ඔරු පදින්නන්ගේ නගරයට වසන්තය ඇවිත් | සිළුමිණ

ඔරු පදින්නන්ගේ නගරයට වසන්තය ඇවිත්

ගේ ඉස්සරහ යකඩ තට්ටුවක් මත රැඳවූ බෝට්ටුවක් දෙකක් ඇතැම් නිවෙස්වල පෙනෙන්නට තිබේ. එවැනි අයකු තරමක ධනවතකු ලෙස සැලකේ. ග්‍රීෂ්ම ඍතුවේ නිවාඩු සමයේ වාහනයේ පිටුපස අටවාගත් ට්‍රේලරයක බෝට්ටුවක් එල්ලාගෙන බෝට්ටු පදින්න පවුල් පිටින් ඈත ප්‍රදේශවලට යෑම සුලබ දසුනකි.

ඒ ඉරිදා උදෑසන අවදි වෙද්දි වෙන දිනවලට වැඩි වෙනසක් පරිසරයේ දකිද්දි සිතට දැනුණේ පුදුමාකාර සතුටකි. අඳුරු මීදුම් මන්දාරම් ගතිය හමාර කරමින් මුළු පරිසරයම හිරු එළියෙන් නැහැවී තිබේ. කුරුල්ලන්ගේ කිචි බිචිය වෙනදාට වඩා ඇසෙන්නට වූයේ උනුත් මේ වෙනසේ සතුට විඳින නිසා වෙන්නට ඇතැයි සිතමින් මම ජනේලයෙන් එළිය බැලීමි.

නුහුරු නුපුරුදු නවසීලන්තයට පා තබා මාසයක් ගෙවී ගියේ සීතල මඟහරවා ගන්නට කළ මහ සටනක් සමඟය. ඇතැම් දිනවල යන්තම් ඉර පෑව්වද ගතට දැනුණේ පුදුම සීතලකි. අපට සීතල නුහුරු වුණත් මේ රටේ මිනිස්සු සුපුරුදු දින චර්යාව එලෙසින්ම ගෙවති. සීතල මදිවාට ඇතැම් දිනවල උදේ සිට චුරු චුරු ගා ඇද වැටෙන වැහි පොදට හුරු වීමට තවත් කාලයක් ගත වනු ඇත. ඇතැම් දිනවල රැයේ හමන සුළං හඬ ඇසෙන්නේ විලාප හඬක් ලෙසිනි.

රෑ අඳුරේ කවුළුවෙන් එළිය බලන විට දකින කොළ නැතිව ඉපල් වූ ගස් පරිසරයට අද්භුත බවක් ගෙන එයි. ඉඳිකටු තුඩු මෙන් සිහින් වැහි පොද එක දිගට ඇද වැටෙද්දි එළියට බසින්නට සිතක් පහළ නොවේ. එලෙසින් ගෙවි ගිය දින ගණනාවකට පසු උදා වූ දවසේ හිරු එළිය දැකීමෙන් දැනුණු සතුට මෙතෙක් යැයි කීමට බැරිය. උදෙන් අවදි වී උණුසුම් ඇඳුමකුත් ඇඳගෙන නිවෙසින් එළියට බැස්සේ ගේ ඇතුළට වී සිටීමෙන් ගල්වෙලා වගේ තිබෙන අතපය දිගහැර ගන්නා අදහසිනි.

නවසීලන්තයේ මේ ගෙවී යන්නේ සීත ඍතුවය. ගිම්හානය උදා වෙන්න ඔන්න මෙන්නය. මඟ දිගට වැටවල් අයිනේ පිපෙන්නට මාන බලන ඩැෆඩිල් මල් පොහොට්ටු එයට සාක්කි දරයි. ඩැෆඩිල් හා මැග්නෝලියා මල් පිපෙන්නට සැරසෙන්නේ ගිම්හානය උදා වෙද්දීය.

අප සිටින ඕක්ලන්ඩ් නගරය දූපත් දෙකකින් යුතු නවසීලන්තයේ උතුරු දූපතේ ප්‍රධාන නගරයයි. රටේ විශාලතම නගරය වන්නේත් ඕක්ලන්ඩ්ය. මුහුදු බොක්කක් ආශ්‍රිතව පිහිටි ඕක්ලන්ඩ් ප්‍රසිද්ධ 'City of Sails' ලෙසය. වැඩි දෙනකුගේ විනෝදාංශය ඔරු පැදීමය. එසේ හැඟෙන්නේ නගරය වටා ඇති නොගැඹුරු මුහුදු වෙරළ ආසන්නයේ ඇඟිල්ලක් ගහන්න බැරි තරමට නවතා තිබෙන විවිධ පන්නයේ ඔරු හා කුඩා නැව් දුටු විටය. නගරය වටා ඇති නොගැඹුරු මුහුදු වෙරළ ආසන්නයේ එකිනෙකට ළංව නවත්වා තියෙන විවිධ මාදිලියේ ඔරු හා කුඩා නැව් අපුරු සොඳුරු බවක් මවයි. මෙහි වැඩි දෙනකුගේ විනෝදාංශය ඔරු පැදීමයි.

සාමාන්‍යයෙන් සෑම නිවෙසකම වාහන දෙක තුනක් තිබේ. පා ගමනින් යන අය බොහෝ අඩුය. නිවෙසක දෙදෙනෙකු සිටී නම් ඒ දෙදෙනාටම වෙන වෙනම වාහනය බැගින් තිබේ. වාහන දෙක තුනක් තිබුණත් ගේ ඉස්සරහ යකඩ තට්ටුවක් මත රැඳවූ බෝට්ටුවක් දෙකක් ඇතැම් නිවෙස්වල පෙනෙන්නට තිබේ. එවැනි අයකු තරමක ධනවතකු ලෙස සැලකේ. ග්‍රීෂ්ම ඍතුවේ නිවාඩු සමයේ වාහනයේ පිටුපස අටවාගත් ට්‍රේලරයක බෝට්ටුවක් එල්ලාගෙන බෝට්ටු පදින්න පවුල් පිටින් ඈත ප්‍රදේශවලට යෑම සුලබ දසුනකි.

මුහුදු බොක්ක අද්දරින් ඇවිද යද්දි ඇතැම් තැන්වල බෝට්ටු පදින්නන්ගේ සමාජ ශාලාය. විශාල ෂෙඩ් වැනි එම ගොඩනැගිලිවල ඇතුළේ බිත්ති දිගට සවි කළ ආධාරකවල හනසු වැනි දිගැටි ඔරු රඳවා තිබේ. පාසල් වියේ තරුණ ළමයි උදෙන්ම අවදි වී ක්‍රීඩා ඇඳුම් ඇඳගෙන මේ තැන්වලට එන්නේ නොගැඹුරු මුහුදේ ඔරු පදින්නය. හය දෙනෙක් එකතු වී ඔරුව කරේ තියාගෙන ගොස් දියත් කර එකදිගට පදිති. එදෙසට යමින් සිටි අපට ඔරුව ඈතට පෙනු‍ෙණ් තිත් හයක් තියපු හනස්සක් මෙනි.

ක්‍රීඩා සමාජවල ඔරු පුහුණුකරුවන්ද සිටින අතර ඔහු ඔරුව දියත් කරන්න පෙර ළමයින්ට උපදෙස් දෙමින් ඔවුන් මෙහෙයවමින් සිටිනු දැක්නට ලැබේ. නියමිත කාලය ඔරුව පැද ගොඩට අරන් එන්නේ පෙර ලෙසම ඔරුව කරේ තියාගෙනය. එසේ පැමිණෙන ඔවුහු ඔරුව හොඳින් සෝදා යළිත් ගොඩනැගිල්ලේ බිත්ති ආධාරකවල ඔරුව රඳවති. ඕක්ලන්ඩ් ජන ජීවිතය හරි අපූරුය.

අප ඇවිද යමින් සිටියේ 'Auckland Basin' ලෙසින් හැඳින්වෙන විශාල ජලාශයක් මැදි කරගත් ප්‍රදේශයකය. මේ නගරයේ තවත් විශේෂයක් වන්නේ නිවාස තිබෙන පැත්ත පළාතක කිසිම වෙළෙඳසලක් පිහිටා නොතිබීමය. අඩුම තරමින් අපේ රටේ විදිහේ පෙට්ටි කඩයක්වත් දක්නට නැත. නිවාස තිබෙන හැම පැත්තකම පාර දෙපැත්තේ විවිධ මාදිලියේ ගස් වවා තිබේ. ශිත කාලය බැවින් ඒ ගස් හැම එකක්ම ඉපල් වී ඇත. නමුදු අතරින් පතර ගසක දල්ලක්වත් දකින්න නැත. ඇතැම් ගස්වල සුදුපාට අතු අග්ගිස්සේ හෙට අනිද්දා දවසක පිපෙන්නට අර අඳින ලා දම්පාට පුංචි මල් පොහොට්ටු ය. නිවෙස් අද්දර පාර දෙපැත්තේ නානාප්‍රකාර මල්ගස්ය. එකම කොළයක් වත් නැති ඇතැම් ගස් හැඩ වී ඇත්තේ තද රෝස හා ළා රෝස පැහැ මල් හා පොහොට්ටුවලිනි. අපේ රටේ වදමලට සමාන රෝස පැහැති මලක් සහිත පඳුරක නම් වද ගස්වල කොළවලට සමාන කොළ දකින්නට ලැබෙයි. ඒත් පදික වේදිකා අද්දර ගස්වල ඇත්තේ එකම කොළයක්වත් නැති අතු ඉති පමණි. ඒ ශිත සෘතුවට ගස්වල හැටිය.

මඟ දෙපස සිරි අසිරිය බලමින් යන විට මොහොතකට ඇස් දෙක නතර විණි. ඒ නිවෙස් කිහිපයක් ඉදිරියේ දක්නට ලැබුණ ඵලබර වූ දොඩම් ගස් දැකීමෙනි. උස අඩි දහයක්වත් නැති ඒ දොඩම් ගස් බෝල හැඩයට කපා හැඩ කර තිබේ. අප දුටු සෑම දොඩම් ගහකම කහ පාට දොඩම් පිරිලාය. අඩි තුනක් තරම්වත් උස නැති දොඩම් ගසෙත් ගෙඩි දහයකට වැඩිය. ගස් යට වැටුණු දොඩම්ය. නමුදු කිසිවෙකු ඒ දොඩම් ඇහිඳින බවක් ද දක්කට නොලැබිණි.

පැය එකහාමාරකට වඩා ඇවිද ගිය වටරවුමේදී මට එකක් නම් පසක් විය. එනම් ඔවුන් දොඩම් වවා ඇත්තේ මල් ගස් වවනවා මෙන් අලංකාරයට බවය. අප පදිංචි වී සිටින නිවෙස ආසන්නයේ නිවෙස් කිහිපයකම එවැනි ගෙඩි පිරුණු දොඩම් ගස් කිහිපයක්ම තිබේ. කිසි විටෙක ඒ ගස්වල දොඩම් කඩනවා නොදුටුවෙමි.

කහ පැහැ දොඩම් පිරුණ ගස් දුටු විට මට සිහි වුයේ මගේ රටය. කන්තෝරුවය. අපේ රටේ අඹ, ජම්බු ජම්බෝල වෙරළු රඹුටන් හැදෙන කාලයට සිළුමිණ සගයන් සමඟ බෙදාගෙන කෑ අයුරු සිහිපත් වෙයි.

නිවෙස් පිහිටි ඉඩම් වෙන් කර තිබුණේ පඳුරුවලිනි. ඒ මිටි පඳුරු ශාක කපා හැඩ කර තිබේ. ඉඩම් වෙන් කිරීමට තාප්පයක් බැඳ තිබෙනු දක්නට නොලැබිණි. ඇතැම් ඉඩම් වෙන් කර තිබුණේ ලී වැටවල්වලිනි. මේ ලී හිඩැසි අතරින් පෙනෙන මිඳුලක පිපී තිබෙන ලොකු මල් ගෙන ආවේ හරි අපූරු බවකි.

“හිරු එළියත් සමඟින් ඕක්ලන්ඩ් වැසියන්ට පිස්සු හැදිලා“

මට එහෙම හිතුණේ වෙන දා පාළුවට තිබූ ඇවිදින මං තීරු පුරා වේගයෙන් ඇවිද යන මිනිසුන් දුටු විටය. තවත් අය ළදරු කරත්තවල අත දරුවන් තබාගෙන ඇවිද යති. රෝද සවි කළ පාවහන් පැලැඳගත් දරුවන් යන වේගය දුටු විට බිම ඇද වැටේ යැයි බයක් හිතෙයි. සමහරු බයිසිකල් පදිති. වයසක ජෝඩු හෙමින් සැරේ ඇවිද යන්නේ මඟ දිගට මුණ ගැහෙන අයට සුබ උදෑසනක් පතමිනි.

ඒ සියල්ල අලුත් හිරු එළිය නිසාය. අප දිගින් දිගට ඇවිද ගියේ ඒ සියලු දේ බලමිනි.

පහන් කණුවක් අද්දර තිබූ කළු පැහැති මල්ලක් දුටු මා සිතේ ඇතිවුණේ කුතුහලයකි. පත්තර කොළයක්, ෂොපිං බෑගයක්, කඩදාසි ගොටුවක් බිම පැත්ත පළාතක නැති මේ පිරිසුදු නගරයේ පහන් කණුවක් අද්දර වූ මල්ල මගේ සිතට ගෙනාවේ කුකුසකි. ඇවිද යන ගමන් මම මල්ලට එබී බැලුවෙමි. ඒ දොඩම් මල්ලකි. දොඩම් ගෙඩි විස්සක් තිහක් පුරවපු මේ මල්ල කවුරුහරි තියලා ගිහින්වත්ද? මෙහෙම සිතමින් මං එතැන පසු කළේ එමින් ගමන් ඒ ගැන නැවත බලන්න ඕනෑ යැයි සිතමිනි.

වටරවුම ඇවිදගෙන අප ආපහු එන විිට තවත් පැය බාගයක් විතර ගත වී තිබිණි. යනකොට තිබූ දොඩම් මල්ල තවමත් එතැනය. එහෙත් දොඩම් මල්ලේ තිබූ දොඩම් ගෙඩි ටිකක් අඩු වී තිබිණි. මම මල්ල දෙස හොඳින් බැලුවෙමි. මල්ලට පිටතින් ඉංග්‍රීසියෙන් ලියූ සටහනක් අලවා තිබේ.

'Sweetie, Juicy - Help Yourself '

මං දොඩම් ගෙඩියක් අතට අරන් බැලුවේ නරක් වෙලාවත්ද කියාය. ඉඹලත් බැලුවෙමි. යාන්තම් කොනහා බැලුවේ පරුවෙලා ද කියලාය. ඒ දොඩම් නැවුම් සුවඳය. මට මතක් වුයේ අප පිටකොටුවෙන් වගේම සුපිරි වෙළෙඳසල්වලින් බර ගණනක් දී මිලදී ගන්නා ගස් වලින් කඩා මාස ගණන් ගත වූ දොඩම්ය. වටපිට බලන විට දුටුවේ ඉදිරියෙන් ඇති නි‍ෙවසේ කහ පැහැ ගෙඩි පිරුණු දොඩම් ගසයි. දොඩම් මල්ල පාර අද්දර තබා ඇත්තේ එම නිවැසියෝය. අපි ඒ උරයෙන් දොඩම් ගෙඩි අටක් අරන් ගෙදර ආවෙමු. නිවෙසට පැමිණ නැවුම් දොඩම් රස වින්ඳෙමු. ඒ එක අත්දැකීමකි. මේ මා ලැබූ තවත් අත්දැකීමකි.

අපේ ගෙදර ඒත් අපට අයිති නැති ප්ලම්ස් ගසක් තිබේ. ප්ලම්ස් ගස තිබෙන්නේ අල්ලපු වත්තේය. සුදුපාට අතුයි ඉදිරියේදී පල දරන්න ලෑස්ති වන පුංචි මල් පොහොට්ටුයි පිරුණ ලොකු ප්ලම්ස් ගසේ ලොකුම අත්ත ඇත්තේ අපේ වත්තේය. වසන්තයේ දී ගෙඩිවලින් බර වන ප්ලම්ස් ගහේ ලොකු අත්තක් වතු දෙක වෙන් කරන කැඩී ගිය ලී වැටට උඩින් බර වී තිබේ. ගෙඩි හැදෙන කාලෙට ලංකාවේ උගුරැස්ස ගෙඩි මෙන් තුන් ගුණයක් පමණ ලොකු කුණු ලේ පාට ගෙඩිවලින් ගහ පිරෙයි. ඒ ගෙඩි කන්න එන කුරුල්ලන්ගේ තොරතෝංචියක් නැති කිචිබිචිය දවස පුරාම වුවත් අහන් ඉන්න ආසය. එතරම් පැණි රසක් නැති වුවද ප්ලම්ස් ගෙඩි රස කර කර කන්න පුළුවන්ය.

අතු ඉති පිරෙන්නට හැදෙන ප්ලම්ස් ගසේ ගෙඩි කඩාගෙන කෑවද යාළු මිත්‍රයන්ට බෙදුවද අයිතිකරුවන්ගෙන් කිසිදු මැසිවිල්ලක් නැත. ප්ලම්ස් අත්ත අපේ ගෙමිදුලේ ඇත්තේ මුක්කුවක් මතය. අසල්වැසියා එය දුටුවද මේ වන තෙක් ඊට විරුද්ධව වචනයක් වත් කියා නැත.

දොඩම් යුෂ බිවූ අපි දොඩම් රස වැටී නැවත දොඩම් මල්ල බලන්න යන්න සුදානම් වුවද ඊට පස්සේ දින දෙකක්ම එළියටවත් බහින්න බැරි වුණේ නැවතත් පෙර ලෙසම චුරු චුරු වැස්ස පටන්ගත් නිසාය. ඉර පෑයුවේ නැති නිසා දොඩම් මල්ලත් නැතිව ඇතැයි කියා අපි හිත හදා ගත්තෙමු. හොඳින් ඉර පායා තිබුණත් එළියට බහින්න බැරි මේ සීතලේ ඈත ගෙවතුවල ගෙඩි බරවූ දොඩම් ගස් දෙස ජනේලයෙන් බලා සිටින්නේ ළමා කල ගැයු ගී පද මුමුණා හිත සනසාගෙනය.

‘මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ 
පැහිලා ඉදිලා බිමට වැටිලා බර වෙලා අතූ‘

ඡායාරූප - සංජීව කැල්ලපත

Comments