මෝටරයෙන් වාහන හදන ගලේවෙල ‘මීටරය’ | සිළුමිණ

මෝටරයෙන් වාහන හදන ගලේවෙල ‘මීටරය’

හැකියාවයි දක්ෂකමයි, උනන්දුවයි එක් වූ විට මිනිසුන් නව අත්හදා බැලීම් කරන්නට පෙලඹෙන්නේ ඉබේමය. ඒ අත්හබැලීම් පළමු වර සාර්ථක වන්නේ ද නැත. වැරදි නිවැරදි කරමින් යළි යළිත් අත්හදා බලමින් කරන නිර්මාණ අවසානයේ සාර්ථක නිපැයුමක් බවට 

පත් වන්නේ අපේක්ෂා නොකළ අයුරිනි. මේ දිනවල රටම කතා කරන්නේ එවැනි නිපැයුම් කළ මිනිසෙක් පිළිබඳය.

විධිමත් පුහුණුවක් නැති වුවද ඔහු මෝටර්වලින් ක්‍රියා කරන විවිධ වාහන නිෂ්පාදනය කරන කාර්මික ශිල්පියෙකි. ඒ ගලේවෙල දේවහුව අංක 22 ඒ ගල්බොක්ක යාය ලිපිනයේ පදිංචි තිස් හතර හැවිරිදි ඩී.එච්.එම්.සිසිර කුමාරය. සිසිර කුඩා කල සිට කාර්මික අංශයට නැඹුරුව සිටින්නෙකි.

ඉකුත් දිනෙක ඔහු සොයා යන විට ද ඔහු තම අලුත්ම නිෂ්පාදනය වන වාහනය අතපත ගාමින් සිටියේය. මේ තරම් ලොකු වැඩක් කරන්නට ඔහුට අදහස ආවේ කෙසේදැයි විමසූවෙමු.

මම මුලින්ම නිෂ්පානය කළේ රෝද හතරකින් යා හැකි බයිසිකලයක්. තණකොළ කපන මැෂිමක් සම්බන්ධ කරලා රෝද හතරකින් දුවන බයිසිකලයක් හැදුවා. ඊට පසුව ස්කූටර් එන්ජිමක් යොදා දෙදෙනෙකුට යාහැකි රෝද හතරේ වාහනයක් නිර්මාණය කළා. අවසන්වරට අශ්ව බල 125 යතුරුපැදියක එන්ජිමක් යොදා පස් දෙනෙකුට ගමන් කරන්නට පුළුවන් රෝද හතරේ කුඩා ජීප් රථයක් නිර්මාණය කළා.

එය දැනට ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනවා. එම රථය පසුපසට ධාවනය කළ හැකි පරිදි වෙනම ගියර් බොක්ස් එකක්ද නිෂ්පාදනය කර ඊට සවි කර තිබෙනවා. පෙට්ට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 30ක් පමණ ධාවනය කරන්නට පුළුවන්. මේ වාහනවලට අවශ්‍ය එන්ජින් හැර අනෙත් උපාංගවලින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළේ මමයි. ඒ සඳහා මට හිතමිතුරන්ගේ උදව් ලැබුණා. ජීප් රථයට එන්ජිම සිසිල් වීමට උපකරණයක්ද සවි කර තිබෙනවා. ජීප් රථය නිෂ්පාදනය කිරීමට වැඩියෙන්ම යොදා ගත්තේ ඉවත ලන ද්‍රව්‍යයි.

සිසිර තම අලුත්ම නිපැයුම ගැන පවසන්නේ උද්‍යෝගයෙනි. අලුතින් නිෂ්පාදන කරන ලද රථය සඳහා වැය වී ඇති මුදල රුපියල් 55,000/= කි. නමුදු එම රථය වැඩි දියුණූ කර වෙළෙඳ පොළට යැවීමට තරම් ඔහුට හැකියාවක් නැත.

මහනුවර යටිගහපිටිය ගමේ උපන් සිසිර අධ්‍යාපනය ලැබුවේ පරණගම මැදි විදුහලේය. පාසල් වියේ සිටම නොයෙක් නොයෙන් අත්හදාබැලීම් කළ සිසිර මුලින්ම නිර්මාණය කළේ පාසලේ පැවැති ප්‍රදර්ශනයකට ඉදිරිපත් කළ රෝබෝය. අමුත්තන්ට අතට අත දිය හැකි ලෙසින් රොබෝව නිර්මාණය කර ඇත.

සිසිරගේ හැකියාව බොහෝ දෙනෙක් එකල අගය කළහ. පාසල් වියෙන් පසු රයිස් කුකර්, රේඩියෝ රුපවාහිනි යන්ත්‍ර ආදිය අලුත්වැඩියාව කළ සිසිර මෝටර්වලින් විවිධ දේ අත්හදා බලන්නට විය. ඔහුට ගුරුවරයෙක් නොසිටී. ඔහු සියල්ල ඉගෙන ගත්තේ අත්හදා බැලීමෙනි.

“ මට උපදෙස් දෙන්න මේ දේවල් කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. මම ස්ව උත්සාහයෙන්මයි ඉගෙන ගත්තේ. මම විවිධ අත්හදා බැලීම් කෙරුවා. ඒ අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක් තමයි පස් දෙනෙකුට ගමන් කළ හැකි ජීප් රථය නිර්මාණය කළේ. මම අතේ සල්ලි තියෙන කෙනෙක් නොවෙයි. නමුත් මට හිතෙනවා යමක් කරන්න පුළුවන් කියලා මේ රට වෙනුවෙන්. මගේ දරුවන් තිදෙනා අවුරුදු තාම පුංචියි. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදලක් වැය කිරීමට සිදු වී තිබෙනවා. මම ජීවත් වන නිවෙස සාදා ගත්තේ බැංකු ණයකින්.

පෙදරේරු රස්සාව කරලා ලැබෙන මුදල බැංකු ණය ගෙවීම සඳහා යොදවනවා. තවත් දෙයක් අලුතෙන් හදන්න හෝ මේ හැදපු දේ තවත් වැඩි දියුණු කරන්න මුදලක් මට නැහැ. කොහොම වුණත් මගේ නිෂ්පාදන දියුණු කරගැනීම සඳහා රජය හෝ පෞද්ගලික අංශය ඉදිරිපත් වෙනවා නම් මට මේ කර්මාන්තය දියුණු කරන්නට පුළුවන්කම තියෙන බව මගේ විශ්වාසයයි.

විවිධ දුෂ්කරතා මැද සිය සහජ හැකියාවලින් රටක් දිනන්නට හදන සිසිරට කාගේ හෝ උදව් ලැබේ නම් වටී. සිසිර යනු අද නොව හෙට දවසේදී අපේ රටට වටිනා සම්පතකි. කළ යුත්තේ සිසිරලා වැන්නවුන්ට වැඩෙන්නට ඉඩ දීමය. සිසිරගෙන් රටට ප්‍රයෝජනයක් ගැනීම බලධාරීන්ගේ යුතුකම හා වගකීමයි.

සිසිරගේ දුරකතන අංකය 077-1752691

පී. ජී. ගුණතිලක

ඡායාරූප - ගලේවෙල මධ්‍යම සමූහ

 

Comments