රුක්මණී දේවි­යට මරු කැඳවූ බවු­ස­රය සමඟ 41 වස­කට පසු හෙළි වන කතාව | සිළුමිණ

රුක්මණී දේවි­යට මරු කැඳවූ බවු­ස­රය සමඟ 41 වස­කට පසු හෙළි වන කතාව

“ආන­න්ද­නීය සිංහල සින­මාව” යනු සිංහල සින­මා­වට ළැදි කලා­කාමි පිරි­සක් සංවි­ධා­නය වී ආරම්භ කළ මුහු­ණු­පොතේ පිටු­වකි. විදේ­ශ­ගත වී සිටින ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු ද ඊට සම්බන්ධ වී සිටින්නේ ඔහු මෙරට සිංහල සින­මාව සමඟ සමී­පව කට­යුතු කිරී­මෙන් ඔබ්බට ගොස් චිත්‍ර­පට නිෂ්පා­ද­ක­ව­ර­යකු වශ­යෙන් ද කට­යුතු කරන නිසා ය.

 

සිංහල සින­මාව සහ කලා­ක­රු­වන්ගේ වත­ගොත ගැන මුහු­ණු­පොත ඔස්සේ කතා­බහ කරන ඔවුන් සිංහල සින­මාවේ ප්‍රථම නිළි රැජන ලෙස විරු­දා­ව­ලිය ලත් රුක්මණි දේවිය පිළි­බඳ සංවා­ද­යක යෙදුණේ ඒ අත­ර­වා­ර­යේදී ය. රුක්මණි දේවි හදිසි අන­තු­ර­කට ලක් වී මර­ණ­යට පත්වූ ආකා­රය ගැන ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු විස්තර කරන විට නීල් ඉන්ද්‍ර­ජිත් හේරත් නමැති මිතුරු සගයා “රුක්මණි දේවි හැප්පුණු තෙල් බවු­ස­රය අපේ අයියා එළ­වලා තියෙ­නවා. ඒ පඬු­ව­ස්නු­වර විවිධ සේවා සමූ­ප­කාර සමි­තියේ අයියා වැඩ කරන කාලේ” යනු­වෙන් ක්ෂණි­කව පැව­සුවේ එහි වටි­නා­කම ගැන අව­බෝ­ධ­ය­කින් නම් නොවේ. එහෙත් ඔහු කටට ආ විගස පිට කළ එම වදන් ගාමිණි ලක්ෂ්මන් ප්‍රනා­න්දුට නම් ඉතා වටිනා පුව­තක් විය.

මීග­මුව බෝල­ව­ලානේ රුක්ම­ණි ­දේවි විසූ නි‍ෙව­සට යාබ­දව පදිංචි වී සිටි ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු, රුක්මණි දේවි මිය යන තෙක් ඇසුරු කළේ පවුලේ ම කෙනකු මෙනි. ඈ තුළ තිබුණු ඉතා ළෙන්ගතු, නිහ­ත­මානි ගුණ නිසාම ගාමිණි ලක්ෂ්මන් ඇගේ “ස්වර්ණ ගී” ඒක පුද්ගල ගී ප්‍රසං­ගයේ සංවි­ධා­යක වශ­යෙන් ද කට­යුතු කළේය. රුක්මණි දේවි ඉතා සමී­පව ඇසුරු කළ ගාමිණි ලක්ෂ්මන්ට ඇයට මරු කැඳවූ තෙල් බවු­ස­රය ගැන තොර­තුරු සෙවී­මට උන­න්දු­වක් ඇති වූයේ එකී සමීප සබ­ඳ­තාව නිසා ම ය.

 

වෑන් රිය ගැටී ඇත්තේ නවතා තිබූ බවුසරයේ

 

ලංකා­වට පැමිණි විටෙක ඔහු තෙල් බවු­ස­රය තිබෙන පඬු­ව­ස්නු­වර විවිධ සේවා සමූ­ප­කාර සමිති කාර්යා­ල­යට ගියේ නීල් ඉන්ද්‍ර­ජිත්ගේ සොහො­යු­රාගේ උප­කා­ර­යෙනි. එහි සභා­පති ඇතුළු නිල­ධා­රින් හමුවී අව­සර ලබා­ගැ­නී­මෙන් පසුව ගාමිණි ලක්ෂ්මන් මෙකී තෙල් බවු­ස­රය ඡායා­රූ­ප­යට නැඟීය. එම ඡායාරූ මුහු­ණු­පො­තට එක් කළේය.

රිය අනතුර සිදු වූ අවස්ථාවේ තෙල් බවුසරය
සංරක්ෂිත ඡායාරූපය - නාරද නිශ්ශංක

“මේ බවු­ස­රය දැක්කාම මට ලොකු වේද­නා­වක් ඇති වුණා. රුක්මණි දේවි ගිල­ගන්න ආපු රාක්ෂ­යෙකු වගෙයි මට එය පෙනුණේ. මොකද රුක්ම­ණි­දේවි ජා-ඇළ තුඩැල්ලේ හදිසි අන­තු­රට ලක් වෙලා මිය ගිහින් විනාඩි 20ක් වගේ කෙටි කාල­යක් ඇතු­ළත මම එතැ­නට ගිහිල්ලා ඒ බිහි­සුණු ඛේද­වා­ච­කය මගේ ඇස් දෙකෙන් ම දැක ගත්තා.“

1978 ඔක්තෝ­බර් 29 වැනි ඉරිදා රුක්මණි දේවිගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසං­ගය පව­ත්වන්න සියලු කට­යුතු සූදා­නම් කරලා තිබුණා. ඔක්තෝ­බර් 27 වැනි සිකු­රාදා මාතර උය­න්වත්තේ සංගීත ප්‍රසං­ග­ය­කට ගිහින් එළි­වෙන ජාමයේ තමයි ඇවිත් තියෙන්නේ. ඔක්තෝ­බර් 28 වැනි සෙන­සු­රාදා උදේම මම ඇගේ නි‍ෙව­සට ගිහින් ඈ එන තුරු බලා­ගෙන හිටියේ ඊට පහු­වෙ­නිදා තිබෙන ප්‍රසං­ගය ගැන කතා කරන්න. එදා උදේ 6.30ට විතර පණි­වි­ඩ­යක් ලැබුණා ඈ පැමිණි වෑන් රථය අන­තු­ර­කට ලක්වෙලා මිය ගිහින් කියලා. මම ඉක්ම­නට පාරට දුව­ගෙන ඇවිත් කොළඹ යන පොල් ලොරි­යක නැඟලා එතැ­නට ආවා.“

“අනේ, ඒ වෙලාවේ ඇගේ මළ­සි­රුර පොල්අ­ත්ත­කින් වහලා තිබුණා. මම තමයි වට­පිට කට්ටි­යට කිව්වෙ මේ මැරිලා ඉන්නේ රුක්ම­ණි ­දේවි කියලා. මම ඒ අය­ගෙන් සුදු රෙද්දක් ඉල්ලා­ගෙන ඉක්ම­නට ඇගේ මළ සිරුර වහලා දැම්මා. මට මේ බවු­ස­රය දැක්කාම එදා රුක්ම­ණි ­දේවි මහ­මඟ මිය ගොස් හිටපු හැටි මැවි මැවි පෙනෙන්න වුණා.” යනු­වෙන් ඕස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න් නුවර සිට විස්තර කළේ ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු ය.

රුක්ම­ණි ­දේවි අන­තු­රට පත් වූ බවු­ස­රය ඉසුසු වර්ග­යට අයත් රථ­යකි. එදා 24 ශ්‍රී 0862 අංකය දැරූ එකී බවු­ස­රය අද ශ්‍රී ඉවත් වී 24 - 0862 ලෙස අංකය දරනු ඇත. 1978 දී එම බවු­ස­රය අයත් වී තිබුණේ ලංකා ඛනි­ජ­තෙල් නීති­ගත සංස්ථා­වට ය. අද අයත් වී තිබෙන්නේ පඬු­ව­ස්නු­වර විවිධ සේවා සමූ­ප­කාර සමි­ති­යට ය. වසර 41ක් තුළ කාලය විසින් බොහෝ දේ වෙනස් කර ඇත.

“මේ බවු­ස­රය අපි අර ගත්තේ 1985 අගෝස්තු මාසයේ. අපි මිල දී ගෙන තිබුණේ ශ්‍රී ලංකා නාවික හමු­දා­වට අයිති වෙලා තිබිලා වෙන්දේසි කරන අව­ස්ථා­ව­කදී. රුක්ම­ණි­ දේවි අන­තු­ර­කට ලක්වෙලා මිය ගියේ මේ බවු­ස­රයේ හැප්පිලා කියන කතාව අපි මුලින් දැන­ගෙන හිටියේ නැහැ. පස්සෙ තමයි අපි­ටත් ආරංචි වුණේ. මේ බවු­ස­රය අද­ටත් වැඩ කර­නවා.

පඬු­ව­ස්නු­වර විවිධ සේවා සමූ­ප­කාර සමි­ති­යට අයත් ප්‍රාදේ­ශික 26ක් තිබෙ­නවා. ඒ 26ට භූමි­තෙල් බෙදා හරින්නේ මේ බවු­ස­ර­යෙන්. මෙහි ලීටර් 5500ක ධාරි­තා­වක් තිබෙ­නවා. මෙහෙට ගත්තාට පස්සේ රියැ­දු­රන් හත­ර­දෙ­නෙකු පමණ මේ බවු­ස­රයේ සේවය කර තිබෙ­නවා. දැන් මෙහි සේව­ය­ ක­රන්නේ ඊ.ඒම්. නයන කුමාර කියන රිය­දුරු. මේ බවු­ස­රය පඬු­ව­ස්නු­වර විවිධ සේවා සමූ­ප­කාර සමි­ති­යට අයිති වෙලා දැන් අවු­රුදු 34ක්. මේ මුළු කාල­යට ම අන­තු­ර­කට ලක්වෙලා නැහැ” යනු­වෙන් පඬු­ව­ස්නු­වර විවිධ සේවා සමූ­ප­කාර සමි­තියේ සභා­පති රංජිත් ධර්ම­සිරි විස්තර කළේ බවු­ස­රයේ වර්ත­මාන තත්ත්වය පිළි­බ­ඳයි.

ඇත්ත වශ­යෙන් ම එදා රුක්ම­ණි ­දේ­වි­යට මරු කැඳවූ මාරක රිය අන­තුර සිදු වුණේ තෙල් බවු­ස­රයේ රියැ­දු­රුගේ වර­දින් ද? නැති­නම් ඈ ගමන් කළ හයි­එස් වෑන්රිය පැදවූ රියැ­දු­රුගේ වර­දින් ද?

“වෑන් රථය හැඳල පල්ලි­ය­වත්තේ සිට මීග­මුව දක්වා ගමන් කළා. හැඳ­ලින් එඩී ජය­මාන්න බස්සවා අපි රුක්ම­ණි­ දේ­විගේ නි‍ෙව­සට එන්න පිටත් වුණා. කැමරා ශිල්පි දයා පෙරේරා රිය පැදෙව්වා. මම ඔහු ළඟින් ඉදි­රි­පස අසුනේ වාඩි වී සිටියා. රුක්ම­ණි ­දේවි පසු­පස ආස­නයේ වාඩි වී සිටියා. සෙන­සු­රාදා උදේ 6.35ට පමණ වෑන්රිය තුඩැල්ල දෙසට පැමි­ණෙන විට අපේ රියට ඉදි­රි­යෙන් ඉතා වේග­යෙන් බවු­ස­ර­යක් එමින් තිබුණා. ඒ සම­ඟම ඒ බවු­ස­රය වෑන් රථයේ හැප්පුණා. මට ක්ලාන්ත ගති­යක් දැනුණා. දයා පෙරේරා සුක්කා­නම මත හිස තබා­ගෙන සිටි­නවා මම දුටුවා. ඔහුට ලේ ගලන තුවාල තිබුණා. මිය ගිය රුක්ම­ණි­ දේ­විත් සිහි­සන් නැතිව ලේ ගලන තුවාල සහි­තව සිටියා.” (දින­මිණ පත්‍රය 1978.10.30) යනු­වෙන් මරණ පරී­ක්ෂ­ණයේ දී සාක්ෂි දී තිබෙන්නේ දෙම­ට­ගොඩ කොළො­න්නාවේ පාරේ පදිංචි වී සිටි ඩී. ලය­නල් විජේ­සිරි නමැති කැමරා ශිල්පියා ය. එම රිය අන­තු­රින් රුක්ම­ණි­ දේ­වි­යට අම­ත­රව කැමරා ශිල්පි දයා පෙරේරා ද ජීවි­ත­ක්ෂ­යට පත් විය. විජේ­සි­රිගේ සාක්ෂි­යට අනුව නම් තෙල් බවු­ස­රය අධික වේග­යෙන් පැමිණ තිබේ.

එහෙත් ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු පව­සන්නේ ඊට ඉඳුරා වෙනස් කතා­වකි.

“එදා මම අන­තුර සිද්ධ­වුණ ස්ථාන­යට යන විට තෙල් බවු­ස­රයේ රියැ­දුරු එහි සිටියා. ඔහු මැදි­වියේ කෙනෙක්. ඔහු­ටත් රිය සහා­ය­ක­ටත් තුවාල තිබුණා. මම රිය­දුරු සමඟ කතා කළා. ඔහු මට කිව්වෙ අනේ මහ­ත්තයෝ, මගේ පැත්තට මේ වාහනේ එනවා මම දැක්කා. මම අයි­නට කපන්න කපන්න මේ වෑන් එක ඇවිත් හැප්පුණා කියලා. රුක්ම­ණි ­දේ­විගේ මර­ණය අපිට ලොකු වේද­නා­වක් තමයි මට එය දැනෙන්නේ මගේ පවු­ලෙම කෙනෙක් නැති වුණා වගෙයි. එය එසේ වුවත් ඈ ගමන් කළ වාහ­නයේ රියැ­දු­රුගේ අතින් වර­දක් වුණා නම් එය පිළි­ගන්න වෙන­වානේ. මට හිතෙන්නේ මාතර ඉඳලා එන ගම­නනේ, දයා පෙරේ­රාට පොඩ්ඩක් ඇහැ පිය­වෙන්න ඇති. ඔය වගේ දෙයක් සිද්ධ වෙන්න තත්ප­ර­යක් ඇතිනේ.” යනු­වෙන් ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු දුර­ක­ත­න­යෙන් විස්තර කළේය.

පඬුවස්නුවර සමූපෙ තෙල් අදටත් මේ බවුසරයෙන් බෙදනවා

 

කෙසේ හෝ ලංකා ඛනි­ජ­තෙල් නීති­ගත සංස්ථා­වට අයත් එම තෙල් බවු­ස­රයේ රිය­දුරු එම්.ඒ. ජින­දාස සහ රිය සහා­යක එම්.ජී. තෙපා­නිස් තුවාල ලබා කොළඹ මහ­රෝ­හ­ලට ඇතු­ළත් කළ බව පුව­ත්පතේ වාර්තාවී තිබේ. මරණ පරී­ක්ෂණ මෙහෙය වූ නාග­රික හදිසි මරණ පරී­ක්ෂක වෝල්ටර් ඩී. පෙරේරා බවු­ස­රය පැදවූ තැනැ­ත්තාව නොවැ­ම්බර් 8වැනි දින කණු­වන මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­ප­ත්ක­රන ලෙස ජා-ඇළ පොලි­සි­යට නියෝග කර තිබෙන්නේ එම­නි­සාය. බවු­ස­රයේ රිය­දුරු එම්.ඒ. ජින­දාස සමඟ ලංකා ඛනි­ජ­තෙල් නීති­ගත සංස්ථාවේ රියැ­දු­රකු වශ­යෙන් එකට සේවය කර, දැනට විශ්‍රා­මික සුව­යෙන් පසු­වන ඩී. ඇන්ටන් සිල්වා සොයා ගියේ මෙහි වැඩි තොර­තුරු දැන­ගැ­නී­මට ය. ඇන්ටන් සිල්වා 1965 - 2005 දක්වා එහි සේවය කළ අයෙකි.

“ජින­දා­සගේ බවු­ස­ර­යට රුක්ම­ණි­ දේවි ගමන් කළ වාහ­නය හැප්පිලා ඈ මිය ගිය සිද්ධිය මට හොඳට මත­කයි. ජින­දාස එයාගේ වාහ­නය අයි­නට කපද්දි මේ වෑන් රිය බවු­ස­රය පැත්තට ම ආපු බව කිව්වා. ඊට පස්සේ ජින­දාස බවු­ස­රය අයින් කරලා නව­ත්තා­ගෙන තිබෙ­නවා. නව­ත්තපු බවු­ස­රයෙ තමයි වෑන් එක හැප්පිලා තිබුණේ. ඒ වෙලාවේ වෑන් රියේ රිය­දු­රුට නින්ද යන්න ඇති. මේ අන­තුර සිද්ධ වුණ වෙලාවේ අහල පහළ කට්ටිය ජින­දා­සට ගහන්න ඇවිත් තිබුණා. කොහොම හරි ජින­දාස ජා-ඇළ පොලි­සි­යට දුවලා ගිහින් තමයි බේරිලා තියෙන්නේ.;

මේ අන­තුර නිසා ජින­දා­සගේ වැඩ තහ­නම් කළා. අව­සා­නයේ ජින­දාස අධි­ක­ර­ණ­යෙන් නිදොස් කොට නිද­හස් වුණා. මොකද ජින­දාස වාහ­නය නව­ත්තා­ගෙන තියෙ­ද්දිනේ වෑන් එක ඇවිත් හැප්පුණේ. ජින­දාස කැල­ණිය වන­වා­සල පැත්තේ හිටියේ. ඔය සිද්ධිය වෙලා ටික කාල­ය­කින් ජින­දාස විශ්‍රාම ගියා. ඔය අන­තුර වෙන­කො­ටත් ජින­දා­සට අවු­රුදු 50ක් විතර ඇත.” දැන් 75 වැනි වියේ පසු­වන ඩී. ඇන්ටන් සිල්වා සිය මත­කය අවදි කළේ එසේ ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථා­වට අයත් ව තිබූ 24 ශ්‍රී 0862 අංකය දරන තෙල් බවු­ස­රයේ රියැ­දුරු ලෙස සේවය කළ එම්.ඒ. ජින­දාස සහ සහා­යක එම්.ජී. තෙපා­නිස් පිළි­බ­ඳව තොර­තුරු සොයා යෑමේදී මේ වන විට ඔවුන් ජීව­තුන් අතර නැති බව අපට දැනුම් දුන්නේ ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ සහ­කාර ලේකම් කේ.ජී. අනු­රුද්ධ බණ්ඩාර ය. වසර 41කට එපිට යට­ගිය තොර­තුරු පරීක්ෂා කර­මින්, විශ්‍රාම ගිය නිල­ධා­රි­න්ගෙන් විම­ස­මින් ඔහු අපට ලබා­දුන් සහ­යෝ­ගය අගය කළ යුතුම ය.

කෙසේ හෝ මේ අභාග්‍ය සම්පන්න සිද්ධි­යෙන් පසුව ජින­දා­සට “රුක්මණි” යනු­වෙන් නමක් පට­බැඳ තිබූ බවද අපට වාර්තා විය. රුක්ම­ණි­ දේවි එදා ගමන් ගත් ටොයොටා හයි­එස් වාහන එතැන් පටන් “රුක්මණි මොඩල්” ලෙස හැඳින්වූ බව නම් අප්‍ර­කට කාර­ණා­වක් නොවේ. එදා ජා-ඇළ තුඩැල්ලේ සිදු වූ එම මාරක රිය අන­තුර පුව­ත්ප­තට වාර්තා කළ ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දි­යකු ලෙස දිව­යින පුව­ත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී නාරද නිශ්ශංක හැඳි­න්විය හැකිය. එව­කට ඔහු ටයිම්ස් මන්දි­ර­යෙන් ප්‍රකා­ශ­යට පත් කළ ලංකා­දීප පුව­ත්ප­තට වේය­න්ගොඩ ප්‍රාදේ­ශීය වාර්තා­ක­රු­වකු වශ­යෙන් ප්‍රවෘත්ති සැප­යුවේ අ.පො.ස. උසස් පෙළ පන්තියේ ඉගෙ­නුම ලබද්දී ය.

“එදා සෙන­සු­රාදා දව­සක්. මම මීග­මුවෙ ඉඳලා ඇක්ව­යි­නාස් එකේ පන්ති යන්න බස් එකේ ගියා. තුඩැල්ල ප්‍රදේ­ශය කිට්ටු වෙන­කොට රිය අන­තු­රක් වෙලා කියලා ආරංචි වුණා. මම ටක් ගාලා බස් එකෙන් බැහැලා අන­තුර වුණු තැනට ගියා. හරි­යට ම තුඩැල්ල පල්ලිය ඉදි­රි­පි­ටට වෙන්න තමයි අන­තුර සිද්ධ වෙලා තිබුණේ. මම කොහේ යතත් ඒ කාලේ තිබුණු බොක්ස් කැම­රාව අර­ගෙන යන්නේ. මම එතැ­නට යන විට මළ සිරුරු රථ­යෙන් එළි­යට ගන්නවා. මම ෆොටෝ ගත්තා. හැබැයි මම දැන­ගෙන හිටියේ නැහැ මේ මැරිලා ඉන්නේ රුක්ම­ණි­දේවි කියලා.

කට්ටිය කිය­නවා ඇහුණා ඩේසි අක්කා මැරිලා, ඩේසි අක්කා මැරිලා කියලා. ඒත් ඩේසි අක්කා කියන්නේ රුක්මණි දේවිට කියලා ඒ දව­ස්වල මගේ ඔළුවෙ තිබුණේ නැහැ. මළ­සි­රුරු වෑන් රියෙන් එළි­යට ගන්නා විට ගැහෙ­නවා වගේ මම දැක්කා. එත­නට ලැඩී රණ­සිං­හත් ඇවිත් හිටියා. මම ඡායා­රූප අරං පන්ති යන එක පැත්තක දාලා ටයිම්ස් කාර්යා­ල­යට ගිහින් මගේ ඡාය­රූප දුන්නා.

බවුසරය රුක්මණී දේවි කෞතුකාගාරයට යැවීමේ යෝජනාවක්

 

මම කාර්යා­ල­යට යන­කොට රුක්ම­ණි ­දේවි තුඩැල්ලේ අන­තු­ර­කින් මැරිලා කියලා කොළඹ ඡායා­රූප ශිල්පී­නුත් කර්තෘ මාණ්ඩ­ලි­ක­ය­නුත් තු‍ඩැල්ලට ඇවිත්. එත­කො­ටයි මම දැන­ගත්තේ මම අරං තියෙන්නේ රුක්ම­ණි­දේ­විගේ ෆොටෝ කියලා. කොහො­ම­හරි එහෙ කට්ටිය සිද්ධිය ආව­ර­ණය කරන්න ගිය නිසා මගේ නම පත්තරේ වැටුණේ නැහැ. හැබැයි රුක්මණි දේවිගේ අන­තුර ඇසින් දුටු හැටි කියලා විශේෂ ලිපි­යක් ලියන්න මට අව­ස්ථාව ලැබුණා. මගේ නම ඒ ලිපියෙ ගියා.“ යනු­වෙන් එදා සිදු වූ රිය අන­තුර වාර්තා කළ අයුරු විස්තර කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදි නාරද නිශ්ශංක ය.

මීට වසර 41කට පෙර රුක්මණි දේවි­යට මරු කැඳවූ අංක 24 - 0862 දරන බවු­ස­රය අද ද සුපු­රුදු ආකා­ර­යට ම තෙල් බෙදා හරි­මින් සිටින්නේ සිත් පිත් නැති යකඩ ගොඩ­කට ඇගේ මර­ණය ගැන කිසිදු වගක් නැති නිසා ය. වසර 34කට නොවැඩි කාල­යක් පඬු­ව­ස්නු­වර විවිධ සේවා සමූ­ප­කාර සමි­තියේ සෙවණේ සිටින මේ බවු­ස­රය ද අද විය­පත් වී සිටියි. පඬු­ව­ස්නු­වර විවිධ සේවා සමූ­ප­කාර සමි­තිය බවු­ස­රය වෙන්දේසි කිරී­මට තීර­ණය කර තිබෙන්නේ එ් ­නි­සාය. ඒ සඳහා පළාත් කොම­සා­රි­ස්ගෙන් අනු­මැ­තිය ලැබෙන තුරු සිටින බව අපට පැව­සුවේ සභා­පති රංජිත් ධර්ම­සි­රිය. එබැ­වින් මතු යම් දව­සක මේ බවු­ස­රයේ හිමි­කා­ර­ත්වය වෙනත් අය­කුට පැව­රෙනු ඇත. එහෙත් ගාමිණි ලක්ෂ්මන් ප්‍රනා­න්දුගේ අද­හස වන්නේ කෞතුක වටි­නා­ක­මක් ඇති මෙම බවු­ස­රය තිබිය යුත්තේ ‍මීගමුවේ පිහිටි රුක්ම­ණි­ දේ­වි‍ ­කෞ­තු­කා­ගා­රයේ බව යි.

 

ඡායා­රූප - සරත් කුමාර (බිංගි­රිය සමූහ)

Comments