ශ්‍රීල­නි­පය පෙර තිබූ තත්ත්ව­යට ගෙන එනවා | සිළුමිණ

ශ්‍රීල­නි­පය පෙර තිබූ තත්ත්ව­යට ගෙන එනවා

 

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය වර්ත­මාන නාය­ක­යන් විසින් විනාශ කර දමන බවට දේශ­පා­ලන වේදි­කාවේ කියැ­වෙ­නවා. ඇත්තක්ද මේ කතාව?

ඇත්ත­ටම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය බොඳ වෙලා විනාශ වෙමින් තමයි තිබුණේ. අපි නැවත එය පෙර තිබූ තත්ත්ව­යට ගෙන එනවා. ඒ සඳහා මේ වන විටත් පක්ෂයේ නාය­ක­යන් විසින් ගම්ම­ට්ටමේ සිට වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර­ගෙන යනවා.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය කියන්නේ මේ රටේ සෑම තරා­ති­ර­මක ම පුද්ග­ල­යන් නියෝ­ජ­නය කරන ඕනෑ ම අය­කුට විවෘත පක්ෂ­යක්. රට ගොඩ නඟපු රටට ආද­රය කරන ජනා­ධි­ප­ති­ව­රුන් රැසක් බිහි කළ පක්ෂ­යක්.

වර්ත­මාන අපගේ පක්ෂය මේ තත්ත්ව­යට ඇද වැටී­මට හේතු කාරණා කිහි­ප­යක් ම තිබෙ­නවා. ඒ මේ අතට පනින දේශ­පා­ලන නාය­ක­යන් යැයි කියා ගන්නා අපගේ පක්ෂයේ හිටපු කිහිප දෙනෙක්ම මේකට වග කියන්න ඕන. අද පොදු ජන පෙර­මුණ කියන පක්ෂය ‍බිහිවෙලා තිබෙ­න්නෙත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ හිටපු ප්‍රබ­ල­යන් පිරි­සක් නිසායි.

පොදු­ජන පෙර­මුණ සහ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය එකතු වී රට ගොඩ නඟන සන්ධා­න­යක් පිළි­බඳ ව දිගින් දිගට ම කතා බහ කළා. එහෙත් තවම පක්ෂ දෙක තීර­ණ­යක නැහැ. මේ එක­මු­තුව සිදු වන්නේ නැද්ද?

එක­මුතු වීමට අප අපට පුළු­වන් සෑම උත්සා­හ­යක් දර­මින් සිටි­නවා. වාද විවාද ඇති වෙනවා. කිසි විටක අපි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය විනාශ කර ගනි­මින් මේ ගමන යන්න ලෑස්ති නැහැ. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අන­න්‍ය­තාව රැක ගනි­මින් තමයි ඉදිරි දේශ­පා­ලන ගමන යන්නේ.

තව­මත් අප අපගේ උත්සා­හය අත්හ­රින්නේ නැහැ. රටට යහ­පත් ප්‍රති­ප­ත්ති­යක් ඉදි­රි­පත් කර ඒ වෙනු­වෙන් වැඩ කිරීම සඳ­හායි අපගේ උත්සා­හය. තව දුර­ටත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සහය ලබා දීම පිළි­බ­ඳව සාකච්ඡා සිදු කර­නවා.

ඔබ­ලාගේ සහය සජිත් ප්‍රේම­දාස මහ­තාට ලබා දෙන බවට මාධ්‍ය වාර්තා කර තිබෙ­නවා. ඒ පිළි­බඳ ව සාකච්ඡා පව­ත්ව­න­වාද?

ඒක අසත්‍ය ප්‍රවෘ­ත්ති­යක්. අප තවම එවැනි කිසිදු සාක­ච්ඡා­වක් පවත්වා නැහැ. අනිත් කරුණ එක්සත් ජාතික පක්ෂය තවම තමන් ඉදි­රි­පත් කරන ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා පිළි­බඳ ව කිසිදු තීර­ණ­යක් ගෙන නැහැ.

අප සමඟ එකට සිට මෑත­කදී අපෙන් ඉවත් වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් කිහිප දෙනකු ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට විරුද්ධ ව නොයෙක් මාධ්‍ය ප්‍රචාර අසත්‍ය ප්‍රචාර සිදු කර­නවා. ඔය කියන ප්‍රවෘ­ත්ති­යත් මේ අයගේ ක්‍රියා­වක් හැටි­ය­ටයි මා දකින්නේ.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය අපේ­ක්ෂ­ක­යෙක් ඉදි­රි­පත් කරන්න සැල­සුම් කරලා තිබෙ­න­වාද?

වෙන කිසිම පක්ෂ­ය­කට නැති සුදුසු ම අපේ­ක්ෂ­ක­යෙක් අප සතුව සිටි­නවා. තවම අප තීර­ණය කරලා නැහැ. නමුත් අවශ්‍ය ඕනෑම මොහො­තක අපට ඉදි­රි­පත් කළ හැකියි. පක්ෂයේ සම­හර තීරණ අප විවෘ­තව කතා නොකළ යුතුයි කියන එක මගේ මත­යයි.

එක්සත් ජාතික පක්ෂය ලොකු අර්බු­ද­ය­කට පත්වෙලා තිබෙ­නවා. ඔවුන්ට ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා තෝරා­ගැ­නි­මට නොහැ­කිව කණ්ඩා­යම් කිහි­ප­ය­කට බෙදිලා ඔබ මේ තත්ත්වය දකින්නේ කොහො­මද?

එක්සත් ජාතික පක්ෂ­යට ඔය තත්ත්වය අද ඊයේ අත්වුණු එකක් නොවෙයි. අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වසර විස්ස­කට වැඩි කාල­යක් එක්සත් ජාතික පක්ෂයේ නාය­ක­ත්වය තුළ සිටි­මින් පක්ෂය මේ තත්ත්ව­යට පත් කර තිබෙ­නවා. මම මේක අලුත් තත්ත්ව­යක් හැටි­යට දකින්නේ නැහැ.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට අපේ­ක්ෂ­ක­යන් රැසක් සිටි­නවා. මේ තත්ත්වය හොඳයි ද?

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක හොඳ ලක්ෂ­ණ­යක්. තමන්ට කැමැති නියෝ­ජි­ත­යෙක් පත් කර ගැනීමේ අව­ස්ථාව තිබෙ­නවා. මෙය හොඳ ප්‍රව­ණ­තා­වක් හැටි­යට පෙන්වා දිය හැකියි.

නෙලුම් කුලුන විවෘත කරන අව­ස්ථා­වෙදී රුපි­යල් කෝටි 200ක් පසු­ගිය රජය සමයේ අස්ථාන ගත වූ බවට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා එය විවෘත කරන අව­ස්ථාවේ ප්‍රකාශ කළා. මේ සම්බ­න්ධව නොයෙක් ප්‍රකා­ශන ඉදි­රි­පත් කෙරෙ­නවා. මේක ඇත්තක්ද?

මට හරි­ය­ටම කියන්න බැහැ. ඒත් ජනා­ධි­ප­ති­ව­රයා මේ ගැන ඔහුට තිබුණු තොර­තු­ර­කට අනුව ප්‍රකාශ කළා. මේ ප්‍රකා­ශය ඇතැම් දේශ­පා­ල­ඥ­යන් වැරදි අර්ථ­ක­තන එක්කර මාධ්‍ය වෙත අද­හස් ප්‍රකාශ කර­නවා.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අනා­ග­තය කුමක් වේද?

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය අතීතයේ තිබූ තත්ත්ව­යට ගෙන ඒම සඳහා සියලු කට­යුතු කර­මින් පව­තින්නේ. මේ පක්ෂය විනාශ කර දැමීම සඳහා විශාල පිරි­සක් උත්සාහ දර­මින් සිටි­නවා. එය ඔවුන්ගේ සිහි­න­යක් බව මා නොබි­ය­වම ප්‍රකාශ කර­නවා.

Comments