ඇවිළුණු ගිනි නිවී යද්දි ජටිල දමනයට ගුරුකන්දට වඩින අලුත් නායක හාමුදුරුවෝ | සිළුමිණ

ඇවිළුණු ගිනි නිවී යද්දි ජටිල දමනයට ගුරුකන්දට වඩින අලුත් නායක හාමුදුරුවෝ

* මම වස් සමා­දාන් වුණෙත් ගුරු­කන්ද විහා­රයේ මේ ආර­වුල නීත්‍ය­නූ­කූ­ලව විසඳාගත යුතුයි


* විහා­රා­ධි­කාරී වශ­යෙන් අවස්ථා ගණ­නා­ව­ක­දීම ගුරු­කන්දේ වැඩ වාසය කළා

 

ගුරුකන්ද විහාරය ගැන මුලින්ම කතාබහට ලක්වූයේ එහි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අපවත්වීමත් සමඟය. උන්වහන්සේගේ අපවත්වීම සමඟ පැනනැඟුණු සිද්ධිදාමයම දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව සමාජයේත් දැඩි කතාබහට ලක්වූයේ ජාතිවාදී හැඟීම් රැසක් මතු කරමිණි. ගුරුකන්ද මුල්කර ගනිමින් මතුවූ ඒ කතාබහ නිවී යමින් පවතින මොහොතක මේ විහාරස්ථානයේ නව විහාරාධිපති හිමියන් වශයෙන් මිහිඳුපුර රතනදේවකිත්ති ස්වාමීන් වහන්සේ නම් කරනු ලැබූයේ පසුගිය සැප්තැම්බර් 28 වෙනිදාය. මේ විහාරස්ථානය රටේ වෙනත් පළාතක බෞද්ධ විහාරස්ථානයක් මෙන් නොව මහා අර්බූද රැසක් නිර්මාණය වූ සිද්ධස්ථානයකි.

බුදුරජාණන් වහන්සේ ජටිලයන් දමනය කරමින් ගිනිහල් ගෙයි වැඩ සිටියාක් මෙන් රතනදේවකිත්ති හිමියන්ටද ගුරුකන්දේ කටයුතු කිරීමට සිදුවන්නේ එලෙසිනි. ගුරුකන්ද විහාරස්ථානයට අලුතෙන් පත් වූ විහාරාධිපති හිමියන් තවමත් විහාරස්ථානයට පැමිණ නොමැත. උන්වහන්සේ බැහැ දැකීමට විහාරස්ථානයට ගිය අපට දැක ගැනීමට ලැබුණේ දැඩි පාළු ස්වභාවයකි. ඉදිරි අභියෝග ගැන පවසන්නට දුරකතනයෙන් උන්වහන්ගේ සිළුමිණ පුවත්පත සමඟ විශේෂ සාකච්ඡාවකට සම්බන්ධ වූයේ මේ ආකාරයෙනි.

'මුලින්ම මේ විහාරස්ථානය සම්බන්ධයෙන් මතු වී තිබෙන ආරවුල නීත්‍යනුකූලව විසඳා ගන්නට අවශ්‍ය වෙනවා. නායක හාමුදුරුවන් ඒ වෙනුවෙන් නඩු කිව්වා. අපේ ප්‍රබල දායක සභාවක් තියනවා. ඒ දායක සභාවේ මූලිකත්වයෙන් යළිත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් මේ ගුරුකන්ද විහාරස්ථානයේ අයිතිය පිළිබඳ නීත්‍යනූකූල අවසරයක් ගන්න අවශ්‍යයි. මේ ස්ථානයේ තිබෙන පුරාවස්තු ගැන සලකලා බලන කොට මේ ගුරුකන්ද විහාරස්ථානය පිහිටි ස්ථානය ඉතාම දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන ස්ථානයක්. නමුත් නායාරූ නීරාවිඅඩි ප්‍රදේශයේ සිටින හින්දු ජනතාව ඒක පිළිගන්නේ නැහැ. ඔවුන් දෙමළ දේශපාලනඥයන්ගේ උසි ගැන්වීම මත මේ ස්ථානයට අයිතිවාසිකම් කියනවා.’’

බෞද්ධ වෙහෙර විහාරස්ථානවල පවතින ක්‍රමයට අනුව එක් විහාරස්ථානයක අයිතිය තවත් භික්ෂූන් වහන්සේ නමකට හෝ පාර්ශ්වයකට හිමිවන්නේ ඒ විහාර පරම්පරාවේ ආගත පටිපාටියකට අනුවය. පෞද්ගලික නමින් ඇති බෞද්ධ විහාරස්ථානද මේ රටේ දක්නට ඇතත් විශේෂයෙන්ම ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන වල අයිතිය පැවරෙන්නේ විහාර පරම්පරාවෙන් පරම්පරාවටය.

“මේ විහාරස්ථානය අයත් වන්නේ සේරුවිල පරම්පරාවටයි. මේ පරම්පරාවේ භික්ෂුවක් හැටියට මම අවස්ථා ගණනාවක්ම ඔය ගුරුකන්ද විහාරස්ථානයට වැඩම කරලා ඒ විහාරස්ථානයේ විහාරාධිකාරී වශයෙන් කටයුතු කරලා තිබෙනවා. මේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වශයෙන් වැඩ වාසය කරලා අපවත් වුණු මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවන්ට ශිෂ්‍යයින් හිටියේ නැහැ.

උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන් වහන්සේ තමයි කොටපොළ අමරකිත්ති හාමුදුරුවෝ.

අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණ වංශික විධායක සංඝ සභාව රැස් වූ වෙලාවේ ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වශයෙන් මාව පත් කරගෙන තිබෙනවා. මම මේ සැරේ වස් සමාදන් වී සිටින්නෙත් මේ ගුරුකන්ද විහාරස්ථානයෙයි. දැනට මම වසර පහක් තිස්සේ ත්‍රිකුණාමලය සේරුනුවර සෝමපුර ආදර්ශ විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කරනවා.

ගුරුකන්ද විහාරස්ථානයේ පදිංචි වෙලා ඒ කටයුතු කරගෙන යන්නයි හිතාගෙනයි ඉන්නේ. දැනට මම ගුරුකන්ද විහාරයට සති අන්තයේ වඩිනවා. මගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනමක් ඒ පන්සලේ නවත්වලා ආගමික කටයුතු කරගෙන යෑම තමයි දැනට සිද්ධ වෙන්නේ.’’

මිහිඳුපුර රතනදේවකිත්ති හිමියන්ගේ උපන් ගම ත්‍රිකුණාමලය මිහිඳුපුර ගම්මානයයි. එම ගම්මානයේ ඩී.කේ.එම්.කරුණාදාස මහතා සහ කරුණාවතී දළුවත්ත මහත්මිය උන්වහන්සේගේ ගිහිකල මවුපියෝය.

උන්වහන්සේ 1981 නොවැම්බර් මාසේ තුන් වැනිදා පැවිදි වී 1983 දී උපසම්පදාව ලැබුවේ අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණවංශික පරම්පරාවෙනුයි.

මිහිඳුපුර රතනදේවකිත්ති හිමියෝ උතුරේ මෙන්ම නැගෙනහිර පළාතේද දෙමළ වැසියන් සමඟ ආශ්‍රය නිශ්‍රය කොට ඔවුන් පිළිබඳවත් ඔවුන් ගේ සංස්කෘතිය පිළිබඳවත් මනා වැටහීමකින් යුතුව සිටි භික්ෂූන් වහන්සේ නමකි.

ගුරුකන්දේ නායක හිමියන්ගේ ආදාහනය දා ඔවුන්ගේ ගෝත්‍රිකභාවය ඉතා මැනවින් ඉස්මතු වී පෙනුණේය. මේ නිසාම දැන් ගුරුකන්දට වැඩම කෙරෙන අභිනව විහාරාධීපති හිමියන්ට මේ රටේ බෞද්ධයින්ගේ පූර්ණ සහයෝගය අවශ්‍යව තිබේ.

Comments