“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියලා කිව්වට, ඇය ක්ෂේත්‍ර කිහිපයකම හපනියක්. ගීත රචනය, ගීත ගායනය, රංගනය, අලෙවි ප්‍රවර්ධනය වගේ ම මාධ්‍ය කලාවටත් ඈ දක්ෂයි. සන්ධ්‍යානි දෙල්වල විවිධ ක්ෂේත්රවල රැකියා කිහිපයක නියැළුණු කෙනෙක්. ඇය රැකියාව වශයෙන් කරන්නේ අලෙවි ප්‍රවර්ධනය. ඒ අයිඩියල් මෝටර්ස් ආයතනයේ. චයිනීස් ලොරි තමයි ඇය මුලින් අලෙවි කළේ. ඇත්තටම කීවොත් ඇය තමයි ලංකාවේ පළමු හා එකම ලොරි අලෙවි නිලධාරිනිය. ඇයට තියෙන්නේ පිලිපීන කාන්තාවකගේ රුව ගුණ. අධ්‍යාපනය ලැබුවේ රත්නපුරයේ. අම්මාගේ ගම කොළඹ නිසා මහරගම පදිංචියට ඇවිත්.
අම්මා ගෘහණියක්. තාත්තා රැකියාව කරන්නේ ඇමෙරිකාවේ. අම්මයි තාත්තයි සංගීතයට සම්බන්ධයි. ඇගේ නංගියි, මල්ලියි දෙන්නත් කලාවට සම්බන්ධයි. වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වෙලා පිළිගැනීමේ නිලධාරිනියක ලෙස මුල් ම රැකියාව ලබනවා.
සන්තුෂ ලියනගේ මහතා ජාතික රූපවාහිනිය වෙනුවෙන් නිර්මාණය කළ සුදු සැරයටි වෙළෙඳ දැන්වීමෙන් ඇය රංගනයට යොමු වුණා. ඉන්පසු රූපවාහිනි වැඩසටහන්වල ගීත ගයන්නත් ඉඩ ලැබුණා. මාධ්‍යවේදිනියක ලෙස, ජනයුගය, බිරිඳ, සඳකිරණ, පුවත්පත්වල සේවය කළා. සන්ධ්යානිට ඒ හරහා කලා ලොවේ මෙන් ම දේශපාලන, ක්‍රීඩා සහ ව්‍යාපාර ක්ෂේත්රයන්හි ප්‍රබලයින් හඳුනා ගන්නට ලැබුණු අතර ඒ හරහා ලැබුණු අත්දැකීම් ද බොහෝ ය.
ප්‍රීතිරාජ් වීරරත්නගේ ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටයේ රූපවාහිනී නිවේදිකාවකගේ චරිතය රඟපාමින් ඇය සිනමාවට එක් වූවාය.
වෘත්තියෙන් ඔබ ලොරි අලෙවි කරන්නියක් ලෙස රැකියාව කළා. කාන්තාවකට ටිකක් නුහුරු රැකියාවක් නේද?
ඔව්; ගැහැනු කෙනෙකුට අමාරුයි තමයි ලොරි, ජිප් විකුණන එක. මට හොඳ බොස් කෙනෙක් හිටියා නානායක්කාර කියලා. එයා මාව උනන්දු කෙරෙව්වා; ඔයා තමයි ලංකාවෙ ඉන්න එකම කෙල්ල ලොරි විකුණන කියලා. මට ඒක ලොකු අභියෝගයක් වුණා. මමත් පිරිමි ළමයි වගේ හරි හරියට වැඩ කළා. කෲ කැබ්, ඩබල් කැබ්, අඩි 10 ½ ලොරි. හුඟාක් විකුණුවා. ඒ කාලේ මම ලොරි ගැනම තමයි කතා කළේ. රෝද හතරේ කාර් පේන්නේ නැහැ. ක්ෂේත්රයට ගිහින් ලොරිවල ප්‍රමෝෂන් කළා. වාහනවල හැම අංශයක් ගැනම දැනුවත් වුණා.
දැන් යුරෝපීය වාහන අලෙවිය අඩුයි. ෆොක්ස්වැගන්, චයිනීස් වාහන, ලොරි මිලට ගන්නේ සුළු ව්‍යාපාරිකයෝ. ෆුල්බොඩි අඩි 14 ½ වැඩිපුර විකිණෙනවා. කොළඹින් ඈත පාරවලට ඔරොත්තු දෙන කාර් තියනවා. යුරෝපීය කාර්වලට වෙනම Customer base එකක් තිබෙනවා. හුඟාක් කාන්තාවන් ඔටෝ ගියර්වලට තමයි කැමැති. ජපන් චීන වාහන පාවිච්චි කරන කෙනා අහන්නේ තෙල් කොච්චර වැඩ කරනවද? කියලා. ඒ ලංකාවේ මිනිසුන්ගේ ආර්ථිකයත් සමඟ. යුරෝපීය වාහන ගැන උනන්දු කෙනා අහන්නේ වගකීම කොපමණ ද? සර්විස් එක කොහොමද කියලා. වියදම් දරන්න පුළුවන් අය, යුරෝපීය වාහනවලට ප්‍රිය කරන අය. ගාල්ල, මාතර, යාපනය වගේ පිට පළාත්වලත් ඕනෑ තරම් ඉන්නවා. ඒත් සමහර වාහන ඒ ඒ පාරවල්වලට ඔරොත්තු දෙන්නෙ නැහැ. ඈත දුෂ්කර පළාත්වල අය වැඩිපුර ගන්නේ ජපන් වාහන. යුරෝපීය මාකට් එකට වෙනම ක්‍රවුඩ් එකක් ඉන්නවා.
යහපත් වාහන අලෙවිකරුවකුට හොඳ ඉවසීමක් තියෙන්න ඕනෑ. විස්තර කරන දෙය Customers ලට තේරෙන්න ඕනෑ. කාර්මික අංශය ගැනත් දැනුවත් විය යුතුයි.
ඔබට තියෙන්නේ ලාංකික කාන්තාවකට අනන්‍ය නොවූ මුහුණක්?
ඔව්. ඒ ගැන තවත් අය කියලා තියනවා. මම පොඩි කාලේ අම්මටත් ඒ ගැන හුඟාක් අය කීවලු. මම ලංකාවෙ ලොරි අලෙවි කරලා අබුඩාබි ගියා ෂැංගිලා හෝටලයේ guest relation Officer කෙනෙක් විදියට. හෝටල් ක්ෂේත්රය වෙනස්. එහේ බංග්ලාදේශ්, සිංගප්පූරු, යුරෝපීය ආදී විවිධ රටවල අය සේවය කරනවා. Customers ලත් විවිධ රටවලින් එනවා. එයාලගේ අදහස්, සිතුම් පැතුම් ආකල්ප, සිරිත් විරිත් වෙනස්. සමහර වෙලාවට බැණුම් අහන්න වෙන වෙලාවලුත් තියනවා. සමහර කස්ටමර්ස්ලා අහනවා මම මොන රටේ ද කියලත්. දවසක් ඩුබායි ෂොපින් මෝල් එකක මම බඩු තෝරද්දි සිංහල පිරිමි ළමයි දෙන්නෙක් කතා වෙනවා මට ඇහුණා “පිලිපීන කෑල්ලක් බං අපි ට්‍රයි එකක් දෙමුද?“ කියලා. එයාලා මාව follow කළා. ඒ වෙලාවේ මට අම්මගෙන් කෝල් එකක් ආවා. මම සිංහලෙන් කතා කරද්දී එයාලට ලජ්ජා හිතුණා. ලංකාවෙ අයත් මගෙන් අහනවා ඔයා පිටරටකට සම්බන්ධ ද කියලා.
මොනවද අනාගත බලාපොරොත්තු එහෙම...
හරිම සරලව සැහැල්ලුවෙන් ඉන්න මම කැමැතියි. ලියන දේවල් කරන්නේ රෑට. ඉන්ටවීව් ගන්නේ වාහනේ යන ගමන්. ඉඩ ලැබෙන වෙලාවට රඟපානවා. මම කාලයක් මහණ වෙන්න කැමැත්තෙන් හිටියා. මෙහෙණියකගේ චරිතයක් කළෙත් ඒකයි. මම කැමැති නැහැ නීතිරීතිවලට කොටුවෙලා ජීවත් වෙන්න. මගේ බැඳීම් තියෙන්නේ මගේ පවුලේ අයත් එක්ක විතරයි. සමහරු කියනවා අවසාන කාලේ වතුර පොදක් හරි දෙන්න කෙනෙක් ඕන නේද කියලා. ඒත් මේ අස්ථිර ලෝකේ ස්ථිර දේවල් හොයන්නෙ නැහැ. ඒත් ආදරේ නම් හරි පුදුමයි.
විලාසිතා කරන්න, විවිධ කෑම වර්ග හදන්නත් මම ආසයි. මම විනෝදාංශයට රඟපෑවත් ජීවිතය ජීවත් කරවන්න රඟපෑමෙන් බෑනේ. ජීවිතය කියන්නෙත් එක්තරා රඟපෑමක් තමයි. මේක මගේ ගැන ලියවෙන පළමු ලිපිය. සිළුමිණ වගේ දැවැන්ත පුවත්පතක මගේ ලිපිය පළවීම අභිමානයක්. හැමටම ස්තුතියි. කවදා හරි දවසක මගේ ම කියලා වාහන අලෙවි හලක් පවත්වාගෙන යන්න මම ආසයි. මොකද මම ආසම ක්ෂේත්රය වාහන අලෙවිකරණය නිසා.
සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ