හැරී ‍- මේගන් රජ සිරිත් කණපිට හරවයි | Page 2 | සිළුමිණ

හැරී ‍- මේගන් රජ සිරිත් කණපිට හරවයි

බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන සත්වැන්නා ආචි හැරිසන් බිලිඳු කුමරුයි. දැන් ඔහුගේ වයස මාස හතරක් වෙනවා. සම්ප්‍රදායට අනුව රජකුමරකු වුවත් තම පුතු සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා දකින්නයි හැරී කුමරුටත් මේගන් කුමරියටත් අවශ්‍ය වී ඇත්තේ.

ඒ නිසා රජ පරම්පරාවෙන් උරුම වන ගෞරව නාම තම පුතුගේ නමට එකතු කිරීමේ අදහසක් මේ මවු පිය යුවළට නැතිලු. ඒ අනුව සසෙක්ස් හි ආදිපාද හැරී කුමරුගේත් සසෙක්ස් හි මේගන් කුමරියගේත් පුතු, බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායට අනුව ආචි හැරිසන් මවුන්ට්බැට්න් - වින්ඩ්සර් ලෙස හැඳින්වීමෙන් වළකින බවයි පැවසෙන්නේ. ඒ විතරක් නොවෙයි. ආචි හැරිසන් කුමරුට His Royal Highness හෙවත් ‘රාජකීය උතුමාණෙනි’ යන ආමන්ත්‍රණය ද භාවිතා කරන්නේ නැතිලු.

බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායට අනුව මේ ගෞරවනීය ඇමතුම භාවිතා කළ යුතු යැයි බල උරුමයක් පවරා ඇත්තේ 1917 දී කිරුළ දැරූ 5 වැනි ජෝර්ජ් රජු විසින්. එම සම්ප්‍රදායට අනුව හැරී කුමරුගේ සොහොයුරු විලියම් කුමරු නම් තම පුතු ජෝර්ජ්ට එම ගරු ඇමතුම භාවිතා කරනවා.

මේ උඩුයටිකුරුවීම් අතරේ සරත් ඍතුවත් උදාවෙලා. ඉතින්, හැරී සහ මේගන් ලක ලැහැස්ති වන්නේ සිඟිති පුතු රැගෙන හැරී ගේ ‘දෙවැනි නිවෙසට’ පියමනින්නටයි. හැරී දෙවැනි නිවෙස ලෙස හඳුන්වන්නේ දකුණු අප්‍රිකාවයි. “දකුණු අප්‍රිකාව පහුගිය අවුරුදු 20 තිස්සේ මට දෙවැනි නිවෙසක් බවට පත්වුණා. මේ අවුරුද්දෙ අප්‍රිකානු සංචාරය අපිට විශේෂයි. මොකද මේ තමයි, අපේ මුල්ම නිල සංචාරය.” හැරී කුමරු එලෙස කීවේ කාර්ය බහුල වාතාවරණයක් මැද්දේයි.

ආචි කුමරු දකුණු අප්‍රිකාවට රැගෙන ගියත්, තවමත් ඔහුගේ සීයා (මේගන්ගේ පියා) වන තෝමස් මාක්ල්, තම රාජකීය මුනුපුරාව දැක නැහැ. පසුගියදා මාධ්‍ය වෙත ඔහු අදහස් දැක්වූයේ දුක්බර හඬකින්.

“මම හරිම ආසාවෙන් ඉන්නෙ මගේ මුනුපුරාව දැක ගන්න. අඩු ගානෙ එයාගෙ පින්තූරයක්වත් මට එවනවා නම් මම කැමැතියි. එහෙම එව්වොත් ඒ පින්තූරෙ මම රාමුකර ගෙන මේගන්ගෙ පින්තූරෙ ගාවින්ම එල්ලනවා. මම කොච්චර ආසද මුනුපුරාගෙ මූණ බලන්න? ඕනෙම සීයා කෙනෙකුගෙ බලාපොරොත්තුවත් ඒකම තමයි. සමහර වෙලාවට මට හිතෙනවා, මිනිස්සු හිතනවද දන්නෙ නෑ මම මගේ දුවට ආදරේ නැහැයි කියලා. එහෙම දෙයක් නැහැ. මම ම‍ෙග් දුවට හරිම ආදරෙයි.” මේ වන විට 74 වැනි වියෙහි පසුවන තෝමස් මාක්ල් එලෙස පැවසුවා.

Comments