කව් ලැකියෙන් කළ සියබස්ලකර | සිළුමිණ

කව් ලැකියෙන් කළ සියබස්ලකර

නවවෙනි සියවසෙහි ලියවුණු 'සියබස්ලකර' නමැති පද්‍ය කෘතිය දැනට අප අතට පත් වී ඇති පැරණිතම සාහිත්‍ය කෘතිය යි. එය දණ්ඩීන් නමැති භාරතීය පඬිවරයකු විසින් රචිත 'කාව්‍යාදර්ශ' නමැති සංස්කෘත ග්‍රන්ථය අනුසාරයෙන් සිංහල පද්‍යයෙන් ලියවුණකි. එය භාරතයේ බිහි වුණු අලංකාරවාදය විවරණය කරන විශිෂ්ට නිර්මාණයක් සේ සැලකේ.

සියබස්ලකර සපයන ලද්දේ සල‍ෙමවන් නම් රජ කෙනකු විසින් බව පොතේ අවසන්හි මෙසේ සඳහන් වේ.

සිරිමත් සෙන් වියත් - මිණි රස්නී කිරුළු මෙසත්

පැහැයුවස් සේසත් කිස - නිරිඳු කෙළේ සලමෙවන්, ( 359 ගීය)

මෙහි සඳහන් වන 'සලමෙවන්' රජතුමා 'පළමුවෙනි සේන' යන නමින් ද 'මත්වලසෙන්' යන නමින් ද අනුරාධපුරයෙහි විසූ වියත් නරපතියෙකි. 'සලමෙවන්' යනුවෙන් කව් ලැකියට නඟා ඇත්තේ 'ශිලා මේඝවර්ණ' යන නාමය යි.

සංස්කෘත භාෂාව අලළා ලියවුණු 'කාව්‍යාදර්ශය' සිංහල භාෂාවට ගැළපෙන අයුරින් සකස් කළ රජතුමා සිය කෘතිය 'සියබස්ලකර' යනුවෙන් නම් කළේය. එය 'ස්වභාෂා අලංකාරය' යනුවෙන් නම් නොකොට 'සියබස්ලකර' යනුවෙන් නම් කළේ එය සිංහල කව් ලැකියෙන් රචිත නිසා ය. කාව්‍යාදර්ශයෙහි ආ අලංකාරෝක්ති 'පන්තිස් ලකර' යනුවෙන් මෙහි ඉදිරිපත් කෙරේ. ඒ අලංකාරෝක්තිවල නම් ඉදිරිපත් කෙරුණේ කව්ලැකියෙන් ය.

ලෙව්ලැකිය කව්ලැකිය

 

අතිශයෝක්ති අතිසය

ආක්ෂේප අකෙව්

උපමා උවම්

ප්‍රවෘත්ති පැවතුම්

ශ්ලේෂ සෙලෙස්

 

කව් ලැකියෙන් කළ මුවදෙව්දාවත

 

පොළොන්නරු සමයට අයත් 'මුවදෙව්දාවත' කව් ලැකියෙන් ලියවුණු පද්‍ය කාව්‍යයකි. එය අයත් වන්නේ 'ඛණ්ඩ කාව්‍ය' ගණයට ය. 'ඛණ්ඩ කාව්‍ය' යනු 'මහා කාව්‍ය' ලක්ෂණ අතුරින් සමහරක් පමණක් ඇතුළත් පද්‍ය කාව්‍ය විශේෂය යි. එය ගී 164 කින් සමන්විත ය. සිංහලයහි එය අනික් ඛණ්ඩ කාව්‍යය 'සසදාවත' යි.

මුවදව්දාවතට වස්තු වූයේ 'මඛාදේව ජාතකය' යි. 'මඛාදේව' යන නම කව් ලැකියට නැඟුණේ 'මුවදෙව්' යනුවෙනි. මඛාදේව රජතුමා පැසුණු කෙස් ගසක් දැක තපසට ගිය කතා පුවත මෙහි ඉදිරිපත් කෙරේ. පොතේ ආරම්භයෙහි දී මේ කතාව මෙසේ පිඬු කොට දැක්වේ.

..අප මුනිඳෙක් කලක් - රජසිරි පැමිණ යෙහෙන්

වෙසෙමින් ඉසැ නරක් දුටු - කෙණෙහි ඉසිවෙස් රිස්වී, (6 ගීය)

මෙසේ පිඬු කොට දැක්වූ කතාව පසුව විස්තර වශයෙන් වර්ණනා කෙරෙන සැටි කවියා උපමාවකින් කියයි.

ඉති තුරුණු පැළකෙව් - මෙදා සැකෙවින් දක්වා

පලු පල මල් සසිරි - තුර වත් විතර පැ‍ෙනමි, (7 ගීය)

මේ ජාතක කථාව කුඩා පැළයක් මෙන් කෙටියෙන් දක්වා අනතුරුව දලු ගෙඩි හා මල්වලින් සපිරුණු ලොකු ගසක් මෙන් විස්තර කොට දක්වන බව කියවේ.

සංස්කෘත තත්සම පද බැහැර කළත් සංස්කෘත කාව්‍යවල එන සිතිවිලි මුවදෙව්දා කවියා බැහැර නොක‍ළේය. පහත දැක්වෙන ගීය කුමාරදාස රජුගේ ජානකීහරණ නම් සංස්කෘත කාව්‍යයෙන් ගත් පද්‍යයකට නෑකම් කියයි.

රුසිරු සී මැදුරේ - පුර යෝනන් මුවන් සඳ

පැකිළ වී සලෙලු දනන් - නරතුරු අතුරු වේහි,

(20 ගීය)

යත්‍ර වාතායනාසන්නද්වාර මුඛ්‍යා මුඛෙන්දව

රථ්‍යාං සංචාරිතො යුනංස්ඛලයන්ති පදෙ පදෙ, (6.26)

Comments