ස්වාභාවික ජල තටාකයක ගිලී නා සැනසෙන්නට කොට්ටව වන අරණට එන්න | සිළුමිණ

ස්වාභාවික ජල තටාකයක ගිලී නා සැනසෙන්නට කොට්ටව වන අරණට එන්න

හිරු කිරණ තවමත් සිප ගන්නේ තුරු මුදුන් අගිසි පමණයි. ළපටි ම ළපටි පත්‍ර ළා කොළ පැහැයෙන් දිස්න දෙන්නේ අතු අග රැඳි පිනි බිඳුවල බර දරාගෙන. අරුණාලෝකය කෙමෙන් කෙමෙන් මිහිමතට වැටෙන්න පටන් ගත්තා පමණයි. සනීපවත් මඳ සුළඟ ඇගේ හිරිගඩු පුප්පවමින් හඹා ගියේ තුරුලතාවලටවත් ‍නොදැනෙන තරම් සෞම්‍යව. වස්සාන සමය නිසාම ගස්කොළන් සශ්‍රීකයි. තබන පය මඳක් පොළොවේ එබෙන තරමට පො‍ෙළාව පවා තෙතමනයෙන් යුතුයි.

කුරුලු කූජන තාම ආරම්භ වූයේ නෑ. අප එළියට බැස්සේ ඒ තරම් ම හිමිදිරියේ. ඉඳහිට නැ‍ඟෙන පොල්කිච්චාගේ ළයාන්විත ගී නාදයත් ඊට සිහින් රාවයකින් පිළිතුරු බඳින සුමිහිරි ගී හඬත් හැරෙන්න කුරුලු ලොව කලබලය තවමත් පටන් ගත්තේ නෑ. දහවල තම නිදන තැන සොයන වවුල්ලු ඉඳහිට මඟවැරදී නැවත කලබලයෙන් පියාඹා යනවා. අරුණාලෝකය උස් තුරු අතරින් එබී තැනින් තැන තම අණසකට යට කරගන්නට මාන බලමින් සිටින්නේ.

සිහිල් සීගතුව දරාගෙනම තුරු වියන යටින් සිරි සිරි හඬින් පෑගෙන මඬවල සනීප පහස විඳිමින් අප වනය ඇතුළට ඇවිද ගියා. මහපොළොව අප පා පහස ලබා ගන්නේ අසීමිත සෙනෙහසකින් යුතුව බව දැනෙනවා. සිත පුරා පැවති කලබලය, නොසන්සුන් බව මහ වනය නොඅසාම පවරාගෙන. නිහඬ ශාන්ත බවකින් කය වෙළී ගොස්. ජීවත් වෙනවා කියලා දැනෙන්නේ මේ වගේ වනයකට ඇතුළු වුණාමයි කියලා හිතෙන්න පටන් ගත්තා.

මෙවර මා ඔබ කැඳවාගෙන යන අසිරිමත් සොබාදම් නිමැවුම පිහිටා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මාර්ගයේ. ගාල්ල නගරයේ සිට 16kmක් ගිය තැන තමයි මේ පහතරට සදාහරිත වනාන්තරය හමුවන්නේ. අද අප සනහන, සිසිල බෙදන සොඳුරු සොබාදම් නවාතැනක් වන මේ කොට්ටව රක්ෂිත වනාන්තරය දෙවැනි ලෝක යුද සමයේ පැවැතියේ බ්‍රිටිෂ් එම්පයර් (British Empire) නම් යුද මෙහෙයුම් ආරක්ෂක මූලස්ථානය ලෙසයි. මෙය වනෝද්‍යානයක් ලෙස නම් කරනු ලැබුවේ 1930 වසරේ. සිංහරාජයේ ම කොටසක්ව තිබූ මෙහි වනගහනය වරින් වර කැබලි වී බෙදී ගොස් කුඩා වී දැනට ඉතිරිව ඇත්තේ අක්කර 37ක් පමණයි.

එකිනෙකට වෙළී වියනක් ව හිරු කිරණ මිහිතලය මතට වැටීම වළක් වන තුරුලතාවෝ වනයට එක් කළ සිහිලස නිසාම කොට්ටව වනයට වැදෙන කිසිවකුට වෙලාව යනවා තේරෙන්නේ නෑ.

ඔබ දැක තිබෙනවාද දම් පාටින් දිලෙන බෝවිටියා මල්. කහ පැහැති රේණු පොකුර දම් පැහැති මල්පෙති අතරෙන් මතු වී පෙනෙන්නේ තද දම් පැහැය තව තවත් තීව්‍ර කරමින්. බෝවිටියා මල සිය සුන්දරත්වය පරිසරයට මුදා හළ අනතුරුව සොබාදහමට තමන්ගෙන් විය යුතු යුතුකම ද ඉටුකොට පරාගණය වී කළු පැහැයට හුරු තද දම් පැහැති පලතුරක් බවට පත් වෙනවා. ඔබ බෝවිටියා ගෙඩි කාලා ඇති. විවිධ පැහැයෙන් යුතු තොල් ආලේපන පාවිච්චි නොකරන පුංචි සන්දියේ අප දිව හා තොල් දම්පැහැයට හරවා ගන්නේ බෝවිටියා කෑමෙන්.

විවිධ පාටින් දිලෙන කරාබු සේ දිලෙන 'ගඳපාන මල්' කොට්ටව කැලය සුන්දර කළ තවත් සොබාදම් නිමැවුමක්. බෝවිටියා, රත්මල්, ගඳපාන, මල් කැරෑ, පින්න ආදී කැලෑ මල්වලින් ගහන බැවින් දෝ කොට්ටව කැලය සමනල්ලුන්ගෙන් හා පැණි කුරුල්ලන්ගෙන් මඟහැරුණේ නැ. නෙක සුන්දර රටා මැවූ සමනල රෑන් කැලයට එක් කළේ අපූරු සුන්දරත්වයක්.

කොට්ටව කැලයට ඇතුළු වන ඔබට මඳ දුරක් ගිය ඉනික්බිති විවිධ දිශාවන්ට විහිදුණු කුඩා මංපෙත් කිහිපයක් හමු වෙනවා. තද නිල් පැහැයෙන් බබළන වෘක්ෂලතා වියන ඔස්සේ ඈතට දිවයන කැලයේ අසිරිය නරඹන්නම පැමිණෙන්නන් වෙනුවෙන් එක් මඟක් වෙන් වෙනවා. තව මඟක් වෙන්වන්නේ තේ වගාවට. පහතරට නැවුම් තේ දලු නරඹන්නට යන්නට ඒ මඟ ඔස්සේ ඔබට පුළුවන්. කොට්ටව කැලය ආසන්නයේම තේ පර්යේෂණාගාරය පිහිටා තිබීම ඔබට විශේෂ අත්දැකීමක් එකතු කරනු නිසැකයි. මෙහි ඇති අනෙක් මාර්ගය වෙන් වන්නේ කොට්ටව ස්වභාවික ජල තටාකයට. සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණයක් හිමි වී තිබෙන්නේ ඒ වෙත. දෙස් විදෙස් සංචාරකයන් බහුල වශයෙන් කොට්ටව වනයට එන්නේ මේ ස්වාභාවික ජල තටාකයේ ගිලී දිය නෑමට. මිහිකතගේ අමිලම දායාදයක් වන මේ ජල තටාකය වෙත දිය උල්පත් ගලා එන්නේ වැසි සමයට පමණක් නොවෙයි. දැඩි දාහය පවතින නියං සමයේත් ඒ හා සමානව මෙහි ජලය රැඳී තිබෙනවා. වනය පුරා ඇති විවිධ ශාකවල මුල් හි සාරය උරා ගනිමින්, පුෂ්පයන්හි පවතින ස්වභාවික ඖෂධීය සාරයන්හි පහස ලබමින් ස්වභාවිකව පිරෙන මේ ජල තටාකයෙන් ස්නානය කරන්න අකමැති කවුද? දහස් ගණන් දී මුහුණ ආලේපන සේදුම් කාරක මිලදී ගන්නා අපට ඒවායේ අඩංගු කර ඇතැයි පවසන දෑ ස්වභාවික ව ම ලැබෙද්දී එය කොතරම් වාසනාවක් ද?

කොට්ටව කැලය කුරුල්ලන් ප්‍රිය කරන ඔබට පාරාදීසයක්. ටිකෙන් ටික ඉර මුදුන් වෙද්දි කලබලයෙන් සැරි සරන කුරුල්ලන්ගේ නෙක නාද රටා වලින් මුළු වනය ම පිරෙනවා. තියුණු නාද, සිහින් ගීතවත් නාද, සුසුම් ලෑම්, කෙඳිරිගෑම්, පමණක් නොවෙයි; ගස්කොළන් එකිනෙකා හා කරන මුනුමුනුවත් ඔබට ඇසෙන්නට පටන් ගන්නවා. නිල් බිඟුහරයා, අළු කෑඳැත්තා, කොට්ටෝරුවා, අළු ගිරවා, පිළිහුඬු වර්ග හතරම, කහ කොණ්ඩයා, සැලලිහිණියා, බටගොයා, උලමා, බකමූණා, හබන් කුකුළා මෙන්ම වලි කුකුළාද මෙහි බහුලව දැකිය හැකියි.

ඒ විතරක් නොවෙයි කොට්ටව කැලයේ තැනින් තැන ගලා බසින කුඩා දිය දහරා වල විවිධ මත්ස්‍ය වර්ග ද වාසය කරනවා. දණ්ඩියා, බුලත් හපයා, හඳයා, කිලෑටියා, ඇතුළු මත්ස්‍ය වර්ග කිහිපයක් ම මෙහි නිත්‍ය සාමාජිකයන්.

පහතරට තෙත් කලාපීය සදාහරිත බව රැකෙන්නේ විවිධ උඩවැඩියා, මීමන ආදි ශාක විසින් වියන ලද උඩුවියන් හේතුවෙන්. නෙක තුරුලතා කොට්ටව වනයට එක් කරන සදාහරිත බව මිහිරියාව අනන්තයි, අප්‍රමාණයි. හිරු බැස යන්නට සූදානම්ව රාස්සිගේ අව්ව තුරුවියන යටින් තැනින් තැන වැ‍ටෙන්නට වුණා. මුළු දවසක් කැලය ඇතුළේම ගත කළා නොවේදැයි සිතද්දී සිතට නැ‍ඟෙන්නේ අපූරු චමත්කාරයක්. ජල තටාකයේ ගිලී නා ගැන්මෙන් සිසිල් වූ ගත තාමත් නැවුම්, ඒ වගේම පිවිතුරුයි. ඔබ මෙතෙක් කල් මේ සොඳුරු වන පියසට ගොස් නැති නම් මේ ඊට සුදුසු ම කාලයයි. ඔබේ දුක් දෝමනස්ස කොට්ටව කැලයේ තුරු වියනට පවරා සිත නිදහස් කරගන්නට සුදුසු ම ස්ථානය මෙයයි. අමතක කරන්න එපා ඔබ රැගෙන යන පොලිතීන් හා අමුද්‍රව්‍ය නැවත රැගෙන එන්නට. ඔබේ මතකය මිහි මව සැමදා රැක ගන්නේ ඔබ ඇයට ආදරය කළොත් පමණයි.

 

සුමුදු චතුරාණි ජයවර්ධන

Comments