ජනපතිවරණ උණුසුම මැද ඇල්පිටියේ පුංචි ඡන්දය | සිළුමිණ

ජනපතිවරණ උණුසුම මැද ඇල්පිටියේ පුංචි ඡන්දය

 

ගාල්ල දිස්ත්‍රි­ක්කයේ පිහිටි නගර අතු­රින් ගාල්ල අග නග­ර­යට පම­ණක් දෙවැනි වන වෙළෙඳ නග­රය වන්නේ ඇල්පි­ටිය නග­ර­යයි. තේ, කුරුඳු, රබර්, ගම්මි­රිස් ඇතුළු අප­න­යන භෝග රාශි­යක් වගා කරන මේ ප්‍රදේ­ශයේ ජන­තාව මෙරට ආර්ථි­කයේ ප්‍රධාන පංගු­කා­රයෝ වෙති.

ගාල්ල දිස්ත්‍රි­ක්කයේ පිහිටි මැති­ව­රණ කොට්ඨාස දහය අත­රින් බෙන්තර ඇල්පි­ටිය මැති­ව­රණ කොට්ඨා­ස­යට සුවි­ශේෂ ස්ථාන­යක් හිමිවේ; ඒ එදා සිට මේ දක්වා මේ ආස­නය නියෝ­ජ­නය කළ සුවි­ශේෂ දේශ­පා­ල­න­ඥ­යන් නිසා ය.

1971 අප්‍රේල් තරුණ කැරැ­ල්ලේදී ද ඇල්පි­ටිය දිව­යිනේ සිටින කාගේත් අව­ධා­න­යට ලක්වූ නග­ර­යක් විය.

මේ ලියන මොහොත වන­විට ඇල්පි­ටිය කාගේත් කතා­බ­හට ලක්වන නග­ර­යක් බවට පත්වී තිබේ. හේතුව රටේ ම ජන­තාව ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට සූදා­නම් වෙද්දී ඇල්පි­ටිය ජන­තාව ඊට පෙර පුංචි මැති­ව­ර­ණ­ය­කට මුහු­ණ­දී­මට සූදා­නම් වන නිසා ය. මේ මැති­ව­ර­ණය පුංචි වුවත් ‍මුළු රටේ ජන­තා­වගේ අව­ධා­නය මේ කෙරෙහි යොමු වී ඇත්තේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පාර කියන ඡන්දය ඇල්පි­ටියේ පුංචි ඡන්දය බැවිනි.

බෙන්තර ඇල්පි­ටිය මැති­ව­රණ කොට්ඨා­සයේ පළාත් පාලන ආය­තන දෙකකි. එකක් බෙන්ත­රය අනෙක ඇල්පි­ටි­යයි.

දිව­යින පුරා පිහිටි සියලු ම පළාත් පාලන ආය­ත­න­වල ඡන්ද විම­සීම 2018 පෙබ­ර­වාරි මස 10 වැනිදා සිදු ව‍ූ නමුත් ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය එදින පැවැ­ත්වුණේ නැත. ඒ මැති­ව­ර­ණය සඳහා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් ජාතික පෙර­මුණ ඉදි­රි­පත් කළ නාම යෝජනා පත්‍රය ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිල­ධා­රියා විසින් ප්‍රති­ක්ෂේප කිරීම හේතු­වෙන් ඒ පෙර­මුණේ අපේ­ක්ෂ­කයෝ ඊට එරෙ­හිව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ගොනු කළහ.‍ ඒ අනුව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාවේ ඡන්ද විම­සීම අත්හි­ටුවා තිබුණි. ඒ දීර්ඝ නඩු විභා­ග­යෙන් පසුව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධා­රි­ව­ර­යාට ඉකුත් අගෝස්තු මස 30 වැනිදා නියෝග කරනු ලැබුවේ එදා ප්‍රති­ක්ෂේප වූ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් ජාතික පෙර­මුණේ නාම­යෝ­ජනා පත්‍රය ද බාර­ගෙන ඡන්දය පව­ත්වන ලෙසට ය.

පළාත් පාලන මැති­ව­ර­ණය පවත්වා මාස 20 කට පසුව ලැබුණ ඒ තීන්දුව අනුව ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා­වට මහ­ජන නියෝ­ජි­ත­යන් 28 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා මේ මස 11 වැනි­දින ඡන්දය පැවැ­ත්වී­මට මැති­ව­රණ කොමි­ෂන් සභාව තීර­ණය කර තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ, ජනතා විමුක්ති පෙර­මුණ හා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් ජාතික පෙර­මුණ යන දේශ­පා­ලන පක්ෂ ඉදි­රි­පත් කළ නාම යෝජනා පිළි­ගත් නාම යෝජනා ලෙස සලකා ඡන්දය පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා බල ප්‍රදේ­ශය තුළ ජීව­ත්වන මුළු පවුල් සංඛ්‍යාව 19115 කි. මේ පවු­ල්වල ජීව­ත්වන සාමා­ජික සංඛ්‍යාව 75553 කි. ඉන් ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා­වට වරි­ප­නම් බදු ගෙවන පවුල් ඒකක ගණන 9469 කි. මේ අතු­රින් ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා බල ප්‍රදේ­ශය තුළ මෙවර ලියා­ප­දිංචි ඡන්ද සංඛ්‍යාව 53384 කි. මෙම මැති­ව­රණ බල ප්‍රදේ­ශ­යට අයත් මැති­ව­රණ කොට්ඨාස ගණන 17 කි. ඒ අනුව ඡන්දය භාවිත කිරී­මට සුදු­සු­කම් ලැබූ ඡන්ද දාය­ක­යන් ඡන්ද මධ්‍ය­ස්ථාන 47 කදී මේ මස 11 වැනි දින ඡන්දය ප්‍රකාශ කිරී­මට නිය­මි­තය. ඒ මගින් කොට්ඨාස මට්ට­මින් මහ­ජන නි‍යෝජි­ත­යන් 17 දෙ‍නෙකු හා අති­රේක ලැයි­ස්තු­වෙන් 11 දෙනෙකු වශ­යෙන් ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­වරු 28 දෙනෙකු තෝරා පත්ක­ර­ගනු ඇත.

මේ අතරේ ඉකුත් 17 දා ඇල්පි­ටියේ එක්සත් ජාතික පක්ෂ­යට සම්බ­න්ධ­කම් තිබෙන තරු­ණ­යන් තිදෙ­නකු විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ඉදි­රි­පත් කර­මින් මැති­ව­ර­ණය අත්හි­ටු­වන ලෙස ඉල්ලා තිබූ අතර ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් ඉකුත් 25 වැනිදා එම පෙත්සම විභා­ග­යට නොගෙ­නම නිෂ්ප්‍රභා කර තිබේ.

මේ නිසා ඉදි­රි­පත්ව සිටින සියලු පක්ෂ හා කණ්ඩා­යම් එක්ව ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යට මුහු­ණ­දෙ­මින් සිටිති. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ආසන සංවි­ධා­යිකා ගීතා කුමා­ර­සිංහ මහ­ත්මිය මැති­ව­රණ දිනය ප්‍රකා­ශ­යට පත් කිරී­මත් සම­ඟම සිය අපේ­ක්ෂ­ක­යන් රැස් කර ඔවුන් දැනු­වත් කර ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා බල ප්‍රදේ­ශය පුරා සංවි­ධාන කට­යුතු කර­මින් සිටි­න්නීය. කොට්ඨාස මට්ට­මින් මැති­ව­රණ කාර්යාල පිහි­ටු­ව­මින් ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ­යන් හා පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් කැඳවා රැස්වීම් පව­ත්වති.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ආසන සංවි­ධා­යක අමිල කාරි­ය­ව­සම් මහතා ද මැති­ව­රණ දිනය ප්‍රකා­ශ­යට පත්කි­රී­මෙන් පසුව ඒ පක්ෂයේ මහ­ලේ­කම් දයා­සිරි ජය­සේ­කර මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ­යන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු හා දිස්ත්‍රික් නාය­ක­යන් කැඳවා සිය අපේ­ක්ෂ­ක­යන් හා ක්‍රියා­කා­රීන් දැනු­ම්වත් කිරීම සිදු­ක­රති.

එක්සත් ජාතික පක්ෂය මැති­ව­රණ කට­යුතු ආරම්භ කළේ ‍ඒ පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස සජිත් ප්‍රේම­දාස මහ­තාගේ නම යෝජනා වීමෙන් පසුව ඉකුත් සැප්තැ­ම්බර් 29 දි සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඒ පක්ෂයේ මැති ඇමැ­ති­ව­රුන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් බෙන්තර - ඇල්පි­ටිය එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්වීම පව­ත්ව­මිනි.

එක්සත් ජාතික පක්ෂ­යෙන් ඉදි­රි­පත් ව සිටින අපේ­ක්ෂ­ක­යන් හා පාක්ෂි­ක­යන් ඒ පක්ෂයේ මහ­ලේ­කම් අකිල විරාජ් කාරි­ය­ව­සම්, දයා ගමගේ, වජිර අබේ­ව­ර්ධන, ගයන්ත කරු­ණා­ති­ලක ඇතුළු මැති ඇමැ­ති­ව­රුන් පැමිණ දැනු­වත් කිරීම් ද කර තිබේ. ජනතා විමුක්ති පෙර­මුණ ද සිය දේශ­පා­ලන නාය­ක­යන් කැඳවා සිය අපේ­ක්ෂ­ක­යන් හා පාක්ෂි­ක­යන් දැනු­වත් කිරීමේ ජන රැලි පව­ත්ව­මින් මැති­ව­රණ කට­යුතු දියත් කර තිබේ.

එහෙත් නාම යෝජනා ප්‍රති­ක්ෂේප වීම නිසා අධි­ක­ර­ණ­යට ගොස් තම අයි­ති­වා­සි­කම් දිනා­ගත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් ජාතික පෙර­මුණ මෙතෙක් කිසිදු මැති­ව­රණ ප්‍රචා­රක කට­යු­ත්තක් ආරම්භ කර නැත. ඔවුන් කිසිදු මැති­ව­රණ ප්‍රචා­රක කට­යු­ත්තක් සිදු­ක­රන බවත් පෙනෙ­න්නට නැත.

මේ අතර ජනතා විමුක්ති පෙර­මුණේ නාය­කයා ඇතුළු ඒ පක්ෂයේ ඉහළ පෙළේ දේශ­පා­ල­න­ඥ­යන් සහ­භාගි වන ප්‍රධාන රැස්වී­මක් ද සිකු­රාදා (04) ඇල්පි­ටිය නග­ර­යේදී පැවැ­ත්විණි.

කෙසේ වෙතත් මේ මැති­ව­ර­ණය එළැ­ඹී­මත් සමඟ විවිධ දේශ­පා­ල­න­ඥ­යන් ගෙන් ඇල්පි­ටිය ප්‍රදේ­ශයේ ජන­තා­වට විවිධ පොරොන්දු ලැබෙ­මින් පවතී. එහෙත් මේවා යථා­ර්ථ­යක් වන්නේ මේ පුංචි ඡන්දයේ ප්‍රති­ඵල වලින් පසුව නොවන බව ද ජන­තාව දනිති. මේ පොරොන්දු යථා­ර්ථ­යක් වන්නේ හෝ නොවන්නේ ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ඵ­ල­ව­ලින් පසුව ය.

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත්වී­මෙන් පසු මුල් දින­වල මැති­ව­රණ කට­යුතු ඇල් මැරුණු ස්වභා­ව­යක තිබුණ ද මේ වන­විට දිනෙන් දින ඇල්පි­ටිය උණු­සුම් වන තත්ත්ව­යක් පෙනෙ­න්නට තිබේ.

Comments