ශකිරාට Likes තුන් ලක්ෂයක් | Page 2 | සිළුමිණ

ශකිරාට Likes තුන් ලක්ෂයක්

ගීලොව ජයගත් සුරූපී ගායිකාවකගේ ගායන දිවියේ කැපී පෙනෙන සැමරුම් දිනයක් පසුගිය සතියේ යෙදී තිබුණා. මේ සුරූපී ගායිකාව තමයි, ශකිරා. සැමරුම පැවැත්වුණේ ඇගේ මුල්ම සජීවී ගායන ප්‍රසංගයේ ඇල්බමය නිකුත්වී දශක 2ක් සපිරීම නිමිත්තෙන්. ශකිරාගේ මුල්ම සජීවී ප්‍රසංගය පැවැත්වුණේ 1999 නිව්යෝක් නුවර ග්‍රෑන්ඩ් බෝල්රූම් හිදීයි. මේ ප්‍රසංගයේ ඇල්බමය වසර 2000 දී ‘MTV අන්ප්ලග්’ නමින් නිකුත් වුණා. එය 2002 දී යළිත් රසික පරපුර වෙත නිකුත් කෙරුණා. ඇමරිකානු විචාරකයන්ගෙන් නොමඳ පැසසුම් ලද මේ ගීත එකතුවට හොඳම ලතින් පොප් ඇල්බමයට හිමිවන ග්‍රැමි සම්මානය ද පිරිනැමුණා.

මේ සුන්දර මතකය සිය සමාජ මාධ්‍යයන් ඔස්සේ අවදි කළ ශකිරා ට ඇගේ ආදරණීය රසික පිරිසගෙන් 300,000 කට අධික Likes සංඛ්‍යාවක් ලැබී තිබුණා. සංගීත දිවියේ ඉදිරියට ගමන් කර දශක දෙකකට පසුවද ඇය ගීත ඇල්බම 11ක් නිකුත් කර, ලෝකය වටා සංචාරය කරමින් සංගීත ප්‍රසංග 6ක් ද පවත්වා තිබෙනවා.

ශකිරාගේ සහකරු ස්පාඤ්ඤයේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වන ‍ෙජරාඩ් පිකේ යි. මේ යුවළට පුතුන් දෙදෙනෙකු සිටිනවා. ඒ, සය හැවිරිදි මිලාන් සහ සිව් හැවිරිදි සාශායි. ශකිරා මීට පෙර වසර 2000 දී ඇන්ටෝනියෝ ඩිලරුවා සමඟ පෙම් සබඳකමක් පැවැත්වුවා. ඔහු ආජන්ටිනාවේ නීතිඥයෙක්. විවාහක යුවළක ලෙස එක වහලක් යට ජීවත් වූ ඔවුන් දෙදෙනා 2009 දී වෙන්වුණා. ශකිරාට ජෙරාඩ්ව මුණ ගැසුණේ 2010 දීයි. ඔහු ඇයට වඩා වසර 10ක් වයසින් අඩු කෙනෙක්. හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ ජෙරාඩ් සහ ශකිරා වසර 9ක් තිස්සේ සතුටින් පිරුණු විවාහ දිවියක් ගත කරන බවයි.

Comments