අලුත් අයට මඟ පෙන්වීමක් අවශ්‍යයි | සිළුමිණ

අලුත් අයට මඟ පෙන්වීමක් අවශ්‍යයි

මගේ පදිංචිය  වෙනස් කළා...

දෝණි කුඩා කාලයේ වගේම සවේන්  මුනුපුරාත් බොහොම  ලජ්ජාකාර දරුවෙක්...

ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’ කා අතරත් ජනප්‍රිය නාට්‍යයක්. කාලයක පටන් වේදිකාගත වන කැලණි පාලම අපේ පරම්පරා කිහිපයක්ම නැරැඹුව නිර්මාණයක්. ඒ පරම්පරා කිහිපයක් නැරැඹුවත් රූපවතීගේ මුහුණ අපට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. ඒ අමතක නොවන රූපවතීට මෑත කාලයේ (වසර 8ක පටන්) පණ පොවන්නේ ගීතා කාන්ති ජයකොඩි. වේදිකාවේ, පුංචි තිරයේ, රිදී තිරයේ රඟපානවා වගේම ඈ හඬකැවීම් ශිල්පිනියක්. ටික දවසක් නිශ්ශබ්දව සිටි ඈ මේ දවස්වල යළිත් රංගන කටයුතු වගේම හඬකැවීම් කටයුතුත් ආරම්භ කරලා.

 

“දෙරණ රූපවාහිනියේ විකාශය වන ‘මුතු අහුර’ නාට්‍යයේ හෙඩියේගේ චරිතයටයි මා පසුගිය දවස්වල හඬ කැව්වේ. ගුවන්විදුලියේ ඉනෝකා බොතේජුගේ නාට්‍යයක චරිතයකට මගේ හඬ මුසු කළා. ඒ අතර පෝය නාට්‍ය කිහිපයකටත් රංගනයෙන් සහභාගි වුණා. ඒ හැමදේටම අමතරව පසුගිය කාලයේ චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ අතුරින් සුමිත් රත්නායකගේ ‘රන් කොල්ලා’ චිත්‍රපටය ළඟදි තිරගත වීමට නියමිතයි. එහි මා රඟපෑවේ ජයලත් මනෝරත්නගේ බිරියගේ චරිතයයි. ගැමි කාන්තාවකගේ චරිතයක්. රන් කොල්ලාව හදා ගන්න අම්මා විදියටයි ඒ චරිතය දිවෙන්නේ.”

දෙරණ රූපවාහිනියේ ‘පාවෙලා වලාකුළේ ඒවි ද අම්මා’ කියන ටෙලි නාට්‍යයේ ගීතා කාන්ති රඟපාන්නේ ඈ මෙතෙක් නිරූපණය ලද චරිතවලට වඩා වෙනස්ම චරිතයක්. එහිදී ඈ ලේලිට නපුරුකම් කරන කොච්චි කරලක් වගේ නැන්දම්මා කෙනෙක්.

“ඒ නැන්දම්මා බොහොම නපුරුම නපුරු කෙනෙක්. තමන්ගේ පුතා හා විවාහ වුණු දියණියටයි ඈ වෙනස්කම් කරන්නේ. මේ චරිතයේදි මගේ පෙනුමත් වෙනස් කළා. මේ චරිතයට රසික රසිකාවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් මාව පුදුමයට පත් කරනවා. මොකද ඉස්සර ඒ වගේ චරිතයක් කළා නම් මුහුණ එළියට දාන්න ලැබෙන්නේ නැහැ. බැනලයි ප්‍රතිචාර දක්වන්නේ. ඒත් දැන් ඉන්න රසික රසිකාවන් එවැනි චරිතයකට දක්වන ප්‍රතිචාර වෙනස්. චරිතය ප්‍රතික්ෂේප කරනවා වෙනුවට හොඳට රඟපාන බවයි පවසන්නේ. ඔවුන් බොහොම වෙනස්ම කොටසක්. දැන් තිබෙන තාක්ෂණයේ වෙනසත් එක්ක ඔවුන් සියලු දේ ගැනම දැනුවත් අය බවයි පෙනෙන්නේ. මා රඟපාන ‘පොඩ්ඩි’ ටෙලි නාට්‍යයත්, ඒ වගේම ‘නිරාවරණ’ ටෙලි නාට්‍යයත් මේ දවස්වල විකාශය වෙනවා. නාලන් මෙන්ඩිස්ගේ ‘නෑනලා’ කියන නිර්මාණයෙත් රූගත කිරීම් මේ දවස්වල කෙරෙනවා. මොන දේ රඟපෑවත් එකිනෙකට වෙනස් චරිත කරන්න මා කැමැතියි.”

ගීතා කාන්තිට ඉන්නේ එකම දියණියක්. ඈ කවුරුත් දන්න පබෝධා සන්දීපනී. පබෝධත් අම්මා කෙනෙක්. ඒ කියන්නේ ගීතා කාන්ති දැන් මිත්තණියක්.

“මගේ මුනුපුරාට දැන් වයස අවුරුදු හයක්. එයාගේ නම සවේන් ජිත්සර. එයා යන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසලට. දෝණි කුඩා කාලයේ වගේම සවේන් මුනුපුරාත් බොහොම ලජ්ජාකාර දරුවෙක්. දෝණිටත් මගේ තල්ලුව තිබුණු නිසයි එයා අද එතැන ඉන්නේ. ඒ වගේ මුනුපුරාටත් එහෙම තල්ලුවක් දිය යුතුයි කියලයි මා සිතන්නේ. එයාගේ දක්ෂතාව අනුව මුනුපුරා එයාගේ මඟ තෝරා ගනීවි.”

ගීතා කාන්ති පළපුරුදු හඬකැවීම් ශිල්පිනියක්. වර්තමානයේ තරුණ පරපුරත් ඇය මෙන්ම හඬකැවීමේ නිරත වෙයි. එහෙත් පැරැණි ගුවන්විදුලි නාට්‍යවල මෙන් ඔවුන්ට ඒ චරිතවලට පණ දෙන්න නොහැකි බවට චෝදනා නැඟෙයි. එහෙත් ගීතා කාන්ති ඔවුන් ගැන කියන්නේ මේ වගේ කතාවක්.

“වර්තමානයේ තරුණ පරපුර බොහොම දියුණු බවයි මට නම් සිතෙන්නේ. ඔවුන් රූපවාහිනියේ විකාශය වන විදේශීය කතාවලට හඬ කවන්න ගියාට පස්සේ ඒ ලිප්ස්වලට අදාළ විදියටම දෙබස කියන්න තරම් දක්ෂයි. ඒ ඒ චරිත ගන්න චූටි චූටි මූමන්ට් පවා ගන්න ඔවුන්ට පුළුවන්. ඒ අතින් ඔවුන් බොහොම දක්ෂයන්. ඒත් ගුවන්විදුලි නාට්‍යවලදි නම් ඔවුන් ඒ තරම්ම දක්ෂ වගක් පෙනෙන්නේ නැහැ. එහිදී අසන්නන්ට අප කරන චරිතය මැවෙන විදිටයි හඬ හැසිරවිය යුත්තේ. දැන් සිද්ධ වෙන්නේ මේකයි, දැන් කරන්නේ මේකයි කියනදේවල් මිනිසුන්ට හඟවන්න ඕනෑ. ඒත් දැන් ඇහෙන ගුවන්විදුලි නාට්‍යවල එහෙම කිසිම දෙයක් අසන්නන්ට මැවෙන බවක් පෙනෙන්න නැහැ. සමහර දාට මම වාහනය පදවගෙන යන විට රේඩියෝ චැනල් එකක් අහගෙනයි යන්නේ. ඒවා අහන විට ඒ අඩුව හොඳට දැනෙනවා. ඒක හදා ගන්නවා නම් වඩාත් හොඳයි. ඒ අය විවිධ වැඩසටහන් නම් ගෙනෙනවා. ඒවා හොඳයි. ඒත් ඔවුන්ට කවුරු හෝ දන්න කෙනකුගේ මඟ පෙන්වීමක් අවශ්‍ය බවයි මා නම් සිතන්නේ.”

කලා ක්ෂේත්‍රයේ රඟන්න, ගයන්න, නටන්න යන තුන් අංශයෙන්ම දක්ෂ ශිල්පිනියන් හා ශිල්පීන් එදා සිටියේ බොහෝ අඩුවෙන්. ඒත් අද ඒකටත් එක්ක දක්ෂ දරුවන් බිහි වී ඇති බව පෙනෙයි.

“එදාට වඩා අද දරුවන් දක්ෂයි. ඒත් ඔවුන්ගෙන් සමහර අයගේ දක්ෂ බව ඉදිරියට එන්නේ නැහැ. ඔවුන් දියුණු වෙන්නේ නැහැ. ඒ දක්ෂ බව එකම තැනක තිබෙන බවකුයි පෙනෙන්නේ. ඒ වගේම ඒ අයට තිබෙන ඉවසීම බොහොම අඩුයි. සංයමයක් ඇත්තේ නැහැ. ඔවුන් පුරුදු වෙලා තියෙන්නේ ක්ෂණිකව වැඩ කරන්නයි. ඒක එයාලගේ දියුණුවට බාධාවක්.”

ගීතා කාන්ති බොහොම විවේක සුවයෙන් සිය ජීවිතය ගෙවන රංගන ශිල්පිනියක්. මේ ළඟදි ඇගේ ජීවිතයේ වෙනසකුත් සිදු වුණා. ඈ අලුත් නවාතැනකට පදිංචියට ගියා. අංගොඩ ලේක්රෙස්ට් නිවාස සංකීර්ණයට.

“මණ්ඩාවිල නිවාස සංකීර්ණය කියලත් මේ නිවාස සංකීර්ණයට කියනවා. ඒ අලුත් තැන මට වඩාත් හොඳයි. හිතේ සතුටින්, නිදහසේ මා මෙතන කාලය ගෙවනවා.”

සිය නිවෙස සුන්දරව සරසමින්, එහි අඩුපාඩු සකසමින් ඇගේ ජීවිතය ගෙවන්නේ සැහැල්ලුවෙන් යුතුවයි. ඇගේ ඒ සැහැල්ලුවට තවත් බාධා නොකළ මා ඈට සමුදුන්නා.

Comments