නාලන්දීය වින්දනීය සන්ධ්‍යාව ගීත්මා-2019 | සිළුමිණ

නාලන්දීය වින්දනීය සන්ධ්‍යාව ගීත්මා-2019

කොළඹ නාලන්දා විද්‍යාලයේ සමූහ වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරනු ලබන ගීත්මා සංගීතමය විවිධ ප්‍රසංගය සිවුවන වරටත් අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා විද්‍යාලයීය මලලසේකර රංග ශාලාවේදී පැවැත්වුණි. 2013 වසරේ ආරම්භ කොට, දෙවසරකට වරක් පවත්වනු ලබන ගීත්මා ප්‍රසංගය මේ වනවිට සිවු වතාවක් නාලන්දා වාද්‍ය වෘන්දයෙන් සංගීතවත් වී 1500 ක් පමණ සිසු දරුවන්ගේ නැටුමින් ගැයුමින් වැයුමින් සු‍පෝෂිත වී තිබූ අතර, එය වසරින් වසර දියුණුවේ හිණිපෙත්තටම පිය නගමින් මෙම වසරේ ද සහෘද ජනයා පිනවීමට තරම් ශක්තිමත් අති ශෝභමානවත් සංගීතමය විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට නාලන්දා පුතුනට හැකි වී තිබුණි.

2013 වසරේ පටන් මෙවර ගීත්මා 2019 ‍දක්වාම නාලන්දා සමූහ වාද්‍ය වෘන්දය පුරුදු පුහුණු කිරීම හා මෙහෙයවීම සිදුවූයේ නාලන්දා විද්‍යාලයේ සංගීත ආචාර්ය හා ප්‍රවීණ සංගීතඥ ජයන්ත දිසානායක මහතා විසිනි. නාලන්දා පුතුන් 70 කින් පමණ සමන්විත වාද්‍ය වෘන්දයේ 6 වසරේ සිට උසස් පෙළ හදාරණ පුතුන් දක්වාම නියෝජනය වී තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

ප්‍රසංග වාර දෙකේදීම විවේක කාලය තෙක් වාද්‍ය වෘන්දය මෙහෙයවීම ජයන්ත දිසානායක මහතා විසින් සිදු කළ අතර, විවේක කාලයෙන් අනතුරුව එය මෙහෙයවූයේ වාද්‍ය වෘන්දයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වූ ඔෂනාත් රාජවසම් පුතු විසිනි. ජයන්ත දිසානායක ගුරු පියාණන්ගේ අප්‍රතිහත ධෛර්යයේ, කැපවීමේ හා දිවා රෑ නොබලා සිදුකළ පුහුණුවේ උත්තුංග ප්‍රතිඵලය ගීත්මා 2019 වේදිකාවේ තිරය විවර අවස්ථාවේ වැයුණු තේමා වාදනයේ පටන් ප්‍රසංගය අවසානයේ වැයුණු නොනවතින ගීත රැල්ල තෙක් ම එක සේ නොවෙනස්ව පැවතුණි.

නාලන්දා පුතුන්ගේ හැකියාව, හැදියාව, හික්මීම හා සෞන්දර්යාත්මක හැකියාවන් මනාව පිළිබිඹු වූ ගීත්මා 2019 ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි වූයේ ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ මහාචාර්ය සංගීත නිපුන් අසිත අතපත්තු මහතා වේ.

ශ්‍රී ලාංකීය සංගීත ලෝකයේ සුපහන් වූ මතු දවස අද දින දැකීම සම්බන්ධයෙන් අතිමහත් ලෙස සතුටු වූ ඔවුන් ඒ උදෙසා නාලන්දා පුතුන් මෙහෙයවූ ජයන්ත දිසානායක මහතාට තමාගේ උපහාරය පුද කිරීමට ද ඔවුහු අමතක නොකළහ.

සංගීත අංශයේ දරුවන්ගේ දක්ෂතා මෙන් ම නාට්‍ය හා රංග කලා, නැටුම් අංශයේ පුතුන්ගේ දක්ෂතා ද මැනවින් කැපී පෙනුණු ප්‍රසංගයකි මෙවර ගීත්මා 2019. සියලු පුතුන් ගැහුනු වෙස් ගැන්වී තිබූ නර්තන අංග ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින් දිනමින් අතිමහත් ප්‍රශංසාවට ලක් විය. සියලු සෞන්දර්යයාත්මක අවශ්‍යතා තම පාසලේ පුතුන්ගෙන් ම සපුරාගත් ගීත්මා 2019 ප්‍රසංගය අති සාර්ථක සෞන්දර්යාත්මක අත්දැකීමක් ලබාදීමට සමත් විය.

ගීත්මා 2019 ප්‍රසංගයේ ශබ්ද පරිපාලනය හා ආලෝකකරණය සිදුකරනු ලැබූයේ කීර්තිමත් ආදී නාලන්දීය සජිත් කොඩිකාර මහතා විසිනි.

සේයාරූ - සෙනාල් ද සිල්වා

Comments