කොළඹ සරු කළ අතීත ඇළ මාර්ග පද්ධති | සිළුමිණ

කොළඹ සරු කළ අතීත ඇළ මාර්ග පද්ධති

කොළඹ ඇළමාර්ගයක් 1890
කොළඹ ඇළමාර්ගයක් 1890

බේරේ වැව ආශ්‍රි­තව මඟී ප්‍රවා­හන බෝට්ටු සේව­යක් පසු­ගිය අගෝස්තු මස 22 දා ආරම්භ විය. ඒ කොළඹ නග­රයේ රථ වාහන තද­බ­දය අවම කිරීමේ වික­ල්ප­යක් ලෙසය. ප්‍රවා­හන සේවයේ මුල් අදි­යර දිවෙන්නේ යුනි­යන් පෙදෙසේ සිටි කොළඹ කොටුව දක්වාය. ඉඩම් ගොඩ­කි­රීමේ හා සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව විසින් කොළඹ නග­රය අවට ඇති ඇළ මාර්ග පද්ධ­තිය භාවිත කර ප්‍රවා­හන සේව­යක් සැල­සුම් කර­මින් සිටින්නේ කලක සිටය. ලොව පව­තින විශි­ෂ්ටම තෙත් බිම් නග­ර­යක් වූ කොළඹ පව­තින ජලා­ශ්‍රිත පරි­ස­රය යොදා ගනි­මින් ප්‍රවා­හන කට­යුතු පවත්වා ගැනීමේ ඉති­හා­ස­යක් තිබේ.

 

ඇළ හා ජල මාර්ග (Canals and Water ways) විය­දම් අඩු ප්‍රවා­හන ක්‍රම­යක්ය, යන්න අනා­දි­මත් කාල­යක සිටම ලොව බොහෝ රට­වල ප්‍රච­ලි­තව පැවති අද­හ­සකි. විශේ­ෂ­යෙන්ම, මේ සම්බ­න්ධ­යෙන් වඩාත් ප්‍රවී­ණ­ත්ව­යක් දැරුවේ මුහුදු මට්ට­මට වඩා පහත් හෝ නිතර ගං වතු­රට ලක් වන රට­වල වැසි­යෝය. ඒ අත­රින් ඕලන්ද ජාති­ක­යන් හෙවත් ලන්දේ­සීන්ට හිමි වන්නේ අද්වි­තීය ස්ථාන­යකි. ඔවුහු සිය, ජල විද්‍යා­ත්මක ඉංජි­නේරු ක්‍රම (hydraulic engineering techniques) සම්බන්ධ පරි­චය ප්‍රයෝ­ජ­න­යට ගනි­මින්, සිය යට­ත්වි­ජිත රට­ව­ලද ඇළ මාර්ග බිහි කිරී­මට පසු­බට නොවූහ. දැනට ශ්‍රී ලංකාවේ බට­හිර හා දකු­ණු­දිග වෙර­ළ­බඩ ප්‍රදේ­ශ­යෙහි දැකිය හැකි ඇළ මාර්ග­ව­ලින් බොහො­ම­යක්ම එලෙස ලන්දේ­සීන් අතින් බිහි වූ ඒවා වෙයි.

යට­ත්වි­ජිත පාලන සම­යේදී ඇළ මාර්ග බිහි කිරීමේ ගෞර­වය ලන්දේ­සීන්ට හිමි වුවද ශ්‍රී ලංකාවේ ජල කර්මා­න්තයේ ඉති­හා­සය බොහෝ ඈතට දිව යන්නකි. අනු­රා­ධ­පුර, පොලො­න්නරු යුග­ව­ලදී පැවති විශිෂ්ට වාරි තාක්ෂ­ණය ලන්දේ­සීන්ට කිසි විටෙ­කත් සම කළ නොහැ­ක්කකි. එසේම ප්‍රවා­හන කට­යුතු සඳහා අභ්‍ය­න්තර ජල මාර්ග ප්‍රයෝ­ජ­න­යට ගෙන ඇති අවස්ථා පිළි­බ­ඳ­වද අපගේ සාහි­ත්‍ය­මය මූලා­ශ්‍ර­ය­න්ගෙන් තොර­තුරු ලැබේ. ඇතැම් ඉති­හා­ස­ඥ­යන් සඳ­හන් කරන පරිදි කෝට්ටේ සහ රයි­ගම ප්‍රදේ­ශ­වල මුලින්ම ජල මාර්ග ඔස්සේ ප්‍රවා­හන කට­යුතු ආරම්භ කර ඇත්තේ සිංහල රජ­ව­රුය.

කෙසේ වෙතත් රට තුළ ප්‍රවා­හන කට­යුතු සඳහා භාවිත කළ හැකි පරිදි ජල මාර්ග දියණු කර ඇත්තේ ලන්දේ­සීන් විසිනි. වෑන් ඉම්හෝෆ් ආණ්ඩු­කා­ර­ව­රයා (1736-1740) නිල වශ­යෙන්ම මෙන්ම පෞද්ග­ලික වශ­යෙන්ද ඉම­හත් පරි­ශ්‍ර­ම­යක් දරා ඇති බව පෙනේ. එසේ ලන්දේ­සීන් විසින් ඇළ මාර්ග දියුණු කිරීම කෙරෙහි වඩාත් උත්සුක වී ඇත්තේ වෙළඳ භාණ්ඩ නිෂ්පා­දන ප්‍රදේ­ශ­වල සිට ලාභ­දායි ලෙස කොළඹ වරා­යට ප්‍රවා­හ­නය කර­වී­මයි. ලන්දේ­සීන් පැමි­ණී­මට පෙරා­තුව පෘතු­ගී­සීන් විසින්ද කොළඹ හා ඒ අවට ඇළ මාර්ග කීප­යක් ආරම්භ කොට තිබූ අතර ලන්දේ­සීන් අතින් ඒවාද වැඩි දියු­ණු­වට පත් විය.

කොළඹ හා ඒ අවට ඇති ඇළ මාර්ග අත­රින් පැර­ණිම ඇළ මාර්ග­යක් ලෙස උතු­රින් හැඳල දක්වාත්, දකු­ණින් බොල්ගොඩ ජලා­ශය හා කෝට්ටේ ජලා­ශය සම්බන්ධ වන අයු­රින් බිහි කර ඇති ඇළ මාර්ගය හැඳි­න්විය හැකිය. ලන්දේ­සීන්ගේ වාර්තා­ව­ලට අනුව එය පෘතු­ගී­සීන් විසින් ඉදි කරන ලද්දකි. එසේම කොළ­ඹට උතු­රින් කැලණි ගඟේ සිට පමු­ණු­ගම කල­පුව දක්වා ඉදි කර ඇති ඇළ මාර්ග­යද පෘතු­ගී­සීන්ගේ නිර්මා­ණ­යක් බව එල්.ආර්. බ්‍රෝහි­යර් (L.R. Brohier - Links Between Sri Lanka and Netherlands) සඳ­හන් කරයි. පර්නාවෝ ඩී. ක්වේරෝස් පිය­තුමා ( Fr. Fern ao de Queyroz ) සිය, “Temporal and Spiritual Conquest of Ceylon” නම් ග්‍රන්ථ­යෙහි එම ඇළ මාර්ගය වීර පරා­ක්‍ර­ම­බාහු රජුගේ නිර්මා­ණ­යක් ලෙස සඳ­හන් කර ඇති අතර, ඒ නිසැ­ක­යෙන්ම Viii වන වීර පරා­ක්‍ර­ම­බාහු (1476-1489) රජු විය හැකි බව එච්.ඩබ්ලිව්. කෝඩ්රි­න්ටන් ( H.W. Codrington - Short History of Ceylon ) සඳ­හන් කරයි. කෙසේ වෙතත් ලන්දේසී වාර්තා අනුව එම ඇළද පෘතු­ගී­සීන් විසින් ආරම්භ කරන ලද්දකි.

කොළ­ඹට උතු­රින් සාර­වත් වෙල් යායක්ව පැවති මුතු­රා­ජ­වෙල පුරන් වී ගියේද එම ඇළ මාර්ගය ඔස්සේ ගලා ආ මුහුදු ජලය නිසා බව සඳ­හන් වේ.

ඒ පිළි­බඳ තව­දු­ර­ටත් තොර­තුරු සොයා බැලී­මේදී 1614.04.23 වැනි දින දොම් ජෙරො­නිමෝ ද අස­වේදු Dom Jeronimo de Azevedo විසින් මනු­වෙල් මස්ක­ර­ඤ්ඤස් හොමේම් MANOEL (Mascarenhas Homem) ජන­රා­ල්ව­රයා වෙත යවන ලද ආඥා පත්‍ර­ය­කින් (regimento) වැද­ගත් කරුණු රැසක්ම අනා­ව­ර­ණය කර ගත හැකි වේ.

හැමිල්ටන් ඇළ

පෘතු­ගීසී බසින් රචිත එම ලේඛ­න­යෙහි එම ඇළ මාර්ග පිළි­බ­ඳව සඳ­හන් වන ආකා­රය මෙහි දක්වා ඇත. (1 රූපය)

එහි සිංහල පරි­ව­ර්ත­නය මෙසේය.

එහි (මීග­මුවේ) සිට කොළ­ඹට ඇති අභ්‍ය­න්තර ගංඟා­වක් නිසා කොළ­ඹට භාණ්ඩ ප්‍රවා­හ­නය ඉතා පහසු බැවින් හා නැව් වලින් ගොඩ බාන භාණ්ඩ ප්‍රවා­හ­නය සඳහා පහ­සු­වෙන් බෝට්ටු සප­යා­ගත හැකි බැවින් මීගමු වරාය ඉතා යෝග්‍ය එකක් ලෙස සඳ­හන් කරයි.

තවද අය­හ­පත් කාල­ගු­ණය හා කුණාටු සහිත බව නිසා ඔබට කොළ­ඹට ගොඩ බැසී­මට අප­හසු වුව­හොත් කල්පි­ටි­යට යා හැකිය. එය ආර­ක්ෂිත වරා­යක් වන අතර ඊට “ ගඟ” ඔස්සේම යා හැකිය. එය වඩාත් පහසු හා ආර­ක්ෂිත මාර්ග­යක් වන අතර බෝට්ටු­ව­ලින් හා කම්ක­රු­ව­න්ගෙන් හිඟ නොවේ.

කෙසේ වෙතත් එම ලේඛ­න­යෙහි “ඇළ” යන්න වෙනු­වට ‘ගංගාව’ යන්න අර්ථ­වත් වන rio යන වච­නය යෙදා තිබීම මත­භේ­ද­යට තුඩු දෙන්නකි. rio යන්න ඇතැම් විට කල­පුව සඳ­හාද යොදා තිබේ. එහෙත් කොළඹ සිට මීග­මුව දක්වා විහි­දෙන කල­පු­වක් නැති බැවින්ද ශ්‍රී ලංකාවේ ගංඟා ව්‍යාප්ති රටාව අනුව කිසිදු ගංගා­වක් වෙර­ළට සමා­න්ත­රව නොවි­හි­දෙන බැවින් මෙහි “ගඟක්’ ලෙස සඳ­හන් කර ඇත්තේ ඇළ මාර්ග­යක් බව නිසැ­කය.

මීග­මුවේ සිට කල්පි­ටිය දක්වාද එම ඇළ මාර්ගය විහිදි බව සඳ­හන් කර තිබීම තවත් ගැටලු සහ­ගත තැනකි. මන්ද යත්, පුත්ත­ලමේ සිට කල්පි­ටිය දක්වා කලපු තීර­යක් විහි­දෙන බැවින් ඇළ මාර්ග­යක් අවශ්‍ය නොවන බැවිනි. ඒ අනුව මෙම ඇළ මාර්ගය කොළඹ සිට පුත්ත­ලම දක්වා නිර්මා­ණය කර තිබී ඇති අතර, එතැන් සිට කල්පි­ටිය දක්වා කල­පුව ඇළ මාර්ග­ය­ටම සම්බන්ධ කොට එක් ජල මාර්ග­යක් ලෙස ප්‍රයෝ­ජ­න­යට ගන්නට ඇතැයි සිතිය හැකිය.

කොළඹ සිට පුත්ත­ලම දක්වා සැත­පුම් 78 ක් දිගැති ඉහත ඇළ මාර්ගය පිළි­බඳ ඇතැම් ඉති­හා­ස­ඥ­යන් සඳ­හන් කරන්නේ මුලින් පෘතු­ගී­සීන් විසින් කොළඹ සිට මීග­මුව දක්වා කොටස නිර්මා­ණය කර තිබූ අතර ලන්දේ­සීන් විසින් පුත්ත­ලම දක්වා වූ කොටස සම්පූර්ණ කර ඇති බවයි. එහෙත් ක්‍රි.ව. 1614 වන විටත් එම සම්පූර්ණ ඇළ මාර්ග­යම නිර්මා­ණය වී තිබූ බව ඉහත ලේඛන අනුව ප්‍රත්‍යක්‍ෂ වේ. ඒ අනුව 18 වන සිය­ව­සේදී ලන්දේ­සීන් එම ඇළ මාර්ගය තව­දු­ර­ටත් නවී­ක­ර­ණය කර ඇති පෙනේ.

ඒ සම­ඟම කොළඹ හා පුත්ත­ලම අතර ප්‍රදේ­ශ­යෙහි ගංඟා, කලපු සම්බන්ධ කර­මින් සැත­පුම් 120ක පමණ ඇළ­වල් සංඛ්‍යා­වක් වෑන් ඉම්හෝෆ් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් ඉදි කරන ලද බව සඳ­හන් වේ.

කෝට්ටේ සිට කිරු­ළ­පන හරහා නැදි­මා­ල­ටත්, ඉන්ප­සුව බොල්ගොඩ ජලා­ශ­ය­ටත් විහි­දෙන ඇළද පෘතු­ගී­සීන් විසින් නිර්මා­ණය කරන ලද්දක් වන අතර පසුව එය ලන්දේ­සීන් විසින් පිළි­ස­කර කරනු ලැබ තිබේ. කෝට්ටේ සිට ගංගො­ඩ­විල ඔස්සේ නැදි­මාල දක්වා තවත් කෙටි ඇළ මාර්ග­යක් ලන්දේ­සීන් විසින් සැල­සුම් කළ ද එහි වැඩ කට­යුතු අව­සන් කළ නොහැකි වී තිබේ.

පෘතු­ගීන් හා ලන්දේසී යුග­ව­ලදී කොළඹ හා ඒ අවට ජල කර්මා­න්තය ගැන කතා කිරී­මේදී බේරේ වැව (Beira Lake) ද විශේ­ෂ­යෙන්ම සඳ­හන් කළ යුත්තකි. මුලින් කුඩා වැවක් ලෙස ඉදි කර ඇත්තේ 1521 දීය. ඒ, පෘතු­ගීසී බළ­කො­ටුව හා කොළඹ නග­රය ගොඩ­බිම දෙසින් එන සතුරු ආක්‍ර­ම­ණ­ව­ලින් ආරක්ෂා කර­ගැ­නීම සඳ­හාය.

ග්‍රන්ඩ්පාස් - 1880

බේරේ වැවේ ආර­ම්භය පිළි­බඳ පර්නාවෝ ඩී. ක්වේරෝස් පිය­තුමා (1680), 1521 දී විජ­ය­බාහු රජු කොළඹ වැටලූ කල්හි පෘතු­ගීසී කපි­තාන් ලෝපොද බ්‍රිටෝ ආක්‍ර­ම­ණි­ක­යන් මර­මින් එක්තරා දොළක් දක්වා ලුහු­බැඳ ගිය බවත් පසු කලෙක එම දොළ හරස් කොට නග­ර­යට වඩා හොඳින් රැක­ව­ර­ණය ලබා­ගැ­නීම සඳහා වැවක් බඳින ලද බවත් සඳ­හන් කරයි.

ඒ අනුව වැව ඉදි කිරීම නිසා උතු­රින් හා බට­හි­රින් මුහු­දින් ආරක්ෂා වූ කොළඹ නග­ර­යෙහි දකුණු හා නැඟෙ­න­හිර සීමා­වල ආර­ක්ෂා­වද තර කර­ගත හැකි විය.

කෙසේ වෙතත් එම වැව “බේරේ වැව” ලෙසින් වඩාත් විශාල කොට නිර්මා­ණය කර ඇත්තේ ලන්දේ­සී­හුය. ඒ කාර්යෙ­හිලා ඩී. බියර් (De. Beer) නම් ලන්දේසී ජාතික ඉංජි­නේ­රු­වෙකු ප්‍රමු­ඛ­ත්වය ගෙන ඇති අතර, ඒ අනුව ඔහු­ගේම නමින් වැව නම් කර තිබේ. ආර­ම්භ­යේදී එම වැවෙහි ප්‍රමා­ණය (Lake area) අක්කර 400 (හෙක්ටාර් 162) ක් වී තිබේ. එහෙත් පසුව නොයෙ­කුත් අව­ශ්‍යතා සඳහා ගොඩ කරන ලදුව දැනට මෙහි ප්‍රමා­ණය හෙක්ටාර් 65.4 දක්වා අඩු වී තිබේ. පෘතු­ගීසී හා ලන්දේසී යුග­ව­ලදී සෙබ­ළුන් හා භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු සිදු වී ඇත්තේ ඒ වැව ඔස්සේය.

මුල් කාලී­නව බේරේ වැව හා සම්බ­න්ධව ඇළ මාර්ග කීප­යක් නිර්මා­ණය වී තිබී ඇති අතර, දැනට ඉන් ඉති­රිව ඇත්තේ එකක් පමණි. ඒ ‘සන්ත බස්ති­යම් ඇළයි. එම ඇළ පෘතු­ගීසී බළ­කො­ටු­වට පහර දීම සඳහා වැව හිස් කිරී­මට 1 වන රාජ­සිංහ රජු විසින් කර­වන ලද්දකි. ඒ සඳහා හේවා­ගම් කෝර­ලයේ ජන­තාව සම්බන්ධ වී ඇති බව සඳ­හන් වේ.

19 වන සිය­වස වන විට කොළඹ නග­රයේ ප්‍රවා­හන කට­යුතු හා ගං වතු­රින් ආරක්ෂා වීම සම්බ­න්ධ­යෙන් ඇළ මාර්ග­වල වැද­ග­ත්කම වට­හා­ගත් බ්‍රිතාන්‍ය පාල­ක­යන් තව­දු­ර­ටත් ඒවා නවී­ක­ර­ණය කොට පව­ත්ව­ගෙන යෑම­ටත්, නව ඇළ මාර්ග ඉදි කිරී­ම­ටත් උත්සුක විය. එහි ප්‍රති­ඵ­ල­යන් ලෙස කැලණි ගඟ පමු­ණු­ගම කල­පු­වට සම්බන්ධ කෙරෙන හැමි­ල්ටන් ඇළද බොල්ගොඩ ජලා­ශය කළු ගඟට සම්බන්ධ කෙරෙන අන්ස්ට්‍රෑ­දර් ඇළ (1829 දී කොළඹ අය­කැමි ධුරය දැරූ පිලිප් අන්ස්ට්‍රෑ­දර්ගේ නමින්) ද බිහි විය.

ඊට අම­ත­රව කෝට්ටේ කිරු­ළ­පන සහ නැදි­මාල ඇළද වැල්ල­ව­ත්තෙන් මුහු­දට සම්බන්ධ කර­මින් තවත් ඇළක් ද ඉදි කර තිබේ. මෙම ඇළ එව­කට බස්නා­හිර පළාතේ දිසා­ප­තිව සිටි සී.පී. ලෙයාඩ් විසින් සැල­සුම් කරන ලද බැවින් ලෙයාඩ්ගේ ඇළ නම් විය. කැලණි ගඟේ පිටාර ජලය බැහැර කිරීම එම ඇළ ඉදි කිරීමේ අර­මුණ වුවත් ඇළේ පතුල, ගං වතුර රඳන ප්‍රදේ­ශ­යට වඩා උස් වූ බැවින් එය ‘ලෙයාඩ්ගේ මෝඩ ඇළ’ නමින් ප්‍රකට විය. පසුව එම ඇළ ගැඹුරු කොට ගංව­තුර බැස්ස­වීමේ මාර්ග­යක් ලෙස සකස් කෙරිණි.

එම ඇළ මාර්ග ඔස්සේ ප්‍රවා­හන කට­යුතු සිදු කිරීම සඳහා ප්‍රධාන වශ­යෙන් ප්‍රයෝ­ජ­න­යට ගන්නා ලද්දේ ඔරු හා පාරු ය. ඒ අත­රින් භාණ්ඩ ප්‍රවා­හ­නය සම්බ­න්ධ­යෙන් වඩාත් වැද­ගත් යාත්‍රාව වූයේ පාරු­වයි.

වැල්ලත්ත ඇළ 1900

බොහෝ ඉඩ­කඩ හා ආර­ක්ෂාව ඇතිව සකසා ඇති එම පාරු­ව­ලින් තේ, රබර්, පොල් වැනි කෘෂි නිෂ්පා­දන කොළඹ වරාය කරාත් ලුණු, ගඩොල්, උළු, ලී වැනි දේ රට අභ්‍ය­න්ත­ර­ය­ටත් ප්‍රවා­හ­නය කෙරිණි. දින ගණ­නක් මුළුල්ලේ සිදු කෙරුණු පාරු ගම­න්ව­ලදී අව් වැසි­ව­ලින් ආරක්ෂා වීම සඳහා පොල් අතු­ව­ලින් සැකසූ පිය­ස්සක් ද පාරු­වට විය. පොල් අතු වහ­ලක් සහිත එම පාරු විශේ­ෂය ලන්දේ­සීන් විසින් මෙර­ටට හඳුන්වා දෙන ලද්ද­කැයි පැවසේ. එම පාරු හබල් ගෑමෙන් හෝ දිග රිටි­ව­ලින් පැදී­මෙන් හෝ ඉවුරේ සිට කළ කණු­වල බැඳි කම්බි මගින් යාත්‍රා කෙරිණි. ආහා­ර­පාන පිළි­යෙල කර­ගැ­නී­මද පාරුව මත දීම සිදු වූ අතර පාරු නතර කර තැබීම සඳහා නිශ්චිත නැව­තුම් පොළද විය.

ඔරු, පාරු උප­යෝගී කොට­ගෙන කොළඹ ආශ්‍රි­තව සිදු කෙරුණු වෙළඳ කට­යුතු සම්බන්ධ පැර­ණිම සාධ­කය හඳු­නා­ගත හැක්කේ හංස සංදේ­ශ­යෙනි. එහි එක් කවෙක කොළඹ, වත්තල, පුත්තූ­රුව වැනි තැන්ව­ලින් පිටත්ව ඔරු, පාරු­ව­ලින් වෙළ­ඳාමේ යන වෙළ­ඳුන් ගැන සඳ­හන් කර ඇත්තේ මෙසේය.

‘කොළඹ විසල් වත්තල් පුත්තූරු වෙනි

නරඹ යනෙන වෙළ­ඳුන් ඔරු පාරු වෙනි’

එහි සඳ­හන් ‘පුත්තූ­රුව’ මට්ට­ක්කු­ලිය යනුද මත­යකි. සුනිල් සරත් පෙරේරා උපුටා දක්වන කොළඹ සිට මාදම්පේ දක්වා ගිය පාරු ගම­නක් විස්තර කෙරෙන බ්‍රිතාන්‍ය යුග­යට අයත් කවි කොළ­යක එම ගමන පිටත් වූ ස්ථානය ලෙස සඳ­හන් වන්නේ නාග­ල­ගම් පාල­මයි. කොළ­ඹින් පාරු ගමන පිටත් වීම විස්තර කෙරෙන එහි මුල් කවිය මෙසේය.

‘සකල සිරින් පිරි

පසල කොළො­ම්පුර

නාග­ල­ගම් පාලමේ සිටන්

යදල පඬුරු සන්තා­නම්

මව් හට වික්ටෝ­රියා පාලමේ යටින්

යැදල සිව්දෙන හබල් හතර ගෙන

කැලණි ගඟේ සැඩ පහර තදින්

යැදල නැමති ගමේ අලුත් ඇළට

වන් ලාදුරු වත්තට නුදුරු තැනින්

1940 ගණන් වන විට දුම්රිය හා මහා මාර්ග ප්‍රවා­හන කට­යුතු වැඩි දියුණු වීම නිසා ප්‍රවා­හන කට­යුතු සම්බ­න්ධ­යෙන් ඇළ මාර්ග සතු වූ වැද­ග­ත්කම ක්‍රම­යෙන් අඩු වන්නට විය. ඒ අනුව ඊට තර­ග­කාරී ලෙස ඇළ මාර්ග ප්‍රවා­හ­නය පව­ත්වා­ගෙන යෑමට නම් ඇළ මාර්ග­වල ඉවුරු පිළි­ස­කර කොට යාන්ත්‍රි­කව ධාව­නය කෙරෙන යාත්‍රා උප­යෝගී කොට ගත යුතු බවට අද­හස් ඉදි­රි­පත් විය.

මේ අතර 1970 ගණන් වලදී ඇළ මාර්ග කීප­යක් පුන­රු­ත්ථා­ප­නය කිරීම සඳහා අව­ධා­නය යොමු කෙරුණු අතර ඉන් ප්‍රමු­ඛ­ත්වය හිමි වූයේ කොළඹ - පුත්ත­ලම ඇළ මාර්ග­ය­ටය.

එහෙත් එ පිළි­බඳ ප්‍රවා­හන ආර්ථික ශක්‍ය­තාව තක්සේරු කරනු පිණිස 1981 දී මෙහි පැමිණි නෙද­ර්ලන්ත ප්‍රවා­හන ආර්ථික විශේ­ෂ­ඥ­යන් දෙදෙ­නාගේ නිග­ම­නය වූයේ දුම්රිය මහා­මාර්ග වැනි දියුණු කළ යුතු වෙනත් ප්‍රවා­හන ක්‍රම තිබි­යදී ඇළ මාර්ග ප්‍රවා­හන කට­යුතු පිළි­බඳ වැඩි අව­ධා­න­යක් යොමු කිරීම අකා­ර්ය­ක්ෂම බවත් ඒ අනුව කොළඹ - පුත්ත­ලම ඇළ මාර්ගයේ ඉදිරි වැඩ කට­යුතු සිය­ල්ලද අත්හි­ටු­විය යුතු බවත් ය. (ආර්ථික විම­සුම - 1981 අගෝස්තු)

ප්‍රවා­හන ආර්ථික විද්‍යා­ත්ම­කව එසේ අව­ධා­න­යෙන් ගිලිහී ගිය අංග­යක් වුවද ශත වර්ෂ ගණ­නා­වක් මුළුල්ලේ ප්‍රවා­හ­න­යට උර දුන් එම ඇළ මාර්ග ඓති­හා­සික වශ­යෙන් අපට කිසි­සේත් අම­තක කළ නොහැකි මා හැඟි පුරා­වි­ද්‍යා­ත්මක ස්මාරක ලෙස හැඳි­න්විය හැකිය.

Comments