ගුරු­වරු වර්ජ­නයේ දෙවි­වරු පාසලේ | Page 2 | සිළුමිණ

ගුරු­වරු වර්ජ­නයේ දෙවි­වරු පාසලේ

විවිධ වෘත්තීන් අත­රින් ශ්‍රේෂ්ඨ­තම වෘත්තිය ගුරු වෘත්තිය බව ලොව කාගේත් පිළි­ගැ­නී­මයි. ඒ සියලු වෘත්ති­ක­යන් බිහි­වන්නේ සැබෑ ගුරු­ව­ර­යෙ­කුගේ මග පෙන්වීම මත බැවිනි. ගුරු වෘත්තිය තුළ මානව දයාව, සෙනෙ­හස, ආද­රය, කරු­ණාව වැනි සියලු වේදි­ත­යන් මුසුව පැව­තීම තවත් හේතු­වකි. ‘ගුරු­ව­රයා’ යන්නට විවිධ අර්ථ­ක­ථන දෙන්නේ ද එම වෘත්තියේ ඇති ගරු­ත්වය නිසා ය.

“ගුරු­ව­රයා යනු දරු­වන් යහ­මඟ යැවී­මට දෙව්ලොව සිට මෙලො­වට වැඩි ආශ්ච­ර්ය­වත් පුද්ග­ල­යෙකි” යනු­වෙන් දිනෙක දරු­වෙක් රච­න­ය­කට ලියා තිබුණා මත­කය. ජීවි­තයේ හිනි පෙත්ත­ටම නැඟි බොහෝ උග­තුන් ආපසු හැරී වැඳ නම­ස්කාර කරන්නේ ගුරු­ව­රු­න්ටය. ගුරු­වෘ­ත්තිය එවැනි පූජ­නීය එකකි.

නමුදු එවැනි ප‍ූජ­නීය මිනි­සුන් පසු­ගිය දිනෙක වෘත්තිය අර­ග­ල­ය­කට මැදි­වන්නේ විස­ඳා­ගත යුතු ‍බොහෝ කරුණු කාරණා ඉදි­රි­පත් කර­මිනි‍. පෙර සඳ­හන් කළ පරිදි ඔවුන් සැබෑ ගුරු­වරු නම්, වර්ජ­නය මුවා­වෙන් දරු­වන්ගේ අනා­ග­තය බිලි දෙන්නට ඔවුන් කිසි දිනෙක සූදා­නම් නොවනු ඇත. ගුරු දෙවි­වරු හෘද සාක්ෂි­යට එක­ඟව කිසි දිනෙක වැඩ වර්ජන කර දරු­වන්ගේ වටිනා කාලය අපතේ නොහ­රිනු ඇත. දින­කට අත­පසු වන විනාඩි හත­ළිහේ කාල පරි­ච්ඡේ­ද­යක් පිළි­බ­ඳව සති ගණන් විස්සෝප වන ගුරු­වරු දින 2 ක් වර්ජ­නය කළේ කෙසේ ද? යන්න ලඝු කොට සැල­කිය හැකි නොවේ. මේ වෑයම ඔවුන් ඒ දින දෙක ගත කළ අන්දම සොයා බැලී­මට ය.

“ඉල්ලීම් දිනා­ගන්න වර්ජ­නය කළා තමයි. ඒත් ඒක හිතට එකඟ නෑ. මම උග­න්වන්නෙ සාමාන්‍ය පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය. විභා­ගය අත ළඟ­ටම ඇවි­ල්ලත් මගෙ පංතියෙ තාමත් ඉන්නවා අස­ම­ත්වන මට්ටමේ දරුවො 9 දෙනෙක්. මම වර්ජන දවස් දෙකේ ඒ දරුවො ටික මගෙ ගෙද­රට ගෙන්න ගත්තා. ඉස්කෝලෙ කාල­යට වඩා වැඩි වෙලා­වක් දරුවො එක්ක වැඩ කළා. ඒ දරු­වන්ව ළඟට අරන් බොහොම හොඳින් පාඩම් කියලා දුන්නා. මට දැනුණා දරු­වන්ට වෙන­දට වඩා වැඩි යමක් අව­බෝධ කර­ගත්තා කියලා‍. වෙන­දාට වඩා දරුවො මට ගොඩක් සමීප වුණා” යනු­වෙන් පැව­සුවේ නග­රයේ පාස­ලක ඉගැ­න්වීම් කට­යුතු කරන ගුරු­ව­රි­යකි.

අති දුෂ්කර කලා­ප­යක විදු­හ­ල්ප­ති­ව­ර­යෙක්, අපතේ ගිය කාල­යට සරි­ලන සේ පාසල තුළ නව වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කර ඇති බව පැව­සු­වේය. “හිතට එකඟ නොවු­ණත් අපි හැමෝම වර්ජ­න­යට සහ­භාගි වුණා. ගුරු වෘත්තියේ ඇති වෘත්තීය ගරු­ත්වය ආරක්ෂා කර­ගන්න ඉඩ නොදෙන්නෙ පාල­කයෝ. දින දෙකක ඉගෙ­නීම අඩා­ළ­වීම හරිම කන­ගා­ටු­වක් තමයි. ඒ නිසා මමත්, මගේ ගුරු මණ්ඩ­ල­යත් සාකච්ඡා කරල තීර­ණ­යක් ගත්තා පාසල නිමා­වී­මෙන් පසු පැය භාග­යක විවේක කාල­යක් ලබාදී එතැන් සිට හවස 5.30 වන­තුරු දරු­වන්ට උග­න්වන්න. දෙම­වු­පි­යොත් මේ වැඩේට කැමති වුණා. ඒක සාර්ථක ක්‍රම­යක් වේවි. පසු­ගිය කාලේ රටේ තිබුණ විවිධ ගැටලු සහ­ගත තත්ත්ව­යන් මතත් දරු­වන්ගෙ ඉගෙ­නීම් මඟ හැරුණා. අපි අපට පුළු­වන් දේ දරු­වන් වෙනු­වෙන් කර­නවා.”

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය ඉලක්ක කර­ග­නි­මින්, විවිධ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කෙරෙන අති­දු­ෂ්කර පාස­ලක විදු­හ­ල්ප­ති­ව­රයා පැව­සුවේ මෙවැනි කතා­වකි.

“ඉස්කෝලෙ හතර වටේම අලි වැට. දරුවො උදේට ඉස්කෝලෙ එන්නෙ දහ­සක් දුක් කර­දර මැද. අපේ පාසලේ දරු­වන්ගේ අම්මල බහු­ත­ර­යක් ඉන්නෙ විදෙස් ගත­වෙලා. එහෙව් දරු­වන් නගරෙ වටිනා කියන ඉස්කෝ­ලෙ­කට යව­න්නයි අපි උත්සාහ දරන්නේ. අපේ අර­මුණ ඒක නිසා ‘වර්ජ­නය’ කියන වචනෙ අපි කාට­වත් ඇහුණේ නෑ. දරුවො ශිෂ්‍ය­ත්වය පාස් කරන එක අපිට හරි­යට පිපා­ස­යක් වගේ. ඒ නිසා අපේ පාසලේ ගුරු­ව­රුන්ගෙ පැමි­ණීම සිය­යට සිය­යක් ම පැව­තුණා.”

ගුරු­වරු සංවේ­දිය. ඔවුහු තව­මත් ගුරු­වෘ­ත්තිය දේව­ත්වයේ ලා සල­කති. මේ එවන් ගුරු­ව­රි­ය­කගේ කතා­වකි.

“මම කලින් දවසෙ හිතා­ගත්තා වැඩ වර්ජ­නය කර­න­ව­මයි කියලා‍. මොකද මං බොහොම ආර්ථික පීඩා­ව­ලට මැදි­වුණ ගුරු­ව­රි­යක්. මට ගෙදර දරුවො හතර දෙනෙක් ඉන්නවා. ඉස්කෝල වෙලා­වෙන් පස්සෙ මට කුලී වැඩ කරන්න වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ වැඩ වර්ජ­න­යට මම සහ­භාගි වෙන­ව­මයි කියල හිතා­ගෙන හිටියා. ඒත් මොන කරු­මෙද මන්දා ඒ දවස් දෙකෙත් වෙනද වගේ ම ලෑස්ති වෙලා ඉස්කෝ­ලෙට ආවා. ආවා නෙමේ එවුනා. සුපු­රුදු විදි­හ­ටම ඉගැ­න්නුවා” යනු­වෙන් පව­ස­මින් ඇය කඳුළු පිස දැමුවා ය. ඒ කඳු­ළු­වල බර කිසි­වෙ­කුට මැන බැලිය හැකි නම්...?

කලින් දැනුම් දී තිබූ වැඩ වර්ජ­න­යට සූදා­නම් වූ ආකා­රය තවත් පාස­ලක විදු­හ­ල්ප­ති­ව­ර­යෙක් මෙසේ පැහැ­දිලි කළේ ය.

“ඉල්ලීම් දිනා­ගන්න වර්ජ­නය කළ­යු­තුයි කියන මතයෙ අපි හිටියා. ඒත් දරු­වන්ට හානි­යක් කරන්න අපි කවු­රුත් කැමති වුණේ නෑ‍. ඒ නිසා ගුරු සාක­ච්ඡා­ව­කින් පස්සෙ දින දෙක­ටම ගැළ­පෙන විදි­හට සිය­ලුම විෂ­ය­යන් ඇසු­රෙන් දරු­වන්ට කර­ගෙන ඒමට වැඩ පැව­රී­මක් සිදු කළා‍. දරු­වන් ඉතා ඕනෑ­ක­මින් ඒ වැඩ­වල නිරත වුණ බව අපි පසුව දැන­ගත්තා...” යනු­වෙන් පැව­සුවේ ය.

අඩු පහ­සු­කම් යටතේ පව­ත්වා­ගෙන යන දුෂ්කර පාස­ලක ගුරු­ව­ර­යෙක් මෙසේ පැව­සුවේ ය. “අපි හැමෝම වෙනද වගේ ඉස්කෝලෙ ආවා. දරු­ව­න්ටත් එන්න කීවා. පොත අත්සන් නොකර සුපු­රුදු පරිදි වැඩ කළා. ඒකෙ නීති­මය ගැටලු ඇති... අපි නොදන්න. ඒත් බෙල්ල ගහල ගියත් මේ අහිං­සක දරු­වන්ට පිටු­පාන්න බැරි වුණා. ඒ අතින් අපි හරි දුර්ව­ලයි ද කිය­ලත් හිතෙ­නවා. ගුරු­ව­රයා පැවැ­සුවේ මද­හ­සක් පාමිනි.

“මම උග­න්වන්නෙ 4 ‍ශ්‍රේණියට. වර්ජ­නය දවසෙ උදේ ඇවිත් බලද්දි දරුවො සේරම ඇවිත්. නමුත් මට මේ අර­ග­ලය අත­හ­රින්න හිතු­ණෙත් නෑ.

හරි­යට උණු හින්දා බොන්නත් බෑ... කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ වැඩක් මට වුණේ. එහා පැත්තෙ පන්සල. මං හාමු­දු­රුවො එක්ක කතා කරල දරුවො ටික බණ මඩුවෙ තියා­ගෙන ඉගැ­න්නුවා. මම වර්ජ­න­ය­ටත් සහ­භාගි වුණා. දරු­වන්ට හානි­යක් කළෙත් නෑ. අපිත් මිනි­ස්සුනෙ. කොහො­මද මේ පැට­වුන්ට පිටු­පාන්නෙ” යනු­වෙන් පැව­සුවේ ප්‍රාථ­මික පාස­ලක ගුරු­ව­ර­යෙකි. ඔහු ගව් ගණ­නක් දුර ඈතක සිට දුෂ්කර සේව­යට පැමිණි අයෙකි.

තවත් පාස­ලක විදු­හ­ල්ප­ති­ව­ර­යෙක් පැව­සුවේ මෙවැ­න්නකි.

“අපිට මේ දින­වල වැද­ගත්ම කණ්ඩා­යම සාමාන්‍ය පෙළට මුහු­ණ­දෙන ළමයි. ගුරු­වරු වර්ජ­න­යට සහ­භාගි වුණත් සා‍.පෙළ දරුවො අත හැරියෙ නෑ‍. අපි ඒ දවස් 2 ම හවස 3.30 වන­තුරු ගණිත, විද්‍යා සම්ම­න්ත්‍රණ කළා.”

තවත් අපූරු සිදු­වී­මක් සිදුව තිබුණේ දුෂ්කර පාස­ල­ක­මය. විශ්‍රාම යාමට ආස­න්නයේ පසු­වන විදු­හ­ල්ප­ති­ව­රයා ආවේ­ග­ශී­ලීව කතා කළේ ය.

“මං ඔය වර්ජ­න­ව­ලට විරු­ද්ධයි. මට දැන් අවු­රුදු 60 ට ඔන්න මෙන්න. අපි කව­දා­වත් ඔය ලැජ්ජා නැති වැඩ කළේ නෑ. මගේ ඉස්කෝ­ලෙත් ගුරු­වරු කීප දෙනෙ­කුට උණ හැදුණා. එයාලා සඳුදා ඉස්කෝලෙ ආවම උණ දෙපි­ටින් ගියා” “ඒ ඇයි දැයි‍” විදු­හ­ල්ප­ති­ව­ර­යා­ගෙන් නොඉ­ව­සි­ල්ලෙන් විම­සු­වෙමි.

“මම සඳුදා උදේ වර්ජ­නය කරපු ගුරු­වරු කීප­දෙනා රැස්වීම ඉස්ස­ර­හට ගත්තා. දරුවො ඉස්ස­ර­හම අපතෙ ගිය මිනිස් පැය ගණන ගණන් හැදුවා. ඊට පස්සෙ මම උන්ද­ලට හොඳ­ටම දෙහි කැපුවා. ආයෙ නම් ජීවි­තේට වර්ජ­නය කරන එකක් නෑ. ලුණු ඇඹුල් ඇති­වම කීවා. ගුරු­වරු වුණාම පපුව තෙත වෙන්න එපැයැ” යනු­වෙන් පැව­සුවේ ය. විදු­හ­ල්ප­ති­ව­ර­යාගේ දෝෂා­රෝ­ප­ණ­යට ලක්වූ ගුරු­භ­ව­තු­න්ගෙන් අද­හස් විම­සී­මේදී ඔවුන් පවසා සිටියේ “අපෙ ලොකු සර් ඔහොම තමයි. කියන්න තියෙන දේ මූණ­ටම කිය­නවා. සර් කියන කතාවෙ වර­ද­කුත් නෑ... හැබැයි අපි වර්ජ­නය කරපු එකේ වර­ද­කුත් නෑ. මේවා ඉතිං යම­ලෝ­කෙන් ඇවිත් විස­ඳන්න ඕන නඩු” යනු­වෙන් පැව­සුවේ ය.

සිය­යට සිය­යක් ම සාර්ථක වූ ගුරු වැඩ වර්ජ­නයේ අතුරු කතා එමට ය. ඒ අතුරු කතා­ව­ලින් බිඳකි.ඒ.

Comments