නිල ඇඳුමින් වැඩි මිනිස් දෙවිවරු | සිළුමිණ

නිල ඇඳුමින් වැඩි මිනිස් දෙවිවරු

යාප­නය රෝහලේ වාට්ටු­ව­කට වී තව­මත් සුසුම් හෙළන ජයන්ති මාලාට කියා ගන්නට බොහෝ දේ ඇති බව ඇගේ මුහු­ණෙන්ම පිළි­බිඹු වෙයි. අව­සන් වරට ඇයව දැක ගන්නට ගිය යුද හමු­දාවේ කපි­තා­න්ව­ර­යාව දුටු සැණින් ඇගේ දෑත් එකතු කොට ඔහුට ආචාර කරත්ම ජය­න්ති­මාලාගේ දෙනෙ­තින් කදුළු රූ රා වැටෙ­න්නට වූවාය. කපි­තා­න්ව­රයා වාට්ටූ­වෙන් නික්ම ගිය පසු­වද ජයන්ති මාලා කල්ප­නාවේ නිම­ග්නව සිටි­යාය. ඇයට කිය­න්නට බොහෝ දේ ඇතිවා සේම සොය­න්න­ටද බොහෝ දේ ඇත. එහෙත් ඇගේ රෝගී තත්ත්වය මත ඇයට වාට්ටුවේ ඇඳෙන් ඔබ්බට යෑමට අව­ස­ර­යක් නොමැත.

ඇත්තෙන්ම මේ ජයන්ති මාලා­ටත් ඇගේ දරු­වන් දෙන්නා­ටත් සිදු­වූයේ කුමක්ද? ඔවුන්ට සිදු වී ඇත්තේ මහා විප­ත්ති­යකි. ඒ සා මහත් විප­තක් සිදු වී ඔවුන්ට තව­මත් ජීවත් වීමට වරම් ලැබී ඇත්තේ පූරුවේ කළ පින­ක­ටය. ඒ විපත ඇසින් දුටු එකම පුද්ග­ලයා ජයන්ති මාලාගේ සැමි­යාය. ඔහු නමින් ඩී. තෙරු­නාල් ඇලෝ­සි­යස්ය.

'එදා උදේම ජයන්ති කිව්වා අද ළම­යි­නුත් එක්ක කෝවිල් යන්න ඕනේ කියලා. දවල් පූජා­ව­ටත් ඉදලා කෝවි­ලෙන් දානේ කාලා එමු කිව්වා. මමත් ළම­යින් තුන් දෙනාත් ජය­න්තිත් ගම­නට පිටත් වුණා. කෝවි­ලට ආවා. පූජා­වට ඉඳලා අනෙක් කට­යුතු සූදා­නම් වෙන­කල් අපි ගිහින් නාන්නද කියලා ළමයි අැහුවා. මම කිව්වා තනි­යම යන්න එපා අපිත් එන­කල් ඉන්න කියලා.

අපි ඔක්කොම වැවට ගියත් නාන්න ඕනේ වුණේ වැඩි­මල් ළමයි දෙන්නට. බාලම පුතා නාන්න බැහැ කිව්වා. ලොකුම දරුවා වැවට පැනලා පීනන්න පටන් ගත්තා. එක පාර­ටම ලොකූම ළමයා පේන්නේ නැතුව ගියා. මම ගොඩ ඉඳලා කෝ අයියා කියලා අහ­න­කොට දෙවනි පුතා අයියා නෑ අයියා නෑ කියලා කෑ ගැහුවා. දෙවනි පුතා කෑ ගහලා වතුරේ ඉඳන් කිව්වා අයියා මඩේ එරිලා ඉන්නවා මම ගොඩට ගන්නම් කියලා. ඒත් ටික වෙලා­ව­කින් දෙවනි පුතා­ගෙ­නුත් සද්ද­යක් නැතුව ගියා. විනා­ඩි­ය­ක්වත් ගියේ නෑ ජයන්ති අනේ මගේ ළමයි කියලා කෑ ගහ­ගෙන මම වතු­රට පනි­න්නත් ඉස්සර වෙලා එයා වතු­රට පැන්නා. ළමයි ඉන්න දිහා­වට එයා යනවා දැක්කා .ඊට පස්සේ ටික වෙලා­ව­කින් ජය­න්ති­වත් පේන්නේ නැතුව ගියා. මමත් වතු­රට පැන්නා. මම වතුරේ හෙව්වා හෙව්වා මට ඒ කවු­රු­වත් හම්බ වුණේ නෑ. මම කෑ ගහ ගහ ඒ අයව වතුරේ අත­ගගා හෙව්වා හොයා ගන්න බැරි­වුණා. මේ අත­රෙදි බාලම පුතා කෑ ගහ­ගෙන කෝවිල පැත්තට දුව­ගෙන ගිහින්. එහෙම කෑ ගහ­ගෙන යන අත­රෙදි තමයි ආමි එකේ මහ­ත්තුරු දෙන්නෙක් ඉන්නවා මෙයා දැකලා ඒ අයට කෑ ගහ ගහලා අතින් පයින් විස්තරේ කියලා තිය­නවා. ඒ අය ඇවිත් මේ වැවේ මඩේ එරිලා හිටිය එක එක්කෙනා ගොඩට අරන් ප්‍රථ­මා­ධාර දීලා ඉස්පි­රි­තා­ලෙට අරන් ගියා. ඒ අරන් ගියේ පුන­රීන් ඉස්පි­රි­තා­ලෙ­ටයි. ඒ වෙන­කොට කිසිම කෙනෙ­කුට සිහිය තිබුණේ නැහැ. මම හිතුවා තුන් දෙනාම මැරිලා කියලා. වාහ­නේට දාන­කොට ජයන්ති විත­රක් කෙඳිරි ගෑවා. ළමයි දෙන්නම මළ කඳන් වගේ හිටියා. පුන­රීන් ඉස්පි­රි­තා­ලෙන් කිව්වේ මේ අයට ගොඩාක් අමා­රුයි. බේර ගන්න පවා බැරි වෙයි. අපි එයා­ලව යාපනේ ඉස්පි­රි­තා­ලෙට ගෙනි­ය­නවා කිය­ලයි. ඒ අයව ගිලන් රථ­යක දාගෙන යාපනේ ඉස්පි­රි­තා­ලෙට ගෙනිච්චා. 'තෙරු­නාල් ඇලෝ­සි­යස් පව­සයි.

'හමු­දාවේ දෙන්නා ආවේ නැත්නම් වෙන කවුරු ආවත් මේ තුන් දෙනා බේරෙන්නේ නැහැ. මුළු කෝවි­ලේම හිටිය මිනිස්සු ටික මෙතෙන්ට ආවත් ඒ එක්කෙ­නෙ­ක්වත් ඔවුන්ගේ ජීවිතේ ගැන හිතලා වතු­රට පනින්නේ නෑ මහ­ත්තයෝ. ඒ දෙන්නා ආවා. හිත හිතා හිටියේ නෑ. යුනි­ෆෝම් ගැලෙව්වා. වතු­රට පැනලා මේ අයව බේර ගත්තා.'

ඒ වදන් පෙළ කියද්දී තෙරු­නාල් ඇලෝ­සි­යස්ගේ හඬත් විලා­ශ­යත් මහා වීර­ත්ව­ය­කින් පිරුණා මෙන්ම දැඩි හැඟු­ම්බර ගති­යක්ද ඔහු කෙරෙන් දැක ගන්න ලැබුණි.

මිනි­සුන් තමන්ගේ ජීවි­ත­යට වඩා ආද­රය කරන වෙනත් ජීවි­ත­යක් නොමැති තරම්ය. එසේ වූවත් තමන්ගේ ජීවි­ත­යට වඩා අනුන්ගේ ජීවි­තය අගය කරන මිනි­සුන්ද අප අතර නැතු­වාම නොවේ. කිලිනො­ච්චියේ පුන­රීන් අර­ස­පු­ර­කු­ලම් වැවට පැන්නේද එවැනි දේව­ත්ව­යෙන් යුත් දෙදෙ­නෙකි.

ඔවුන් දෙදෙ­නා­ගෙන් පළමු වැන්නා ලාන්ස් කෝප්‍රල් ජේ.පී. ආරි­ය­ර­ත්නය. සේවය කරන්නේ කිළි­නො­ච්චිය පස්වන ස්වේච්ඡා පාබළ රෙජි­මේන්තු කඳ­වු­රේය.

'අපි කඳ­වුරේ එළිය සීමාවේ ඉන්න­කොට වැව පැත්තෙන් එක්ව­රම කෑ ගහන සද්ද­යක් අපිට ඇහුණා. ඇත්තෙන්ම ඒක ලොකූ විලා­ප­යක් වුණා. 'සාමී...සාමී.. කිය­ලයි කෑගැ­හුවේ. ඒ කියන්නේ දෙයි­යනේ දෙයි­යනේ කියන්නා වගෙයි.

අපි ඒ පැත්තට යන­කොට තමයි පොඩි ළමයා කෑ ගහ ගහ එනවා දැක්කේ. ඒ කතාව අපිට තේරුණේ නැති වුණාට අපිට දැනුණා මෙතන මොකක් හරි කර­ද­ර­යක් වෙලා තිය­නවා කියලා. මොකද මිනිස්සු වතුර නැති කාලෙට වතුර ගන්න මේ වැව මැද්දේ අඩි තිහක් විතර ගැඹු­රට ලොකූ ළිඳක් වගේ වළක් කපලා තිය­නවා. ඒක මඩ වලින් වැහිලා තියෙන්නේ. අපිට එක පාර­ටම හිතුණා මේ වළේ කට්ටිය එරිලා තමයි මේ අය උදව් ඉල්ලන්නේ කියලා. මමත් ලාන්ස් කෝප්‍රල් අම­ර­සි­රිත් අපේ ඇඳුම් ගල­වලා දාලා වතු­රට පැන්නා.

හැබැයි මෙත­නදි අපි දෙන්න­ටම ලොකූ බයක් ඇති වුණා. මොකද 'දියේ ගිළුණු මිනිහා පිදුරු ගහෙත් එල්ලේ­නවා' කියලා කිය­ම­නක් තිය­න­වනේ. මට හිතුණා මේ අයව බේර ගන්න වතු­රට පනි­න­කො­ටම ඒ අය අපේ බෙල්ලෙන්ම අල්ල­ගෙන එයාලා බේරෙන්න බලයි කියලා. ඒත් අව­සා­නෙදි හිතුණා ලොකූ විප­තක් නේ වෙලා තියෙන්නේ කියලා. අර පොඩි දරුවා කෑග­හන හැටි දැක්කම අපි දෙන්න­ටම ඒ සේරම දේවල් අම­තක වුණා. වැවට පැනලා අපි දෙන්නා කාන්තා­වගේ ස්වාමි පුරු­ෂ­ය­වත් අරන් එයා­ගෙත් උදව් එක්ක අනිත් අය සේරම ගොඩට ගත්තා. ඒ අයව මඩේ එරිලා හිටිය නිසා ඒක ඒ තරම්ම ලේසි වුණේ නැහැ.

අඩි තිහක් විතර තිබුණු වළේ අඩි පහ­ළො­ව­කට වඩා මඩ පිරිලා තිබුණා. ඒ අය අඩි තුනක් විතර මඩේ එරි­ලයි හිටියේ. මගේ එක කකුලක් අඩි හත­රක් විතර මඩේ එරුණා. අනිත් කකුල වළේ ගැට්ටේ තියා­ගෙන තමයි මම එක එක්කෙනා ඇදලා ගත්තේ. කෝපල් අම­ර­සි­රිත් කළේ ඒ විදි­හ­ට­මයි. ඒ අයගේ ඉණ කොටස වෙන­කල්ම මඩේ එරිලා තිබුණේ. ඒත් වතුර බොර වෙලා මඩත් එක්ක කල­වම් වෙලා නිසා ඒ අයව අපිට පෙනුණේ නැහැ. එහාට මෙහාට අත ගාලා කකුල් එහාට මෙහාට දාලා එව්වගේ වදි­න­කොට තමයි අපි එයා­ලව හොයා ගත්තේ. අනික අපිත් වතුර යට ඉද­ගෙ­නයි මේක කළේ. ඒ අයව ගොඩට ගන්න කොට කිසිම කෙනෙක්ට සිහිය නැහැ. වතුර පෙවිලා. බඩ­වල් ගොඩාක් ලොකු වෙලා. ඇගේ හැම තැන­කම මඩ ගෑවිලා. අපි ඒ අයට ප්‍රථ­මා­ධාර දෙන ගමන් අපේ කඳ­වු­රට මේ බව දැනුම් දුන්නා. ගොඩාක් දෙනෙක් දුව­ගෙන ආවා. අපි සේරම එකතු වෙලා වාහ­න­යක දාලා තුන් දෙනාම පුන­රීන් රෝහ­ලට රැගෙන ගියා.’’

ලාන්ස් කෝප්‍රල් ටී.ජී.ජේ.පී. ආරි­ය­ර­ත්නත් ඔහු සමග සිටි අනෙක් ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.එස්. අම­ර­සි­රිත් ඉප­දුණේ එකම ගම්මා­න­ය­කය. ඒ හසළක රන්දෙ­ණි­ගල පාරේ පිහිටි අඹ­ග­හ­පැ­ලැස්ස ගම්මා­න­යේය. මේ අඹ යහ­ළු­වන් දෙදෙනා මේ වන­විට සේවය කර­න්නේද කිලිනො­ච්චියේ එකම හමුදා කද­වු­ර­කය. යුද හමු­දා­වට සේවය කරන අත­ර­තුර මේ සග­යින් දෙදෙනා මුලු කිලි­නො­ච්චි­ය­ටම විශාල සේව­යක්ද කොට තිබේ. ඩී.ජී.එස්. අම­ර­සිරි ලාන්ස් කෝප්‍ර­ල්ව­රයා මේ සිද්ධිය ගැන කියා සිටියේ විශාල පින්ක­ම­කට ඔවුන් දෙදෙ­නාත් කඳ­වුරේ පිරි­සත් අත­ගැසූ බවය.

'අම්මා කෙනෙ­කුයි දරු දෙදෙ­නෙ­කුයි මර­ණ­යෙන් බේරා ගත්තා කියන්නේ ලෙහෙසි පිනක් නෙමෙයි. ඒ අය දෙමළ පවු­ලක් කියලා අපි මැරෙන්න ඇරියේ නැහැ' ජීවි­තය ගැන නොතකා වැවට පැන්න ලාන්ස් කෝප්‍ර­ල්වරු දෙදෙනා ඔවුන්ගේ කඳවුරේ රාජ­කා­රිය කර­ගෙන සිටියේ නම් අද ඇලෝ­සි­යස්ගේ මුළු පවු­ලම මේ මහ පොළො­වට මිහි­දන් වී හමා­රය.

ඔවුන් දෙදෙ­නාගේ මේ ක්‍රියා­වට ශ්‍රී ලංකා යුද හමු­දාවේ කිලි­නො­ච්චිය හැට හය­වැනි සේනාං­කයේ සේනාං­කා­ධි­පති බ්‍රිගේ­ඩි­යර් මංගල විජේ­සු­න්දර මහ­තාත් 661 වෙනි බළ සේනාවේ බළ­සේ­නා­ධි­පති කර්නල් මධුර වික්‍ර­ම­රත්න මහ­තාත් 5 වන යාන්ත්‍රික පාබළ රෙජි­මේ­න්තුවේ දෙවන අණ­දෙන නිල­ධාරී මේජර් ධනං­ජය වන්නි­ආ­රච්චි මහ­තාත් එම රෙජි­මේ­න්තුවේ තවත් නිල­ධා­රීන් කීප දෙනෙ­කුත් දැක්වූ දායකත්වය අම­තක කළ හැකි නොවේ. දිවි පර­දු­වට තබා මේ වික්‍ර­මය කළ ලාන්ස් කෝප්‍ර­ල්වරුන් දෙදෙ­නා මෙහෙ­ය­වන ලද්දේ ඒ නිල­ධා­රීන් විසින්ය. ඔවුන්ගේ මේ ක්‍රියාව මුළු රටේම කීර්ති­ය­ටත් යුද හමු­දාවේ කීර්ති­ය­ටත් විශාල දාය­ක­ත්ව­යක් ලැබූ නිසා ඔවුන් වෙනු­වෙන්ද යම් ඇග­යී­මක් රටේ ඉහළ තැන්වලින් අව­ශ්‍යව ඇත.

Comments