ර­වල මිස්සක පව්ව, සෑගි­රිය, අම්බ­ස්ථ­ලය ආදී විවිධ නම්ව­ලින් හඳුන්වා ඇති මිහි­න්ත­ලය මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ හා දේවා­න­ම්පි­ය­තිස්ස රජු මුණ­ගැසී බෞද්ධා­ගම මෙරට ආරම්භ වීමට මුල් පද­නම සැපයූ ස්ථානය ලෙස සැලකේ.

මිහි­න්තලේ ඓති­හා­සික හා පුරා­වි­ද්‍යා­ත්මක වැද­ග­ත්කම පිළි­බඳ විම­ර්ශ­නය කිරීමේ දී එම ස්ථානය බෞද්ධා­ගම ස්ථාපිත වීමට ප්‍රථ­මව සිට එවක ජීවත් වූ මිනි­සුන් මිස්සක පබ්බ­තය ඇද­හීම් සිදු කර­න්නට ඇති බව පුර්ව බෞද්ධ සමයේ මෙරට වූ බව පිළි­ගැ­නෙන කඳු වන්ද­නා­මාන කිරීම පිළි­බඳ වන සඳ­හන් අනුව මිස්සක පබ්බ­තය ද එවැනි කට­යු­තු­ව­ලට බද්ධ වන්නට ඇති බව සම­හර විද්ව­තුන්ගේ මතය වී තිබේ. එසේම බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ තෙ වැනි ලංකා­ග­ම­නයේ දී උන් වහන්සේ විවේක සුව­යෙන් සේල චෛත්‍ය පිහිටි ස්ථානයේ වැඩ සිටි බව සඳ­හන් වීමෙන් ද බුදුන් වහන්සේ එම ස්ථාන­යට වැඩම කර­න්නට ඇත්තේ ඒ වන විටත් මිහි­න්ත­ලය ලක්දිව ජන­තාව අතර ප්‍රච­ලි­තව තිබූ වැද­ගත් ස්ථාන­යක් වූ නිසා බව විශ්වාස කළ හැකිය.

බු.ව 236 දී, එනම් ක්‍රි.පූ 247 දී මහින්ද මහ­ර­හ­තන් වහන්සේ ප්‍රමුඛ ධර්ම­දූ­ත­යන් වහන්සේ මිහි­න්ත­ලේට වැඩම කර­වී­මෙන් පසුව එතැන් සිට මිහි­න්තලේ බුදු­ද­හම සමඟ බද්ධ වූ ක්‍රියා­කා­ර­කම් රාශි­ය­කට පත් වූ පූජා භූමි­යක් බවට පත් වී තිබේ. මිහි­න්තලේ ඓති­හා­සික හා පුරා­වි­ද්‍යා­ත්මක වැද­ග­ත්කම පිළි­බඳ විම­ර්ශ­නය කිරීමේ දී සාහිත්‍ය මූලා­ශ්‍රය හා පුරා­විද්‍යා මූලා­ශ්‍රය අති­ශය වැද­ගත් වේ. මහා­වං­සයේ සඳ­හන් වන ආකා­ර­යට මිහි­න්ත­ලාව චේති­ය­ගි­රිය වශ­යෙන් ද මුලින් හඳුන්වා තිබේ. ඒ සඳහා පාදක වී ඇත්තේ මහින්ද මහ රහ­තන් වහන්සේ සමඟ මෙර­ටට වැඩම කරන ලද සුමන සාම­නේර හිමි­යන් තුසිත දෙව්ලොව සිළු­මිණ සෑයේ සිට වඩ­ම්ම­වන ලද ධාතූන් වහන්සේ මිශ්‍රක පර්ව­තයේ එනම් මිහි­න්ත­ලාවේ වඩා­හි­ඳු­වන ලද බැවින් ඒ සම­ඟම එම ස්ථානය චෛත්‍ය පර්ව­තය හෙවත් චේති­ය­ගි­රිය හෙවත් සෑගි­රිය ලෙස ව්‍යව­හ­ර­යට පත් වී තිබේ.

ඒ බව තව­දු­ර­ටත් තහ­වුරු වන්නේ දේවා­න­ම්පි­ය­තිස්ස රජුගේ තිස් හත් වැනි රාජ වර්ෂයේ දී සෑගි­රි­ගල විහා­රයේ නව­කම් සිදු කරන ලද බව මෙන්ම ඊට පසුව උත්තිය රජුගේ රාජ්‍ය පාලන සමයේ දී මහින්ද මහ රහත් වහන්සේ පිරි­නි­වන් පෑමෙන් අන­තු­රුව උන්ව­හ­න්සේගේ ධාතූන් වහන්සේ කොට­සක් වැඩ­මවා සෑගි­රියේ සෑයක් බැඳ වූ බව මහා­වං­සසේ සඳ­හන් වී ඇති බැවිනි. එසේම මිහි­න්ත­ලාව සෑගි­රිය ලෙස හැඳින්වූ බවට තව දුර­ටත් තහ­වුරු වන්නේ එළාර රජු සෑගි­රි­යට ගොස් පැමි­ණීමේ දී ඔහුගේ රථය දාගැ­බක වැදී එහි කොට­සක් කැඩී­ගිය බව මහා­වං­සයේ සද­හන් වීම මෙන්ම ලඤ­ජ­තිස්ස රජු (ක්‍රි.පූ 119-109) සෑගිරි විහා­රයේ ඇති කටු­සෑයේ ධාතු ගර්භය කර­වන ලද බව මෙන්ම කූඨ­ක­ණ්න­තිස්ස රජු ක්‍රි.පූ (41-19) සෑගි­රියේ පෙහො­ය­ගෙය හා ශිලා ස්තූපය බැඳ­වීම හා භාති­කා­භය රජු (ක්‍රි.පූ 19 ක්‍රි.ව 09) සෑගිරි විහා­රයේ භික්‍ෂූන්ට සලාක දානය දුන් බව සඳ­හන් වීමෙන්ය.

එසේම චීන ජාතික ෆාහි­යන් භික්‍ෂුව ක්‍රි.ව පස් වැනි සිය­වසේ ශ්‍රී ලංකා­වට පැමිණ සිය දේශා­ටන වාර්තාවේ දක්වා තිබෙන ආකා­ර­යට අභ­ය­ගිරි විහා­ර­යෙන් ලී 40ක් නැගෙ­න­හි­රින් (සැත­පුම් 07) දුරින් කන්දක් මත චේති­ය­ගිරි විහා­රය නම් විහා­රය පිහිටා ඇති බවත්, එහි භික්‍ෂූන් 2000ක් වැඩ­වා­සය කරන බව දක්වා ඇති හෙයින් ද ක්‍රිස්තු වර්ෂ 4 වැනි සිය­වස වන විටත් මිහි­න්ත­ලාව සෑගි­රිය හෙවත් චේති­ය­ගි­රිය ලෙස හඳුන්වා ඇති බව පැහැ­දිලි වේ.

 

ලෙන් ආරාම හා සෙල් ලිපි

 

මිහි­න්ත­ලාව ආර­ම්භයේ සිට විහා­ර­යක් ලෙස සංව­ර්ධ­නය වීමේදී ලෙන් ආර­ම­යක් ලෙස ආරම්භ වී ක්‍රම­යෙන් ඓන්ද්‍රීය විහා­ර­යක සිට පධා­න­ඝර ආරා­ම­යක් දක්වා විකා­ශ­නය වී ඇති ආකා­රය හඳු­නා­ගත හැකි ඓති­හා­සික හා පුරා­විද්‍යා සාධක බොහො­ම­යක් තිබේ. මිහි­න්තලේ ආරාම සංකී­ර්ණය තුළ දැක­ගත හැකි ආර­ම්භක වාස්තු­විද්‍යා නිර්මාණ ලෙන් ආරා­ම­යක් මුල් කර­ගෙන ආරම්භ වූ බවට පුරා­විද්‍යා සාධක බොහො­ම­යක් තිබේ.

මිහි­න්තලේ දක්නට ලැබෙන පැර­ණිම වාස්තු­විද්‍යා නිර්මාණ අත­රට අට­සැට ලෙන් වශ­යෙන් හඳු­න්වන ලෙන් ආරාම අයත් වේ. ආර­ම්භයේ දී මහින්ද මහ රහත්න් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේ එම ලෙන් හැට අට ඇසු­රින් වැඩ­වා­සය කළ බව මහා­වං­සයේ සඳ­හන් වී තිබේ. ස්වභා­වික ලෙන් පද්ධ­ති­යක් මුල් කර­ගෙන ආරම්භ වූ එම ලෙන් විහා­රයේ ඇති ස්වාභා­වික ලෙන් සංඝායා වහ­න්සේගේ වාස­ස්ථාන ලෙස සැක­සීමේ දී කටා­රම් සකස් කර වැසි ජලය ගුහාව තුළට පැමි­ණීම වළක්වා තිබේ. එසේම එම ලෙන් සකස් කර භික්‍ෂු සංඝයා සඳහා පූජා කළ පුද්ග­ල­යාගේ විස්තර ද කටා­ර­යට පහ­ළින් සඳ­හන් කර තිබේ.

ක්‍රි.පූ 3-2 සිය­ව­සට අයත් බ්‍රාහ්මී අක්‍ෂ­ර­ව­ලින් කොටා ඇති එම ශිලා ලේඛන මඟින් සිව් දිශා­වෙන්ම පැමි­ණෙන සංඝායා සඳහා ඒවා පූජා කර ඇති බව එම අභි­ලේ­ඛන අධ්‍ය­ය­නය කර ඇති දෙස් විදෙස් විද්ව­තුන් වන පී.ගෝල්ඩ්ස්මිත්, එඩි­වඩ් මුලර්, ඩී.එම්.ඩී. ඉසෙඩ් වික්‍ර­ම­සිංහ, සෙන­රත් පර­ණ­වි­තාන, සිරි­මල් රණ­වැල්ල ආදීන් පෙන්වාදී ඇත. ඔවුන් ප්‍රකාශ කර ඇති ආකා­ර­යට එම ලිපි මඟින් එවක සමා­ජය පිළි­බඳ තොර­තුරු රාශි­යක් අනා­ව­ර­ණය කර­ගත හැකි වී තිබේ. ඒ අතර පුද්ගල නාම, සමාජ කණ්ඩා­යම්, තන­තුරු නාම, සමාජ ස්ථර හා පදවි ආදී තොර­තුරු හඳු­නා­ගත හැකි වේ. සෙන­රත් පර­ණ­වි­තාන විසින් රචනා කර ඇති Inscriptions of Ceylon Vol. I ග්‍රන්ථයේ සඳ­හන් තොර­තුරු අනුව මිහි­න්තලේ ආරාම සංකී­ර්ණයේ පූර්ව බ්‍රහ්මී හා අපර බ්‍රහ්මී ලෙන් ලිපි 75ක් පමණ පව­තින බව වාර්තා කර තිබේ. එම ලෙන් ලිපි මිහි­න්තලා කන්ද, අනෛ­යි­කුට්ටි කන්ද, රාජ­ගිරි ලෙන කන්ද යන ස්ථාන­වල ස්ථාන­ග­තව ඇත.

 

පුරාණ සමාජය

 

මිහි­න්තලේ දැකිය හැකි සෙල්ලිපි අතර මහ­රජ, ගපති, උප­ශික, පරු­මක, බත, ගමික, ගමණි, බ්‍රහ්මණ යන පදවි දැරූ පුද්ග­ල­යන් විසින් එම ලෙන් පූජා කර තිබේ. එම පද­වි­ව­ලින් එවක සමා­ජය හා එම සමා­ජ­යෙන් හඳු­නා­ගත හැකි පන්ති පෙළ ගැස්ම පැහැ­දිලි වන බව මිහි­න්තලේ ඇති සෙල්ලිපි මඟින් හඳු­නා­ගත හැකිය. මිහි­න්තලේ ඇති පූර්ව හා අපර බ්‍රාහ්මී අභි­ලේ­ඛන අතර රාජ­කීය පද­විය සහිත මහ­රජ හෝ රජ පද­විය දැරූ පුද්ග­ල­යන් වේ ඒ අතර අතර මහ­රජ ගමණි තිස්ස, දෙව­න­පිය මහ­රජ, දීප­රජ, ගමණි ධම්ම­රජ, ගමණි උති මහ­රජ යනු­වෙන් සඳ­හන් වන රජ පදවි දැරූ පුද්ග­ල­යන් එවක රාජ්‍ය පාල­න­යට සම්බන්ධ වෙමින් මිහි­න්තලේ සංව­ර්ධන කට­යුතු සඳහා දාය­ක­ත්වය දක්වා ඇති බව පුරා­විද්‍යා මූලා­ශ්‍ර­ය­ව­ලින් පැහැ­දිලි වේ.

මුල් ඓති­හා­සික අව­ධියේ මිහි­න්තලේ ආරාම සංකි­ර්ණය සඳහා ලෙන් ප්‍රදා­නය කරන ලද ජන කණ්ඩා­යම් අතර පරු­මක ජන කණ්ඩා­යම ද හඳු­නා­ගත හැකිය. මොවුන්ගේ කාර්ය­භා­රය යථෝක්ත කාල පරි­ච්ඡේ­දය තුළ දී කෘෂි­කා­ර්මික කට­යුතු, වාණිජ කට­යුතු, පාලන කට­යුතු හා විවිධ ශිල්ප කට­යුතු ඇතුළු විශාල ක්ෂේත්‍ර­යක් පුරා විහිදී තිබූ බව පූර්ව හා අපර බ්‍රාහ්මී අභි­ලේ­ඛන අනුව පැහැ­දිලි වේ.

පරු­ම­ක­ව­රුන් සම්බන්ධ පී.ගෝල්ඩන් ස්මිත් විසින් සිදු කර තිබෙන අධ්‍ය­යන අනුව පරු­ම­ක­ව­රුන් යනු බ්‍රාහ්ම­ණ­යන් විය හැකි යැයි අද­හස් පළ කර ඇත. එච්.සී.පී. බෙල් විසින් පරු­මක යනු ප්‍රධාන (Chief) යන අරුත ගැබ් වූ පදවි නාම­යක් බව පෙන්වා දී එය සංස්කෘත ප්‍රමුඛ සිංහල පාමොක්, දෙම­ළ­පෙ­රු­ම­කන් යනු­වෙන් භාවිත වන බව විග්‍රහ කර තිබේ . පරු­ම­ක­වරු සම්බ­න්ධව විග්‍රහ කර ඇති පර­ණ­වි­තාන ඉන්දීය - ආර්ය පුරෝ­ගාමී පර­පු­ර­කට අයත් විශේෂ කණ්ඩා­ය­මක් වශ­යෙන් අර්ථ දක්වා ඇත.

සුද­ර්ශන් සෙනෙ­වි­ර­ත්නගේ පැහැ­දිලි කිරීම අනුව ඔවුන් දකුණු ඉන්දීය ජන සම්භ­ව­යක් සහිත ජන කණ්ඩා­ය­මක් බව පෙන්වා­දෙන අතර එම ජන කණ්ඩා­යමේ මූලය පූර්ව ඓති­හා­සික අව­ධි­යට (Proto history) සම්බන්ධ වීමට පව­තින ඉඩ­කඩ වැඩි බව ද ප්‍රකාශ කර ඇත. සෙන­රත් පර­ණ­වි­තාන රජ හා මහ­රජ යන පදවි නාම සමඟ පරු­ම­ක­වරු සම්බන්ධ කර­මින් මප­රු­මක, මපු­රු­මුකා , මපු­රුමු යන නාම සමඟ පරු­ම­ක­ව­රුන්ගේ සම්බ­න්ධ­යක් පව­තින බව පෙන්වා දී ඇත.

පරු­ම­ක­ව­රුන්ගේ ක්‍රියා­කා­රි­ත්වය පිළි­බඳ වැඩි­දු­ර­ටත් අද­හස් දක්වා ඇති සුද­ර්ශන් සෙනෙ­වි­රත්න පූර්ව රාජ්‍ය සමයේ දී යුද­කාමී වතා­ව­ර­ණ­යක් සමා­ජය තුළ ඇති වූයෙන් පරු­ම­ක­ව­රුන් සමා­ජයේ ප්‍රධාන පුද්ග­ල­යන් (Bigman) බවට පත් වන්නට ඇති බව පෙන්වා දෙයි. එහි දී ඔවුන් වංශ කණ්ඩා­යම් තුළ අධි­කා­රි­ත්ව­යක් පිහි­ටුවා ගනි­මින් ඉතාම සීමිත ප්‍රදේ­ශ­වල දේශ­පා­ලන බල­යක් ද අත්පත් කර­ගෙන සිටි­න්නට ඇතැයි ප්‍රකාශ කර ඇත. මිහි­න්ත­ලෙන් හමු වන පරු­මක ශිලා ලිපි අතර පරු­මක බඩ­ග­රික (භාණ්ඩා­ගා­රික), පරු­මක චුඩ (මැණි­ක්කරු), ආදි තන­තුරු දැරූ­වන් විසින් ලෙන් පූජා කළ බව හඳු­නා­ගත හැකි බැවින් ඔවුන් එම ප්‍රදේ­ශයේ ආර්ථි­කය හැසිර වූ ප්‍රබල ජන කණ්ඩා­ය­මක් බව ද පෙන්වා­දිය හැකිය.

මිහි­න්තලේ පුර්ව හා අපර බ්‍රාහ්මී සෙල්ලි­පි­වල සඳ­හන් ජන කණ්ඩා­යම් අතර ගමික හා ගමණි යන ජන කණ්ඩා­යම් ද මුල් ඓති­හා­සික අව­ධියේ මිහි­න්තලේ ආරාම සංකී­ර්ණය ගොඩ­නැ­ඟීම සඳහා දාය­ක­ත්වය දක්වා තිබේ. ඔවුන් පරු­ම­ක­ව­රුන් මෙන්ම පාලන, වෙළඳ, ශිල්ප හා කර්මාන්ත සම්බන්ධ කට­යු­තු­වල නියැලී ඇති අකා­රය පැහැ­දිලි වේ. ඒ අනුව මුල් ඓති­හා­සික අව­ධියේ දී ආර්ථික හා සමාජ කරුණු රැසක බල­පෑම මත මිහි­න්තලා පුද­බිම සංව­ර්ධ­නය සඳහා මහ­රජ, රජ, පරු­මක, ගමණි, ගමික, බත, උප­ශක, ආදී වශ­යෙන් වන්නා වූ පදවි දැරූ ජන පිරිස් සුවි­ශාල කාර්ය­භා­ර්යක් සිදු කර ඇති බව පූර්ව හා අපර බ්‍රාහ්මී අභි­ලේ­ඛ­න­වල සඳ­හන් වන එම පුරා­විද්‍යා සාධක ඇසු­රෙන් හඳු­නා­ගත හැකිය.

සෙල් ලිපි­ව­ලින් හෙළි වන මිහි­න්තලේ ආරාම කළ­ම­නා­ක­ර­ණය පූර්ව බ්‍රාහ්මී හා අපර බ්‍රාහ්මී ලිපි­ව­ලට අම­ත­රව ගිරි ලිපි, ටැම් ලිපි හා පුවරු ලිපි රාශි­යක් ද මිහි­න්තලේ තිබෙන අතර ඉන් පුරාණ ආරාම කළ­ම­නා­ක­ර­ණ­යට අදාළ සෙල්ලි­පි­යක් ශ්‍රී සංඝ­බෝධි අභය රජු (iv වැනි මිහිඳු ක්‍රි.ව. 952-972) රාජ්‍ය­ය­ත්ව­යට පැමිණ දස වැනි වසරේ දී පිහි­ටුවා තිබේ. අභ­ය­ගි­රි­යෙහි විසූ භික්‍ෂූන් වහන්සේ හා චේති­ය­ගි­රියේ විසූ භික්‍ෂූන් වහ­න්සේගේ පොදු එක­ඟ­තාව අනුව ගත් තීර­ණ­යක් එම සෙල් ලිපිය මඟින් එළි දැක්වෙන අතර ආරාම කළ­ම­නා­ක­ර­ණ­යට අදාළ අති­ශය වැද­ගත් පුරාණ තොර­තුරු රාශි­යක් එම සෙල් ලිපියේ අඩංගු වේ.

 

විහාර කළමනාකරණය

 

එම සෙල් ලිපියේ සඳ­හන් වන කරුණු අතර, විහා­රයේ නඩත්තු කට­යුතු, භික්‍ෂූන් වහ­න්සේට දිය යුතු දීමනා , නිල­ධා­රීන්ට දිය යුතු දීමනා , භික්‍ෂූන් වහන්සේ පිළි­පැ­දිය යුතු කරුණු , කාර්මි­ක­යන්ට දිය යුතු දීමනා , විහා­ර­යට අයත් දේපළ, විහා­ර­යට ලැබිය යුතු බදු , වරද කළ­වුන්ට දඩ ගැසීම හා දඬු­වම් , ගිහි­යන් සඳහා නීති , දේපළ හා අය­වැය ලේඛන ගත කිරීම යන ආරාම කළ­ම­නා­ක­ර­ණ­යට යන තොර­තුරු අන්ත­ර්ගත වී තිබේ. එසේම එම පුවරු ලිපියේ සඳ­හන් වන විහාර කළ­ම­නා­ක­ර­ණ­යට අදාළ පුද්ගල නාම අතර සුවි­ශේෂ තන­තුරු රාශි­යක් ද දක්නට ලැබේ. එම කට­යුතු අතර කාර්ය සංවි­ධා­ය­කයා නියම් ජෙටු , උත්සව සංවි­ධා­ය­කයා මඟුල් ජෙටු , විහාර ආර­ක්‍ෂ­කයා වෙහෙර් පිරි­ව­හ­නුවා, කෝෂ්ඨා­ගාර ආර­ක්‍ෂක කොට රැකිනා, පධා­න­ඝ­ර­භාර නිල­ධා­රියා පිය­න්ගල් පෙරෙ­වැළි, පර්ව­ත­ය­භාර නිල­ධාරි පවු පෙරෙ­වැලි , විහා­රය සර­සන්නා පිරි­වනු වත්කැමි, විහාර කාර්මි­ක­යන් වෙහෙර් කැමි­යන්, ධාතු­ගෙය භාර­කරු - දාගේ අත්සමු, සිත්තර - සිත්ත­ර­ක්නට්, ධාතු­ගෙය රකින ප්‍රධා­නියා - දාගේ රක්නා, කෙරන්ඩි සප­යන්නා - පුනා කැමි, ප්‍රති­මාගේ ප්‍රධාන කාර්මික - පිළි­ම­ගෙහි කම්තැ­න්දෙරු, වඩු ආචාර්ය - වඩු­මහ අදුර්, කැට­ය­ම්කරු - සිර්වඩු, ප්‍රධාන මැණි­ක්කා­රක - මිණි­ර්මහ ඇදුර්, ලීවඩු කටු­වඩු - සුනු පුලු­ස්සන්නා - සුනු­බො­ල්නට් , කර­ත්ත­කරු - ගැල්ලන් ,චෛත්‍ය ආර­ක්‍ෂක - සෑ ගොවු­වන්, දාගැබ් පිරි­සුදු කරන්නා - මහ­වර් කුලි වෙලට්සි, දාන ශාලාවේ මෙහෙ­ක­රු­වන් -බත්ගෙහි මෙහෙ කරන මිනි­සුන්, පොරෝනා හා වසුන් සෝදන්නා - අපු­ලන රඳ­වුන් ආදී වූ විශාල පිරි­සක් මිහි­න්තලා ආරාම කළ­ම­නා­ක­ර­ණය සඳහා දාය­ක­ත්ත්වය සපයා ඇති බවත්, විහාර කළ­ම­නා­ක­රණ කට­යුතු විධි­මත්ව සිදු කර ඇති අකා­රය එම සෙල්ලි­පියේ සඳ­හන් කරුණු මඟින් මැන­වින් හඳු­නා­ගත හැකිය.

Comments