ආ වඩා ආයු බෝ වේවා සියලු දෝෂ නිවාරණයි! | Page 2 | සිළුමිණ

ආ වඩා ආයු බෝ වේවා සියලු දෝෂ නිවාරණයි!

ටිකිරි රත්නායක ජනතාව අතරට ගිය ටෙලි සිතුවම් කිහිපයක් සාර්ථකව නිම කරපු නිර්මාණකරුවෙක්. ඔහුගේ මුල් ම ටෙලි නළුව තමයි හිම කුණාටුව. ඊට අමතරව සතිපූජා, ගංදෑල නිසලයි, ඇත්කඳ ලිහිණි, මුතුකුඩ මැණිකේ, ස්වර්ණපාලි, තරු පබා, ආදරණීය පූර්ණිමා ආදී විවිධ තේමාවන්ගෙන් යුත් ටෙලිනාට්‍ය ගොන්නට එක්වූ අලුත්ම ටෙලිනාට්‍ය වූයේ ‘සකල ගුරු’ යි. මේ නවතම ටෙලිනාට්‍යය සම්පූර්ණයෙන් ම වෙනස් මඟක් ගත් ටෙලි නාට්‍යයක්. විශේෂයෙන් ම හාස්‍යොත්පාදක නාට්‍යයක්. ඒත් හාස්‍යය බලහත්කාරයෙන් ඉපදවූ නාට්‍යයක් නම් නොවෙයි. ගැමි පරිසරයේ පවුල් සංස්ථාවක සිදුවූ කතාවක්. මේ කතාව තුළින් අපේ ජීවිත දිහා අපට ම ආපහු හැරිලා බලන්න පුළුවන් අපේ ජීවිතයේ නොදකින දේවල්. රූගත කිරීම් කළේ කුරුණෑගල නුවර අතර ග‍ලගෙදර වෑඋඩ ප්‍රදේශයේයි. ‘සකල ගුරු’ කතා තේමාව ගැන සඳහන් කළොත් එය ගලා යන්නේ මෙහෙමයි.

 

“පින්සිරි පොඩිබණ්ඩාර ගමේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පොඩ්ඩා ගුරුන්නාන්සේ නමින්. ඔහු තම බිරිය සිරියලතා සමඟ විවාහ වී බින්න බැස සිටිනවා. සිරියලතා රූමත් කාන්තාවක්. පොඩ්ඩා ගුරුන්නාන්සේටත් සිරියලතාටත් නෙළුම් නම් දියණියක් ද, මහේෂ් නම් පිරිමි දරුවෙක් ද සිටිනවා. නෙළුම් අ.පො.ස. උසස් පෙළටත් මහේෂ් 5 වසර ශිෂ්‍යත්වයටත් පෙනී සිටීමටයි සිටින්නේ. මේ සතරදෙනා සමඟ සිරියලතාගේ මව නෝනහාමි ද නි‍ෙවසේ ජීවත් වෙනවා.

ගමේ අයට ගුරුකම් කරන පොඩ්ඩා ගුරුන්නාසේගේ ගුරුකම් පසුකලෙක වරදින්නට ගන්නවා. ගැමියන් ඔහු සමඟ උරණ වී මරන්නට සූදානම් වුවත් ආවතේවකරු සුමනේ ඔහු තනි කළේ නැත. සුමනේ ඔහු හා සිටින්නේ ගුරුන්නා‍න්සේගේ ගෙදරට යන එන සිරියලතාගේ නැගණිය පුෂ්පා සමඟ ආල හිතක් ඇති නිසයි. මේ අතර තමාට ගුරුහරුකම් දුන් ලොක්කා ගුරුන්නාන්සේ මිය ගොස් ඇති බව පොඩ්ඩාට දැනගන්නට ලැබෙනවා.

සුමනේ සමඟ මළගෙදර යන පො‍ඩ්ඩේට තම ගුරුගේ අවසන් ඉල්ලීමක් වන පාර්සලයක් ලැබෙන මුත් එහි තියෙන්නේ දේවරූප හා විශාල කළුගලක් පමණක් නිසා කෝපයට පත් පොඩ්ඩා කළුගල පොළවේ ගසයි. එය කැඩී ගිය පසු හමුවන කුප්පියකින් භූතයෙකු මතුවෙනවා. කාටත් නොපෙනෙන මේ භූතයා පොඩ්ඩේගේ නැති වී ගිය දේව වරම වෙනුවට භූත වරමක් ලබා දෙනවා.

චන්ද්‍රසිරි ග්‍රාමසේවක මහතා සිරියලතා කෙරෙහි ආලයෙන් පසුවෙනවා. ඔහුගේ පුතා වන මයුර සිරියලතාගේ දුව නෙළුම් ගැන උනන්දුවක් දක්වන නිසා ගමේ අනිත් පිරිමි ළමුන් සමඟ ආරවුල් ඇති කරගන්නවා. මේ අතර කිකිළියකගේ සොරකමකට ග්‍රාමසේවක වැරදිකරු වෙනවා. පොඩ්ඩේ‍ගේ සාස්තර ගැන අහල පහළ ගම් දනව්වලට පැතිරී යනවා. අවසානයේ භූතයා සැමට පෙනෙන ලෙස සමාජගත වෙනවා.”

සාම්ප්‍රදායික ගමක පවතින ආකල්ප හා ඔවුන් මුහුණ දෙන සමාජ ප්‍රශ්න හාස්‍ය උපහාසය මඟින් ඉදිරිපත් කරන අතර ආදරය, විරහව, දේව බැල්ම, භූත බැල්ම සමාජ පිළිගැනීම් ගැන ආපසු හැරී බැලීමක් මේ කතා මාලාව තුළින් නිරූපණය කරනවා. විවිධ චරිතවල සැබෑ ස්වරූපය ඔවුන් ඉදිරියේ දිගහරිමින් ලාංකික ප්‍රේක්ෂකයාට නැවුම් ටෙලි අත්දැකීමක් ලබාදීම “සකල ගුරු” ටෙලිනාට්‍ය මාලාව තුළින් සිදුවෙනවා.

අපූරු කතා තේමාවකින් සමන්විත මේ ටෙලිනාට්‍ය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා සතියේ දින 4ක් රාත්‍රී 9.00ට ජාතික රූපවාහිනියෙන් විකාශනය කෙරෙනවා.

ගිරිරාජ් කෞශල්‍යය, චමිලා පීරිස්, නෙතලි නානායක්කාර, ආනන්ද අතුකෝරළ, මිහිර සිරිතිලක, චින්තක පීරිස්, සුසිලා කෝට්ටගේ, හංසමාලා ජානකී, මහින්ද පතිරගේ, උදය කුමාරී, මිලින්ද පෙරේරා වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ කාවින්ද්‍යා දුල්ෂානි, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, හර්ෂි අංජුමාලා, හසරින්ද කේෂක, සුනෙත් ශාන්තප්‍රිය වැනි නවකයෝ රැසක් ද රංගනයෙන් දායක වෙනවා. සාමා රත්නායක නිෂ්පාදනයෙන් ද චින්තක පීරිස් තිර රචනයෙන් ද චන්දන ධර්මප්‍රිය කැමරාකරණයෙන් ද සහාය වෙනවා. මංජුල මල්වත්ත සංස්කරණයෙන් එක්වන මෙහි නවරත්න ගම‍ගේ සංගීතයෙන් එක්වෙයි. ජේ. සුරනිමල අංග රචනයෙන්, සමන් ශ්‍රී නාරායන කලා අධ්‍යක්ෂණයෙන්, බණ්ඩාර ඇහැලියගොඩ ගීත රචනයෙන් හා බන්දුල වි‍ෙජ්වීර ගායනයෙන් මීට එක්වනු ඇත. “සකල ගුරු” නැරඹීමෙන් ඔබටත් අමුතුම අත්දැකීමක් ලබන්න හැකි වේවි.

ඡායාරූප - චන්දන ධර්මප්‍රිය

Comments