අතීත ආදර ත්‍රිකෝණයක තතු මැද | සිළුමිණ

අතීත ආදර ත්‍රිකෝණයක තතු මැද

සෙලීනා නිහඬව ගෙවූ  ජීවිතය නිමාවට පත්වන සේයාවක් පසුගිය සතියේ අහන්න ලැබුණා. ඇගේ සමීප යෙහෙළියක පැවසුවේ දැනටමත් සෙලීනාගේ හදවතට අලුත්  පෙම්වතෙකු සමීප වී ඇති බවයි. ඔහු කවුරුන්දැයි තවම හෙළිවී නැහැ.

ගායනයත් රංගනයත් නිසා මුළු ලොව යොවුන් පරපුර වසඟ කළ සෙලිනා ගෝමස් තවත් අලුත්ම ගීතයක් නිර්මාණය කරලා. එය ළඟදීම තම රසික පිරිස වෙත සමීප කරවීමටයි ඇය දැන් සූදානම් වෙන්නේ. එය කවදා නිකුත් කරන්නේ දැයි තවම ප්‍රකාශ වී නැහැ. සෙලීනා ඒ වෙනුවෙන් තරමක් කාර්ය බහුලව සිටිද්දී පසුගියදා පැතිරී ගිය ඇගේ අතීත ආදර කතාවක් ගැන බොහෝ දෙනාගේ නෙත් සිත් යොමුව තිබුණා.

මේ ආදර අන්දරය මුලින්ම සටහන්ව තිබුණේ වෙන කොහේවත් නොවෙයි. සෙලිනාගේම ඉන්ස්ටග්‍රෑම් පිටුවේමයි. ඇය තමයි, ඒ ආදර කතාවේ නිර්මාතෘවරිය. එය ත්‍රිකෝණ පෙම් පුවතක්. සෙලිනා මීට වසර පහළොවකට පමණ පෙර ඩිස්නි රූපවාහිනී චැනලයේ චිත්‍රපටවල රඟපාමින් සිටිද්දී හටගත් ඒ ත්‍රීකෝණ ආදරයේ පෙම්වතුන් දෙදෙනෙකු සිටියා ලූ. එත් පෙම්වතෙකුගේ නම කෝල් ස්ප්‍රවුස්. අනෙක් කෙනාගේ නම ග්වාන්. ඒ වන විට මේ තිදෙනාම නව යොවුන් වියේ එළිපත්ත මත රැඳී සිටි කාලයයි. සෙලිනා ඒ ත්‍රිකෝණ ආදරය විස්තර කරන්නේ මෙහෙමයි...

“එදා මගෙ ආදරය කෝල් සහ ග්වාන්ට දෙවැනි වෙන්න. ග්වාන් නිතරම මගේ අවධානය දිනා ගන්න උත්සාහ ගත්තා. මම ඒ දවස්වල ඩිස්නි චැනල් එකේ ‘wizards of waverly place’ චිත්‍රපටයේ රඟපාද්දි කෝල් ‘The suite Life of zack and cody’ චිත්‍රපටයේ රඟපෑවා. මට මතකයි එදා එයාගේ නිවුන් සහෝදරයා, ඩිලාන් ස්ප්‍රවුස් පැත්තක හිටිය හැටි”

මේ අතරේදී සෙලිනා වඩාත් යොමු වුණේ ගී ගායනා කරන්නයි. ඒ නිසා ඇය සහ කෝල් අතර තිබුණු පුංචි ආදර අන්දරය නිමාවට පත්වුණා. සෙලීනා ගායන දිවියට වැඩි කාලයක් වැය කරන අතරවාරයේදි තමයි, ඇය ජස්ටින් බීබර් සමඟ පෙම්දමක පැටලුණේ. කෝල්ගේ හදවතට සමීප වුණේ යොවුන් නිළි ලිලිරීන් හාර්ට්. කාලයක් පැවති මේ දෙදෙනාගේ ආදරය මෑතකදී පළුදු වුණා. ඒත් ලිලි පවසන්නේ ළඟදීම තමන් සහ කෝල් යළි එකතුවන බවයි. ප්‍රේම කතන්දර මෙලෙස දිග හැරෙන අතරේදී සෙලීනා නිහඬව ගෙවූ ජීවිතය නිමාවට පත්වන සේයාවක් පසුගිය සතියේ අහන්න ලැබුණා. ඇගේ සමීප යෙහෙළියක පැවසුවේ දැනටමත් සෙලීනාගේ හදවතට අලුත් පෙම්වතෙකු සමීප වී ඇති බවයි. ඔහු කවුරුන්දැයි තවම හෙළි වී නැහැ. හොලිවුඩ් මාධ්‍ය දැනට ඔහුව හඳුන්වා දී ඇත්තේ ‘අද්භූත’ කෙනෙකු හැටියටයි. වරදවා වටහා ගන්න එපා. ඔහු පිටසක්වල ජීවියෙකු නම් නොවෙයි.

Comments