නූතන පරපුරේ දක්ෂයන් බොහොමයි | Page 2 | සිළුමිණ

නූතන පරපුරේ දක්ෂයන් බොහොමයි

මා තුළ තිබෙන කලාකාමිත්වය තවම අවදියෙන්

බතීගේ සමහර දේවල් දකිද්දි මට හිතුණේ මේ මමද කියලා

මම රඟපෑ  චිත්‍රපට අතරින්  වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරැඹූ චිත්‍රපටය දෙවැනි ගමනයි

කලාවේ හොඳ  දේවල් අහන්න  දකින්න කැමැතියි

පුතාගේ  උසස් පෙළ අවසන් නිසා මම නිදහස්

තරහා මරහ තියාගෙන වැඩ කරන්න අමාරුයි

සිනමාවේ ස්වර්ණමය යුගයක සිනමාවට පිවිසි ඈ ජීවිතෙන් හරි අඩකටත් වඩා සිනමාව වෙනුවෙන්ම කැප කළ සිනමා තාරකාවකි. ‘සබීතා‘, ‘දෙවැනි ගමන‘, ‘විරාගය‘,‘ සිසිල ගිනි ගනී‘ , ‘ඇඩ්‍රස් නෑ‘ සේම තව බොහෝ නිර්මාණ ඔස්සේ ජනතා ප්‍රසාදය අදටත් ඇය නොමඳව හිමි කර ගනිමින් සිටින්නීය. සබීතා පෙරේරා නම් වූ මේ ආදරණීය සිනමා තාරකාවගේ මේ ගෙවන්නේ සිනමාවේ කාර්යබහුල නොවන ජීවිතයක් මුත් සිනමාව තුළ අදටත් ඇය සජීවී බව පසක් කරන්නේ සිනමාව හා බැඳුණු යම් උත්සවයක් වේද මෙකී නොකී ඒ සෑම තැනෙකම ඇගේ සහභාගිත්වය

අනිවාර්යය බැවිනි.

සිනමාවෙන් දැන් ඔබ ඈතට යනවාද?

නැහැ. පුතාගේ සහ ගෙදර වගකීම් එක්ක සිනමාවේ මේ දවස්වල මම කාර්යබහුල නැහැ. නමුත් හොඳ නිර්මාණයක් ලැබුණොත් මම කරන්න බලන් ඉන්නේ. පහුගිය කාලේ එවැනි හොඳ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණත් පුතාගේ උසස් පෙළ විභාගය නිසා සමහර නිර්මාණ අත්හරින්න වුණා. ඒ නිර්මාණවල රූගත කිරීම් තිබුණේ කොළඹින් පිට. ඒ සඳහා කාලය ගොඩක් වැය වෙනවා. නමුත් චිත්‍රපට ගැන මම ලොකු අවධානෙකින් පසු වෙන කෙනෙක්. දක්ෂ අධ්‍යක්ෂවරයෙක් සමඟ හොඳ නිර්මාණයකට දායක වෙන්න මම බලන් ඉන්නවා. සිනමාවේ කාර්යබහුල නොවුණට වෙලාවක් ලැබුණු සැණින් කරන්නේ චිත්‍රපට බැලීම. හැමදාමත් ඒ නිර්මාණ තුළින් මම ඉගෙන ගන්නවා. මා තුළ තිබෙන ඒ කලාකාමීත්වය තවම අවදියෙන්. ඉතින් කලාවේ හොඳ දේවල් අහන්න දකින්න කැමැතියි වගේම මම කලාවට හරිම ආදරෙයි.

ප්‍රේක්ෂකයින් ආදරෙන් වැලඳ ගත් දෙවැනි ගමනේ ‘සුජාතා‘ අද ඔබ දකින්නේ කොහොමද?

දෙවැනි ගමන අධ්‍යක්ෂණය කළ එච්. ඩී. ප්‍රේමරත්නට එකල ‘සබීතා‘ වැනි සරල සැහැල්ලු චිත්‍රපටවලින් දැක තිබුණු මට ඒ චරිතය කරන්න පුළුවන් දැයි ලොකු සැකයක්, බයක් තිබුණා. ඔහු ඒ වන විට තෝරා ගෙන තිබුණේ වසන්ති චතුරානිව. නමුත් ඇය ඒ කාලෙම විවාහ වූ නිසා තිබුණු එකම විකල්පය ලෙස මාව තෝරා ගත්තා. මටත් තිර පිටපතට හරිම ආස හිතුණා. හොඳටම මේ චරිතය කරන්න දැඩි වුවමනාවක් ඇති වුණා. මට හිතෙනවා මම රඟපෑ චිත්‍රපටවලින් දෙවැනි ගමන තමයි ප්‍රේක්ෂකයන් වැඩිම ප්‍රමාණයක් නැරැඹුවේ. මේ ළඟකදී මගේ යෝග ගුරුවරයා කියනවා ඔහුගේ කැමැතිම චිත්‍රපටය ‘දෙවැනි ගමන‘ ලූ සිනමාහල්වලට ගොස් ඔහු බැලූ වාර ගණනත් මතක නැතිලු . අදටත් ලැබෙන එවන් ප්‍රතිචාර ගැන මට හරිම සතුටක් දැනෙනවා. එය ඉතා සාර්ථක චිත්‍රපටයක් මෙන්ම මගේ සිනමා ජීවිතයේ දෙවන ගමනත් කියන්න පුළුවන්.

විරාගයේ ‘බතී‘ හා සබීතා අතර යම් යම්

සමානකම් තිබුණාදෝ හැඟෙනවා?

සම්බන්ධයක් නැහැ කියන්නත් බැහැ. බතී ගේ සමහර දේවල් දකිද්දි මට හිතුණේ මේ මමද කියලා. නවකතාවේ බතීව අප දකින්නේ හරිම මුරණ්ඩු කෙල්ලෙක් විදිහට. මමත් සමහර තැනවලදි හරිම මුරණ්ඩුයි. කරන්න ඕනේ කියලා හිතුණොත් කරනවාමයි. බතී ගේ වේගවත් කතා විලාසය මගේ තරුණ කාලෙත් තිබුණා. සිනමාවේ බතීගෙන් දැක්කේ මට වැඩිය ගොඩක් වෙනස් කෙනෙක්. එහි සම්පූර්ණම ගෞරවය හිමි විය යුත්තේ තිස්ස අබේසේකරයන්ට. ඔහුට අවශ්‍ය දේ ඔහු මගෙන් ගත්තා. මම මාව අතහැරලා ඇයව දැක්කා. බතී ගේ චරිතය මට ලැබුණු ලොකු වාසනාවක්.

එවැනි චරිත නැවත කෙදිනෙක හෝ සිනමාවේ ඔබට ලැබී තිබෙනවාද?

‘බතී‘ වගේ චරිතයක් මට ආයිත් කවදාවත් සිනමාවේ හමු වුණේ නැහැ. විරාගය කියන්නේ මට හුදෙක් සිනමා නිර්මාණයක් පමණක්ම නෙමෙයි. එය මගේ ජීවිතේ වෙනස් කළ කඩඉමක්. එතැනින් තමයි මට තිස්ස අබේසේකරයන් හමුවෙන්නේ. ලාංකේය සිනමාව, ලෝක සිනමාව පිළිබඳ ගැඹුරින්ම හැදැරිය යුතුයි යන හැඟීමක් ඇති වුණේ විරාගය රඟපෑමෙන්.

සිනමාවේ විවිධ චරිතවලට පණ පෙවු ඔබට රංගනයෙන් දායක වෙන්නට නොහැකි වු සිත් ගත් චරිතයක් තිබුණාද?

එහෙම විශේෂයෙන් කියන්න චරිතයක් මතකෙට එන්නේ නැහැ. පසුගිය කාලයේ අපේ අධ්‍යක්ෂවරුන් ගේ චිත්‍රපට ගොඩක් නරඹන්න මට අවස්ථාව ලැබුණා. අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි, උදයකාන්ත වගේම නවක අධ්‍යක්ෂකවරු වන ශමීර නාඔටුන්න, විසාකේස චන්ද්‍රසේකරම් අපේ නූතන සිනමාවට සුවිශේෂි නිර්මාණ ඔස්සේ හිතට කා වැදුණු සුවිශේෂි චරිත බිහි කර තිබෙනවා. මම ඔවුන්ට හරිම ආදරෙයි. ඒ චිත්‍රපට බලද්දි හරියට දැනෙනවා. ඔවුන් සමඟ වැඩ කරන්නත් මම හරිම කැමැත්තකින් පසු වෙන්නේ. මට හරිම ආඩම්බරයක් දැනෙන්නේ ඔවුන්ගේ දක්ෂතා පිළිබඳ. හැබැයි ලොකු දුකකුත් ඒ අස්සේ තියෙනවා. අපේ රටේ ඔවුන් හිර වෙලා. ඔවුන් මීට වැඩිය දේවල් කළ යුතුයි. ඒ දක්ෂයින්ට තව අවස්ථාව ලැබිය යුතුයි. ඒ නිර්මාණ අපේ ප්‍රේක්ෂකයින් අනිවාර්යයෙන් නැරැඹිය යුතුයි.

නූතන සිනමාවේ ඔබේ සිත් ගත් චරිතයක්, රංගන ශිල­්පියෙක් හෝ ශිල්පිනියක් ඉන්නවාදැයි මා ඇසුවොත්?

‘මෝටර් බයිසිකල්‘ හා ‘සයපෙති කුසුම‘ දසුන්ගේ රංගනයට මම බොහොම කැමැතියි. මෑතක දී විකාශය වු ‘තාත්තා‘ ටෙලි නාට්‍යයයේ ද ඔහුගේ රංගනය හරිම ප්‍රබලයි. හේමාල් රණසිංහ, උද්දික ප්‍රේමරත්න, සාරංග දිසාසේකර එවැනිම තවත් දක්ෂයින්. ‘සයපෙති කුසුම‘ රංගනයේ යෙදෙන යශෝදා රසඳුනි ඉතා තාත්විකව දක්ෂ ලෙස රංගනයේ යෙදෙනවා. මම ඇයට බොහොම කැමැති. හරිම දක්ෂ නිළියක්. ‘ඇගේ ඇස අග‘ චිත්‍රපටයේ රඟපෑ රිතිකා කොඩිතුවක්කු, වගේම සමනලී ෆොන්සේකාත් මතක් කළ යුතුමයි. මේ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ දෙනකුගේ පළමු චිත්‍රපටයෙන්ම එතරම් කැපි පෙනෙන දක්ෂතා පෙන්වා තිබෙනවා නම්, ඔවුන්ට අවස්ථා ලැබුණොත් තව කොච්චර හොඳට තම රංගන කාර්ය ඉටු කරයිද කියලා හිතා ගන්න පුළුවන් නේද... හොඳ අධ්‍යක්ෂවරු යටතේ එවැනි නිර්මාණවලට දායක වෙන්න ලැබීමත් ඔවුන්ට වාසනාවක්. මේ දක්ෂ අධ්‍යක්ෂවරු මෙන්ම නළු නිළියන්ටත් බොහෝ දුර ගමනක් තිබෙනවා. නමුත් ඒ අවශ්‍ය දොරටු ඔවුන් වෙනුවෙන් විවෘත විය යුතුයි.

ඔබ දායක වු චරිත අතර රඟ නොපෑවා නම් හොඳයැයි සිතුණු චරිතයක් තිබෙනවාද?

මගේ සිනමා ගමනේ ගොඩක් තිබෙන්නේ සරල චිත්‍රපට. ඒ අතරින් චරිතයක් විදිහට නොකළා නම් හොඳයි කියා හිතනවට වඩා චිත්‍රපටයක් විදිහට එය බාර නොගෙන හිටියා නම් හොඳයි කියලා දැනිච්ච අවස්ථා තිබුණා. නමුත් මම ගැඹුරින් ඒ ගැන හිතුවේවත් දුක් වුණේවත් නැහැ. ඒ ඒ අවස්ථාවලදී ගත් තීරණ වුණත් මට ඉන් ලොකු හානියක් වුණේ නැහැ.

නැවත වැඩ නොකරන්නට සීමා පනවා ගත් අධ්‍යක්ෂවරු, රංගන ශිල්පීන් හා ශිල්පිනයන් ගේ ලැයිස්තුවක් ඔබටත් තිබෙනවාද?

මුල් කාලීනව වැඩ කරද්දි සමහර වෙලාවට ආයිත් නම් මෙයා එක්ක වැඩ කරන්නේ නැහැ කියලා තීරණය කළ අවස්ථා තිබුණා. නළු නිළියොත් එහෙම තමයි. රඟපෑම පහසු දෙයක් නෙමෙයි. සිනමාවෙදී එය කට්ටියකගේ එකතුවක්. ඉතින් අපි වැඩ කරන්න ඕනෑ හිත හොඳින් තියා ගෙන. තරහ මරහ තියා ගෙන වැඩ කරන්න අමාරුයි. එතකොට අපිට තීරණය කරන්න වෙනවා නැවැත ඔවුන් සමඟ වැඩ කරනවාද නැද්ද යන්න.

නූතන පරපුරට කියන්න යමක් ඔබට ඇති?

කලාකරුවෙක් වෙන්න වාසනාව තිබිය යුතුයි. හැබැයි වාසනාව විතරක්ම නෙමෙයි හැකියාව අනිවාර්යයි. මේ ක්ෂේත්‍රය තුළ තිබෙන්නේ එළියේ ඉන්න අය දකින සුන්දරත්වය නෙමෙයි. ඒ නිසා කලාවේ රැඳෙන්න කට්ට කන්න පුළුවන් වීමත් අත්‍යවශ්‍ය දෙයක්. ගොඩාක් අපි අධ්‍යයනය කිරීමෙන් වෙහෙසීමෙන් කැපවීමෙන් වැඩ කළොත් සාර්ථකත්වය තිබෙන්නේ එතැනයි.

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

 

Comments