දික්කසාද වූ ජෙනිෆර් කරන් යළි හමුවෙති | සිළුමිණ

දික්කසාද වූ ජෙනිෆර් කරන් යළි හමුවෙති

1995 දී තිරගත වූ ‘අකේලේ හම් අකේලේ තුම්’ චිත්‍රපටයේ කුඩා දැරියකගේ

චරිතයක් නිරූපණය කරමින් රංගන දිවියට පා තැබූ මේ සුරූපිනිය අද වඩාත් ජනප්‍රියව සිටින්නේ ටෙලි නාට්‍ය නිළියක හැටියටයි. 2012 දී ඇය ආසියාවේ ආකර්ෂණීය කාන්තාවන් 50 දෙනාගෙන් කෙනෙකු හැටියටත් නම් කෙරුණා. ඇය තමයි, ජෙනිෆර් වින්ගෙට්, බොහෝ දෙනෙකු මේ නම නිසා ඇය බටහිර රටක උපන් යුවතියකැයි වරදවා වටහා ගන්නවා. නමුත් ජෙනිෆර් ගේ මවුරට ඉන්දියාවයි. ඇගේ මව පන්ජාබ් ජාතික කාන්තාවක්. ක්‍රිස්තියානු ලබ්ධිකයෙකු වන ඇගේ පියා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය නිජබිම කර ගත් අයෙක්.

ජෙනිෆර්, ඉන්දීය රූපවාහිනී ඇකඩමි සම්මානයෙන් පිදුම්ලත් නිළියක්. සරස්වතීචංදු ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ඇයට එම සම්මානය ලැබුණේ 2016 දීයි. රසික ජනතාව අතර ඇය වඩාත් ජනප්‍රිය ‘බෙයාද් (2018) සහ ‘බෙපනා’ යන ටෙලි නාට්‍යවල නිරූපණය කළ චරිතවලින්. (දැන් විකාශය වන ‘හමුවෙමු ආයේ සංසාරයේ’ ලෙස සිංහල ට හඬකවා ඇත්තේ ‘බෙපනා’ ටෙලිනාට්‍ය‍යයි.)

බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයට පත්වන ‘ඊස්ටර් අයි’ පුවත්පත 2012 දී ජෙනිෆර්ව ආසියානු කාන්තාවන් 50 දෙනා අතරට ඇතුළත් කළත් 2013 දී ඇයට එම ලැයිස්තුවේ 15 වැනි තැන හිමිවුණා. තවත් වතාවකදී ‘රෙඩිෆ්’ වෙබ් අඩවිය පැවැත්වූ සමීක්ෂණයකින් ඇය ජනප්‍රියම ටෙලි නිළියන් 10 දෙනා අතරට එක්වූවා. ‘මෙන්ස් XP’ නම්වූ වෙබ් අඩවිය මඟින් පවත්වන ලද සමීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම ටෙලි නිළියන් 35 දෙනා අතරට එක්වන්නටත් ජෙනිෆර්ට හැකිවුණා.

ඇය ටෙලි නාට්‍ය ලොවට එක්වන්නේ 2002 - 2003 අතර කාලයේ විකාශය වූ ‘ශකලක බූම් බූම් පියා’ නම් වූ ටෙලි නාට්‍ය මාලාවෙන් ජෙනිෆර් සහ හර්ෂාඩ් චොප්ඩා ගේ අපූර්වතම රංගනය නිසයි ‘බෙපනා’ ටෙලි නාට්‍යය රසික පරපුර අතර වඩාත් ජනප්‍රිය වූයේ.

ජෙනිෆර් විවාහ වුණේ ජනප්‍රිය නළු කරන් සිං ග්‍රෝවර් සමඟයි. ඒ, 2012 අප්‍රේල් මාසයේදී. නමුත් 2014 නොවැම්බර් මාසයේදී දෙදෙනා වෙන්වුණා. කරන් සිං 2016 ජනප්‍රිය නිළි බිපාසා බාසුව විවාහ කරගත්තා. ඉන්පසුව ජෙනිෆර් සහ කරන් සිං අතර කිසිඳු හමුවීමක් සිදු වුණේ නැහැ. කාලය ගෙවී යන අතරේදී ඇතැම් චිත්‍රපට සහ අධ්‍යක්ෂවරුන්ට ඕනැ වුණේ විරසක වූ මේ දෙදෙනාව චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට යළි එක් කර ගන්නටයි. කල් යල් බලමින් පසුවූ ඔවුන් අතරින් එක් අයෙකුට ඒ අනගි අවස්ථාව උදාවුණා. ඒ, ‘සිද්ධාර්ත් පී. මල්හොත්‍රාට’යි. ‘සන්ජීවනී’ නම්වූ වෛද්‍යවරයා ටෙලිනාට්‍ය මාලාවේ නිෂ්පාදකවරයායි. දැනට මේ නාට්‍ය මාලාවේ අදියර (season) 2ක් විකාශය වී තිබෙනවා. දැන් එහි 3වැනි අදියරේ ටෙලි නාට්‍ය මාලාව රූගත කිරීමත් ආරම්භ කරලා.

අධ්‍යක්ෂ සිද්ධාර්ත්ගේ බලාපොරොත්තු සඵල කරමින් පසුගියදා ‘සන්ජීවනි - 3’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට එදා නීතියෙන් ම වෙන්වූ මේ යුවළ එක්වී සිටියා. ජෙනිෆර් මෙහි රඟපාන්නේ වෛද්‍ය රිධිමාගේ චරිතයයි. කරන් සිංට ලැබී ඇත්තේ වෛද්‍ය ආමාන් ගේ චරිතයයි. එදින රූගත කිරීම්වලට පැමිණ සිටි මේ යුවළ දෙස කවුරුත් පුදුමයෙන් බලා සිටියා. එක් අවස්ථාවකදී ඔවුන් දෙදෙනා එකට එක්වී ඡායාරූපයකටත් පෙනී සිටියා. ඒ මොහොතේ දෙදෙනාගේ ම මුහුණු මත රැඳී තිබුණේ සතුටු සිනාවන් මිස අසතුටක සේයාවන් නම් නොවෙයි.

Comments