මගේ “ටෙලිය,, ඉඩෝරයට වැටුණු වැස්සක් වගේ වෙලා | Page 2 | සිළුමිණ

මගේ “ටෙලිය,, ඉඩෝරයට වැටුණු වැස්සක් වගේ වෙලා

රූපය කියවන්නට හැකි වීම බුද්ධිමත් බවේ ලක්ෂණයක්

වියළි කලාපයේඅපහසුතා මැද රංගන ශිල්පීන් කළ කැපවීම අමතක කරන්න බැහැ

“සුදු ඇඳගෙන කළු ඇවිදින්” දෙබස්වලට වඩා රූප රාමු කතාකරන වෙනස්ම ආරක ටෙලිනාට්‍යයක්. එහි අධ්‍යක්ෂවරයා තමයි අපේ කතානායකයා. සුනිල් කොස්තා සම්මාන රැසකින් අබිසෙස් ලද අධ්‍යක්ෂවරයෙක්. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන “සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලිනළුව ගැන කතා කරන්නට අපි ඔහුව හමුවුණා.

“මම උපතින් කතෝලිකයකු වුවත් බුදුදහම පදනම් කරගෙනයි මෙය නිර්මාණය කළේ. මෙය අනිත්‍යයම නෙමෙයි. ජීවිතය දිහා යථාර්ථවාදීව බලමින් ජීවිතය විඳීමක් කිව්වොත් නිවැරදියි. මූලිකම අභිප්‍රාය ජීවිතයේ නැවතීම. අපි හැමදෙනාම එකිනෙකා පරයමින් අනවරත ගමනක දුවන මේ ගමනේ නිමාවක් නැහැ. ඒත් බුදු දහමේ කියවෙන්නේ නැවතීමක් ගැන. අන්න ඒ යථාර්ථය තමයි මෙයින් මම පසක් කරවන්න උත්සාහ කළේ. මෙය පැරණි ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක්. අද වෙනත් ටෙලිනාට්‍යවල දක්නට නොලැබෙන ගති ලක්ෂණ තියෙන්නෙ ඒකයි.

නව අත්දැකීම් එහෙමත් ඇතිනේ...

මේ ටෙලිනාට්‍යය ඉඩෝරෙට වැහැපු වැස්සක් ව‍ෙග්. කවුරුත් නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. දර්ශන තල තිබුණේ බකමූණේ. මාස 6ක් ෂූටින් තිබුණා. ඒ අවට ජනතාවගෙන් පුදුම සහයෝගයක් ලැබුණේ. මේ ටෙලි නාට්‍යයට යොදාගත් නොඉඳුල් දර්ශන තල මෙතෙක් කිසිම ටෙලිනාට්‍යවලට යොදාගෙන තිබුණේ නැහැ. අප සමඟ එක්වූ රංගන ශිල්පීන් වුණත්, වියළි කලාපයේ අපහසුතා මැද කරපු කැපවීම අමතක කරන්න බැහැ. ජාතික රූපවාහිනිය මෙම නාට්‍යය විකාශනයට ගැනීම, you tube එකෙන් google search කරද්දි මේ නාට්‍යය ලබාදීම අගය කළ යුත්තක්. මේ ගැන තවත් පිරිසක්, කොළඹ මීගමුව ප්‍රදේශවල සම්මන්ත්‍රණ පවත්වනවා. සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යයක් ගැන එහෙම සම්මන්ත්‍රණ පවත්වනවා අඩුයි. සමාජ මාධ්‍යවලිනුත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. ශ්‍රී ලාංකික නොවන අය මෙම ටෙලිනාට්‍යය ඉංග්‍රීසියෙන් sub කරලා දෙන්න කියලා ඉල්ලනවා. විවිධ වයස් ඛාණ්ඩවල, විවිධ කාලවල, විවිධ බුද්ධි මට්ටම්වල අයට ගැළපෙන ආකාරයට තමයි මෙය නිර්මාණය කළේ. රූපය කියවනවා කියන්නේ බුද්ධිමත්කමේ ලක්ෂණයක්.

ලංකාවේ බොහොමයක් නාළිකාවල විකාශනය වන ටෙලිනාට්‍ය රාශියක් තියනවා. මේ හැම එකක්ම රසිකයන් වැලඳගන්නෙ නැහැනේ?

ලංකාවෙ ටෙලිනාට්‍යය විකුණන්න බැරි නැහැ. ඒත් වෘත්තිකයන් මීට වඩා එක්සත්ව ශක්තිමත් විය යුතුයි. වෘත්තියක් ලෙස මෙම කලාව ගැඹුරින් හදාරලා සංවිධානය විය යුතුයි. වෘත්තිකයන් ශක්තිමත් නොවී කලාව ගොඩනගන්න බැහැ. දියුණු වූ ඕනෑම රටක් ගතහොත් වෘත්තිකයන් සංවිධානය වෙලා තියවා. මේ සඳහා යම් වැඩපිළිවෙළක් සකසලා නීතිගත කිරීම් වැදගත්.

සිංහලෙන් හඬ කවන ලද ඉන්දියානු ටෙලිනාට්‍ය රැල්ල පුංචි තිරය ආක්‍රමණය කරලා කීවොත්...

අපේ නිර්මාණවල තිබූ යම් ආශක්ත බව අඩු නිසානේ ඉන්දියන් ටෙලි නාට්‍යවලට හුරුවෙලා තියෙන්නේ. ඒ සඳහා පිළියමක් ලෙස ඉන්දියන් ටෙලිනාට්‍ය පරයන හොඳ නිර්මාණ අප විසින් කළ යුතුයි. අපි හොඳින් සංවිධානය වුණොත් ඉබේටම ඉන්දියන් නාට්‍ය නවතීවි. විකුණුම් භාණ්ඩ මිල ඉහළ දැමීමේ අභියෝගයට සැමට ම මුහුණ දෙන්න වෙනවා. කවුරුත් කැමැතියි ලාබෙට බඩු ගන්න. ආණ්ඩු පස්සේ ගියාට වැඩක් නෑ. අපිම මේ අභියෝගයට මුහුණ දෙනවා මිසක්. අපි සමීක්ෂණයක් කළා. වසරකට ටෙලිනාට්‍ය 14000ක කොටස් අවශ්‍යයයි. කලින් ඉන් 50% ලංකාවෙ ටෙලිනාට්‍යවලින් සැපිරුවා. දැන් 50% ම විදේශීය ටෙලිනාට්‍යය තියෙන්නේ.

අපේ අධ්‍යක්ෂවරුන් අතර හැබෑම දක්ෂයන් ඉන්නවා. ඒත් සමහර අධ්‍යක්ෂවරු නිර්මාණ සඳහා රුපියල් බිලියනයක් විතර වැය කරලා තියනවා. මේ නාට්‍යය ජීවිතයට විකුණන්න බැහැ. ඉන්පසු ටෙලිනාට්‍යය කරන්න නිෂ්පාදකවරු හතර මායිමක එන්නෙ නෑ. නමුත් නිෂ්පාදකයින් සොයාගැනීම මට නම් අපහසු නැහැ. මම කවදාවත් නිෂ්පාදකට පාඩුවක් වෙන විදිහට චිත්‍රපට කරන්නෙ නෑ. අපට තියන ප්‍රධාන ගැටලුව අපට වැඩපිළිවෙළක් නැති එකයි.

සිනමාවට යොමුවෙන්න අදහසක් තියනවද?

චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. හොඳ නිෂ්පාදකයෙක් ගැන විමසමින් සිටිනවා. වියදම් වන මුදල් හා ඵලදායීතාවය ගැන හිතලා තමයි අත ගැසිය යුත්තේ.

ඔබ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්. මාධ්‍ය කලාවෙ හෙට දවස දකින්නේ...

මා අධ්‍යක්ෂණය කළ “රෝද හතරේ මනමාලයා”, “සිරිසිරිමල්”, “පින්සර දොස්තර”, “සිහින වසන්තය” ආදී නිර්මාණවලට ජාතික මට්ටමේ ඇගයීම් ලැබුණා. මම නම් දකින්නේ ජනමාධ්‍ය කියන මෙවලමේ අවසාන භාගයේ අප පසුවෙන්නේ. මීට කලින් ගුවන් විදුලියේ බලය රූපවාහිනියට පැමිණුනා වගේ, රූපවාහිනී, පුවත්පත්වල බලය සමාජ මාධ්‍ය ජාලය ආක්‍රමණය කරමින් පවතිනවා. ඉදිරි වසර 5 තුළ මෙම මාධ්‍යයේ බලය මාරුවීම ගැන ජනමාධ්‍යවේදීන් අවධානයෙන් සිටිය යුතුයි. මාධ්‍යකරුවාගේ වගකීම සොයා යාම, ගවේෂණය කිරීම ආදියයි. එහෙම නැතිවුණොත් අනාගතයේ පුවත්පත් කියවීමෙන් බොහෝ අය බැහැර වේවි. දැන් යන ට්‍රෙන්ඩ් එක you tube ඉදිරියට විද්යුත් මාධ්‍යවල rating වැදගත් වෙන්නෙත් නැතිවෙයි. You tube නැරඹූ ප්‍රමාණය වැටෙන නිසා ඒ වෙනස ගැන නිරන්තර අවදියෙන් සිටියෙ නැත්නම් පවතින්න අමාරුයි.

Comments