හිමේ වැළලුණු ආදරය | සිළුමිණ

හිමේ වැළලුණු ආදරය

ඇන්ඩීස් කඳු වළල්ල පොරවාගත් හිම සළුව හිරු එළිය වැදී රිදීවන් පාටින් දිලිසෙනවා. හරියට ම මීට අවුරුද්දකට කලින් මෙතැන තිබුණේ මීට හාත්පසින් ම වෙනස් පරිසරයක්. එදා තිබුණු අඳුරු, මූසල වටපිටාවට අදත් බාබරා ශාප කරනවා. පුරුද්දට වාගේ වැහි කබායේ සාක්කුවෙන් බයිනෝව අතට ගත් බාබරා, ඇගේ දෑස් සිසාරා යැව්වා කඳුවැටිය පුරාම. දකිනු රිසියෙන් කඳු මුදුනේ කොහෝ හෝ තැනක සුළඟට ලෙළ දෙන ධජයක්. බලාපොරොත්තු සුන්වූ වෙහෙසකර දෑස් පිටි අත්ලෙන් පිස දැමූ බාබරා ඇගේ සුරතලා ජෙබාගේ හිස පිරිමදිමින් නැවත බයිනෝව සාක්කුවට ඔබා ගත්තා.

“Without you, My nights are lonely… Missing you so much. Where are you? Come to me my MAN!” මේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 21 වැනිදා බාබරාගේ දිනපොතේ ඈ තැබූ සටහනක්. දිනපොත බලන කිසිම කෙනෙකුට ඒ වවන පෙළ හඳුනාගැනීමට නොහැකි තරමට ඇගේ කඳුළින් සේදී ගොස්ය. හරියටම නත්තලට දවස් 4ක් තියෙද්දි බාබරාගේ ජීවිතය උඩු යටිකුරු කළ ඒ අමිහිරි දවස කරා ඇගේ සිත ඇදී ගියා.

ගිය අවුරුද්දේ අද වගේ දවසක්. බොගෝටා ගොවිපළට ඉහළින් අහස කළුපාට රෙද්දක් එළා ඇති අයුරින් මුළු පරිසරයම අඳුරු පාටක් ඉසිලීය. නගරයට යන පටු ගුරුපාර පසුගියදා රාත්‍රියේ ඇද හැළුණු අනෝරා වැස්සෙන් එකම මඩ ජොහොරුවක් වෙලා. සමර් ෆීල්ඩ් ගොවිප‍ළෙන් ඇපල් පුරවා ගත් ටිපර් රථය මඩ පාර දිගේ පැද්දි පැද්දි ජෙරොම් පදවාගෙන ආවේ හරියට මඩ වතුර පිරුණු වළකින් එළියට එන්න දඟලන වියපත් හිපපොටේමසයකු වගේ. ක්රාස්.. හඬින් තිරිංග තදවී නැවතුණා ටිපරය, බාබරාගේ නිවෙස ඉදිරිපිට.

බාබරා දිව ආවා පාර අද්දරට. “මෙන්න ඔයාට පුංචි තෑග්ගක්”

ජෙරොම් පුංචි වේවැල් කූඩයක් තැබුවා බාබරාගේ අත්ල මත. ආනේ ලස්සන බලු පැටියෙක්... තෑන්ක්ස් ජොරොම්. එකිනෙකාගේ දෙතොල් ළං වුණා. ‘ඩේපිඩ්ම්ෆ්’ දුම්ෙකාළ සුවඳ තැවැරුණු ජෙරොම්ගේ ඝන උඩු රැවුළ බාබරාගේ මට සිළුටු දෙතොල් මත ස්පර්ශ වී මුළු ගතම උණුසුම් කළා.

‘මෙන්න මගෙනුත් තෑග්ගක්’ කඩදාසි බෑගයක් ජෙරොම්ගේ අත්ල මත තැබූ බාබරා ඔහුගේ දිලිසෙන දෑස් දිහා මොහොතක් බලාගෙන උන්නා.

‘මොකක්ද?’

‘ඔයාගෙයි මගෙයි නම් දෙක දාලා මහපු කොඩියක්... කඳු මුදුනට ගිහින් ආද‍රයේ නාමයෙන් මේක හිටුවන්න...’

‘පිස්සු කෙල්ල... පරක්කු වුණා... ඇපල් ටික ස්ටෝස්වලට දාලා යන්න ලෑස්ති වෙන්න ඕනි.. කට්ටිය බලාගෙන ඉන්නවා...” ජෙරොම් ටිපරයට ගොඩ වුණා.

“ගමන කල් දැම්මොත් නරකද? හිම වැටෙනවා... කාලගුණේ හොඳ මදි නේද?”

“බයවෙන්න එපා බාබ්... ගිහින් එන්නම්... බායි...” ටිපරය නොපෙනී යනතුරු බලන් උන්නා බාබරා.

කඳු නැඟීම ජෙරොම් ගේ විනෝදාංශය. බාබරා එයට අකැමැති වුණත්, විරුද්ධ වුණේ නැහැ කිසිම දාක.

“බාබ් අපි රෑම චැලෝසිවලට ආවා. ටීම් එක එළියේ. මම පෝස්ට් ඔෆිස් එකෙන් කෝල් එක ගත්තේ. තව ටිකකින් ගමන පටන් ගන්නවා. ආයේ ගන්න වෙන්නෙ නැහැ.

“ජෙරොම් බී කෙයාෆුල්. ඔයාටත් බඩුවක් කියන්න තියෙනවා. මම විතරක් නෙමෙයි ජෙබාත් ඔයා එනකම් බලන් ඉන්නවා.

“කවුද ජෙබා?”

“ඔයා ඊයේ දුන්න හුරතලා. ඔයාගෙයි මගෙයි නම්වල මුලකුරු දැම්මා එයාට...”

“පිස්සු කෙල්ල... බායි...”

චියෑස්... චියෑස්... හඬ නඟමින් ඇන්ඩීස් කඳු වළල්ල දෙසට පියෑඹු වැහි ලිහිණියන්ගේ වැලපිල්ලෙන් අවදි වුණා බාබරා... ඔවුන්ව ඩැහැගන්නට නොහැකිව ළතැවූ ජෙබා මහ හයියෙන් බුරන්නට පටන් ගත්තා. ස්වර දෙකම සංකලනය වී ඇන්ඩීස් කඳුවළල්ලේ වැදී දෝංකාරය දුන්නේ හරියට මළගෙදරක ළතෝනියක් වගේ. තරු කැට එක දෙක ගුවන් තලයේ දිස් වෙන්නට පටන් ගත්තා. නාස් පුඬු අතරින් රිංගාගත් සීතල සුළඟ බාබරාගේ මුළු සිරුරම හිරි වැට්ටුවා. නැගිට්ටා ඇය පිය මනින්නට දේවදාර ගස් අතරින් නිවෙස දෙසට. ජෙරොම් නැවත නොඑන බව ඇගේ සිත කීවත්, ලබන 21 වැනිදාත් ඇය ඒවි සුපුරුදු ලෙස මේ ගල්තලාවට බයිනෝවත් සාක්කුවේ රුවාගෙන සුරතල් ජෙබා එක්ක... පිස්සු කෙල්ල....

 

Comments