දැවැන්ත වෘක්ෂයේ සෙවණ ලැබූ අපේ සිනමාවේ සරුඵල... | සිළුමිණ

දැවැන්ත වෘක්ෂයේ සෙවණ ලැබූ අපේ සිනමාවේ සරුඵල...

ගාමිණි ෆොන්සේකා නම් වූ හෙල සිනමාවේ ප්‍රතිභාපූර්ණ දැවැන්ත ඒ සොඳුරු පෞරුෂය තම දිවි ගමනෙන් නික්ම ගොස් අදට වසර පහළොවකි.. මේ අපුර්ව රංගධරයා නික්ම යන්නේ ලාංකේය සිනමා වංශ කතාවේ ඔහු පිළිබඳ වූ සදා නොමැනෙන සලකුණු තබමින්ය. ලාංකේය සිනමාවට ඔහු දැවැන්ත වෘක්ෂයක් විය. ඒ දැවැන්ත වෘක්ෂයේ සාරයෙන් පෝෂණය වෙමින් ඒ සෙවනේ හැදී වැඬුණු පැළ අද මහ අතු විහිදා සිනමාවේ ශක්තිමත්ව මුල් ඇද ගත් මහ රූස්ස ගස් ය.

විශිෂ්ට නළුවකුගෙන් ඔබ්බට ගොස් සිනමා අධ්‍යක්ෂවරයකු ඇතුළු සිනමාවේ බහුවිධ පරාස අතික්‍රමණය කළ ඒ අසහය කලකරුවා ගේ සිංහල සිනමාවේ ඇති වූ හිඩැස පුරවාලීමට නැවත කිසිවකුටත් නොහැකි බව පවසන්නේ ඔහු සෙවනේ හැදි වැඩුණු ඒ පිරිසය.

 

සිංහල සිනමාවේ දැවැන්ත වෘක්ෂය
- මාලනි ෆොන්සේකා

ශ්‍රී ලාංකේය සිනමාව පටන් ගෙන අවුරුදු 73 ක කාලය ඇතුළත අපේ සිනමාව ගැන කතා කිරීමේදී ගාමිණි ෆොන්සේකා නාමය මම දකින්නේ මහ දැවැන්ත වෘක්ෂයක් විදිහටයි. මම සිනමාවට ආ කාලයේ අපේ වෘත්තීය වෙනුවෙන් ඔහුගේ තිබුණු කැපවීම නිසාම ඔහුට එය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්න හැකි වුණා. හැමෝම එය ආදර්ශයට අරන් මේ තත්ත්වයෙන් ඉස්සරහට යන්න මගක් ඔහු හදලා දුන්නා. මටත් මගේ මුල් කාලයේ සිට සිනමාවේ අද මා පැමිණි ගමන් මගට ඒ ශක්තිය පිටිවහලක් වුණා. මගේ වසර 55ක සිනමා ජීවිතයට එතුමාගෙන් ලැබුණු ශක්තිය ඊට බොහෝ සේ බලපෑවා. විශේෂයෙන් චරිතවලින් පවා මට ඔහුගෙන් ලොකු සහායක් ලැබුණා. සිනමාවේ ලොකු ගෞරවයක්, සිනමාව හරි ඉහළ තැනකට, ගෙනයන්නට ඔහු සමත් වුණා. රුක්මණී දේවිය - එඩි ජයමාන්න යුගයෙන් පසු ගාමිණි ෆොන්සේකා අපේ සිනමාවේ දැවැන්ත නාමයක්. ඔහු අධ්‍යක්ෂණයට, තිර රචනයට, ගීත රචනයට අතුළු තවත් විවිධ දක්ෂතාවලින් පරිපුර්ණ වූ කෙනෙක්.අධ්‍යක්ෂවරයෙක් ලෙස, රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් මෙහෙයවීමේ දී ඔවුන්ගේ උපරිමය ගන්න තරම් රංගනය පිළිබඳ ඔහුට පුළුල් දැනුමක් තිබුණා. ඒ දැනුම ඔහු ලබා ගත්තේ කිසිම පාසලකින් නෙමෙයි. ඉතින් සිංහල සිනමාවට ගාමිණි ෆොන්සේකාගේ අඩුව පුරවන්න තව වසර 100 ගියත් හැකි වේවි යැයි මම හිතන්නේ නැහැ.

 

‘සිනමා සක්විති’ කවුරුත් ඔහුට පැළැඳු ඔටුන්නක් නෙමෙයි

- ගීතා කුමාරසිංහ

ගාමිණි ෆොන්සේකා හෙල සිනමාවේ සක්විති කියන නමටම ඔබින විදිහට කටයුතු කළ කෙනෙක්. එය කවුරුත් ඔහුට පැළැඳු ඔටුන්නක් නෙමෙයි. එතුමා අතිශයින්ම දක්ෂ රංගනවේදියෙක් නිසයි එය ඔහුට ලැබුණේ. ඔහුගේ සෑම රංගනයකින්ම පිළිඹිබු වුණේ ඒ සිනමා කෘතියට අදාළ චරිතය මිසක ගාමිණි ෆොන්සේකා නෙමෙයි. මගේ පළමු චිත්‍රපටයෙන්ම මට ඔහු සමඟ සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණහම එය ප්‍රාතිහාරයක් නේදැයි ඒ කාලේ මට දැණුනේ නැහැ. ඔහු මාව තෝර ගනිද්දි මම ඉන් පෙර රඟපා තිබුණේ නැහැ.

ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ ‘කොටි වලිගය‘ රඟපෑමේදී මම ඔහුගේ දැකපු දෙයක් තිබුණා. ඒ, ඔහු කිසියම් කටයුත්තක එල්බගෙන සිටියොත් අතුළාන්තයේම ඔහු ඒ කර්තව්‍ය ඉටු කරනවා. එතුමා ශ්‍රී ලාංකේය සිනමාවේ අදටත් රංගනවේදියකුට තිබිය යුතු ගෞරුත්වය ඉහළින්ම තියාගෙන සිටි කෙනෙක්. ඔහු පසුකලෙක දේශපාලනයට පිවිසෙනවා, නියෝජ්‍ය කතානායක වෙනවා. නමුත් ඔහු කිසිදු දේශපාලනඥයකුට නවා ගන්න පුළුවන් වුණු චරිතයක් නෙමෙයි.

ඔහු කිසියම් ප්‍රතිපත්තියක් අනුගමනය කළා නම් ඒ තුළ එල්බ ගත් කෙනෙක්. වෙලාවකට දඩබ්බරයි කියලා හිතුණත් දැන් බැලුවාහම ඒ දඩබ්බරකම හරි යැයි හැඟෙනවා. තමන්ගේ ක්ෂේත්‍රයේ ගරුත්වය ඔහු ආරක්ෂා කළේ එහෙමයි. කලාවෙන් ජනතාව ආමන්ත්‍රණය කර එය ජනයාගේ හදවතට කිඳා බැස්සහම එයින් බිහි වෙන්නේ කීර්තිමත් පුද්ගලයෙක්. ගාමිණි ෆොන්සේකා වැනි කීර්තිමත් රංගනවේදියෙක් ජීවත්ව සිටියා නම් ඔහු සංවේගයට පත් වේවි සිනමාවේ අද තිබෙන තත්ත්වය ගැන.

 

සිනමාව, කැමරාව සහ තාක්ෂණය තේරුම් ගැනීමට ඔහුට සහජ ඉවක් තිබුණා

- රවීන්ද්‍ර රන්දෙණිය

ගාමිණි ෆොන්සේකා නම් අපේ සිනමාවට බිහි වූ ඒ අග්‍රගණ්‍ය රංගේෂ්වරයා ඔහුගේ රංග පෞරුෂයෙන් අපේ සිනමාවට දේශීයවත්, ජාත්‍යන්තරවත් ලබා දුන් වටිනාකම නිම කරන්න බැරි තරම්. මෙවැනි අති දුර්ලභ ගනයේ රංගන ශිල්පීන් ශ්‍රී ලංකාව තුළ සිටින බව එතුමා ලෝකෙට පෙන්වා අපේ රටටත්, අපේ සිනමා කලාවටත් මහත් ගෞරවයක් ලබා දුන්නා . ඔහුට රංගන හැකියාව සහජයෙන් ලැබී තිබුණා. මට දැනෙන විදිහට එතුමාගේ රංග කාර්ය මෙතරම් ප්‍රභාමත් හා ආකර්ෂණීය වුණේ සිනමාව, සිනමා කැමරාව සහ තාක්ෂණය කුමක්ද තේරුම් ගැනීමට ඔහුට සහජයෙන්ම ලැබුණු ඒ ඉව නිසා.

මේ අවුරුදු 30ක්වත් නොඉක්මවූ තරුණයා පරසතු මල් වැනි දැවැන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපැවේ අවුරුදු 60- 65 තලතුනා චරිතයක්. ඔහුගේ කාර්යය අති සාර්ථකව ඉටු කර දක්ෂතම නළුවාට හිමි සම්මානය ද දිනා ගත්තා. මෙතැනින් තමයි සිනමා තාක්ෂණය, සිනමා කැමරාව හා ඒ කාර්මික පැත්ත ගැන ඔහුට තිබූ ඉව අප හඳුනා ගන්නේ. ඔහු අධ්‍යක්ෂණයට පිවිසුණේ පරිණත අධ්‍යක්ෂවරුන් යටතේ මහා පුහුණුවක් ලබා නෙමෙයි. නමුත් පළමු අධ්‍යක්ෂණයෙන්ම පළපුරුදු අයට වඩා නිර්මාණාත්මක දක්ෂතාවක් පෙන්වන්නට ඔහුට හැකි වුණා. ඔහුගේ සිරුර ඒ ඒ චරිතවලට අවශ්‍ය ඇයුරින් හසුරුවා ගත් ආකාරය ඔහු රංගනයෙන් දායක වූ සෑම චිත්‍රපටයකින්ම වාගේ අපට කියා පානවා. ඔහුට මේ ප්‍රාතිහාර්යය කරන්න පුළුවන් වුණේ හඬ, සිරුර, ඔහුගේ පෞරුෂය චරිතවලට අනුරූපව පිහිටුවන ආකාරයෙනුයි. අපි රංගනය කියන්නේ කැමරාව ඉදිරිපිට අපි හැසිරෙන විලාසයටයි. නමුත් ගාමිණි දැන සිටි කලාවේ විශේෂත්වය වුණේ ඔහු ඉදිරියේ කැමරාව හැසිරෙන්නේ කොහොමද යන්න ඔහුට තිබූ දැනුමෙන්.

 

ඔහුගේ රංගනය අදටත් නැවුම්

- ප්‍රසන්න විතානගේ

අද රූපවාහිනි නාලිකාවලින් යට ගිය දවස සිංහල චිත්‍රපට නරඹන විට පෙනි යන්නේ “මේ නළු නිළියන් අද අපි අතර නැහැ නේද“ කියන සංවේගය. නමුත් ඒ අතර ගාමිණි ෆොන්සේකා රඟපෑ චිත්‍රපටයක් විකාශනය වන විට දැනෙන හැඟීම මේ නළුවාගේ රංගනය අදටත් කෙතරම් නැවුම්, කාලය සමඟ පිළුණු නොවූ රංගනයක්ද යන්නයි. මේ නිසා මා ඔහු හඳුන්වන්නේ නොමියන නළුවා හැටියටයි. ඔහු චිත්‍රපට රඟපෑ යුගයේ ජනප්‍රියව තිබූ රංග ශෛලිය වෙනුවට ඔහු තමන් රඟපෑ චරිතයෙන් අඩුත් නැතුව වැඩිත් නැතිව ගති සොභාවය මැනවින් නිරූපණය කළා. එනිසයි අපට දැනෙන්නේ ඔහුගේ රංගනයේ නැවුම්බව අදටත් ඉහවහ ගිහින් කියලා.

මගේ විශ්වාසය අනුව එතුමා ලංකාවේ පමණක් නොවෙයි ආසියාවේම බිහිවූ දක්ෂතම නළුවා. ඉතා සුළු කාලයකදී තම මුහුණ, ඇහි බැමී, මංශ පේශි චලනයෙන් ඒ චරිතයේ අභ්‍යන්තර ස්වාභාවය අපට දැනීමට සැලැස්වීම ඔහුගේ සුවිශේෂි හැකියාවක්. ගම්පෙරළියේ ජිනදාස, නිධානයේ විලී අබේනායක, සුරයා චිත්‍රපට මාලාවේ ගාමිණි ලෙස පවා ඔහුගේ ඒ රංගන ගුණය තිබෙනවා.

 

ගැඹුරු සිනමා ඥානයක් තිබූ පුද්ගලයෙක්

-රන්ජන් රාමනායක

දවසක් විවෘත වේදිකාවකදී සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා නම් වූ ඒ දැවැන්ත චරිතය මෙහෙම කතාවක් කියනවා. “ අපේ කලාකාරයෝ බොහොම බයයි කෙලින් කතා කරන්න. නමුත් මීගමුවෙන් එක කොල්ලෙක් ඇවිත් ඉන්නවා රංජන් කියලා. මේ ළඟදි රටේ ඉහළම තැනට ගිහින් චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය ඉදිරියේ තමුන්ගේ ජීවිතේ පල්ලට දාලා හොඳ ප්‍රකාශයක් කළා. මම බොහොම සතුටින් මේ කොල්ලා ගැන ආඩම්බර වෙනවා“. ඒ තමයි මගේ මගේ සිනමා ගමනේ මට ලැබෙන හොඳම සහතිකය හා අවවාදය. එතුමාගෙන් ලැබුණු ඒ ඇගැයීම මට ලැබුණු ජනාධිපති, සරසවිය සම්මානයකට වඩා වටිනවා. ඔහු විවෘත වේදීකාවක රංගන ශිල්පියෙක් ගැන එහෙම කිව්වාමයි.

මගේ සිනමා ගමන පටන ගත් කාලයේ සිට ගාමිණි ෆොන්සේකා තරම් දක්ෂ නළුවෙක් හිටියේ නැහැ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා, සටන් කලාව, පරිසරය, පොත් පත් මේ හැම විෂයයක් ගැනම ඔහුට මනා දැනුමක් තිබුණා. හරියට ඇවිදින විශ්ව විද්‍යාලයක් වගේ. ඩෙවිඩ් කිං, ලෙස්ටර් මහතාගේ ආභාසය ඔහුට ලැබුණා යැයි කියනවා. ලෝක සිනමාවේ දැවැන්තයින් පාලනය කිරීමට සිනමාව යොදා ගන්නා අයුරු පිළිබඳ පුදුම ඉවක් තිබුණු බෘස්ලී එතරම් උස මහත කෙනෙක් නෙමෙයි. සිංහල සිනමාවේ එවන් දක්ෂතා පාමින් ඒ ගෞරවය හිමි කර ගත්තේ ගාමිණි ෆොන්සේකා. ‘චණ්ඩියා‘ වැනි චිත්‍රපට හරහා ඔහු ඒ දැවැන්ත ප්‍රතිරූපය ගොඩනඟා ගන්නවා. ඔහු ගැඹුරු සිනමා ඥානයක් තිබූ පුද්ගලයෙක්. සිංහල සිනමාව හා ගාමිණි ෆොන්සේකා කියන්නේ එකක්. අපේ සිනමාව ගැන කතා කරද්දි ගාමිණි ෆොන්සේකා නාමය අමතක කොට කතා කරන්න කාටත් බැහැ. ඒ තරම් ඔහු සිනමාවට බද්ධ වෙච්ච චරිතයක්. ඔහුව දැක්කහම අපි දපනේ වැටෙනවා, මෝහනය වෙනවා. ඒ දපනේ වැටෙන කතාව ඔහුම තමයි කියලා තියෙන්නෙත්. ඔහු හඬ, බැල්ම, රංගන පරාසය යන මේ හැම දෙයක්ම එකතු වූ පැකේජ් එකක්.

 

ඔහුගේ නිහතමානි ගුණයට මම සදා ගරු කරනවා

- අනුලා කරුණාරත්න

ගාමිණිව මම මුලින්ම දකින්නේ 1962 අගෝස්තු මාසේ දවසක. ඒ ලෙස්ටර් මහත්මයා ගේ ගෙදරදි. ‘ගම්පෙරළිය‘ ගැන කතා කරන්න තමයි මාව එදා එතැනට එක්ක ගියේ.

එදා ලෙස්ටර් මහත්තයා මට දුන්නා දෙබසක් ගාමිණි ෆොන්සේකා එක්ක ඉදිරිපත් කරන්න. හා හා පුරා කියලා එදා තමයි මම දෙබස් කිව්වේ ගාමිණිත් එක්ක.ඊට පස්සේ මම ඔහුව දකින්නේ ගම්පෙරළිය රූගත කිරීම් අතරේදී .එදා ඔහු බොහොම සුහදව පොඩි දරුවකුට කතා කරනවා වගේ තමයි මා සමඟ කතා කළේ.

ටයිටස් තොටවත්ත මහත්මයාගේ ‘චණ්ඩියා‘ චිත්‍රපටයේ තමයි මට ඔහු සමඟ ප්‍රධාන චරිතය කරන්නට අවස්ථාව ලැබෙන්නේ.. මම වගේ අලුත් කෙනකුට ප්‍රධාන චරිතය කියන්නේ ලෙකු තිගැස්මක්. නමුත් ගාමිණි එතැනදි මට උදව් කළ අයුරු, මඟ පෙන්වූ අයුරු, මාව දිරිමත් කළ අයුරු මට අදටත් හොඳින් මතකයි.

මට වැරැදුණොත් වැරැදුණේ මට කියන්නේ නැතිව මොනවහරි කාර්මික දෝෂයක් කියලා “අපි ආයිත් ඒ ටික කරමු“ කියනවා. “චණ්ඩියා“ රූ ගත කිරීම් ඉවර වුණු දවසේ ඔහු මගෙන් අහනවා “අපි මුලදි කරපු ඇක්ට් එක නැවත කරමුද“ කියලා. මම හා කිව්වා.

ඔහු වැනි කෙනෙක් එතරම් නිහතමානී වීම විශේෂයි. ඔහුගේ ඒ ගුණයට මම ගොඩක් ගරු කරනවා. ඔහු හරිම කරුනාවන්ත ඉවසීමක් තිබෙන කෙනෙක්. මිනිසුන්ට ගොඩක් ආදරේ කළා. සුහදයි. විනෝදෙන් ඉන්න කැමැති. ඕනෑම කෙනකුට ආදරෙන් සලකනවා. සමහරු ඔහුට හරි බයයි. ගාමිණි ගැන කිව්වේ මහ ආඩම්බරකාර මනුස්සයෙක් විදිහට. නමුත් ඔහු එහෙම නැහැ. ඔහුට ලැබෙන මුදලින් පවා ගොඩක් දෙනකුට උදව් කළා. වැඩ නැති රංගන ශිල්පීන්ට චිත්‍රපට හොයලා දුන්නා.

 

ලාංකේය සිනමාවේ රජු ගාමිණි
- නීටා ප්‍රනාන්දු

මම ගාමිණි ෆොන්සේකා එක්ක රඟපෑවේ රත්තරං අම්මා සහ රජගෙදර පරවියෝ.

එහිදි මා ඔහු වටහා ගත්තේ රංගන ශිල්පියකුට එහා ගිය සිනමාවේ පරිණත දැනුමක් සහිත පුද්ගලයෙක් ලෙසයි. ඔහු මා සමඟ වැඩ කළේ හරි සහයෝගයෙන්. අප අතර හොඳ සුහඳ බවක් තිබුණා. . ඔහු අසනීප වුණු කාලේ පුවත්පතකින් මාව දැකලා මා එක්ක හුඟක් වැඩ කරන්න බැරි වීම ගැන කනගාටු වුණා. මම කලක් විදෙස් ගතව සිටියේ. ඔහු අසනීප බව දැනගෙන මම බලන්න ගියාහම හරීයට එය අගය කළා මට මතකයි. රංගන ශිල්පියෙක් විදියට ලැබූ ජනප්‍රියත්වයත් මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය එක්ක ඔහු රජෙක් වගේ හිටියා.

ඔහු සිනමාවේ රජු. අත්දැකීම් සම්භාරයක් එක්කයි ඔහු සිනමාවේ නියැළුනේ. ඒ නිසාම කැමරාව ඉස්සරහ මිනිස්සුන්ගේ හිත ඇඳ බැඳ ගන්න විදියට රඟපාන්න සහ කැමරාවට මුහුණ දෙන්න ඔහුට සුවිශේෂි දක්ෂතාවක් තිබුණා. රංගනයේදී ඔහුට තිබූ තේජස රැකගන්නේ කොහොමද කියලා හොඳින් දැනගෙන සිටියා.
 

වෘත්තීය අගය වර්ධනය කරන්නට පසුබිම් වූරංගධරයෙක්

- කමල් අද්දරඅාරච්චි

හොඳ කෘති ඇසුරු කර තමන් විසින්ම රංගනය හදාරමින් තම රංගන ජීවිතය ගොඩ නඟා ගත් රංගධරයෙක්. තමන් ඇසුරු කළ හා තමන් ක්‍රියාකාරීව සිටි සිනමා පරිසරය ඔහු ගේ රංගන දිවියට පසුබිමක් වුණා. තාක්ෂණ ශිල්පියකු ලෙස කටයුතු කරමින් පරිණත අධ්‍යක්ෂවරුන්ගේ සෙවනේ ලැබූ ඇසුර ඔහුට කෘතහස්ත සිනමාකරුවෙක් වෙන්න විශාල පිටිවහලක් වුණා. රංගන විෂයය පිළිබඳ චරිතාංග නළුවෙක් හැටියට අවබෝධයක් ලබන්න පොත පත කියවමින් එක්කාසු කරගත් දැනුම් සම්බාහාරයත් ඔහුට ඉවහල් වෙන්න ඇති.

ඔහු මාලන් බ්‍රැන්ඩෝ වැනි ලොව සුපිරි ගනයේ නළුවන් අධ්‍යනය කළ කෙනෙක්. ඒ බටහිර ආභාසය ගැනත් ඉතා හොඳ දැක්මක් ඔහු තුළ තිබුණා. ඔහුගේ අධ්‍යක්ෂණයෙන්ම ඔහුගේ පරිණතභාවය, සිනමාරූපි අවබෝධය පිළිබිඹු වුණා. නළුවක් ලෙස අනෙක් රංගන ශිල්පීන්ට වඩා පෙරමුණෙන් ඉන්න ආධිපත්‍යක් ඔහු ගොඩනඟා ගෙන තිබුණා. නළුවෙක් හැටියට තම වෘත්තීය අයිතීන්, පෞරුෂය , නිසි ගෞරවනීය ප්‍රතිරූපයක් ගොඩ නඟා ගන්න ඔහු සමත් වුණා. ගාමිනි ෆොන්සේකා වෘත්තීයට තිබෙන අගය තවත් වර්ධනය කරගන්නට පසුබිම් වෙච්ච නළුවෙක්.

ඔහුගේ රංගන වින්‍යාසයේ විශේෂත්වයක් ලෙස මා දකින්නේ ඔහුගේ දැවැන්ත ප්‍රතිරුපයක් සිනමාව තුළ ගොඩ නැගීමට ඔහු සමත් වීමයි. එයට ප්‍රධාන හේතුව සිනමාත්මක හා කැමරා කෝණ පිළිබඳ ඔහුට තිබූ අවබෝධය. ඔහු රංගනයේදි තමන් එක්කම රඟපාන අනෙක් ශිල්පියාගේ රංගනයත් ඔහුගේ මට්ටමටම ගන්න උත්සාහ කළා. ඒ අතර තමන් කැපී පෙනෙන විදිහේ රඟපෑමේ පසුබිම හදා ගන්නත් ඔහු නිසඟවම සමත්.

චිත්‍රපටයකට ‘ගාමිණි‘ කියන නාමයම ඒ චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපෑවා. ඔහු මා තෝරා ගන්නකොටත් මගේ රඟපෑම් ඔහු දැක තිබුණේ නැහැ. මා සමඟ වදන් දෙක තුනක් කතා කර මාව නිරීක්ෂණය කිරීමෙන් පමණක් තේරුම් ගත්තා ඔහුට මා කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව. තව කෙ‍නකුව වටහා ගැනීමේ ඉව කලාකරුවෙක් ලෙස ඔහුට ඉතා හොඳින් පිහිටා තිබුණා. කලාකරුවා යනු ජනතාවාදී චරිතයක්. ඔහු ඒ ජනතාවාදී බව හා ජනප්‍රියත්වය යන දෙකම තම දේශපාලන ගමනට උපයෝගි කර ගත් දේශපාලඥයෙක්. නමුත් අදටත් හෙටටත් කතා වෙන්නේ රංගධර ගාමිණි ෆොන්සේකා ගැන මිස ඔහුගේ දේශපාලන චරිතය නොවෙයි.

 

මගේ සිනමා දිවියේ හොඳම පාඩම ඉගෙන ගත්තේ ඔහුගෙන්

- සබීතා පෙරේරා

 

ඔහු සහ මගේ පියා සිනමාවේ එකට රංගනයේ යෙදුණු අය. ඔහුගේ අධ්‍යක්ෂණය පිළිබඳ මට තිබෙනවා අමතක නොවන අත්දැකීමක් ‘සක්විති සුවය‘ කරන කාලේ මම අවුරුදු 15ක තරුණියක් . මගේ මතකේ හැටියට හැමෝම ගාමිණි ෆොන්සේකාට ළං වෙන්නත් හරිම බයයි. සිනමාව ගැන එතරම් අත්දැකීම් නොතිබූ මාව ගාමිණි ෆොන්සේකාගේ චිත්‍රපටයකට ගත්තා කිව්වහම කියා ගන්න බැරි සතුටක්. ඔහු ඔහුගේ ගෞරවය රැකෙන ලෙස කටයුතු කළේ රඟපෑමෙන්. එය මම ඔහුගෙන් මගේ ජීවිතේ ඉගෙන ගත් ලොකු පාඩමක්. ගාමිණි මොනවද කියන්නේ ඒ දේ කරන්න පෙළ ගැහී හිටිපු නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු ඕනෑතරම් හිටියා. සිනමාවේ තිබුණු එවන් වකවානුවක් නියෝජනය කරන්න ලැබීම සතුටක්.

‘ සක්විති සුවය‘ චිත්‍රපටයේ රඟපෑමේදී දර්ශනතලය, තාක්ෂණය ,කැමරාව සහ අලෝකකරණය පිළිබඳ මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඔහු කැමරාවෙන් බලලා ඇවිත් තමයි සාමාන්‍යයෙන් රඟපාන්නේ. ඔහු සමඟ මට එක්තරා උද්වේගකර දර්ශනයකට පෙනී හිටින්නට තිබුණා. මට ඒ දර්ශන තලයේ කැමරාව ලකුණු කර තිබූ තැනට හා ආලෝකය දී තිබුණු තැනට ඒ මොහොතේම එන්න බැරුව ගියා. එක පාරටම ඔහු කෑ ගැහලා රූගත කිරීම් නැවැත්තුවා.

මුළු සෙට් එකේම තිබුණේ පුදුම නිශ්ශබ්දතාවක්. මම හොඳටම අවුල් ගිහින් අඬන්න ඔන්න මෙන්න හිටියේ.

මම ඔහොම පැත්තකට වෙලා ඉන්නකොට ඔහු මගේ ළඟට ඇවිත් කිව්වා“ ඔයාගේ අම්ම තාත්තා හොඳ අය නේද ඔයත් හොඳට රඟපාන්න ඕනේ නේද“ කියලා. එදා මම ඔහුගෙන් තව පාඩමක් ඉගෙන ගත්තා ,හැමවෙලේම රඟපාද්දි ඒ ගැන විතරක් නොහිතා කැමරාව, ආලෝකකරණය ඇතුළු හැම දේම ගැනම අවදානය යොමු කරන්න ඕන බව. ඒ චිත්‍රපටයේම මම ඔහුගෙන් ගුටි කන දර්ශනයක් තිබුණා. ඔහු කල්පනා කරන්න ඇති මම වගේ නවක නිළියකගෙන් ඒ දර්ශනය තාත්විකව ගන්න බැරි වේවිද කියලා . ඒ නිසා ඔහු ඒ දර්ශනයේදි ඇත්තටම මට ගහලා බිත්තියට තල්ලු කළා. මම ඇත්තටම අඬාගෙන බිත්තිය දිගේ රූටගෙන වැටුණා. එය ඉතා තාත්වික වුණා. ඒ තමයි ඔහුට තිබුණු අත්දැකීම..

සිනමාවේ එවැනි ප්‍රතාපවත් කෙනෙක් අපට අයේ කවදාවත් දකින්න ලැබේවිද හිතන්න බැහැ. අද වගේ කාලෙක එවැනි නළුවෙක් හිටියා නම් කොතරම් හොඳ දැයි හිතෙන තරමටම ඒ අඩුව පිරිලා.

 

ඔහු තරම් නම්‍යශීලිනළුවෙක්ම ම දැකලා නැහැ
- සුමනා අමරසිංහ

මම ගාමිණි ෆොන්සේකා මහත්මයා දැන ගන්නේ කුඩා අවධියේ සිනමාවට ආ අලුතම වගේ. සිනමාවේ බොහෝ දෙනා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගාමිණි ෆොන්සේකා මහත්මයා සමඟ රඟපාමින්. නමුත් අවාසනාවට කවදාවත් මම ඔහු සමඟ රඟපාලා නැහැ. ඔහු රඟපැ ‘රෑන ගිරව්‘ චිත්‍රපටයේ එක දර්ශනයක මම හිටියත් දර්ශන තලයේ මම ඔහු සමඟ වචනයක්වත් කතා කළෙත් නැහැ. ඉංග්‍රීසි චිත්‍රපටයක් සඳහා ඔහුව ප්‍රධාන චරිතයට ගන්න මගේ සැමියා රෝයි ඩි සිල්වා ට අවශ්‍ය වුණා.ඉතින් අපි ඔහු සමඟ කතා කළා ඔහු ඊට කැමැත්ත දීලා කිව්වේ “කිසි දේකට බය වෙන්න එපා මම එනවා රඟපාන්න“ කියලා. ඒ චිත්‍රපටයේ සියලුම නිෂ්පාදන සහ සම්බන්ධීකරණ කටයුතු කළේ මම. ඉතින් මගේ යුතුකමක් වශයෙන් මම ඇහුවා “ගාමිණි අයියා කීයක් විතර මේ වැඩේට බලාපොරොත්තු වෙනවද“ කියලා. ඒ අහනකොටම “කෙල්ලේ ගනන් හිලව් නම් කතා කරන්න එපා එහෙම වුණොත් මේක කෙරෙන එකක් නැහැ“ කියලා. ඉතින් දවසක් ඒ රූගත කිරීමවලට මම ඔහුට කතා කරලා ගේන්න අවශ්‍ය ඇඳුම් ගැන කියන ගමන්ම “ගාමිණි අයියාගේ කාර් එකෙන්ම එන්නත් පුළුවන්නේ එතනත් පොඩි සීන් එකක් තියෙනවා ගන්න“ කිව්වහම “හා හා ඔක්කොම හරි “කියලා ඇවිත් රෝයිට කියනවා “ඔයාගේ බිරිය මට කිව්වා අරක ගේන්න මේක ගේන්න, මේවා අඳින්න කියලා මම ඒ සේරම ගෙනාවා. කැමරා එකකුත් අරන් ආවා. රේ ස්ටොප් එකත් ඕනෙද“ කියලා ඇහුවා. ඔහු හැමදාම රූගත කිරීම් ඔහු ඒ ගේන වීඩියෝ කැමරාවෙන් පටිගත කරගෙන ගෙදර ගිහින් බලනවා. ඔහු ගැන මහ ලොකු කතා තිබුණානේ. වැඩක් කරන්න ගියහම ගාමිණි හැමදේම ඔහුගේ යටතට, පාලනයට නතු කර ගන්නවා කියලා. අපේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරේ ඔහුට ලැබෙන විවේකයේදි ඔහුත් අනිත් අයගේ රඟපෑම් නිරීක්ෂණය කරනවා. නමුත් ඔහුට කැමරාව බලන්න ඕනේ වුණාහම කවදාවත් රෝයිගෙන් අවසරයක් නැතිව ඔහු බැලුවේ නැහැ. ඔහු බොහොම නිහතමානීව කැමරාව බලන්නද කියලා රෝයිගෙන් අහලා තමයි හැමදාම බැලුවේ. ඉතින් ඔහු ගැන තිබූණු අර කට කතාව කිසිම පදනමක් නැති එකක් බව අපි හොඳින්ම තේරුම් ගත්තා. සමහර වෙලාවට කරගන්න බැරි අයගේ ඒවා ඔහු ඔහුගේ අතට අරන් කරනවා ඇති. ඒ නිර්මාණ සාර්ථක කරගන්න මිසක් වෙන දේකට නෙමෙයි. ඔහු තරම් නම්‍යශීලි, හොඳ සහසම්බධතාවක් පවත්වාගත් නළුවෙක් මම නම් දැකලා නැහැ. ඒ තරමට ඔහු නිහතමානී හරිම හොඳ ගතිගුණ තිබුණු මිනිසුන්ගේ දුක හැඳිනූ සිනමාවට ආදරය කළ කෙනෙක්. මහතමා ගතිවලින් හෙබි මනුස්සයෙක්.

එතුමා තමයි මගේ රංගනයේ පළමු ඇක්ෂන් කට් දුන්නේ
- මහේන්ද්‍ර පෙරේරා

ගාමිණි ෆොන්සේකා වැනි පෞරුෂයක් නැවත මේ සිනමාවේ බිහි වෙන එකක් නම් නැහැ. ‘කොටි වලිගය‘ චිත්‍රපටය කරන සමයේ දවසක එක පොඩි චරිතයකට ළමයෙක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ වෙලාවේ ගාමිණි සර්ත් මමත් ලොකේෂන් එකකට යන ගමන් කඩයක් ළඟ පොඩි කොල්ලෙක් හිටගෙන හිටියා. ගාමිණි සර් එකපාරටම කිව්වා කාර් එක නවත්තන්න කියලා කාර් එකේ ඉඳන් ඒ ළමයා දිහා ටිකක් වෙලා බලන් හිටියා. “ මේ ළමයා ෂුවර් එකටම දෙමළ වෙන්න ඕනේ, මෙයාව නම් අපේ වැඩේට හොඳටම සුදුසුයි. මෙයාට ෂුවර් එකටම හොඳටම රඟපාන්නත් පුළුවන්“ කියලා එදා ඒ ළමයා තෝරා ගත්තා. ගාමිණි සර් කිව්වා වගේම ඒ පොඩි කොළුවා ඉතා හොඳින් ඒ චරිතෙ රඟපෑවා.

මම එවෙලෙත් කල්පනා කළේ සර්ට එහෙම බලලා අනුමාන කරන්න පුළුවන් වුණු ඒ ඉව ගැන. කෙනකුගේ දක්ෂතාව හඳුනා ගත්තට පස්සේ පුදුම විදිහට ඔහු ඒ පුද්ගලයාට ආදරය, ගෞරවය කරනවා. මම එය අත්විඳලා තිබෙනවා. මම හරි වාසනවන්තයි එතුමා ඇසුරු කරන්න හැකි වීම ගැන.

මගේ රංගනයේ පළමු ඇක්ෂන් කට් දුන්නේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා. ඒ දවස මම තවමත් අදහා ගන්න උත්සාහ කරනවා. පොඩි කාලේ සිට අප සිනමා තිරයෙන් දුටු විශාල යෝධයෙක් වූ මේ නළුවා ජීවිතේ කවදාවත් හම්බෙන එකක් නැහැ කියලා හිතපු මට අරිසෙන් අහුබුදු ශූරීන්ට පින් සිදු වෙන්න ගාමිණි සර්ව හඳුනා ගන්න ලැබෙනවා.

එතැන් සිට මගේ මේ රංගන කාර්යයේදි දිගින් දිගටම එතුමාගේ උපකාර, දැනුම සියලු දේවල් ලබා දෙනවා.

එතුමාගේ මිනිසත්කම ගැන හරියට හිතපු කෙනෙක්. ඒ හින්දාම දන්නේ නැහැ දේශපාලනයට යොමු වුණේ. ඔහුට ඕනෑම විෂයයක් පිළිබඳ තිබිච්ච දැනුම් සම්බහරය හිතා ගන්න බැහැ. ලොකේ තියෙන මොන විෂයයක් ගැන කතා කළොත් එතුමා දන්නවා ඒ විෂයය ගැන ගැඹුරින් කතා කරන්න. මගේ ජීවිතේට එතුමාගෙන් විශාල ඇගැයීමක් ලැබුණා.

එතුමාගේ සහජ ඉවෙන් හඳුනා ගෙන ඉන්පසු ලොකු සැලකීමක්, ගෞරවයක් දී බොහොම ආදරයෙන් කරුණාවෙන් විෂය පිළිබඳ කරුණු කාරණා පහදලා දීලා ක්ෂේත්‍රයේ රැඳිය යුතු ආකාරය මටත් කියා දී තිබෙනවා.

Comments