ඒදා සැප්තැම්බර් 05 වැනි දා මැදියම් රාත්‍රියයි. අකුරුස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව රථවාහන අංශයේ සේවයේ නිරතව සැරයන් හේමන්ත සහ කොස්තාපල් නුවන්, පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් සිල්වා යොදවා සිටියේ විශේෂ රථවාහන සහ ආරක්ෂක රාජකාරි කටයුත්තකය. ඒ වන විට දකුණු පළාතේ පොලිස් ස්ථාන රැසක එවන් මෙහෙයුම් සිදු වෙමින් තිබුණේ දකුණු සහ සබරගමුව පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දුගේ උපදෙසිනි.
සැරයන් හේමන්ත සහ කොස්තාපල් නුවන් ඒ වන විට රැඳී සිටියේ තිබ්බටුව හංදියේය. මැදියම පසු වී හෝරාවක් පමණ ගෙවී යන විට නිරීක්ෂණය වන්නේ හිස් වැසුම් නැතිව තිදෙනෙකු ගමන් කරමින් සිටි යතුරුපැදියකි. එහි අංක තහඩු නැති බව පෙනී යන්නේ එය තරමක් කිට්ටුවට එන විටදීය. කොස්තාපල් හේමන්ත පාර මැදට පැන සංඥාවක් නිකුත් කරන්නේ යතුරුපැදිය නතර කරන ලෙසය. යතුරුපැදිය නතර කරනවා වෙනුවට සිදු වන්නේ එක තැන එය කරකවමින් ආපස්සට හරවා පැමිණි වේගයට වඩා වැඩි වේගයකින් සියඹලාගොඩ පාර ඔස්සේ පලා යෑමය.
සැරයන් හේමන්ත පොලිස් යතුරුපැදියට නැඟී එය පණ ගන්වන්නේ ඔවුන් පසු පස හඹා යන්නට සූදානමිනි. කොස්තාපල් නුවන්ද යතුරු පැදියට ගොඩ විය. හේමන්ත සැකකටයුතු යතුරුපැදියට කිට්ටු කළේය. නලා හඩ නංවමින් යතුරු පැදිය නතර කරන ලෙස සැරයන් හේමන්ත යතුරු පැදියට සංඥා කිහිපයක් කළේය. ඊට ප්‍රතිචාර ලෙස සිදු වන්නේ පසු පස සිටි පුද්ගලයා වෙඩි වර්ෂාවක් පොලිස් යතුරු පැදිය දෙසට එල්ල කිරීමය.
වාසනාවකට එම වෙඩි පහරවල් වැදී තිබුණේ ඔවුන්ගේ පාදවලටය. යතුරු පැදියට වෙඩි හය හතක්ම වැදී තිබුණේ තවදුරටත් එය ධාවනය කරන්නට බැරිවන්නටය.
එක් වෙඩිල්ලක් වැදී තිබුණේ සැරයන් හේමන්තගේ නිල ඇදුමේ ඇති සුදු යකඩ අංක තහඩුවටය. අංක තහඩුව නොවන්නට එම වෙඩි උණුඩය ඔහුගේ හෘද වස්තුව පසාරු කරගෙන ගොසිනි. එසේ වී නම් බොහෝ විට සැරයන් හේමන්තගේ ඉරණම තීරණය වන්නේ එතැනමය.
එම වෙඩි තැබීම පොලිසිය දුටුවේ එය තමන්ට කළ අභියෝගයක් ලෙසිනි. වෙඩි තබා තිබුණේ ටී 56 අවියකිනි. වෙඩි විස්සක් තිහක්ම පොලිස් නිලධාරීන් දෙදෙනා දෙසට එල්ල වී ඇතැයි හිස් පතොරම් කොපු සාක්ෂි දැරුවේය.
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ ද විශේෂ අවධානයද ඒ ඊට යොමුව තිබිණි දකුණේ පොලිස් ප්‍රධානීන්ට ඔහු දැනුම් දෙන්නේ හැකි උපරිම ශක්තිය යොදා පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූවන් නීතිය හමුවට ගෙන එන ලෙසටය. ඊට දකුණු සහ සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රන්නදු ප්‍රතිචාර දක්වන්නේ මාතර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න සහ මාතර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත සමඟ එක්ව විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා රහස් මෙහෙයුමක් දියත් කිරීමය.
විවිධ තොරතුරු ඔස්සේ එම පොලිස් කණඩායම්වල නිලධාරීන් සැකකටයුතු පුද්ගලයන් හඹා යමින් සිටියදී ඒ ගැන සුවිශේෂී තොරතුරක් ලැබෙන්නේ අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රේමලාල් සිල්වාටය. ඒ එදා පොලිසියට වෙඩි තැබූ දින සැකකටයුතු යතුරු පැදියෙන් ගමන් කළ පුද්ගලයෙකු ගැනය. අකුරැස්සේ පරදූවේ පදිංචි ඔහු සිතුම් චාමින්දය. අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනයක් ලබා සිටි ඔහු පසුවූයේ 17 වැනි වියේය.
නිවාසවල සීලින් ඇතිරීමේ කොන්ත්රාත්කරුවෙකුගේ අත්උදව්කරුවෙකු ලෙස රැකියාවක නිරතව සිටි සිතුම් පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කරන්නේ උපක්‍රමශිලීවය.
“ඇත්ත කියනවා, අපි හැම දෙයක්ම දන්නවා. බොරු කියල අමාරුවේ වැටෙන්න හදන්න එපා. එදා බයික් එකේ තමුන් එක්ක කවුද ගියේ“ පොලිස් ස්ථානාධිපති ප්‍රේමලාල්ගේ ගැටේට සිතුම් හසු විය.
එදා යතුරු පැදියේ මැද අසුන්ගෙන සිට ඇත්තේ සිතුම්ය. පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්නේ තෙලිජ්ජවිල විකුම්ගම අල්ගිරියේ පදිංචිව සිටින හමුදා සෙබළෙකි. ඔහු සේපාල දිසානායකය. විසි අට වියේ පසු වන සේපාල සේවයේ නිරතව සිටියේ පාණදුර නල්ලූර් පිහිටි හමුදා කදවුරට අනුයුක්තවය. යතුරු පැදිය පදවන්නේ සේපාලගේ මිතුරෙකු වන ඇල්පිටියේ කටුකැටිය පොරෝගම පදිංචි විසි එක්වියැති කුරුදු තැළීම ජීවිකාව කරගත්තෙකි.
තිදෙනා යතුරු පැදියේ නැඟී යන්නේ තෙලිජ්ජවිල මළගෙදරක සූදු පොලකින් ලක්ෂ තුනක් දිනූ පුද්ගලයෙකු කොල්ලකන්නය. එම කොල්ලය සැලසුම් කරන්නේ එ සූදුපොළ පවත්වාගෙන ගිය පුද්ගලයාය. ඔහු තෙලිජ්ජවිල කංකානම්වත්තේ පදිංචි රෝද රථ රියදුරෙකු ද වන ඉන්දික උදය කුමාරය. ඔහු බූරු කප්පිත්තෙකි. මළ ගෙවල්වල බූරුපොළවල් සංවිධානය කරන්නේ ඔහුය.
තෙලිජ්ජවිල මළගෙදර බූරු පොළේ ජයග්රාහකයාට ටී 56 අවිය එල්ල කර එදා ඔහු කොල්ලකෑවත් ඔහු සතුව තිබෙන්නේ රුපියල් තුන් දහසක් පමණි. ඒ එම ජයග්‍රාහකයා සිය නියෝජිතයෙකු මඟින් කල්තියාම සූදුවෙන් දිනාගත් මුදල් බූරු පොළෙන් පිටමන් කර තිබීම නිසාය. තෙලිජ්ජවිලට ගොස් ඔහු කොල්ල කන්නේ ඒ කිසිවක් නොදැනය. අකුරැස්සේදී සැරයන් හේමන්තගේත් කොස්තාපල් නුවන්ගේත් නිරීක්ෂණයට ඔවුන් ලක් වන්නේ එම කොල්ලය සිදු කර නැවත නිවෙස් බලා යමින් සිටියදීය.
පොලිස් ස්ථානාධිපති ප්‍රේමලාල් සිය සගයන් වන අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නවෝද් පෙරේරා, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, සැරයන්වරුන් වන ප්‍රියන්ත, ජිනදාස, නයනජිත්, ආරියසිරි,සහ කොස්තාපල්වරුන් වන ප්‍රසන්න, විද්‍යාසේකර, ජගත්, සංජීව, අරවින්ද යන නිලධාරීන් සමඟ එක්ව මෙහෙයුමක් දියත් කරන්නේ සේපාල දිසානායක කොටු කරගැනීමටය. ඒ සදහා ඇමක් ලෙස යොදා ගන්නේ සිතුම් චමින්දය.
පොලිස් ස්ථානාධිපති ප්‍රේමලාල් සිතුම් මඟින් සේපාලට ඇමතුමක් ගත්තේය. ඒ වන විට සේපාල රැඳී සිටියේ ඇඹිලිපිටියට යෑමේ සූදානමින් තංගල්ල බස් නැවතුම් පොළේය. අකුරැස්සේ පොලිස් කණ්ඩායම තංගල්ලට යන විටත් ඔහු රැදී සිටියේ බස් නැවතුම් පොළේය.
සේපාල අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වන්නේ යතුරු පැදිය අසල්වැසියෙකුගෙන් ඉල්ලාගත් එකක් බවකි. එම යතුරු පැදිය සිය භාරයට ගත් පොලිස් කණ්ඩායම ඊළග මෙහෙයුම දියත් කරන්නේ සැරයන් හේමන්තටත්, කොස්තාපල් නුවන්ටත් වෙඩි තැබූ ගිනි අවිය සොයාය. දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ එම අවිය සඟවා ඇති තැන ගැනද සේපාල පොලිස් කණ්ඩායම හමුවේ වැමෑරුවේය. ඒ අනුව කළ සෝදිසියකදී අකුරැස්ස ඇල්ගිරියේ විකුම් ගම පැත්තේ බොක්කුවක් යටින් හමුවන්නේ එක් අවියක් පමණක් නොව, ටී 56 අවි වර්ගයේ අවි දෙකකි.
ගීස් ගල්වා අව්වට වැස්සට හානි නොවන ආකාරයට පොලිතින් වලද ඔතා තිබුණු එම අවි දෙක සේපාල දිසානායක අතට පත්වන්නේ පාණදුර නල්ලුරුවේ පිහිටි හමුදා කඳවුරේ ඔහු සමඟ සේවයේ නිරතව සිටින සෙබළෙකු මඟිනි. ඔහු සමිත් මධුසංකය. තිස් දෙහැවිරිදි වියැති සමිත් වැලිඔය ජානකපුර වැසියෙකි.
ඒ ගිනි අවි දෙක ඔහුගෙන් මිලදී ගන්නේ රුපියල් ලක්ෂයක පොරොන්දු මුදලකටය. එම මුදලින් ඒ වන විටත් ගෙවා තිබුණේ රුපියල් හැට දහසකි. සේපාල විසින් ගිනි අවි දෙක බෝක්කුව අස්සේ සඟවාගෙන තබා ගත්තද මුදල ගෙවා එම අවි දෙක මිලදී ගත් සැබෑ හිමිකරුවා වූයේ ඉන්දිකය. එම අවි දෙක ඔහු මිලදී ගන්නේ බූරු පොළවල් මංකොල්ල කන්නටමය. ඒ සඳහා ගිනි අවියක් සොයා දෙන ලෙස ඔහු සේපාලට පවසා තිබුණේ කාලයක් තිස්සේය.
සේපාල ඒ ගැන කඳවුරේ මිතුරන් කිහිප දෙනෙකුට කියා තිබිණි. ඒ අනුව එක අවියක් වෙනුවට ඔහු අතට පත් වන්නේ අවි දෙකකි. ඉන්දිකගේ මුදලින් මිලදී ගත් එම අවි දෙක පාණදුරේ සිට මාතරට ගෙන එන්නේ මඟී බස් රථයකිනි. ඒ පොහොර උරයක ඔතා ට්‍රන්ක පෙට්ටියක දමාගෙනය. මාතර බස් නැවතුම් පොළේදී එම ට්‍රන්ක පෙට්ටිය භාර ගන්නේ සේපාලගේ සහෝදරයා වන නුවන් සම්පත් සහ සිතුම් චාමින්දය. සැරයන් හේමන්තට සහ කොස්තාපල් නුවන්ට වෙඩි තැබෙන්නේ ඒ එක් අවියකිනි.
ටී 56 අවි දෙක අලෙවි කළ පාණදුර නල්ලුරුව හමුදා කඳවුරේ සෙබළ සමිත් මධුසංක ද අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ගිනි අවි දෙකේ ඉතිරි මුදල ලබාගැනීමට පාණදුර නගරයට එන්නැයි කියා සේපාල මඟින් ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙමිනි.
පාණදුර උතුර පොලිස් ස්ථානයෙන් අතුරුදන්වූ ටී 56 අවි දෙකේ අබිරහස විසැඳෙන්නේ ඒත් එක්කමය. සමිත් මධුසංක රුපියල් ලක්ෂයකට විකුණා තිබුණේ පාණදුර උතුර පොලිස් ස්ථානයෙන් අතුරුදන්වූ ගිනි අවි දෙකය. මධුසංක එම අවි දෙක සොරාගන්නේ ජුනි 27 වැනිදාය.
ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ ආරක්ෂක රාජකාරි සඳහා පාණදුර උතුර පොලිසිය සමඟ ඒකාබද්ධ ආරක්ෂක රාජකාරියේ ඔහු යොදවා සිටි කෙටි කාලය තුළදීය. ගිනි අවි දෙක තිබී ඇත්තේ පොලිස් නිලධාරීන් සමඟ සෝදිසි මෙහෙයුම් සඳහා ඔහු ගමන් කළ කැබ් රථයේ පිටුපස කොටසේ ආසනයක් යටය. දින කිහිපයක්ම අසුන යට තිබුණු එම අවි දෙක කෙරෙහි අවධානයෙන් සිටි සමිත් කල්යල් බලා එම අවි දෙක සොරාගන්නේ කැබ් රථයේ කිසිවෙකුත් නැති අවස්ථාවකදීය. කැබ් රථයේම තිබුණු කාපට්ටුවකින් ගිනි අවි දෙක ඔතා එය සඟවන්නේ අසල තිබුණු බෝක්කුවක් අස්සේය. දින කිහිපයක්ම ඔහු අවධානයෙන් සිටියේ ගිනි අවි අතුරුදන්වීමක් ගැන පොලිස් නිලධාරීන් අතර කලබලයක් තිබේදැයි කියාය. එවැන්නක් නොමැති බව සැකහැර දැනගත් ඔහු එම අවි දෙක සැඟවූ තැනින් පිටතට ගෙන සේපාල මඟින් ඉන්දිකට අලෙවි කරන්නේ සොරාගැනීමෙන් හරියටම දින හතරකට පසුවය.
ජුනි 27 වැනිදා සොරාගත් එම අවි දෙක අවි ගබඩාවෙන් අතුරුදන්ව ඇතැයි හෙළි වන්නේ ජුලි 06 වැනිදාය. ඒ අවි ගබඩාවේ ඇති ආයුධ ගැන උප පොලිස් පරීක්ෂකවරයෙකු කළ සොයා බැලීමකදීය. පාණදුර උතුර පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් ටී 56 ගිනි අවි දෙකක් අතුරුදන් වීම ගැන පොලිස් දෙපාර්තමේන්තුව කලබලයට පත් වූයේ පාණදුර දකුණ පොලිස් ස්ථානයේන්ද ඊට පෙර අවස්ථාවක ගිනි අවි තුනක්ම අතුරුදන්ව තිබිණි. එම ගිනි අවිවලින් දෙකක් හමු වන්නේ පාතාලය සතුව තිබියදීය. එම අවි පොලිස් ස්ථානයෙන් සොරාගෙන පාතාලයට අලෙවි කර තිබුණේ පොලිසියේම නිලධාරියෙකු පසුව හෙළි විය.
ඡායාරූප - කැළුම් බෝධිමාන
තිහගොඩ විශේෂ