
ජනපතිවරණය ප්‍රකාශයට පත් කර තිබුණත් රටේ පාලන බලය හොබවන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තම ජනපති අපේක්ෂකයා තවම නම් නොකර කල් මරන්නේ ඇයි?
එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රෙට් පැරණිතම පක්ෂයක්. ඒ වගේ ම මේ රටේ දේශපාලන පක්ෂ අතර විශාලතම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. මේ පක්ෂයට ආවේණික වූ විනයක් තියනවා. පක්ෂය වැඩ කරන්නේ විනයකට අනුවයි. ශික්ෂණයකට අනුවයි. පක්ෂ ව්‍යවස්ථාවට අනුවයි. ජනපතිවරණයක් නම් කළ පසු කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී ජනපති අපේක්ෂකයා තෝරාගත යුතු බවයි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. ඒ අනුව ඉදිරියේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා ජනපති අපේක්ෂකයා තෝරා ගන්නවා.
එජාප අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවන්නේ කවදාද කියලා ඔබට හරියටම කියන්න පුළුවන්ද?
මා හිතන්නේ ලබන 23 හෝ 24 දින කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා එහි අනුමැතිය මත ජනාධිපති අපේක්ෂකයා තෝරාවි.
නමුත් විපක්ෂය නම් කියන්නේ එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට බැරිවෙන තරමටම පක්ෂයේ අර්බුදය උත්සන්න වෙලා කියලයි. මොකක්ද ඔබේ පිළිතුර?
විපක්ෂය ජනාධිපති අපේක්ෂකයා තෝරන ක්‍රමයට අපිට අපේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්න බෑ. අපිට ඒ සඳහා ව්‍යවස්ථාවක් හා නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය අනුව තමයි අපි අපේ ජනපති අපේක්ෂකයා තෝරා ගත්තේ.
එතකොට විපක්ෂය තම ජනපති අපේක්ෂකයා තේරූ ක්‍රමය මොකක් කියලද ඔබ කියන්නේ.
විපක්ෂයේ ජනපති අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුලයි මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ වගේ රාජපක්ෂවරුන් එකතුවෙලා තමයි විපක්ෂයේ ජනපති අපේක්ෂකයා තෝරා ගත්තේ. ඒත් එක්සත් ජාතික පක්ෂයට එහෙම කරන්න හැකියාවක් නෑ. අපි දේශපාලන පක්ෂයක් මේ දේශපාලන පක්ෂය හැදිලා තියෙන්නේ රටේ සිටින සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඇතුළු සියලු ජාතීන් නියෝජනය වන විදියටයි. අපේ කෘත්‍යාධිකාරි මණ්ඩලයත් ඒ වගේ. විවිධ ජාතීන් ජන කොටස් එහි නියෝජනය ලබනවා. ඒ නිසා අපි කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරලා එහි අනුමැතිය අනුව තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නේ.
මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ පනස් එක් දෙනෙකුගේ අස්සන් සහිතව රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් බාරදී තිබෙනවා. එමගින් ඉල්ලා සිටින්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් එකට කැඳවා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන ලෙස නේද?
කවුරුවත් එහෙම ඉල්ලන්න ඕනෑ නෑ. පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුතු බව තමයි.
එතකොට එජාප ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතියක් අවශ්‍ය නැතිද?
සාමාන්‍යයෙන් වැදගත් තීරණයක් ගන්නා විට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙනුත් අහනවා. නමුත් එහෙම අහන්නම ඕනෑ කියලා නෛතික අවශ්‍යතාවක් ව්‍යවස්ථාව අනුව නෑ. නීතිය අනුව තියෙන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කැමැත්ත ලබාගත යුතු බවයි. ඒත්... මන්ත්‍රීවරුන්ගෙනුත් අහන එක හොඳයි. එතකොට එහි විනිවිද භාවයක් ආවරණයක් ලැබෙනවානේ.
කෘත්‍යාධිකාරි මණ්ඩලයට රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවාදීන් පත් කිරීමට යනවා කියන කතාවේ ඇත්තක් තියනවාද?
පක්ෂ නායකයා තමයි කෘත්‍යාධිකාරි මණ්ඩලයට සාමාජිකයන් පත් කරන්නේ. ඒත් අලුතින් පත් කරනවා කියලා එකක් නෑ. මේ ප්‍රචාර මඩයි ඕපාදූපයි විතරයි. පත් කළ යුතු සියලු දෙනා මේ වනවිට පත්කර අවසන්.
එක්සත් ජාතික පෙරමුණ විදියට තමයි ඔබලා ආණ්ඩුව ඉදිරියට මෙහෙය වන්නේ. දැන් පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටිනවා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 106 දෙනාගෙන් ඡන්දයෙන් ජනපති අපේක්ෂකයා පත් කළ යුතු බවයි. ඒ ගැන මොකද කියන්නේ?
එහෙම එකක් අපේ පක්ෂ ව්‍යවස්ථාවේ නෑනේ.
පාඨලී චම්පික රණවක ඇමැතිවරයා යෝජනාවක් ලෙසයි එවැන්නක් ඉදිරිපත් කරන්නේ.
ව්‍යවස්ථාවේ තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්න බලය තියෙන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට බවයි. එහෙම එකක් ව්‍යවස්ථාවේ නෑ. ඒ වගේ ම නෛතික අවශ්‍යතාවකුත් නෑ. පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙනුත් අහන එක වරදක් නෑ කියා මා මුලිනුත් කීවා. මන්ත්‍රීවරුන්ගේත් අනුමැතිය ලැබුණත් එය ජනපති අපේක්ෂකයාට විශාල ශක්තියක් ලැබෙනවා.
ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට එක්සත් ජාතික පෙරමුණෙත් කමිටුවක් දාලා තිබුණ නේද? ඒ කමිටුවේ වාර්තාව එළි දකින්නේ කවදාද?
අපේක්ෂකයා තෝරන්න වාර්තාවක් ඉල්ලලා නෑ. විවිධ අය ජනපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා කිව්වහම ඒ ඒ අයට මේ ජනපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව මොකක්ද ක්‍රමවේදය මොකක්ද කියා විමසනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණයට ඉල්ලන්න අවස්ථාව ලබාදෙන්න කියා කිව්වහම රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා ඔබට ජනපතිවරණය ජයග්‍රහණය කරන්න තිබෙන හැකියාව ක්‍රමවේදය ඡන්දය දිනන්න පුළුවන් සූත්‍රය පෙන්නන්න කියලා. අපි දැන් වසර පහකට ආසන්න කාලයක් බලයේ ඉන්නවා. ඡන්දය දිනන හැටි පෙන්නන්න. මොකද 2015 දී අපිත් සමඟ සිටි බලවේග අද වනවිට අපිත් සමඟ සිටිනවාද? ඒකත් තේරුම් අරගෙන මේ මැතිවරණය දිනන්න පුළුවන් ක්‍රමය ඉදිරිපත් කරන්න කියා රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට කිව්වා.
එක්සත් ජාතික පක්ෂයට සැකයක් තිබෙනවාද අවසන් මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයට ඉදිරිපත් නොවී සිටීවි කියලා?
අපි ඒ ගැන හිතලවත් නෑ. අපි තෝරන්නේ අපේ අපේක්ෂකයා. ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරණයට එනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපිට පරාජය කරන්න පුළුවන් ලේසිම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය එන එක අපිට ගොඩාක් හොඳයි.
ඇල්පිටිය පළාත් පාලන ආයතනයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්දය නොපවත්වා එය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා. මේ සිදුවීම පිළිබඳ දේශපාලනිකව එජාපයේ ස්ථාවරය කෙබඳු ද?
අපිට ප්‍රශ්නයක් නෑ. ඇල්පිටිය කියන්නේ මුළු ලංකාවම නෙවෙයිනේ. ලංකාව ඇල්පිටියට වඩා වෙනස්.
ඇල්පිටිය පළාත් පාලන ආයතනය ජයගන්නා අය ජනාධිපතිවරණයත් ජය ගන්නා බව විපක්ෂය කියනවා. ඔබේ පිළිතුර කුමක්ද?
ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලයෙන් මුළු ලංකාවම විද්‍යමාන වෙන්නේ නෑ. ඇල්පිටිය කියන්නේ ලංකාවේ ම ජන සංයුතිය නොවේ. ඇල්පිටිය මුළු ලංකාවම ජන සංයුතිය ප්‍රකාශයට පත් කරන නිදර්ශනයක් නෙවේ. එය උදාහරණයක් විදියට ගන්න බෑ.
ඇල්පිටියේ ඡන්දය කල් දාන්න කියා ඉල්ලා තියෙන්නේ එජාප පාක්ෂිකයන්ද?
නෑ. ඒවට අපේ සම්බන්ධයක් නෑ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කඩිනමින් කැබිනට් රැස්වීමක් තිබ්බේ ඇයි?
විවිධ පුද්ගලයාගෙන් ලිපි හුවමාරු වුණා. රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට විරුද්ධයි කියලා. මේක එයා තියාගෙන ඉන්නේ එයාට ජනපති වෙන්න කියලයි ඒ අය කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට පෙන්නන්න අවශ්‍ය වුණා තමා විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවට විරුද්ධ නැති බව. ඒකයි එවැනි කැබිනට් හමුවක් තිබ්බේ. ජනාධිපතිවරයත් සමඟ සාකච්ඡා කරලා එය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට භාජන කෙරුවේ.
සමහරු කියන්නේ මෙලෙස විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කඩිනම් කැබිනට් රැස්වීමක් තිබ්බේ ගෝඨාභය ජනපතිවීම දකින්නට අකමැති පොහොට්ටුවේ අයත් සජිත් ජනපතිවීම දකින්නට අකමැති එජාපයේ පිරිසකුත් කියලයි. ඇත්තද මේ කතා.
ඕවා මෝඩ කතා. මාසෙන් මේ ඔක්කොම කරන්න පුළුවන්ද? මාස එකහමාරෙන් දෙකෙන් තුනෙන් දෙකක් අරන් ජනමත විචාරණයකට යන්න පුළුවන්ද? මේක කළේ විධායක ජනපති ධූරය අහෝසි කිරීමේ ප්‍රතිපත්තියේ රනිල් වික්‍රමසිංහ මහතා දිගටම ඉන්නවා කියන එක පෙන්නන්නයි.