‘හමිදුම්මා’ අභියෝගාත්මකයි | සිළුමිණ

‘හමිදුම්මා’ අභියෝගාත්මකයි

උත්සාහය හා කැපවීම මත දිගු ගමනක් ඇවිත් තියනවා

නිරුපණ ශිල්පිනියක ලෙස තම දක්ෂතා පෙන්වමින් ජාත්‍යන්තර ජයග්‍රහණ ඔස්සේ මෙරටට කීර්තියක් අත් කර දුන් චුලක්ෂි රණතුංග සිනමා රංගන ශිල්පිනියක ලෙස වත්මන් ලාංකේය සිනමාව ද ජය ගැනීමට ද හීන දකින්නීය.. මේ දිනවලද රිදි තිරයේ තම කුසලාතා පෙවීමට ඈ සමත්ව සිටින්නීය.  ඒ විජයබාකොල්ලය චිත්‍රපටයේ හමිදුම්මාගේ චරිතයෙනි.

ඔබේ සම්පූර්ණ නම?

චුලක්ෂි සෞභාග්‍යා රණතුංග

ආදරේට කියන නමුත් ඇති?

ගෙදරදි කතා කළේ චූටි දුව කියලා, පාසලේ දී නම් මැක්ස්, භගී වගේ තව නම් කිහිපයින්ම කතා කළා.

පුංචි කාලේ ගෙවෙන්නේ?

හරිම දඟකාර විදිහට. නාහෙට අහන්නේ නැති, බය නැති, එපා කිව්වොත් ඒ එපා කියපු දේම කරන ළමා කාලයක් තමයි මට තිබුණේ.

පුංචි කාලේ තිබූ හීනය?

පුංචි කාලේ ඉඳන් අවුරුදු 21 දක්වාම මගේ එකම හීනය වුණේ පැසි පන්දු ක්‍රීඩිකාවක් ලෙස වෘත්තීය මට්ටමෙන් ක්‍රීඩා කරමින් ඒ ඔස්සේ ඉදිරියට යන්න.

ඒ හීනෙට මඟඇහිරුණේ?

පුංචි කාලේ ඉඳන් පැසිපන්දු ක්‍රීඩාවට කැප වුණු මම රූපය, බය, වේදනාව ගැන සැලකිල්ලක් දක්වපු කෙනෙක් නෙමෙයි. මගේ ඔළුවේ තිබුණේ සෙල්ලම විතරයි. ගැහැනු ළමයෙක් බොහෝ විට තමන්ගේ රූපය, හම, ලස්සන, ඇඳුම් පැළැඳුම් ගැන සැලකිලිමත් වෙද්දි මට ඒ කිසි දේක විශේෂත්වයක් තිබුණේ නැහැ. අව්වට පිච්චෙන්න, සෙල්ලම් කරද්දි ඇඟේ හැපිලා වැටෙයි තුවාල වෙයි කියන බය මට තිබුණේ නැහැ. ගොඩක් ළමයි මම සෙල්ලම් කරනවාට බයයි. මම හරිම කඩිසරයි. ජාතික පාසල් පැසි පන්දු කණ්ඩායම පවා නියෝජනය කළා.

ජීවිතේ ඔහොම ගෙවී යද්දි එක්තරා කාලෙක යම් අභියෝගයක් මම භාර ගන්නවා.

ඒ අභියෝගය නිසයි මම කෙසේ හෝ ජයග්‍රහණය කරලා නිරූපිකාවක් වෙනවා කියන දේ ඔළුවට යන්නේ. හැබැයි ඒ වෙනකොටත් නිරූපණයට හරියන විදිහේ උස, සිහින් සිරුරක් මට තිබුණේ නැහැ.

කොහොමද ඒ අභියෝගය ජය ගත්තේ ?

2014 වසරේදී Miss. Sri Lanka ලෙස ඔටුන්න හිම කරගනිමින් මගේ පළමු ජයග්‍රහණය සටහන් කරනවා. ඉන්පසු 2017 දී ස්පාඤ්ඤයේදී පැවැති Costa Blanca Fashion Week තරගයේදී Best Female Model in the World 2017 ජයග්‍රහණය කරනවා.

අන්තර්ජාතික පැසි පන්දු ක්‍රීඩිකාවක් වෙන්න දැකපු ඒ හීනේට යන්න නොලැබීම ගැන දුකක් නැද්ද?

දුකක් තියෙනවා. ඒ සම්පුර්ණයෙන්ම ක්‍රීඩාව අතහැරුණු නිසයි. විනෝදාංශයක් වශයෙන් හෝ ක්‍රීඩාවේ නියැළුණා නම් මම සතුටු වෙනවා.

සිනමාවේ ඔබට අභියෝගයක් වූ චරිතය?

මේ දවස්වල තිර ගතවන විජයබා කොල්ලයේ ‘හමිදුම්මා‘ චරිතය. එය මට මතක ඇති කාලේක ලැබුණු අභියෝගාත්මක චරිතයක්. මම මේ චරිතය පහසුවෙන් තෝර ගෙන පහසුවෙන් කළා කියන්න බැහැ..ඒ චරිතය තුළ කරන්න දේවල් ගොඩක් තිබුණා.

ජීවිතයට ලැබුණු අගනාම දැනමුතු කම?

තමන්ට දේවල් ලබා ගන්න පුළුවන් වෙන්නේ තම උත්සාහය මතයි. මගේ ගමනට ආශිර්වාදයක් වූ බොහේ අයගෙන් ලැබුණු දැනමුතුකම එයයි. තම උත්සාහය හා කැපවීම හා මහන්සියෙන් ලබා ගන්න පුළුවන් දේවල් කොච්චර ද කියලා ගමකින් මේ තරම් දුරක් ආ ගැහැනු ළමයෙක් විදිහට මම අත්විඳ තිබෙනවා.

නිරූපණය, රංගනය හා ක්‍රීඩාව හැරැණු විට ඔබ දක්ෂ?

දිරිය කාන්තාවත් ලෙස ඉදිරියටම යන්න මට දක්ෂතාව තිබෙනවා.

ඔබේ හෙට දවසේ ඉලක්කය?

අප ජීවත් වෙන තුරාවටම අපට අවශ්‍ය දේවල් සපුරා ගන්න මහන්සි වෙනවා. මගේ වෘත්තීමය හා පෞද්ගලික ජීවිතයෙත් එවැනි සපුරා ගත යුතු අරමුණු බොහොමයක් තිබෙනවා.

මෙතෙක් කාට හෝ කියා ගන්න බැරි වුණු යමක්ඔ බේ ජීවිතේ තිබෙනවාද?

ඔව්.

ඒ මොකද්ද?

කවදහරි එයා තේරුම් ගනියි.

ඡායාරූප - ඉසුරු ලියනගේ

Comments