කෝට්ටේ අලි කුලප්පුව ගැන ඇසෙන කතාව | සිළුමිණ

කෝට්ටේ අලි කුලප්පුව ගැන ඇසෙන කතාව

පෙර­හ­රක් කියූ සැණින් සැමගේ ප්‍රශ්නා­ර්ථය අලි ඇතුන් කී දෙනෙක් සිටීද යන්නයි. එසේම පෙර­හරේ සිටින අලි ඇතුන් ප්‍රමා­ණය පෙර­හරේ දිග පළල ද තීන්දු කරයි. එසේ පෙර­හ­ර­ව­ලට අතී­තයේ සිටම බද්ධ වී සිටින අලි ඇතුන් දැන් දැන් කඨින පින්කම් පෙර­හ­ර­ව­ල­ටද යොදා ගනිති.

මෑතක සිට පෙර­හ­ර­ව­ලදී අලි ඇතුන් කුලප්පු වීම් නැත­හොත් නොස­න්සු­න්කාරි හැසි­රීම් වාර්තා වීම සුලබ සිදු­වී­මකි. එම නිසා පසු­ගිය කාලයේ පැවැති පෙර­හර සංස්කෘ­තික මංග­ල්‍ය­යන්හි මෙවැනි සිදු­වීම් සාමා­න්‍ය­ක­ර­ණය වී ඇති බවක් පෙනේ.

පරිසරවේදී නය­නක රන්වැල්ල

එහි ආස­න්න­තම සිදු­වීම වාර්තා වූයේ පසු­ගිය හත්වැ­නි­දායි. ඒ, ඓති­හා­සික කෝට්ටේ රජ­මහා විහා­රයේ 119 වැනි වාර්ෂික රන්දෝලි පෙර­හ­රේ­දියි. හත්වැ­නිදා රාත්‍රී 8.56 ට එළැ­ඹුණු සුබ මොහො­තින් වීදි සංචා­රය ආරම්භ කළ පෙර­හර අලං­කාර අන්ද­මින් පැවැ­ත්වෙ­මින් තිබුණේ අලි ඇතුන් විශාල ප්‍රමා­ණ­යක් සම­ඟිනි. වීදි සංචා­රය කර­මින් පැවැති පෙර­හරේ රාත්‍රී 10.40 ට පමණ එක්ව­රම අලි­යකු කුලප්පු වී තිබිණි. අලියා පිට සිටි ගජ­නා­යක නිල­මේ­ව­ර­යාද බිම හෙළ­මින් අලියා රජ­මහා විහාර මාර්ගයේ ඉදි­රි­යට දිව යන ආකා­රය වීඩියෝ දසු­න්ව­ලින් ද දිස්විණි. පසුව මාර්ගය අසල ශාන්ත තෝමස් දේව­ස්ථා­නය අස­ලට ගිය එම අලියා නතර විය. ඒ සම­ඟම ඊට ඉදි­රි­යෙන් ගිය තවත් අලි­යෙක්ද නොස­න්සුන් වී ඇත්තේ පළ­මු­වෙන් නොස­න්සුන් වූ අලි­යාගේ කල­බ­ලය නිසා­වෙනි.

විවිධ හේතු

අලි කුල­ප්පු­වට විවිධ හේතු කියැ­විණි. ගින්දර පෑගීම නිසා කුලප්පු වූ බව එක් තැනක වාර්තා විණි. එසේම අලින්ට අන්දවා තිබූ ඇඳුමේ යොදා තිබූ විදුලි බුබු­ළු­ දැල්වීමට සපයන විදු­ලිය කාන්දු වීම නිසා අලින් නොස­න්සුන් වූ බවට ද අද­හස් පළ­විණි.

පෙර­හ­ර­ව­ලදී සිදු­වන අලින්ගේ නොස­න්සු­න්තා­ව නිසා බොහෝ විට මිනි­ස්සුන්ට හානි සිදු­වන්නේ කල­බල වී සිසී­කඩ දිවිම හා තෙර­පීම නිසායි. එසේ නොමැ­තිව අලින්ගේ පහර දීම හෝ පැගීම නිසා සිදු­වන අන­තුරු අව­මය. මෑත කාලයේ අලින්ගේ කුලප්පු වීම් හා නොස­න්සුන් හැසි­රීම් වැඩි­වී­මට හේතු මොන­වාද යන්න අප විම­සී­ම­කදී මාධ්‍ය­වේ­දි­යෙකු මෙන්ම පරි­ස­ර­වේ­දී­යකු ද වන නය­නක රන්වැල්ල මහතා පැවැ­සුවේ මෙවන් අද­හ­සකි.

කෝට්ටේ සිදු­වීම වුණු තැනට ගිහින් මං සොයා බැලුවා. හදි­සි­යේම අලි­යට කරන්ට් වැදුණ කිය­ලයි කියන්නෙ. ඒත් පොලි­සි­යෙන් කියන්නෙ පිරි­සක් එක්ව­රම පාරට පැන්න නිසා අලියා කල­බල වුණා කියලා. එහෙත් මට අනා­ව­ර­ණය වුණේ ප්‍රධාන ලෙසම ඇත්ගොව්වා මත්වතුර පානය කර සිටි නිසා මේ දේ සිදු­වුණේ කියලා. මං වග­කී­මෙන් කියන්නෙ එදා ඇත්ගො­ව්වන්ට මත්වතුර ගෙනත් දීපු අයත් මට මුණ­ගැ­හුණා. කල­බල වූ අලි­යගේ ඇත්ගොව්වා උදෙත් බීලා, දව­ලුත් බීල තමයි පෙර­හ­රට සහ­භා­ගි­වෙලා තියෙන්නෙ. එහෙම මත්වතුර පානය කරලා අසි­හි­යෙන් යන ඇත්ගොවවන් අලින්ගෙ වැරැදි නිල­ව­ලට අනි­නවා. එහෙම ප්‍රබල සංවේදී නිල­ව­ලට ඇන්නම අලි­යට දරා­ගන්න බැහැ. එත­කොට දුව­නවා. ඒ නිසා තමයි අලියා දුවලා තියෙන්නෙ. මුල් අලි­යගේ කල­බ­ල­යට අනිත් අලි­යත් නොස­න්සුන් වුණා“

ඇත්ගො­ව්වන්ගේ වැරුදි

රන්වැල්ල මහතා මෑත කාලයේ මෙසේ අලින් කල­බල වීමට කරුණු කාරණා කිහි­ප­යක්ම හේතු වන බවට විම­ර්ශන මඟින් අනා­ව­ර­ණය කර­ගෙන ඇත.

“අද ඇත්ත­ටම ඇත්ගො­ව්වන්ට කිසිම නියා­ම­න­යක් නැහැ. ඕනෑම කෙනෙ­කුට ඇත්ගො­ව්වෙක් වෙන්න පුළු­වන්. අතී­තයේ එහෙම නෙවෙයි. ඇත්ගො­ව්වන් පැවැත එන්නෙ පාර­ම්ප­රි­ක­වයි. මුලින් ගෝල රාජ­කා­රිය කරලා ලොකු දැනු­මක් ලබන්න ඕනෑ. ඒත් අද එහෙම නෑ. ඒ වගේම ඇත්ගො­ව්වන් අධික ලෙස මත්වතුරට ඇබ්බැහි වීම. ඇතැම් අලි මත්වතුර ගඳ වැනි නොයෙක් ආකා­රයේ ගඳ-සුව­ඳට කැමැති නෑ. අනෙක් කාර­ණය අද අලින් සිටින්නෙ පුදුම ආත­ති­ය­කින්. නිසි වෙලා­වට කෑම නෑ. දැඩි අව් රශ්මියේ තාර පාර­වල පයින් ගමන් කර­ව­නවා. මං එදා දැක්කා රෑ තිස්සෙ පෙර­හරේ ගිය දකුණේ ප්‍රසිද්ධ ඇතෙක් පහු­වදා මහ දවල්ම රැගෙන යනවා. පෙර­හර අව­සන් වූ සැණින් එත­රම් දුරක් යෑම ඒ ඇතාට ලොකු පීඩ­න­යක්.“

අලි හරි­හැර

නිසි වෘත්තිය මට්ටමේ ඇත්ගො­ව්වන් නොමැ­ති­කම, ආත­ති­යෙන් සිටින අලින් වගේම වර්ත­මා­නයේ පෙර­හර මංග­ල්‍ය­යන් නැරැ­ඹී­මට පැමි­ණෙන ඇතැම් දෙනාගේ නොමනා හැසි­රීම්ද අලි කුලප්පු වීමට හේතු­වක් ලෙස ඔහු පෙන්ව දේ.

“වර්ත­මා­නයේ පෙර­හර නැරැ­ඹී­මට එන ඇතැ­මෙක් කිසිම ශීලා­චාර බවක් නෑ. එදා පෙර­හර නැරැ­ඹුවේ බොහෝම ගෞර­ව­යෙන්. ඒත් අද විශාල ශබ්ද නැඟෙන නළා පිඹි­නවා. කෑග­හ­නවා. එවැනි දේ මේ අලි ඇතුන්ට දැඩි අප­හ­සු­තා­වක් ගෙන දෙනවා. ඒ වගේම අලින්ට ළංවෙලා ඇතැම් දෙනා අලි කෙඳි ගල­වන්න, අල්ලන්න යනවා. ඒවා ඒ සත්තුන්ට කර­ද­ර­කාරි හැසි­රීම්.“

මේ සියලු කරුණුවල සම්මි­ශ්‍ර­ණ­යන් පෙර­හ­ර­ව­ලදී අලින්ගේ කුලප්පු වීමට මෑත කාලයේ බොහෝ සෙයින්ම හේතු වී ඇති බව සිදු­කළ විම­ර්ශ­න­ව­ලින් හෙළි වී ඇති බවද පරි­ස­ර­වේදී නය­නක මහතා අනා­ව­ර­ණය කළේය. එම නිසා පෙර­හර මංග­ල්‍ය­යට අලි ඇතුන්ගේ සහ­භා­ගි­ත්වය ඉදි­රි­යේදී දැඩි ප්‍රශ්න­කාරි බවක් ගෙන දීමට ඉඩ තිබේ. එසේම අලින්ගේ කුලප්පු වීම නිසා ජන­යාද පෙර­හර මංග­ල්‍ය­යන් නැරැ­ඹී­මට යෑමේදී දෙව­රක් සිතන තත්ත්ව­යක්ද උදා­වෙ­මින් තිබේ.

1959 දළදා පෙර­හරේ අලි කුල­ප්පුව නිසා ඇතිවූ ව්‍යස­නය නැවත සිදු නොව­න්නට වග බලා ගනි­මින් දිගින් දිග­ටම පෙර­හ­ර­ව­ලදී සිදු­වන අලි කුල­ප්පුව නතර කිරී­මට වග­කි­ව­යුතු සියලු පාර්ශ්ව­වල ඇස් ඇරිය යුතු කාලය එළැඹ තිබේ. අලි හිමි­ක­රු­වන් පෙර­හ­ර­ව­ලට අලි ඇතුන් පිරි­නමා ලක්ෂ ගණ­නින් මුදල් උප­ය­නවා සේම, පෙර­හර රාජ­කාරී ඉටු කිරී­මේදි අලි ඇතුන්ගේ සිට ඇත්ගො­ව්වන් දක්වා සෑම දෙනෙක් ගැනම මීට වඩා සැලැ­කි­ලි­මත්ව සොයා බැලිය යුතු ව ඇත.

 

Comments