සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳුදාව ලෝක ජනාවාස දිනය ලෙස ප්‍රකාශයට පත් විය. ඒ අනුව 2019 වසරේ ලෝක ජනාවාස දිනය හෙටට (7) යෙදී තිබේ. 1985 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සැසි වාරයේදී සම්මත කරගනු ලැබු 40/202 දරන යෝජනාවට අනුකූලව 1986 වසරේ සිට සෑම අයකුටම වඩාත් යහපත් අනාගතයක් ඇති කර ජීවත් වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟීමට විශ්වීය ජාලයක් ලෙස එක්ව ක්‍රියා කිරීම මෙහි අරමුණයි. කාලයක පටන් විවිධ ව්‍යාපෘති යෝජනාව ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට පුරෝගාමි වු රටක් ලෙස ශ්‍රී ලංකාව, 1986 සිට පසුගිය වසර 32ක කාලපරිච්ඡේදය අතරතුර ලොව සෙසු රටවලට සමගාමිව වඩාත් ඵලදායි වු ජනාවාස දින වැඩපිළිවෙළක් සමඟ ලෝක ජනාවාස දිනය සමරයි.
ජාතියේ නිවාස බැංකුව ලෙස ජනාදරයට පත් ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ (HDFC) දායකත්වයෙන් මෙවරත් ලෝක ජනාවාස දිනය පාදක කරගනිමින් ව්‍යාපෘති රැසක් සංවිධානය කර තිබේ. පාගමන්, ගුවන් විදුලි වැඩසටහන්, රූපවාහිනී වැඩසටහන් මඟින් මේ පිළිබඳ පුළුල් වශයෙන් ජනතාව දැනුවත් කෙරෙන අතර, ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා වැඩමුළු පවත්වමින් පාසල් දරුවන් දැනුවත් කිරීමද සිදු කෙරේ.
සෑම වසරකම ජනාවාස දිනය නිමිත්තෙන් ජගත් සංවිධානය, විශේෂිත තේමාවක් නම් කරන අතර, මෙවර ලෝක ජනාවාස දින තේමාව වනුයේ, ‘නාගරික සභා බල ප්‍රදේශයන්හි ඝන අපද්‍රව්‍ය කළමනාකරණය’ යන්නයි. පසුගිය වසරවලදී මෙන් ජගත් සංවිධානය විසින් ක්‍රියාවට නංවනු ලබන මේ තේමාව ශ්‍රී ලාංකික ජනාවාස සංවර්ධනයට අනුගත කරමින් ජනාවාස දින වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම බෙහෙවින් ඉවහල් වී තිබේ.
ලෝක ජනාවාස දින තේමාවට අනුගතව මෙවර අප රටේ ජනාවාස දින ප්‍රධාන තේමාව වන්නේ ‘නවීන ශිල්ප ක්‍රම ප්‍රවේශයක් කර ගනිමින් අපද්‍රව්‍ය ධනය බවට පත් කිරීම’ය. මේ තේමාව පාදක කරගනිමින් HDFC බැංකුවේ අනුග්‍රාහක දායකත්වයෙන් පසුගියදා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී ‘කැළිකසළ තුළ සැඟවුණු ධනය’ මැයෙන් විද්වත් කතිකාවක් ආරම්භ විය. එහිදී සම්පත් දායකයන් ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මෙන්ම HDFC බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලක්විජය සාගර පලන්සූරිය, කොළඹ මහානගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය අජිත් ද අල්විස් යන මහත්වරු හරවත් දෙසුම් පැවැත්වූහ. විධිමත් කසළ කළමකාකරණය මඟින් ධනය උත්පාදනය කළ හැකි ආකාරය ඉතා මැනැවින් ඔවුන් පෙන්වාදුන් අතර, ඊට ඇති අභියෝග පිළිබඳවද පැහැදිලි කිරීමක් කළේය.
මේ විද්වත් කතිකාවට සවන් දී සිටි නව නිපැයුම්කරුවකු වූ සුසන්ත අමරසිංහ නැඟී සිට අපූරු යෝජනාවක් සභාගත කළේය. “ඔය කුණු අරෙහේ මෙහේ ගෙනියන්න ගිහින් ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය නැහැ. කුණු වෙන් කිරීම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බව මේ විද්වත් මණ්ඩලයේ කතාවලින් කිය වුණා. මට ඒකත් ප්‍රශ්නයක් නැහැ. මං ළඟ ඔය කුණු ප්‍රශ්නයට හොඳ සහ නිශ්චිත විසඳුමක් තිබෙනවා. මට අවශ්‍ය කොළඹට ආසන්න ප්‍රදේශයකින් අක්කරයක පමණ භූමි භාගයක් හා අවශ්‍ය උපකරණ සකස් කරගැනීමට යන සුළු මූල්‍ය දායකත්වයක් පමණයි. මට පුළුවන් මේ කුණු අලංකාර ගල් බවට පත් කරන්න; ඉන් හොඳ ආදායමක් උත්පාදනය කරන්න. පාරට තාර දාන කොට ඉවත් වන තාර, ටයිල්, සීට්, වීදුරු කටු ආදි වෙන් කළ නොහැකි ඝන අපද්‍රව්‍ය විතරක් නොවෙයි; වින්ඩ්ස්ක්රීන්වලින් වුණත් මට ගල් හදන්න පුළුවන්. වින්ඩ්ස්ක්‍රීන් කුඩු වුණාම මොකක්ද කරන්න ඕන කියල ඒවා නිෂ්පාදනය කරන රටවලටත් අදහසක් නැහැ. ඒත් මේ ඕනෑ දේකින් මට ගල් හදන්න පුළුවන්. ඔය කුණු කන්දම මට දෙන්න,” යැයි පවසමින් ඔහු විසින් සෑදූ ගල් සභාවට පෙන්වීය. එය සිත් ගන්නාසුලු විය. විද්වත් මණ්ඩලයද ඒ පිළිබඳ සිය සැලකිල්ල යොමු කළ අතර, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති, HDFC බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලක්විජය සාගර පලන්සූරිය සිය අදහස දක්වමින් කියා සිටියේ ඉදිරියේදී ඔහු විසින් නිපදවන ගල් ඉදිකිරීම් ක්ෂේත්රයට යොදාගත හැකි ආකාරය කෙරෙහි අවධානය යොමු කරන බවයි.