මේ ප්‍රේමයම පුදුමයි.... | සිළුමිණ

මේ ප්‍රේමයම පුදුමයි....

මේ ප්‍රේමය පුදුමයි

එය දැනෙන හැටි අමුතුයි

කිසිම දවසක කියා ගන්නට

බැරි වුණත් මිහිරියි

මේ ප්‍රේමයම පුදුමයි....

ආදරේ ඇති මහරු අබිමන්

පතන්නේ ඔබමයි

ඔබම යළි එහි විරාගික බව

කියන හැටි පුදුමයි

එය නිරාමිස සුවයක් වැනී

මේ ප්‍රේමය පුදුමයි....

ජීවිතේ ඇති අරුත් සුන්බව

කියන්නෙත් ඔබමයි

ඔබම යළි එහි මිහිර ගෙනැවිත්

මවන හැටි පුදුමයි

එය විඳ නොමැති මිහිරක් වැනී

මේ ප්‍රේමයම පුදුමයි....

ගායනය - විශාරද ඉන්දිකා උපමාලි

පද රචනය - සම්පත් බණ්ඩාර

සංගීතය - දර්ශන වික්‍රමතුංග

මේ මිහිමත සෑම ප්‍රේමයක්ම විවාහයෙන් කෙළවර වී නැත. විවාහයෙන් කෙළවර නොවූ කොතෙක් නම් වූ ප්‍රේමයන් මේ ලෝකයේ ඇද්ද? එවන් වූ ප්‍රේමයන් ගැන අප කොතෙකුත් අසා ඇත. දැක ඇත. හිමිකර ගැනීම්, අත්පත්කර ගැනීම්වලින් තොරව ආදර විඳින්නෝ කිහිප දෙනෙකු දැක ඇත. ඔවුන් ජීවිත විඳින අයුරු මෙන්ම ඒ ප්‍රේමය විඳවන අයුරු ද විටෙක අපූරුය. “ආදරයත් හරියට ගොළුවා සීනි කෑවා වගේ”. මා මිත්‍රයකු දවසක් පැවැසීය. ගොළුවා ආදරය හා සීනි අතර ඇති සම්බන්ධතාව තේරුම් ගැනීමට මම ඔහුට සවන් දුනිමි.

“සීනි පැණි රහ වුණාට ඒ මනුස්සයාට ඒ රස ගැන තව කෙනෙකුට කියන්න පුළුවන්ද? ආදරයත් ඒ වගේ තමයි . එකිනෙකාට දැනෙන, විඳින විදිහ වෙනස්. ඒක තවත් කෙනෙකුට තේරුම් කරලා දෙන්න අමාරුයි.”

ප්‍රේමයට කිසිදු භේදයක් නැත. ප්‍රේමය වෙනුවෙන් රජකම අත්හැරි රාජකුමාරවරු අපේ රටේ ඉතිහාසයේ ද සිට ඇත. ඇතැමුන් හිමිකර ගන්නට බැරි වූ තැන ඒ ප්‍රේමය වෙනුවෙන් දිවි කැප කළ ඇත්තන්ද සිටිති. එවන් වූ අපූරු පෙම්වතකු ගැන මතකයක් මට ඇත. අද ඇය ජීවතුන් අතර නැත. එනිසා මේ කතාව ලියූවාට කම් නැතැයි සිතේ. ඇය පාරම්පරික වලව්වක තරුණියකි. ඇගේ සිත ගත්තේ දුප්පත් පවුලක තරුණයෙකි. එහෙත් මේ ප්‍රේමයට ඇගේ නිවැසියෝ අකුල් හෙළුහ. තරුණ වියේදි බැඳි ඒ ආදරය අමතක කර දමන්නට ඇයට ගෙදරින් ආ බලපෑම් තදබල විය. එනිසා ඇය ඔහු අමතක කර දැම්මාය. යළිත් ඉගෙනිම් කටයුතු කරන්නට පටන් ගත්තාය. මේ වන විට ඇගේ වයස අවුරුදු දහ අටක් තරම්ය.

“ මම ආයෙත් ඉගෙන ගන්න පටන් ගත්තා. නමුත් මගේ හිතේ මොකක්දෝ තනිකමක් හිඩැසක් තිබුණා. ඒ නිසා මම මන්දගාමී චරිතයක් වුණා. මට මගේ ගෙදර අය එපා වුණා. ඔවුන් සමඟ තිබුණ බැඳීම අඩු වුණා. මම නගරයේ බෝඩිමක හිටියේ. මගේ ගුරුවරයා ටිකෙන් ටික මට ළං වුණා. මං ගැන සොයා බැලුවා. මගේ ඉගෙනීම ගැන සොයා බැලුවා. මං ආයෙමත් ඉගෙනීමේ දක්ෂකම් පෙන්වන්න ගත්තා. ඔහු මගේ හොඳම ගුරුවරයා වුණා. ඔහු මට වඩා දෙගුණයක් වැඩිමල්. ඔහුගේ ආදරය මගේ ජීවිතයට දේවාශිර්වාදයක් වුණා කිව්වොත් හරි. ඒ වන විට ඔහු විවාහ වෙලා හිටියේ. ඒ වුණත් ඔහු මා ගැන සොයා බැලීම මගේ ඉගෙනීමට උදව් කිරිම අසනිප වුණාම සොයා බැලීම අත්හැරියේ නැහැ. මම විශ්ව විද්‍යාලයට තේරුණා. මගේ පවුලේ අයට වඩා ඒ සතුට වින්දේ ඔහු. මම විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වුණා. රැකියාවකට ගියා. ඒ හැම ජයක් පිටු පස්සේම හිටියේ ඔහු. මට ඕන වුණා ඔහු සමඟ ජීවත් වෙන්න. ඒත් මගේ යෝජනාව ඔහු නිහඬ සිනහවකින් මඟහැරියා. අපේ අම්මලා මට විවාහ යෝජනා ගෙනාවා. මම අකැමැති වුණා. මම විදෙස් ගතවුණා. ඒ මට ඔහු නොලැබෙන නිසා. මම රටින් යන්න කලින් දවසේ හිටියේ ඔහු සමඟ. අපි වෙන් වෙන්න හදද්දි ඔහු මා තරයේ වැලද ගෙන බොහෝ වේලා සිටියා. ඔහුගේ දෑස කඳුළින් පිරි තිබුණා. ඒ කඳුළු මගේ කම්මුල් මත තිබුණා. සිහින් ඉකිබිඳුමක් මහා හැඬීමක් වෙන්න ලොකු වෙලාවක් ගියේ නැහැ.

“හොඳ කෙනෙක් ලැබුණොත් විවාහ වෙන්න.”

ඔහු මට කිව්වේ මගේ නළල මුදු ලෙස සිප ගන්න ගමන්.

විදෙස් ගතවුණාට පස්සේ මම යළිත් මගේ අධ්‍යාපන කටයුතු ඇරඹුවා. රැකියාව කළා. විවේකය අඩු වුණත් හැම මොහොතකම මට ඔහු සිහි වුණා. මම ඇතැම් දවසක ඔහුට කතා කළා. මට හිතා ගන්න බැරි ආදරයක් ඒ හිතේ මා වෙනුවෙන් හැමදාම තිබුණා. ඒත් ඒ ආදරේ වෙනුවෙන් ඔහු මුකුත් මගෙන් ඉල්ලුවේ නැහැ. අවුරුදු කිහිපයකට පස්සේ ඔහු ආවා මා බලන්න. ඒ තමයි මගේ ජීවිතේ ලස්සනම දවස. මාස කිහිපයක් අපි එක ළඟින් හිටියා. ඔහු වෙනදාටත් වඩා වයසට ගිහිල්ලා කියලා මට දැනුනේ. ඔහුගේ කොණ්ඩය සුදුවෙලා. වෙනදාට වඩා වියපත්. ඒත් ඒ හිත මා වෙනුවෙන්ම වෙන්වෙලා කියලා මට දැනුණා. අපි කවදාවත් හෙට ගැන කතා කළේ නැහැ. ඔහු මාස කිහිපයකින් ලංකාවට ගියා . මම ඔහු බලන්න ආවා. ගියා. ඔහුත් අවුරුදු දෙක තුනකට වතාවක් මා බලන්න ආවා. අපේ ආදරේ හරි පුදුමයි. මම කවදාවත් විවාහ වුණේ නැහැ. අනිත් ගෑනු ළමයින්ට තිබුණ හීන මට තිබුණේ නැහැ. ඔහුගේ ආදරේ මට මගේ මුළු ජීවිතයම දුන්නයි කියලා හිතුණේ. ඔහුගේ ආදරය මට හිතා ගන්න බැහැ.” වසර කිහිපයකට පෙර ලංකාවට පැමිණි ගමනකදි ඇය මා හා කීවේ ඇගේ කතාවය. ඒ වන විට ඇගේ වයස අවුරුදු හැත්තෑව ඉක්මවා ගොස් තිබිණි.

වසර ගණකට පෙර ඇය කියූ කතාව මට මේ දැන් කියුවා සේ මතකය.

“මේ ප්‍රේමයම පුදුමයි.”

ගීතය කිහිප විටක් අසන විට මට සිහි වුයේ ඇයයි. ඇයගේත් ඔහුගේත් ආදරණිය බැඳිමයි.

පුවත්පත් කලාවේදියකු, ලේඛකයකු වන සම්පත් බණ්ඩාර ලියුවේද එවන් ප්‍රේමයක් ගැන දැයි සොයන්නට සිතුණේ ඉන්දිකාගේ අපූරු ගී හඬ ඇසූන විටය. ගීතයේ සංගීතය නව පරපුරේ දක්ෂ සංගීතවේදීයකු වන දර්ශන වික්‍රමතුංගගේය.

“ තරුණ තරුණියෝ ගැහැනුන් මිනිසුන් මේ සමාජය තුළ ප්‍රේමයෙන් බැඳෙනවා. ඇතැම් ප්‍රේම සම්බන්ධතා විවාහයෙන් කෙළවර වුණත් ඇතැම් ප්‍රේමයන් දිගින් දිගටම තියෙනවා. කාටවත් ඒ ප්‍රේමයේ තරම කියන්න බැහැ. අධ්‍යාත්මිකව බැඳණූ ප්‍රේමයන් මේ සමාජයේ තියෙනවා. මට කියන්න ඕන වුණේ නව යෞවනියක හා වියපත් කෙනෙකු අතර ඇති වුණ ප්‍රේමයක් ගැන. එය නිරාමිසයි. ඒ ප්‍රේමය අධ්‍යාත්මිකයි. ඔහු තුළ ඇති ප්‍රේමයේ තරම මේ යෞවනියට තේරෙන්නේ නැහැ. ඇය එනිසයි ප්‍රශ්න කරන්නේ

ඇයට මේ ප්‍රේමය විශ්මයක්, ඔහු දක්වන ආදරය සෙනෙහස රැකවරණය ඇයට අරුමයක්. මේ අරුමය තමයි මට ලියන්නට ඕනෑ වුණේ. මා දැක තිබෙනවා මෙවන් ප්‍රේමයන් මගේ මිත්‍රයන් අතර තිබෙනවා. ඒ අත්දැකීම් සියල්ල එකට එක් වීමෙන් තමයි ගීතය ලියැවුණේ. නව පරපුරේ නිර්මාණශිලි තනු නිර්මාණකරුවෙකු ලෙසයි මම දර්ශනව දකින්නේ. ඒ නිසයි මා ඔහු තෝරා ගත්තේ. ඉන්දිකා උපමාලි කියන්නේ අපට ඉන්න දක්ෂ ගායන ශිල්පිනියක්. ඇගේ කටහඬ හරිම අපූරුයි. මම හිතුවා මේ පද පෙළට ගැලපෙන්නේ ඇගේ හඬ කියලා. මගේ තේරිම නිවැරදියි කියලා නැවත නැවත ගීතය ඇසීමේදි මට හිතෙනවා.”

“මේ ප්‍රේමයම පුදුමයි” ගීතයේ පද රචක සම්පත් බණ්ඩාර පවසන්නේ එලෙසිනි.

Comments