සුළඟ මහමෙරක් | සිළුමිණ

සුළඟ මහමෙරක්

සෝප් ඔපෙරාවෙන් ආරම්භ වුණු ටෙලිනාට්‍ය කලාවේ සංස්කෘතික නිර්මිතය පිළිබඳව දළ අදහසක්; මීට ප්‍රථම අපි ‘සුදු ඇඳගෙන කළු අැවිදින්’ ටෙලි නාට්‍ය බස්සේ සාකච්ඡා කළෙමු. ටෙලි නාට්‍ය කලාව සංස්කෘතික කලාවක් ලෙස ගිනිය නොහැකි බව ඇතැමුන්ගේ මතය වුව ඊට සිතීමේ අවකාශය විවර කර විදාරණය කිරීමේ ගුණයකින් යුක්ත බවට ඉඟි කරන අපූරු ටෙලි නාට්‍යයක් මගේ ඇස් මානයේ විය. ඒ ‘අඹ යහළුවෝ’ අප වෙත රැගෙන එමින් ටෙලිනාට්‍ය කලාවේ සන්ධිස්ථානයක් සලකුණු කළ සුදත් දේවප්‍රියගේ නවතම ටෙලි සිත්තම ‘සුළඟ මහමෙරක’ ටෙලිනාට්‍ය යයි.

‘සුළඟ මහමෙරක’අසූව දශකයේ අවසාන භාගයේ ලාංකේය ජන සමාජයේ හරස් කඩක් අපට විවිර කර පෙන්වන ටෙලි සිතුවමකි. එය සැකැවින් මෙසේය,

භීෂණ සමයේ තරුණ නැඟිටීම මර්දනය කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වන වසන්ත නමැති තරුණයා නොකළ වරදකට වසරක සිර දඩුවම් ලැබ නිදහස්ව මොලෑව නම් සිය ගමට පැමිණෙයි. ඔහු ගමට එන බස්රථයේදී තම එකම සොහොයුරා සොයා මොලෑවට එන නදී නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක හමු වෙයි.

වසන්ත ගෙට ගොඩ වූ පසු තම දෙවැනි සොහොයුරා (මද්දූ) අතුරුදන් කර ඇති බවත්, මේ හේතුවෙන් මව සියදිවි නසාගෙන ඇති බවත්, මේ දෙදෙනාගේ වියොවෙන් පියා වන අප්පුහාමී මානසිකව ඔත්පලව සිටින බවත් දැනගනියි.

වසන්ත ගමට පැමිණෙන විට ඔහුගේ වැඩිමහල් සොයුරිය අනුලාවතී පවුලේ වගකීම කරටගෙන කටයුතු කරයි. විවාහ වී දරුවන් වැදිය යුතු වයසේ පසුවන ඇය; මේ වගකීම් නිසා විවාහයක් ගැන නොසිතන්නියකි. එහෙත් මොලෑව ගමේ කණිටු පාසලේ විදුහල්පති ලෙස සේවය කරන සෝමසිරිට ඈ කෙරෙහි ළෙන්ගතු බවක් ඇත්තේය. වසන්තගේ නැගණිය වන මාලි සින්තටික් ලෝකයක සැරි සරන්නියකි. ඇය සිහින දකින්නේ හැකි තරම් ඉක්මනින් මේ ජීවිතයෙන් ගැලවී පැනයාමටය. තුරුණු වියේ පසුවන රුවන් උතුරු - නැගෙනහිර යුද්ධය ඇවිළි තිබියදී; ජීවිතය සොයා හමුදාවට බැඳීමට තීරණය කරයි. ඔහු වසන්තගේ පොඩි මල්ලීය. වසන්තගේ නැන්දා ජයලතා ය. ඇගේ සැමියා මහතුන්ය. මෙම පවුල් දෙක අතර දේපල නිසා ඇති වී තිබූ හිත් අමනාපකම් හේතුවෙන් මහතුන් බොරු චෝදනා කර පොලීසිය යොදාගෙන වසන්තගේ ලොකු මල්ලී; මද්දූ අතුරුදන් කර ඇති බවට ගම්මු කතා කියති.

ගමට පැමිණි වසන්තට නැවත විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන බලාපොරොත්තුවක් නැත. මහමෙරක වගකීම උසුලන ලොකු අක්කාත්, තාත්තාත්, නංගි හා මල්ලී ගැන ඔහුට සිතන්නට සිදුව තිබේ. ඔහු ලී කැටයම් හා ලී මූර්ති නිමවමින් ජීවත් වෙන්න උත්සාහ කරයි.

ගමේ හයිකාරයා වූ ඇන්ටනී කැලැ කැපීමත්, කසිප්පු ජාවාරමත්, ඇත් දළ හා අලි ඇතුන් ජාවාරමත් කරගෙන යයි. ඊට ඔහු මහතුන්ගේ ද සහය ලබා ගනී.

මෙම ටෙලිනාට්‍ය තුළ මතු පිටට පෙනෙන කාරණාවට වඩා වැඩි යමක් අවස්ථා සිද්ධි හා කතා ආශ්‍රයෙන් සුදත් දේවප්‍රිය අපට සමීප කරයි. හමුදාවට යාම ජීවිතයේ එකම විසඳුම ලෙස සිතන රුවන් හා අනෙකුත් පාත්‍ර වර්ගයා අතර හුවමාරු වන දෙබස් කිහිපයක් අපි විමසා බලමු.

රුවන්; “ බඩට වේලක් වැටුණට හිත පිරෙන්නේ නෑ ලොකු අක්කේ; මටත් කියල ජීවිතයක් තියෙන්න ඕන.”

අනුලාවතී; “පොඩ්ඩා තවත් ජීවිත නැති කරලද උඹ ජීවිතය ජයගන්න හදන්නේ; එහෙමනම් උඹට වැරදිලා මල්ලි.”

රුවන්; “ඔයා හින්ද තමයි මේ සේරම.”

සුභා; “මං හින්දා ආමි එකට යන්න ඕන නැහැ.”

රුවන්; “සල්ලී නැතුව අපිට මඟුලක් ගන්න බැහැ; ජීවත් වෙන්න රස්සාවක් ඕන; මට ඔය දෙකම නැහැ.

සුභා; “මං පුහුණුව ඉවර වුණාම අලුත් ගාමන්ට් එකට වැඩට යනවා. ඔයාටත් එතන මුර වැඩක් හොයාගන්න පුලුවන් වෙයි.”

රුවන්; “මට ඔය සිකුරිටි වැඩ යරියන්නේනෑ

සුභා; ආමි එකට ගියාම හොඳ පඩියකුත් හම්බවෙයි; ගමේ අයත් හොඳට සලකයි; මහතුන් මාම වුණත් පරණ කෝන්තර අතඇරළදායි.”

මාලි ; “හැමදාම බත් තම්බ තම්බ ඉඳලා හරියන්නෑ ලොක්කක්කේ; තමුසේගෙ ජීවිතේ හදාගන්නවා; නාකි වුණාම අන්තිමට මොකෙක්වත් නැහැ. අනේ මං නං එහෙම ඉන්නෑ; පුළුවන් වුණාද ගියා.”

අනුලාවතී; “මද්දුට වගේ මට හිතන්න බෑ. තාත්තා ඉන්නවා; මල්ලිලා දෙන්නා ඉන්නවා; අනික අපිව බාරගන්නෙ කවුද? මං හැමදාම මෙහෙම තමයි.”

මාලි ; “ඒකට මේක අස්සේ හිරවෙලා හරියන්නේ නෑ; පොඩ්ඩක් එළියට පහළියට බැහැල බලන්න; ටවුමේ කොල්ලෝ ඉගිල්ලෙනවා.”

නිමල්; “ලොක්කයියේ අපි හැමදාම ගෑනු මූණු පිරිමි මූණු කපන එකේ වෙන මොකක් හරි කෑල්ලක් කපමු ද?”

වසන්ත; “ඇයි ඒ”

නිමල්; “නෑ, ගෑනු පිරිමි මුණු ගොඩක් තියෙනවනෙ; යක් මූණක් කපමු.”

වසන්ත; “යක් මූණු කපන්න ලේසියි නිමලො; මනුස්ස මුහුණ තමයි කපන්න අමාරු.”

නිමල්; “ඇත්ත තමයි; මනුස්ස මුහුණ හැමතිස්සෙම වෙනස් වෙනවනෙ නේද? අයියේ. ”

මාධ්‍ය, ජනතාවගේ සිතන අවකාශයට බලපෑම් සහගතව ඇතුළු වූ දා සිට එය මානවයාගෙන් තවදුරටත් ව්‍යුක්තව නොපවතින්නකි. එය අපට නොදැනීම අපව පාලනය කරයි. ඒ තොරතුරු ආශ්‍ර‍ෙයනි.

80 - 90 දශකවල තැනුනු කලාත්මක පාර්ශ්වය නියෝජනය කළ ්‍ටෙලිනාට්‍ය රැල්ල හමාර වූවායින් පසු ටෙලි නාට්‍ය කලාව විනෝද සංස්කෘතිය විසින් ග්‍රහණයට ගැනිණි. ආනයනික මෙගා ටෙලිනාට්‍ය පෞද්ගලික මාධ්‍ය හරහා ඉවක් බවක් නැතිව පෙන්වීම නිසා ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණ පසෙකට තල්ලු විය. මාධ්‍ය ඒකාධිකාරය බිඳවැටීම නිසා ටෙලිනාට්‍ය සංස්කෘතික කලාවක් ලෙස පිරිහුණේය. මේ නිසා සිනමාවේ මෙන් උසස් රසවින්දනයක් හෝ සංස්කෘතික නිර්මිතයක් තවදුරටත් ඉන් අපේක්ෂා කළ නොහැකි බව ඇතැම් ප්‍රවීණයන්ගේ මතය විය. එනිසා වෙළෙඳාම මූලික කරගෙන මිස කලාව වෙනුවෙන් ටෙලිනාට්‍ය නිපදවීම තේරුමක් නොමැති බවත්, ඒවා ජනතාව ආකර්ෂණය නොකරන බවත්, ඉන් පාඩුවක් මිස කිසිදු තේරුමක් නොමැති බවත් කියැවිණි.

වෙළෙඳාම මූලික කරගත් සින්තටික් නිර්මාණ ඉන්දියාවෙන්, කොරියාවෙන් හා වෙනත් රටවලින් ආනයනය කර සිංහල භාෂාවට නැඟිමෙන් පසුව. නළු නිළියන් හඬ නළුවන් බවට පත් වී ශේෂ විය. මේ ආනයනික සෝප් ඔපෙරා බොහෝමයක් යථාර්ථයෙන් බැහැර වුව ද ඒවා බෙහෙවින් ජනප්‍රිය විය. ටෙලිනාට්‍ය නළු නිළියන් අඳින, පළඳින, කතා කරන විදියට මිනිසුන් හැසිරෙන්නට විය. පසුව මේ අච්චුවට ම ටෙලිනාට්‍ය නිෂ්පාදනය විය. අද ජනප්‍රියව ඇති මෙගා ටෙලීනාට්‍ය බොහෝමයක් මේවාය. කුතුහලය දනවමින් බඩවැලක් මෙන් එකදිගට ඇදගෙන යන මේ සින්තටික් නාට්‍යවලට බොහෝදෙනා බලන්නේ එහි ඇති හරයාත්මක බව නිසා නොව දිනපතා නැරැඹීමෙන් ඇතිවූ ඇබ්බැහිය නිසාය.

එවැනි මොහොතක සුදත් දේවප්‍රියගේ ‘සුළඟ මහමෙරක’ ටෙලිනිර්මාණය මෙරට ටෙලිනාට්‍ය කලාවට මහමෙරකි. සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම ජාතික රූපවාහිනියේ 8.30 විකාශනය වන මේ ටෙලිනිර්මාණය වරක් හෝ ඔබත් නරඹන්න. එය දිගටම නැරඹිය යුතු ටෙලි නාට්‍යයක් බව හැඟී යනවා නොඅනුමානය.

Comments