මානව ශක්තිය නාද රටා හා මුසු කරන හදසරණී | සිළුමිණ

මානව ශක්තිය නාද රටා හා මුසු කරන හදසරණී

මානව ශක්තිය පිළිබඳ ව ලොව පුරා රටවල් 76 ක විද්වතුන් පිරිසකට හඳුන්වා දුන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන ඒ සංකල්පයේ ම දිගුවක් ලෙස අද (6) සවස 6.30ට ගාල්ල කරාපිටිය වෛද්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී 'හදසරණී' නමින් වෙනස් ආකාරයේ ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වෙයි. විශාරද ජනනාත් වරකාගොඩ සහ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන එක්ව පවත්වන මේ අපූර්ව ප්‍රසංගයේදී මිනිසුන් ලෙස අප සතු ශක්තිය හඳුනා ගැනීමත් එමඟින් සතුට, ආදරය, ධනය වර්ධනය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ හඳුන්වා දීමත් අපේක්ෂා කෙරේ. විද්‍යාව සහ කලාව එක්වන මේ අපූර්ව හෝරා කිහිපය ජීවත්වන නමුත් ජීවත් වන බව නොදන්නා නිද්‍රාශීලී ජනතාවට තම ශක්තිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වනු ඇත. විශාරද ජනනාත් වරකාගොඩ මේ ප්‍රසංගය හා සහයෝගී වන්නේ ශබ්දය, කම්පනය, නාද රටා ආදියෙහි වන විශේෂ කෞෂල්‍ය ඔස්සේ මේ අරමුණ වඩාත් සාක්ෂාත් කර ගැනීමට පිටුබලයක් වෙමිනි. මේ ප්‍රසංගයට සහභාගී වන වින්දිතයනට අපූර්ව අත්දැකීමක් ලබා දීමට ද මෙය සංවිධානය කරනු ලබන ගාල්ල, ටොස්ටිස් මාස්ටර්ස් සංවිධානය සහ දිවයින පුරා පිහිටා තිබෙන ටොස්ටිස් මාස්ටර්ස් සංවිිධාන එකතුව කටයුතු සම්පාදනය කර තිබේ. ඒ සිය ජීවිත කාලය පුරාම තම මිනිස් ශක්තිය වින්දනාත්මකව ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳ ව ක්‍රමවේදයක් හඳුන්වා දීමයි.

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන පවසන ආකාරයට ඕනෑම ප්‍රශ්නයකට පිළිතුර තිබෙන්නේ තමා වෙතම ය. තමා වෙතින් ම තම ප්‍රශ්න සඳහා විසඳුම් සොයා ගැනීමේ ක්‍රමවේදය සකස් කර ගන්නා පුද්ගලයාට නිවැරදි තීරණ ගැනීම හා ප්‍රශ්න විසඳීමේ ශක්තියෙන් තම ජීවිතය නිවැරදි දිශානතියට යොමු කිරීමේ හැකියාව ලැබේ. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන දීර්ඝ කාලයක් තිස්සේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාත් දුප්පතාගේ සිට ධනවතා දක්වාත් මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ ව හා ඒවා විසඳන ආකාරය පිළිබඳ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල මේ 'හදසරණී' ප්‍රසංගය ඔස්සේ ඔබට ලබා දීමට උත්සාහ කරයි. විශාරද ජනනාත් වරකාගොඩ සමඟ එක්ව ඔබේ ශක්තිය ඔබට ම වටහා ගැන්මට පාර කියන මේ අපූර්ව ප්‍රසංගයට සහභාගී වන ලෙස වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන ඔබ සැමට ආරාධනා කර සිටී‍.

 

Comments