මගේ පවුලම සංගීත පවුලක් | සිළුමිණ

මගේ පවුලම සංගීත පවුලක්

පෙම් කළ වරදට මට වදදෙන්නෙ ගීතයට තිබෙන ජනප්‍රියත්වය පුදුමාකාරයි

හොඳ  ගීත ගයන්නට  ලැබීම මගේ  වාසනාවක්..

 

මගේ නීල නෙතු සඟළින්

මොනවද ඔබ ඉල්ලන්නේ

නළලේ කුංකුම තිලකය

ඔබට නේද අමතන්නේ

 

ඈ ගැයූ ගීත එදා මෙන්ම අදට ද එක සේ ජනප්‍රියව පවතී. පෙම් කළ වරදට, නීලවර්ණ නීල කොබෙයියෝ, මොනාලිසා,

නොතැවෙන් සූරියකාන්තා වැනි ගීත සියගණනක් සියුම් ළගන්නා මියුරු ස්වරයෙන් ගයන්නී, ඈ නමින් ඉන්ද්‍රාණී බෝගොඩ නම් වෙයි. දිගු කලක් පුරා බොහොම නිහඬ ගමනක යෙදෙන ඇය සමඟ ‘රසඳුන‘

කළ සංවාදයයි මේ.

 ඔබේ අලුත්ම තොරතුරු මොනවාද?

 

සුපුරුදු ලෙස සංගීත කටයුතු කරනවා. මම ගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සංගීත ප්‍රසංගයක් සඳහා සහභාගී වුණා. ඒ ජනප්‍රිය ගායක ක්‍රිෂාන්ත එරන්දකත් සමඟ. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් බොහොම සාර්ථකව පැවැතුණා. ලංකාවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමය මගින් 10 වැනි වතාවට තමයි එය පැවැත්වූයේ. ආර්ථික අපහසුතා තිබෙන, විශ්ව විද්‍යාල දරුවන්ට උපකාර කිරීම තමයි ඒ අයගේ අරමුණ. ලංකාවේ උපන් බුද්ධිමත් පිරිසක් වන එහි සභාපති රන්ජිත් ඉහලනායක, ප්‍රසන්න පෙරේරා, ජයමිණි කාරියවසම්,ප්‍රශාන්ත අලහකෝන්, ප්‍රියතිලක සිල්වා යන මහත්ම මහත්මීන් එයට මූලිකත්වය ගෙන කටයුතු කළා. එහි වෙසෙන ඉන්ද්‍රජිත් මිරිහාන තමයි එහි සංගීතය සැපයුවේ.

 

මෑතකදී ඔබ නව නිර්මාණ කිසිවක් කළේ නැතිද?

 

පසුගිය කාලයේ නව නිර්මාණ හතක් පමණ මා කළා. ජානක ලියනාරච්චි ලියූ යසෝදරා ගීතය, දයානන්ද සෙනරත් ලියූ ගීතයකුත් ඒ අතර වෙනවා. රන්ජිත් කෝනාර ලියූ රතුම රතු රත්මල ගීතය ඒ අතරින් විශේෂිතයි. මොකද එය නිර්මාණය වුණේ ඇහැලේපොල කුමාරිහාමිගේ සිතුවිලි ආශ්‍රයෙන්. මගේ අයියා චන්ද්‍රදාස බෝගොඩ වගේම කලනි පෙරේරා ඒ ගීත සංගීතවත් කළා.

ඒ ගීත ඇතැම් නාළිකාවල ප්‍රචාරය වෙනවා. නමුත් බොහෝ විට ප්‍රචාරය වෙන්නේ මගේ පැරණි ගීත.ඒත් ඉන් පසුකාලෙක ස්වර්ණ ගුණවර්ධන ලියූ විදුලි එළිය දැක කියන ගීතයත් හරිම ජනප්‍රිය වුණා.

 

ඔබේ ගීත අතරින් වඩාත් ජනප්‍රිය වුණේ ‘මගේ නීල නෙතු සඟළින්‘ ගීතයයි?

 

ඔව්, ගුවන් විදුලිෙය් සරල ගීත වැඩසටහනකට තමයි ඒ ගීතය නිර්මාණය වුණේ. ප්‍රවීණ ගීත රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස් මහතා වගේම මගේ අයියත් ගුවන් විදුලි සංස්ථාවේ එකට වැඩ කළා. ඔහු රචනා කළ ගීයක් මා ලවා ගායනා කරවන්න කියලා අපේ අයියාට දීලා තිබුණා. ඉතින් අයියා එය මා ලවා වැඩසටහනට ගායනා කෙරෙව්වා. ඩෝල්ටන් අල්විස් මහතා ගීතය අහලා හරියට සතුටු වුණා. ඒ වගේම ගීතයත් පුදුම විදිහට ජනප්‍රිය වුණා.

 

පෙම් කළ වරදට මට වද දෙන්නේ ගීතය ඔබේ අත්දැකීමක් වන්නට ඇති?

 

ඇත්තටම ඒ කාලේ බොහෝ අය එහෙම හිතුවා. දයා ද අල්විස් මහත්මිය එය ලිව්වේ. එයාගේ යාළුවෙකුට සිදුවුණු සත්‍යය සිදුවීමක් ඇසුරින්. එයාගේ යාළුවාෙග් ප්‍රේම සම්බන්ධයකට ගෙදර අයියලාගේ විරුද්ධ වීමක් ගැන තමයි එහි තිබුණේ. ඒ ගීතය ඇත්තටම මගේ ගායන දිවියේත් සන්ධිස්ථානයක් වුණා. හැම ප්‍රසංගයකටම ගියොත් ඒ ගීතය ගයන්න විශේෂ ඉල්ලීම් ලැබෙනවා. දයා අක්කා ඉන් පසු මට මා හිස පිරිමැද, සූරියකාන්තා වගේ ගීතත් රචනා කරලා දුන්නා.

 

රසිකයන්ගෙන් ඒ කාලෙ ලැබුණු ප්‍රතිචාර ගැන සිහිපත් කළොත්?

 

හරියට රසික ප්‍රතිචාර ලැබුණා. මුල් කාලෙ මට හරියට ලියුම් එනවා රසිකයන්ගෙන්. පුළුවන් විදිහට ඒවාට උත්තර ලියනවා.

 

ප්‍රේමාරාධනා පවා ඒ අතර තිබුණාද?

 

ඔව්. එහෙම ඒවාත් තිබුණා. නමුත් මම හැදුණේ වැඩුනේ අයියලාගෙ සෙවණේ නිසා නිතරම ඒ අයගෙ අාරක්ෂාව, සොයා බැලීම තිබුණා. කිසිම වැරැද්දක් කරන්න මට ඉඩක් තිබුණේ නැහැ. කොහොමත් මං ඒ කාලෙ ඉඳලා යම් පිළිවෙළකට තමයි හැදුණේ.

 

ඔබ වැන්නන් එදා ගැයූ ගීත අදටත් ජනප්‍රියව පවතින්න හේතුව කුමක්ද?

 

එදා අපිට ගීතයක් ප්‍රචාරය කරවාගන්න තිබුණේ ගුවන් විදුලිය විතරයි. එයින් ගීතයක් ප්‍රචාරය කරවාගන්න ලෙහෙසි වුණේ නැහැ. ගීතයක හැම අංශයක් ගැනම පරීක්ෂා කරනවා. හැම කෙනෙකුම මුදලට වඩා නිර්මාණයට මුල් තැන දුන්නා. ඒ නිසා ඒවා අදටත් පවතිනවා. අනික අපිට වාසනාව ලැබුණා ඒ කාලෙදි හිටපු දැවැන්තයන් ඇසුරේ නිර්මාණ කරන්න. ඒ අයගෙන් නිසි මග පෙන්වීමක් අපට ලැබීමත් එයට හේතුවක් වුණා.

 

ඔබේ ජනප්‍රිය ගීත රැසකම සංගීතය නිර්මාණය වුණේ ඔබේම අයියා අතින්?

 

ඔව්. මගේ ගීත සියයට අසූවක් පමණ මගේ අයියා චිශාරද චන්ද්‍රදාස බෝගොඩ අතින් නිර්මාණය වුණා. අපේ පවුලම සංගීත පවුලක්. රන්ජිත් බෝගොඩ අයියත් ගුවන් විදුලියේම තබ්ලා වාදකයෙක් විදිහට කටයුතු කළා. මගේ නංගී සංගීත ගුරුවරියක්. එයාටත් ගීත ගයන්න පුළුවන්.

 

ඔබේ දරුවන් සංගීතයට යොමු වුණේ නැතිද?

 

මගේ දුව දිනිති දැනටත් ගීත ගයනවා. ඇය ස්වතන්ත්‍ර ගීත කිහිපයක් නිර්මාණය කරලා තිබෙනවා. මා සමඟ සමහර වැඩ සටහන්වල ගීත ගයනවා. පුතා දර්ශන ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරු රැකියාවක් කරන නිසා එයා සංගීතයෙන් ඈත් වෙලා.

 

ගායිකාවක ලෙස මෙතෙක් ආ දුර ගැන ඔබ ඉන්නේ තෘප්තියකින් ද?

 

අපොයි ඔව්. මං හරිම තෘප්තිමත් ගමනක් ආවේ... මගේ මහත්තයා ධර්මදාස පරණගම අදත් මට ගීත ලියනවා. ඔහුත් රූපවාහිනී සංස්ථාවේ පර්යේෂණ අංශයේ වැඩ කළේ. මට මෙතෙක් දුරක් එන්න රත්නා ලංකා අබේවික්‍රම, දයාද අල්විස්, සුජාතා ගුණවර්ධන, රෝහණ සිරිවර්ධන, පී.එල්.ඒ සෝමපාල, ශාන්ති දිසානායක වගේ ප්‍රවීණයන් පුදුම විදිහට උදව් කළා. ඉදිරියටත් සංගීතයෙන් හරවත් යමක් කරන්න තමයි උත්සාහ කරන්නේ. මගේම ගී ප්‍රසංගයක් පවත්වන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. හොඳ යමක් රසිකයා අතට පත් කරන්න ලැබීම ගැන හරිම සතුටුයි.

ඡායාරූප - සිසිර විජේතුංග

Comments