අහස සිඹින නෙළුම බේරේ වැව් ඉවුරෙන් ඉහළ නැගුණු හැටි | සිළුමිණ

අහස සිඹින නෙළුම බේරේ වැව් ඉවුරෙන් ඉහළ නැගුණු හැටි

 

2008 වස­රයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියා­මන කොමි­සම විසින් බහු­කාර්ය විදුලි සංදේශ කුලු­න­ක්‌ ­ඉදි කිරී­මට තීන්දු කර තිබිණි. ඒ සඳහා පෑලි­ය­ගොඩ ඉංජි­නේරු සංස්‌ථා­වට අයත් හෙක්‌ට­යාර දහ­යක ඉඩමේ ඉංජි­නේ­රුවෝ පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කළහ. ඔවුහු ඒ භූමියේ කුඩා දිය පොකු­ණක ඉහ­ළට මතු වී තිබුණු නෙළුම් කැකු­ළ­ක්‌ ­දු­ටහ. එය දුටු ඔවුන්ට චීනය මැලේ­සි­යාව වැනි රට­වල ඇති මෙවන් බහු­කාර්ය කුලුනු සිහි ගැන්විණි. යෝජිත කුලු­නද ඒ අයු­රින් පොකුණේ දුටු නෙළුම් දණ්‌ඩ හා නෙළුම් කැකුළ ලෙස නිර්මා­ණය කිරීමේ අද­හස ඔවුන්ට මතු විය.

මේ සංකල්ප සැල­සුම් අනුව එහි වැඩ­ක­ට­යුතු සමා­ලෝ­ච­නය වෙද්දී ඒ භූමියේ ඉඩම ලබා­ගැ­නීම පිළි­බඳ ප්‍රශ්න­යක් පැන­නැ­ඟුණු අතර, අව­සා­නයේ එය පෑලි­ය­ගො­ඩින් කොළඹ ඩී.ආර්. විජ­ය­ව­ර්ධන මාව­තට පැමි­ණි­යේය. ඒ අනුව බේරේ වැව අස­බඩ, තැපැල් අමා­ත්‍යාං­ශයේ රෝස පැහැ අලං­කාර ගොඩ­නැ­ඟි­ල්ලට ය‍ාබද ඉඩ­මෙහි ඉදි කිරීම් 2012 වසරේ ආරම්භ කෙරිණි. පසු­ගිය 16 වැනිදා විවෘත කරන ලද, මීටර් 356ක උස­කින් යුක්ත වන මේ කුලුනේ අංගෝ­පාංග හා පහ­සු­කම් පිළි­බඳ වග-තුග රැසක් මේ වන විට මාධ්‍ය ඔස්සේ හෙළි කර ඇති හෙයින් එය ඉදි­කි­රී­මේදී පැන­නැ­ඟුණු දුෂ්ක­රතා සහ ඒ සඳහා දේශීය තාක්ෂ­ණය යොදා­ගැ­නීම පිළි­බඳ වැඩි අව­ධා­න­යක් මේ ලිපි­යේදී යොමු කළෙමු.

මේ සම්බ­න්ධ­යෙන් තොර­තුරු දැක්වී­මට එක් වූ නෙළුම් කුලුනේ ව්‍යාපෘති ඉංජි­නේරු අනුර කුමා­ර­පේළි මහතා පැව­සුවේ මෙහිදී අභි­යෝග රැස­කට මුහුණ දෙන්නට සිදු වුවත් ඒ සියල්ල කෙසේ හෝ ජය ගත් බවයි. 

‘‘චීනයේ මෙවැනි කුලුනු 30ක් පමණ තිබෙ­නවා. ඒ නිසා චීන රජයේ සහාය ඇතිව කුලුන ගොඩ­නැං­වීම කෙරෙහි අව­ධා­නය යොමු කළා. විශේ­ෂ­යෙන්ම මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ වෙනම විශේ­ෂඥ කණ්ඩා­ය­මක් මෙවන් කට­යුතු සම්බ­න්ධව යොමු වී සිටි­නවා. එයින් රටට විශාල සෙතක් සැල­සෙ­නවා වගේම විශ්ව­වි­ද්‍යා­ල­ය­ටත් ආදා­ය­මක් ලැබෙ­නවා. මේ කුලුනේ මූලික නිර්මාණ කට­යුතු සඳහා මහා­චාර්ය නිමල් සිල්වා මහතා දායක වුණා. පළ­මු­වෙන් මේ සම්බ­න්ධව ඉරා­න­යත් සම­ඟයි සාකච්ඡා පවත්වා තිබුණේ. ඒත් ඒ සාකච්ඡා පල දරා නැහැ. එනි­සයි පසුව චීනය සමඟ ගිවි­සු­ම්ගත වුණේ.

කොහොම නමුත් මේ කුලුන ගොඩ­නැං­වී­මේදී අපට අභි­යෝග රැස­කට මුහුණ දෙන්න සිදු වුණා. විශේ­ෂ­යෙන්ම මහා­චාර්ය සමිත මාන­වඩු මහතා ප්‍රමුඛ නිල­ධා­රීන් මේ සම්බ­න්ධව අපේ රටේ දැනු­මත් උප­යෝගි කර­ගෙන, රටේ කාල­ගු­ණික විප­ර්යාස මෙන්ම අනෙ­කුත් භූ-විද්‍යා­ත්මක සාධක සස­ඳ­මින් මේ නිර්මා­ණය බිහි කරන්න කට­යුතු කළා‍.

විශේ­ෂ­යෙන්ම බේරේ වැවේ සිට මීටර් 20ක් පමණ නුදු­රින් තමයි මේ කුලුන ඉදි කිරී­මට යෝජිත වුණේ. වැස්ස කාලෙට වැවේ වතුර ගොඩට ගලන තර­මට ළං වෙනවා. මේ නිසා ඉදි කිරීම් සිදු කිරීම ඉතා අප­හසු කාර්ය­යක් වුණා. කොහොම වුණත් ඒ සියලු අභි­යෝග ජය ගන්න චීනයේ හා අපේ තාක්ෂ­ණික එක­මු­තු­වෙන් කට­යුතු කරන්න අපට හැකි වුණා.

මේ සැලැස්ම කොටස් කිහි­ප­ය­කින් සකස් වුණා. ඒ අනුව කුලුනේ පාදම, කුලුනේ බඳ හා කුලුනේ ඉහළ මාල යනු­වෙන් ප්‍රධාන කොටස් 3ක් වශ­යෙන් සැල­සුම් සකස් කර­ගත්තා. ඇන්ටෙ­නාව ඊට ඉහ­ළින්ම සවි කිරී­මයි සැල­සුමේ තිබුණේ.

කුලුනේ පහ­ළම ඇති මහල් කුලුනු මත ඉදි කිරී­ම­ටයි යෝජනා වුණේ. ඒ කුලුනු භූගත පාෂා­ණයේ සිටම ගොඩ­නංවා තිබෙ­නවා. ඒ සඳහා අඩි 60ක් පමණ පතු­ලට කුලුනු බැස්ස­වී­මට සිදු වුණා. ඒක තර­මක් භාර­ධුර කාර්ය­යක්. ඇතැම් ස්ථාන­වල පිහිටි පාෂාණ ඉතා සිනිදු තත්ත්ව­ය­කයි තිබුණේ. එවන් අව­ස්ථා­ව­ලදී අපට ඒ ස්ථාන­ව­ලට කොන්ක්‍රීට් ආස්තර යොදන්න සිදු වුණා. නෙළුම් කුලුනේ ඉහ­ළට විහිදී යන නාර­ටිය බඳු කොටස භූගත පාෂා­ණයේ සිට පාද­මක් සහි­ත­වයි ගොඩ­නංවා තිබෙන්නේ. ඒ අනුව පහළ මාල­යන් සහ ඈතට දිස් වන නාර­ටිය බඳු කොටස වෙන් වෙන් පාදම් මතයි ඉදි කර ඇත්තේ. පහළ මාල භූග­තව සිට එන කුලුනු මතත්, ඉහ­ළට එසැවී ඇති කොටස (ඈතට පෙනෙන කොළ පැහැති බඳ) භූගත පාදමේ සිටම ඉදි කර ඇති පාද­මක් මතත් ගොඩ­නංවා තිබෙ­නවා. එහි­දීත් ඇතැම් තැන්වල අඩි 45ත් 60ත් (මීටර් 16ක් පමණ) අතර භූග­තව පද­නම යොදන්න සිදු වුණා. මේ අභි­යෝ­ගය ශ්‍රී ලංකාවේ ඉදි කිරී­ම­කදී අපට මතු වුණු සුවි­ශේෂ එකක්.

දෙවැනි අභි­යෝ­ගය වුණේ විශාල ජලා­ශ­යක් අසල සිට මේ ඉදි කිරීම සිදු කිරීම නිසා වතුර ඇතු­ළට පැමි­ණීම වැළැ­ක්වී­මයි. ඒ සඳහා අපට විශාල පරි­ශ්‍ර­ම­යක් දරන්න සිදු වුණා. එහිදී ජලය කාන්දු නොවන සේ ආව­රණ තුනක් යෙදුවා.

එමෙන්ම අපට මුහුණ දීමට සිදු වුණු තවත් අභි­යෝ­ග­යක් වන්නේ මීට පෙර කිසි දිනක ඉදි නොකළ උසින් වැඩි, සාපේ­ක්ෂව පළ­ලින් අඩු, ඉහ­ළට ඇදී-යන නාර­ටි­යක් වැනි ඉදි කිරී­මට කොන්ක්‍රීට් දැමී­මයි. කොන්ක්‍රීට් දැමී­මේදී කොන්ක්‍රීට් ආධා­ර­කය (අච්චුව) රඳවා තැබී­මට හැකි­යා­වක් තිබුණේ නැහැ. හිස් අව­කා­ශය පම­ණයි තිබුණේ. ඒත් අප එහිදී සිදු කළේ පොල් ගස් බඩ ගාන අයකු දෑත් ඉහ­ළට ඔස­ව­මින් දෙපා ඒ ස්ථාන­යට ගන්නා අයු­රින් කොන්ක්‍රීට් ආධා­රක සවි කිරී­මයි. පළ­මු­වන කොටස අව­සන් වූ විට එය පාදම කර­ගෙන දෙවන කොට­සත්, දෙවන කොටස අව­සන් වූ විට එය පාදම කර­ගෙන තුන්වන කොට­සත් ආදි වශ­යෙන් ඒ කාර්යය සිදු කළා.

වර­කදී මීටර් 3ක් උස­කට ආධා­රක සවි කරනු ලැබුවා. එවිට කොන්ක්‍රීට් වත් කිරී­මට සිදු වුණේ සැම විටම මීටර් 3ක් (අඩි 15ක්) උඩ සිටයි. එවන් ක්‍රියා­දා­ම­යක්ද මීට පෙර ලංකාවේ සිදු කර නැහැ. අඩි 15ක උස නිසා මිශ්‍ර­ණයේ ගල්, වැලි, සිමෙන්ති වෙන් වීමට බොහෝ ඉඩ-කඩ තිබෙ­නවා.

එසේම විෂ්ක­ම්භය මීටර් 43ක් හා ඝන­කම අඩි 2ක් වන නිසා අධික තාපය හේතු­වෙන් කොන්ක්‍රීට් ස්තරය පිපි­රී­මට හැකි­යාව තිබුණා. විශේ­ෂ­යෙන්ම පරි­සර උෂ්ණ­ත්වය ඉහළ යෑමේදී මේ තත්ත්වය ඇති වීමට ඇති හැකි­යාව ඉතා ඉහ­ළයි. ඒ නිසා මේ සඳහා අප නොරො­ච්චෝලෙ ගල් අඟුරු බලා­ගා­රයේ දැවි අළු යොදා­ගත්තා. ඒ චීන නියෝ­ජි­ත­යන් සහ අප නිර­තු­රුව සිදු කළ පර්යේ­ෂ­ණ­ව­ලින් අන­තු­රු­වයි. එම­ඟින් උෂ්ණ­ත්වය නිය­මිත පරිදි රඳා පව­ත්වා­ගන්න අප කට­යුතු කළා. විශේ­ෂ­යෙන්ම මෙහිදී කොන්ක්‍රීට් මිශ්‍ර කිරී­මේදී අප අයිස් ජලය භාවිත කළා.

පාදම ඉදි කිරී­මේදී එක දිග­ටම එයට කොන්ක්‍රීට් යෙදී­මට අවශ්‍ය වුණා. ඒ සඳහා කොන්ක්‍රීට් මෙට්‍රික් ටොන් 4,000ක් අප භාවිතා කළා. එක දිගට පැය 36ක් වැඩ කිරී­මේදී සමා­ගම් 5ක කොන්ක්‍රීට් අතු­රන රථ 5ක් අප භාවිතා කළා.

අපට මතු වුණු තවත් විශාල අභි­යෝ­ග­යක් වුණේ ඇන්ටෙ­නාව ඉහ­ළට ගෙන යෑමයි. එය හෙලි­කො­ප්ටර් යානා මඟින් ගෙන යෑමට පළ­මුව යෝජනා වුණා. එහෙත් එහි ඇති අව­දා­නම ගැන පසුව අව­ධා­නය යොමු වුණා. විශේ­ෂ­යෙන්ම අවට පාසල් තිබෙ­නවා. එමෙන්ම අනෙක් ගොඩ­නැ­ඟිලි අව­දා­න­මට ලක් වීමක්ද තිබුණා. එප­ම­ණක් නෙමෙයි ටොන් 180ක් බර මේ ඇන්ටෙ­නාව ඇතැම් විට හෙලි­කො­ප්ට­ර­යට ඔරොත්තු නොදී හෙලි­කො­ප්ට­ර­යත් සමඟ කඩා­වැ­ටීමේ අව­දා­න­මක්ද තිබුණා. ඒ වගේම තද සුළඟ නිසා ඇන්ටෙ­නාව පැද්දී­මට ලක් වී කුලුනේ ගැටී­මට පවා හැකි­යාව තිබුණා.

ඒ නිසා මේ අව­දා­නම් හමුවේ අප අව­සා­නයේ කුලුනේ ඉහළ සිට පහ­ළට මැදින් සිදු­රක් හැදුවා. ඒ සිදුර හැදුවේ ඉතා පරි­ස්ස­මින් ඇන්ටෙ­නාවේ වට ප්‍රමා­ණ­යට වඩා අඟල් දෙක-තුන­කට වඩා ඒ සිදුර විශාල කළේ නැහැ. ජැක් 4ක ආධා­ර­යෙන් එක් ජැක් යන්ත්‍ර­ය­කට කේබල් 18ක් බැගින් යොදවා ඒ හරහා ටිකෙන් ටික මේ ඇන්ටෙ­නාව සිදුරු කළ කුහ­රය ඔස්සේ ඉහ­ළට ඔස­වා­ගන්න අප කට­යුතු කළා.

එයත් එක දිග­ටම කරන්න හැකි වුණේ නැහැ. සෙන්ටි­මී­ටර් 25ක් (අඟල් 10ක්) පමණ ඔසවා එය යම් වේලා­වක් නවතා තබා පසුව තවත් ටිකක් ඉහ­ළට එසෙව්වා. මේ ආකා­ර­යෙන් පහළ සිට ඉහ­ළට ඇන්ටෙ­නාව ගෙන යෑමට සති දෙකක් ගත වුණා. එය නිසි ලෙස සවි කරන්න තවත් සති දෙකක් ගත වුණා.

නෙළුම් පොහො­ට්ටුව මුදුනේ වීදුරු සවි කිරීමේ ගැට­ලුව අපට මුහුණ පාන්න සිදු වුණු තවත් විශේෂ අභි­යෝ­ග­යක්. විශේ­ෂ­යෙන්ම එහි පිට­පැත්තේ සිදු කළ යුතු සවි කිරීම් භයා­නක කට­යු­ත්තක් වුණත් ඒ අභි­යෝ­ග­යත් අප කෙසේ හෝ ජය ගත්තා.

භූමි කම්පා­ව­කට පවා ඔරොත්තු දෙන ආකා­ර­යෙ­නුයි මේ කුලුන ගොඩ­නංවා ඇත්තේ. කම්ප­න­ව­ලට ඔරොත්තු දෙන පරිදි වාහ­න­යක කම්පන පද්ධ­තිය සකස් කර­න්නාක් මෙන් මෙයත් භූ චල­න­ව­ලට ඔරොත්තු දෙන ආකා­ර­යෙන් ඉදි කර තිබෙ­නවා.

රූප­වා­හිනී හා ගුව­න්වි­දුලි තරංග විකා­ශන කුලු­නක් වන මෙහි උස මීටර් 356.3ක් දක්වා ඉහළ ගියේ ඕස්ට්‍රේ­ලි­යානු හා ජපාන විශේ­ෂ­ඥ­යන් විසින් දුන් උප­දෙස් අනු­වයි.

සම්පූර්ණ ඉදි කිරීම් සඳහා කොන්ක්‍රීට් මෙට්‍රික් ටොන් 35,000ක් පමණ හා යකඩ මෙට්‍රික් ටොන් 7500ක් වැය වුණා. කොන්ක්‍රීට්ද ඇතු­ළත්ව සිමෙන්ති මෙට්‍රික් ටොන් 17800ක්, වැලි මෙට්‍රික් ටොන් 11000ක්, ගල් මෙට්‍රික් ටොන් 12000ක් යොදා­ගැ­නුණා. මෙය අපට අසා­මාන්‍ය ඉදි කිරී­මක් වුණත් චීනයේ හා අපේ තාක්ෂ­ණික දැනුම අනුව එය ජය ගන්නට හැකි වුණා."

ශ්‍රී ලංකාවේ ගොඩ­නැ­ඟි­ල්ලක ස්ථාපිත වේග­වත්ම විදුලි සෝපාන පද්ධ­තිය පිහිටා ඇත්තේ නෙළුම් කුලු­නේය. මෙහි විදුලි සෝපාන තත්ප­ර­යට මීටර් 7ක් බඳු හැකි අධික වේග­යෙන් ගමන් කරයි. ඒ අනුව විදුලි සෝපාන මඟින් තත්පර 37කදී කුලුන මුදු­න­ටම ළඟා විය හැකිය. නෙළුම් කුලු­නෙහි විදු­ලිය සෝපාන 8ක් ස්ථාපිත කර ඇති අතර, එයින් 3ක් පාදමේ ඇති මහල් කරා ගමන් කිරී­මට වෙන්ව තිබේ. පළමු මහල් 4න් 3ක් වෙන් වන්නේ සාප්පු සංකීර්ණ වෙනු­වෙනි. ඒ සඳහා ස්වයං­ක්‍රීය පඩි­පෙ­ළද (එස්ක­ලේ­ටර) සම­න්වි­තය.

නෙළුම් කුලුනේ බඳ මධ්‍ය­යෙන් ගමන් කර ඉහ­ළට ගිය විට හමු වන පොහො­ට්ටුවේ පළමු මහල් දෙක වෙන් වන්නේ විදුලි සංදේශ හා සන්නි­වේ­දන අංශ වෙනු­වෙන්ය. එය සාමාන්‍ය ජන­තා­වට නැරැ­ඹිය නොහැකි විශේෂ ආර­ක්ෂිත කලා­ප­යකි.

තුන් වැනි හා සිව් වැනි මහල් වෙන්ව ඇත්තේ විශේෂ උත්සව හෝ සම්ම­න්ත්‍රණ පැවැ­ත්විය හැකි 'බැන්ක්වට් හෝල්' දෙකක් වෙනු­වෙනි. ඒ එක් උත්සව ශාලා­වක 300කට පහ­සු­වෙන් අසුන් ගත හැකිය.

පස් වන මහල වෙන් වන්නේ කැර­කෙන අව­හ­න්හ­ල­ටය. කැර­කෙන අව­න්හ­ලේද බැන්ක්වට් ශාලාවේ මෙන් එක­වර 300 දෙන­කුට අසුන් ගත හැකිය. එය එක් තැනක අසුන් ගෙන ශ්‍රී ලංකාවේ කොළඹ නග­රය හතර වටේ­ටම එක­වර නැර­ඹිය හැකි එකම ස්ථානය වේ. සෙමෙන් කැර­කැ­වෙන මේ සුපිරි භෝජ­නා­ගා­රයේ අසුන් ගත් අය­කුට මේ භෝජ­නා­ගා­රයේ තමා අසුන් ගෙන සිටින ප්‍රදේ­ශය සෙමෙන් කැර­කැ­වෙන බවක් කිසි­සේත්ම නොදැනේ. එය පැය එක­හ­මා­රක කාල­ය­කදී එක් වට­යක් ගොස් මුලින් පිහිටි තැනට පැමිණේ.

කුලුනේ සවැනි මහල වෙන් වන්නේ සුපිරි හෝටල් කාමර වෙනු­වෙනි. එය විශේෂ සුපිරි කාමර 2ක් හා සුපිරි කාමර 4කින් සම­න්වි­තය.

සත්වැනි මහල නිද­හසේ කොළඹ නග­රය නැර­ඹිය හැකි නැර­ඹුම් ප්‍රදේ­ශ­යයි. එහි නිද­හසේ ගමන් කර­මින් නග­රය වටේ­ටම නැර­ඹිය හැකිය. ගිනි පෙට්ටි ඇමු­ණුවා සේ ධාව­නය වන දුම්රිය හා සෙල්ලම් බස් සේ ඩී.ආර්. විජ­ය­ව­ර්ධන මාවතේ ගමන් කරන බස් රථ අපට එහිදී නැරැ­ඹිය හැකිය.

අට වන මහල විවිධ යන්ත්‍රෝ­ප­ක­රණ හා නව වන මහල ජල ටැංකි ආදිය සඳහා වෙන් කර තිබේ. කුලුනේ ඉහ­ළින්ම ඇන්ටෙ­නා­වයි.

සාමාන්‍ය බිම් මට්ටමේ සිට බැලූ විට මෙන් නොව සත් වන මහල දක්වා ගිය විට එහි උස මැන­වින් පෙනේ. සමස්ත ඇන්ටෙ­නාවේ උස මීටර් 90කි. මෙහි මුළු­තැ­න්ගෙය පිහිටා ඇත්තේ භූග­ත­වය. එමෙන්ම ඉහළ සිට පහ­ළ­ටම පඩි පෙළ ඉදි කර ඇත. එහි අඩංගු සමස්ත පඩි සංඛ්‍යාව 1,700කි.

නෙළුම් කුලුන හැඳි­න්වෙන්නේ අධි­තා­ක්‌ෂ­ණික ගොඩ­නැ­ඟි­ල්ල­ක්‌ ­ලෙ­සිනි. මෙහි එක්‌ ­එ­ක්‌ ­ම­හල වෙත යා යුතු වන්නේ ස්‌වයං අව­සර පත්‍ර ක්‍රම­වේ­ද­ය­ක්‌ ­ඔ­ස්‌සේය. ඒ අනුව එක්‌ ­ම­හ­ල­ක්‌ ­ස­ඳහා නිකුත් කරන විද්යුත් අව­සර පත­කින් තවත් මහ­ල­කට ඇතුළු විය නොහැ­කිය. උදා­හ­ර­ණ­ය­ක්‌ ­ලෙස: ගත හොත් බැන්ක්ව­ට්‌ ­ශා­ලා­ව­කට ඇතුළු වීමට නිකුත් කරන විද්යුත් අව­සර පත­කින් කැර­කෙන අව­න්හ­ලට ඇතුළු විය නොහැ­කිය. ඒ නිසා ආර­ක්ෂාව උප­රිම ලෙස යොදවා ඇත. කුලු­නට ඇතුළු වීමේදී ස්වයං­ක්‍රීය දොර­ටු­ව­ලදී කාඩ්ප­තක් ලබා­ගත යුතුය. තමන්ට යා යුතු ස්ථාන­යට අදාළ කාඩ්පත ලබා­ගන්නා තුරු කුලු­නට පිවි­සිය නොහැ­කිය.

‍මෙහි ඉදි­කි­රීම් සඳහා වැය කළ මුදල ඇ.ඩො. මිලි­යන 104.3කි. ණය මුදල් සප­යනු ලැබුවේ චීනයේ එක්සිම් (Exim) බැංකුව මඟිනි. එමෙන්ම කුලුනේ ඉහ­ළම ඇති නෙළුම් පොහො­ට්ටුවේ අවශ්‍ය අයු­රින් ආලෝ­කය වර්ණ ගැන්විය හැකිය.

නෙළුම් කුලුන රාජ්‍ය සමා­ග­මක් මඟින් මෙහෙ­යුම් සිදු කිරී­මට අවශ්‍ය කැබි­නට් අනු­මැ­තිය පසු­ගිය මාස­යේදී ලැබුණු නමුත් මේ වන තෙක් ඒ සමා­ගම ස්ථාපිත කර නැති නිසා එහි මෙහෙ­යුම් කට­යුතු කිසි­වක් අරඹා නැත. එමෙන්ම එහි වැඩ කට­යු­තුද තව­මත් අව­සන් කර නැති නිසා සාමාන්‍ය ජන­තා­වට තවත් මාස දෙකක් පමණ වන තුරු එයට ඇතුළු වීමට අව­සර නැත. සති­ය­කින් ජය ජන­තා­වට විවෘත වන බවට ඇතැම් මාධ්‍ය මඟින් පළ කළ දැනුම් දීම සත්‍ය නොවේ. කුලුන විවෘත කිරී­මෙන් පසු එයට ඇතුළු වීම පිණිස අනි­වා­ර්ය­යෙන්ම ගාස්තු­වක් අය කෙරේ. එය එක් එක් අංශය අනුව වෙනස් වනු ඇත.

නෙළුම් කුලුන ආර­ම්භක සංක­ල්පයේ සන්නි­වේ­දන අව­ශ්‍ය­තා­ව­ලට අම­ත­රව, විනෝ­දා­ත්මක, වෙළෙඳ හා සංචා­රක ප්‍රව­ර්ධන අර­මුණු පෙර­දැරි කර­ගෙන සංකල්ප සැල­සුම් නිර්මා­ණය වෙමින් තිබු­ණද පසුව ඇති වූ ගැටලු මත කුලුනේ මූලික අර­මු­ණු­ව­ලට අදාළ අංගෝ­පාංග රාශි­යක වෙන­ස්කම් ඇති‌ ­විය. ආර­ම්භක සැල­සුමේ ඩිස්‌නි­ල­න්ත­යට සමා­න­කම් දක්වන උද්‍යා­න­යක්‌ද ඇතු­ළත් විය. නෙළුම් කුලුන ආර­ම්භ­යේදී පෑලි­ය­ගොඩ ප්‍රදේ­ශයේ ඉදි කිරී­මට කට­යුතු යොදා තිබු­ණද පසුව වර්ත­මා­නයේ භූමි­භා­ග­යට එය ගෙන යෑම නිසා විනෝ­දා­ස්වාද පිණිස යොදා­ගැ­න්මට තිබුණු ඉඩ­කඩ සීමා වූ හෙයින් පළ­මු­වන අදි­ය­රෙන් එය ඉවත් විණි. එහෙ­යින් නෙළුම් කුලුන ආශ්‍රිත ප්‍රදේ­ශ­යේම දෙවන අදි­ය­රක් සඳ­හාද සැල­සුම් කර ඇත. එහි වාහන 2,000ක් ගාල් කළ හැකි භුගත රථ ගාලක්, අඩු ආදා­ය­ම්ලා­භි­යාගේ සිට සුපිරි ආර්ථික මට්ටම් අය සඳහා වෙන් වන සාප්පු සංකී­ර්ණ­යක්, ශාරී­රික සුවතා මධ්‍ය­ස්ථා­න­යක් (gym), පිහි­නුම් තටා­ක­යක් හා සිනමා ශාලා­වක්ද ස්ථාපිත කිරී­මට යෝජනා වී තිබේ.

ආර­ම්භ­යේදී පෑලි­ය­ගොඩ හෙක්ට­යාර 10 වෙනු­වට නෙළුම් කුලු­නට දැන් හිමිව ඇත්තේ බේරේ වැව අස­බඩ වූ හෙක්‌ට­යාර 3.1ක්‌ වූ ඉඩ­මක් පමණි. අප පෙර කී දෙවන අදි­යර ඊට යාබ­දව වූ තවත් අක්‌කර 5ක ඉඩ­ම­ක්‌ ­ල­බා­ගෙන ක්‍රියා­ත්මක කිරී­මට යෝජි­තය.

 

Comments