උඩු ගං බලා පීනන කොට ගල් ගැහු­වාට ගණන් ගන්නෙ නෑ | සිළුමිණ

උඩු ගං බලා පීනන කොට ගල් ගැහු­වාට ගණන් ගන්නෙ නෑ

 අනුර කුමාර දිසා­නා­යක මහතා ස්වාධීන අපේ­ක්ෂ­ක­යකු ලෙස නේද මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන්නේ?

නැහැ. ඔහු ඉදි­රි­පත් වන්නේ ජාතික ජන­බ­ල­වේ­ගයේ අපේ­ක්ෂ­කයා ලෙසයි. දේශ­පා­ලන ව්‍යාපා­ර­යන් ලෙස ජනතා විමුක්ති පෙර­මුණ තීර­ණය කළා මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යකු තනිව ඉදි­රි­පත් නොකර මේ රටේ ප්‍රග­ති­ශීලි, උගත්, බුද්ධි­මත් ජනතා බල­වේග සමඟ එක්ව තරග කරන්න. ඒ අනුව තමයි ජාතික ජන බල­වේ­ගය කියන දේශ­පා­ලන ව්‍යාපා­රය සමඟ එක්ව රට ගොඩ­න­ඟන වැඩ­පි­ළි­වෙ­ළක් සහි­තව අනුර කුමාර දිසා­නා­යක මහතා මෙවර තර­ග­යට ඉදි­රි­පත් වන්නේ.

එහෙත් ජාතික ජන බල­වේ­ගය කියන්නේ ලියා­ප­දිංචි පක්ෂ­යක් නොවෙයි නේ?

ජාතික ජන බල­වේ­ගය ලියා­ප­දිංචි පක්ෂ­යක් නොවු­ණත් එය 30කට ආසන්න සිවිල් සංවි­ධාන, ප්‍රග­ති­ශීලි දේශ­පා­ලන සංවි­ධාන, දේශ­පා­ලන පක්ෂ ඇතුළු සමූ­හ­ය­ක­ගෙන් සම­න්වි­තයි. ඒ සියලු සාමා­ජික එක­ඟ­තා­වෙන් තමයි අපේ­ක්ෂ­කයා ලෙස අනුර කුමාර මහතා තෝරා පත් කර­ගන්තේ. මේ රටේ ප්‍රග­ති­ශීලි ජන­තාව සමඟ මෙන්ම රටේ වෙන­සක් අපේක්ෂා කරන ජන­තාව වෙනු­වෙන් විකල්ප බල­වේ­ග­යක් ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පැමි­ණෙන එකම අපේ­ක්ෂ­කයා ඔහුයි.

ඒත් ලියා­ප­දිංචි නොවන පක්ෂ­ය­කින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට නොහැකි නිසා ඔහුට මෙවර ස්වාධීන අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වීමට සිදු වනවා නේ...

මා පෙර කියූ පරිදි ජාතික ජන බල­වේ­ගය ලියා­ප­දිංචි නොවන පක්ෂ­යක් නිසා අනුර කුමාර දිසා­නා­යක මහතා මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන්නේ ජාතික ජන බල­වේ­ග­යට අයත් ලියා­ප­දිංචි පක්ෂ­ය­කින්. ඔහු ස්වාධීන අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් නොවන බව මා කියන්නේ ඒ නිසයි.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඔබ පක්ෂයේ නාය­කයා මේ වන විටත් ඇප මුදල් තැන්පත් කර අව­සන්. එසේ නම් ඇප තැන්පත් කළ යුත්තේ ඒ පක්ෂ­යෙන් නේද?

ඔව්. ඇප තැන්පත් කළේ ඒ දේශ­පා­ලන පක්ෂ­යක් නමින් තමයි.

කුමක්ද ඒ දේශ­පා­ලන පක්ෂය?

ඒ ගැන අප පසුව සඳ­හන් කර­න්නම්... තරග වදින පක්ෂ­යත්, ලකු­ණත් මොකක්ද කියලා පසුව කිය­න්නම්.

මොකද මේ සියල්ල සඟ­වා­ගෙන දේශ­පා­ල­නය කරන්න හදන්නේ?

කිසිම සැඟ­වි­ල්ලක් නැහැ. නිසි වෙලා­වට සියල්ල හෙළි කර­න්නම්. ජාතික ජන බල­වේ­ගය කියන්නේ ප්‍රබල සංවි­ධා­න­වල එක­තු­වක්; ස්වාධී­නව රට ගොඩ­න­ඟන විද්වත් සංවි­ධාන, දේශ­පා­ලන කණ්ඩා­යම්, පක්ෂ රැසක එක­තු­වක්. ඒ සියලු දෙනා­ගේම එක­ඟ­තා­වෙන් තමයි අප කට­යුතු කරන්නේ; ජනතා විමුක්ති පෙර­මු­ණට අනුව පම­ණක් නොවෙයි. ඒ නිසා ඒ සියලු පක්ෂ සංවි­ධා­න­වල එක­ඟ­තාව අනුව අපි නිසි වේලා­වට සියල්ල රට වැසි­යන්ට පව­ස­න්නම්.

ඔබ පව­සන ආකා­ර­යට අනුර කුමාර දිසා­නා­යක මහ­තාට වෙනත් පක්ෂ­ය­කට අවශ්‍ය ලෙස කට­යුතු කර­න්නයි සිදු වන්නේ...

නැහැ. ඔහු ඉදි­රි­පත් වන පක්ෂය ඉදි­රි­යේදී ජාතික ජන­බ­ල­වේ­ගයේ ක්‍රමෝ­පා­යන්ට උචිත පරිදි සකස් වනවා.

දැන් පේන විදි­හට අනුර කුමාර දිසා­නා­යක මහතා වෙනත් පක්ෂ­ය­කින් තරග කර­නවා. ඒ කියන්නේ අලුත් බෝතලේ පරණ වයින් වගේ වෙයි නේද?

අනුර කුමාර දිසා­නා­යක කියන්නේ හැම­දාම අලුත් වෙන කෙනෙක්. එයා අලුත් වෙලා තියෙන්නෙ. ඒක හින්දා පරණ වයින් නොවෙයි අලුත් බෝත­ලේට එන්නෙ. ජන­තාව ඉල්ලන්න‍ෙ මේ රට ගොඩ­න­ඟන්න පුළු­වන් ජාතික වැඩ පිළි­ව­ළෙක්. එවන් වැඩ­පි­ළි­වෙ­ළක් සහිත අපේ­ක්ෂ­කයා වන්නේ අනුර කුමාර මහ­තායි. ඔහු රටේ ප්‍රග­ති­ශීලි, උගත්, බුද්ධි­මත් සියලු දෙනා­ගේම අපේක්ෂා අර­ගෙන ඇවිත් තිබෙන්නේ. ජන­තා­වගේ අපේ­ක්ෂාවේ අපේ­ක්ෂ­කයා බවට ඔහු පත්ව ඇත්තේ ඒ නිසයි.

හොර­කම් කර නැති, චෝදනා නැති, දූෂණ වංචා නැති, නඩු නැති එකම අපේ­ක්ෂ­කයා වන්නේ අනුර කුමාර මහ­තායි.

ඔබ එහෙම කිව්වත් පසු­ගි­යදා රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහතා ඔහු ඇතුළු ආණ්ඩු පක්ෂයේ පිරි­ස­කට, පිළි­ගත හැකි ලෙස දරුණු චෝද­නා­වක් එල්ල කළා...

උඩු ගං බලා පීනන කොට ගං ඉවුරේ මිනිස්සු ගල් ගැහු­වට අපි ඒවා ගණන් ගන්නෙ නැහැ. දේශ­පා­ලන වශ­යෙන් අනාථ වෙච්ච අය, විශේ­ෂ­යෙන්ම අනු­න්ගෙන් යැපෙන දේශ­පා­ලන පර­පෝ­ෂි­තයො බවට පත්වෙච්ච දේශ­පා­ල­කයො කිහිප දෙනෙක් රට විනා­ශය කරා ඇද­ගෙන යන­කොට පාරම් බාමින් ප්‍රශස්ති ගී ගායනා කර කර ඉන්නවා. එහෙත් අප ඒ සද්ද ගණන් ගන්නේ නැහැ. අපට ඒ ප්‍රකාශ අදා­ළම නැහැ. පාරෙ යන­කොට බුරන හැම බල්ල­කු­ටම ගල් ගගහ යන්න බැහැනෙ. ඒක නිසා ඒ සද්ද-බද්ද අප ගණන් ගන්නෙ නැහැ. අපට ඊට වඩා වැඩ තිබෙ­නවා.

ඒත් ඔහු ඉදි­රි­පත් කළේ දරුණු චෝද­නා­වක්. ඒ ගැන ඔබ පක්ෂයේ මතය හෙළි කළ යුතුයි.

මේ රටේ හොර­ක­මට, වංචා­ව­ලට, දූෂ­ණ­යට විරු­ද්ධව කට­යුතු කරන්නේ කවු­රුද කියලා ජන­තාව දන්නවා. බුද්ධි­මත් අය දන්නවා. හොරු රකින මිනි­සුන් නඟන චෝද­නා­ව­ලට ඊළඟ ආණ්ඩුවේ අප පිළි­තුරු දෙන්න සූදා­නම්. හොරු ආරක්ෂා කරන අය තමන්ගේ දේශ­පා­ලන ව්‍යාපා­රය අසා­ර්ථක වුණාම කරන-කියන දේවල් මේ. ඔවුන්ට නඩු දාන්න පුළු­වන්නේ වර­දක් කර තිබෙ­නවා නම්. එහෙම කරන්නේ නැතිව, මුහු­ණට මුහුණ එන්නෙ නැතිව කැලේ පනින අය තමයි මේ දූෂණ, වංචා ගැන කතා කරන්න යන්නෙ.

ඔබ පක්ෂයේ ඉදිරි ප්‍රචා­රණ වැඩ­පි­ළි­වෙළ විස්තර කළොත්...

මේ වෙන කෙට ජාතික ජන බල­වේ­ගය දිව­යින පුරා ජන­හමු රැස්වීම් රැලි මෙන්ම ගම් මට්ටම දක්වා ගෙන යන වැඩ­පි­ළි­වෙ­ළක්ද සකස් කර අව­සා­නයි. ඒ වගේම අපේ­ක්ෂක අනුර කුමාර මහ­තාත් ජාතික ජන බල­වේ­ගයේ නාය­ක­යන් ප්‍රාදේ­ශීය සභා මට්ට­මින් මෙන්ම ගම් මට්ට­මින් ජන­තාව ආම­න්ත්‍ර­ණය කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර තිබෙන්නේ. ඒ අනුව 8 වැනිදා අනු­රා­ධ­පුර හා තඹු­ත්තේ­ග­මදී විශේෂ රැලි පව­ත්ව­නවා.

Comments