
ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නගර අතුරින් ගාල්ල අග නගරයට පමණක් දෙවැනි වන වෙළෙඳ නගරය වන්නේ ඇල්පිටිය නගරයයි. තේ, කුරුඳු, රබර්, ගම්මිරිස් ඇතුළු අපනයන භෝග රාශියක් වගා කරන මේ ප්‍රදේශයේ ජනතාව මෙරට ආර්ථිකයේ ප්‍රධාන පංගුකාරයෝ වෙති.
ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මැතිවරණ කොට්ඨාස දහය අතරින් බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයට සුවිශේෂ ස්ථානයක් හිමිවේ; ඒ එදා සිට මේ දක්වා මේ ආසනය නියෝජනය කළ සුවිශේෂ දේශපාලනඥයන් නිසා ය.
1971 අප්‍රේල් තරුණ කැරැල්ලේදී ද ඇල්පිටිය දිවයිනේ සිටින කාගේත් අවධානයට ලක්වූ නගරයක් විය.
මේ ලියන මොහොත වනවිට ඇල්පිටිය කාගේත් කතාබහට ලක්වන නගරයක් බවට පත්වී තිබේ. හේතුව රටේ ම ජනතාව ජනාධිපතිවරණයකට සූදානම් වෙද්දී ඇල්පිටිය ජනතාව ඊට පෙර පුංචි මැතිවරණයකට මුහුණදීමට සූදානම් වන නිසා ය. මේ මැතිවරණය පුංචි වුවත් මුළු රටේ ජනතාවගේ අවධානය මේ කෙරෙහි යොමු වී ඇත්තේ ජනාධිපතිවරණයට පාර කියන ඡන්දය ඇල්පිටියේ පුංචි ඡන්දය බැවිනි.
බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ පළාත් පාලන ආයතන දෙකකි. එකක් බෙන්තරය අනෙක ඇල්පිටියයි.
දිවයින පුරා පිහිටි සියලු ම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම 2018 පෙබරවාරි මස 10 වැනිදා සිදු වූ නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය එදින පැවැත්වුණේ නැත. ඒ මැතිවරණය සඳහා ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඒ පෙරමුණේ අපේක්ෂකයෝ ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අත්හිටුවා තිබුණි. ඒ දීර්ඝ නඩු විභාගයෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාට ඉකුත් අගෝස්තු මස 30 වැනිදා නියෝග කරනු ලැබුවේ එදා ප්‍රතික්ෂේප වූ ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය ද බාරගෙන ඡන්දය පවත්වන ලෙසට ය.
පළාත් පාලන මැතිවරණය පවත්වා මාස 20 කට පසුව ලැබුණ ඒ තීන්දුව අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මහජන නියෝජිතයන් 28 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා මේ මස 11 වැනිදින ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ යන දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ නාම යෝජනා පිළිගත් නාම යෝජනා ලෙස සලකා ඡන්දය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජීවත්වන මුළු පවුල් සංඛ්‍යාව 19115 කි. මේ පවුල්වල ජීවත්වන සාමාජික සංඛ්‍යාව 75553 කි. ඉන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට වරිපනම් බදු ගෙවන පවුල් ඒකක ගණන 9469 කි. මේ අතුරින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මෙවර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 53384 කි. මෙම මැතිවරණ බල ප්‍රදේශයට අයත් මැතිවරණ කොට්ඨාස ගණන 17 කි. ඒ අනුව ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන් ඡන්ද මධ්‍යස්ථාන 47 කදී මේ මස 11 වැනි දින ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. ඒ මගින් කොට්ඨාස මට්ටමින් මහජන නියෝජිතයන් 17 දෙනෙකු හා අතිරේක ලැයිස්තුවෙන් 11 දෙනෙකු වශයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 28 දෙනෙකු තෝරා පත්කරගනු ඇත.
මේ අතරේ ඉකුත් 17 දා ඇල්පිටියේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධකම් තිබෙන තරුණයන් තිදෙනකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මැතිවරණය අත්හිටුවන ලෙස ඉල්ලා තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් 25 වැනිදා එම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභා කර තිබේ.
මේ නිසා ඉදිරිපත්ව සිටින සියලු පක්ෂ හා කණ්ඩායම් එක්ව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට මුහුණදෙමින් සිටිති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම සිය අපේක්ෂකයන් රැස් කර ඔවුන් දැනුවත් කර ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පුරා සංවිධාන කටයුතු කරමින් සිටින්නීය. කොට්ඨාස මට්ටමින් මැතිවරණ කාර්යාල පිහිටුවමින් ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා රැස්වීම් පවත්වති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක අමිල කාරියවසම් මහතා ද මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ඒ පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා දිස්ත්‍රික් නායකයන් කැඳවා සිය අපේක්ෂකයන් හා ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සිදුකරති.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කටයුතු ආරම්භ කළේ ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා වීමෙන් පසුව ඉකුත් සැප්තැම්බර් 29 දි සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් බෙන්තර - ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්වීම පවත්වමිනි.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් ව සිටින අපේක්ෂකයන් හා පාක්ෂිකයන් ඒ පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක ඇතුළු මැති ඇමැතිවරුන් පැමිණ දැනුවත් කිරීම් ද කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ද සිය දේශපාලන නායකයන් කැඳවා සිය අපේක්ෂකයන් හා පාක්ෂිකයන් දැනුවත් කිරීමේ ජන රැලි පවත්වමින් මැතිවරණ කටයුතු දියත් කර තිබේ.
එහෙත් නාම යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා අධිකරණයට ගොස් තම අයිතිවාසිකම් දිනාගත් ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ මෙතෙක් කිසිදු මැතිවරණ ප්රචාරක කටයුත්තක් ආරම්භ කර නැත. ඔවුන් කිසිදු මැතිවරණ ප්රචාරක කටයුත්තක් සිදුකරන බවත් පෙනෙන්නට නැත.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඇතුළු ඒ පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් සහභාගි වන ප්‍රධාන රැස්වීමක් ද සිකුරාදා (04) ඇල්පිටිය නගරයේදී පැවැත්විණි.
කෙසේ වෙතත් මේ මැතිවරණය එළැඹීමත් සමඟ විවිධ දේශපාලනඥයන් ගෙන් ඇල්පිටිය ප්‍රදේශයේ ජනතාවට විවිධ පොරොන්දු ලැබෙමින් පවතී. එහෙත් මේවා යථාර්ථයක් වන්නේ මේ පුංචි ඡන්දයේ ප්‍රතිඵල වලින් පසුව නොවන බව ද ජනතාව දනිති. මේ පොරොන්දු යථාර්ථයක් වන්නේ හෝ නොවන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පසුව ය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු මුල් දිනවල මැතිවරණ කටයුතු ඇල් මැරුණු ස්වභාවයක තිබුණ ද මේ වනවිට දිනෙන් දින ඇල්පිටිය උණුසුම් වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.