අපේ උත්සාහය සාර්ථකයි | Page 2 | සිළුමිණ

අපේ උත්සාහය සාර්ථකයි

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය හදාරා ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථ්‍යක් හිමි කරගනිමින් ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදන සහයිකාවක් ලෙස බැඳුණු ඇය දිනෙන් දින වැඩසටහන් නිර්මාණකරණයේ තම දක්ෂතා ඔප්නංවා ගනිමින් වැඩසටහන් නිෂ්පාදකවරියක ලෙස අද දිගු ගමනක් පැමිණි ඇය චන්දිමා ප්‍රේමරත්න යි.

Rhythm Of India මේ ඔබේ නවතම නිර්මාණයයි?

Rhythm Of India වැඩසටහන අපි පටන් ගත්තේ ස්වාධීන රූපවාහිනි Classic Weekend එකට. Classic Weekend බාර වුණේ සඳරුවන් ජයවික්‍රම මහතාට. ඔහුගේ යෝජනාවකට අවනුවයි මේ වැඩසටහන නිර්මාණය වුණේ. 2019 මාර්තු මාසෙන් ඇරැඹුණු මේ වැඩසටහන ඉරිදා රාත්‍රී 10. 00 සිට 12.00 තෙක් තමයි විකාශන කාලය.

මින් පෙර විකාශය වූ ‘සින්දු නදී‘ වැඩසටහන හා මෙහි වෙනස?

එම හින්දි ගීත වැඩසටහනේ නිෂ්පාදිකාව වුණෙත් මම. මෙය පෙර වැඩසටහනට වඩා වෙනස් වී තිබෙන්නේ සති අන්තේ වැඩසටහන්වලට ඔබින ආරෙට.

මොනවද මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය?

අපි අලුත් ආකෘතියක් ඒ සඳහා උපයෝගී කර ගත්තා. ඒවන විට වෙන කිසිදු රූපවාහිනී නාළිකාවක් මේ ආකෘතියේ වැඩසටහන් නිර්මාණය කර තිබුණේ නැහැ. Rhythm Of India ආකෘති දෙකකින් සමන්විතයි. එහි එක් ආකෘතියක් පරිපූර්ණ වෙන්නේ හින්දි සිනමාව හා හින්දි ගීත ගැන අවබෝධයක් තිබෙන විශේෂ සම්පත් ධාරියෙක් තෝරා ගෙන ඔහුගේ හෝ ඇගේ කැමැත්ත අනුව එදිනට ගීත තෝරා ගැනීමයි. අනෙක් ආකෘතිය, හින්දි සිනමාවේ සිටින ‍ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරු, සංගීත අධ්‍යක්ෂවරු, රංගන ශිල්පීන් හා ගායන ශිල්පීන් ගේ ඔවුන්ගේ ජීවිත කතා සහ ගීත ඇතුළත් පැය දෙකක වෙනම වැඩසටහනක් ලෙසයි.

කොහොමද වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර නම් අනන්තයි අප්‍රමාණයි. ඒ ප්‍රතිචාර ගැන මම හරිම තෘප්තිමත්. ප්‍රේක්ෂක ප්‍රතිචාර මට සම්මානයක් තරම් වටිනවා. ඉරිදා රාත්‍රී 10.00 සිට 12.00 දක්වා බොහෝ විට අපි ඉදිරිපත් කරන්නේ පැරණි හින්දි ගීත. ලංකාවේ හින්දි ගීතවලට ප්‍රිය කරන රසික රසිකාවියෝ දහස් ගණනක් ඉන්නවා. ඉන් බොහෝ දෙනෙක් මෙම වැඩසටහන නරඹන අය. ඔවුන් මෙම වැඩසටහනට කොතරම් ප්‍රිය කරනවාද යන්න අපට ලැබෙන ලියුම් සහ දුරකතන ඇමතුම්වලින් පෙනෙනවා. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර, අවවාද සහ උපදෙස් බොහොම නිහතමානීව පිළිගනිමින් ඉදිරියටත් ප්‍රේක්ෂකයන් අමාන්දානන්දයට පත්වන අයුරින් මේ වැඩසටහන් පෙළ නිර්මාණය කිරිමයි මගේ අරමුණ.

චන්දිමා අතින් මෙතෙක් නිර්මාණය වූ අනෙක් වැඩසටහන් ගැන කතා කළොත්?

මීට පෙර මම නිර්මාණය කළ වැඩසටහන් අතරෙන් බොහොමයක්ම හින්දි වැඩසටහන්. දැනට මගේ සේවා කාලය වසර විස්සක්. ඒ කාලය පුරාවට වැඩසටහන් ගණනාවක් මම නිෂ්පාදනය කර තිබෙනවා.

හින්දි වැඩසටහන් නිර්මාණය කිරීමේ විශේෂත්වයක් තිබෙනවාද?

කුඩා කාලයේ සිට මම හින්දි සිනමාවට බොහොම ආදරය කළ, කැමැත්තක් දැක්වූ කෙනෙක්. ඒ කාලෙත් හින්දි චිත්‍රපට බලලා ඒ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ විශේෂවේදී උපාධියක් තමයි මට තිබෙන්නේ. එහිදී හින්දි භාෂාව ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා. ඉන්පසු මම ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ද සිරි කහවල මහතාගෙන් ද හින්දි භාෂාව හැදෑරුවා. දැනටත් මම ගෝකුල් ආයතනයේ හින්දි භාෂාව හදාරමින් ඉන්නවා. මගේ ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් සම්පාදනය කළේ හින්දි සිනමාව හා සිංහල සමාජය පිළිබඳ ශාස්ත්‍රීය නිබන්ධනයක්. විටෙක මම හරි වාසනාවන්තයි කියලා හිතෙනවා. ඒ මම පුංචි කාලේ සිට මා ප්‍රිය කළ දේ මගේ වෘත්තීයයටත් අත්වැලක් වුණා.

පොඩි කාලේ තිබූ කැමැත්ත මතද මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ?

මාධ්‍යයට සම්බන්ධ වීමට මගේ ඉලක්කයක් තිබුණෙ නෑ. මම ඉගෙන ගත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයෙන්. පසුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. පාසල් කාලෙදී මම හැදෑරුවෙ සංගීතය. හොඳට වයලින් වාදනය කරන්නත් පුළුවන්. නමුත් විශ්වවිද්‍යාලයට තේරුණු පසු ලලිත කලා විෂයය අත්හැරුණා. ඉන්පසු ජනසන්නිවේදනය තෝරා ගන්නේ ඒ කාලේ තිබුණු ප්‍රවණතාව අනුව. ඒ කාලෙත් මාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වීමට ඉලක්කයක් තිබුණේ නෑ. සරසවියේ අවසන් වසරේදී මාධ්‍ය ආයතනවලට අපව පුහුණුවට යැව්වා. එහිදි අපි පස් දෙනෙක් ස්වාධීන රූපවාහිනී සේවයට එකතු වුණා. එහිදී තමයි මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට මට කැමැත්තක් ඇති වුණේ. නිෂ්පාදන සහායිකාව සිට වැඩසටහන් නිෂ්පාදිකාවක් විදිහට දැන් සේවය කරනවා.

මේ ආරයේ වැඩසටහන් දැන්අනෙකුත් නාළිකාවල විකාශය වෙනවා?

මට නිෂ්පාදනය කළ හැකි උපරිමයෙන් මම මගේ වැඩසටහන නිර්මාණය කළා. ඒ පිළිබඳ මම තෘප්තිමත්. මෙහි විශේෂත්වයක් තිබෙනවා. ඒ අපේ වැඩසටහනේ නිවේදිකාව, වරුණි උත්පලා. ඇය හින්දි භාෂාව පිළිබඳ ආචාර්යවරියක් මෙන්ම ගුවන් විදුලියේ ප්‍රවීණ හින්දි නිවේදිකාවක්. ඉතින් ඇගේ දැනුම හා මගේ දැනුම එකතු කරගෙනයි මෙම වැඩසටහන ඉහළම ප්‍රමිතියෙන් යුතුව වැඩසටහනක් බව පත් කළේ. අපේ උත්සාහය දැනට සාර්ථකයි. මේ තමයි මේ ආරයේ වැඩසටහන් අතරෙන් වැඩිම ප්‍රතිචාර ලැබෙන වැඩසටහන.

අද කිසිදු හැදෑරිමකින් තොරව මාධ්‍යකරණයේ නියැළෙන අය හා වැඩසටහන්වල ගුණාත්මක භාවය පිළිබඳ ඔබේ අදහස?

අපි යම් කිසිවක් කළ යුත්තේ ඒ පිළිබඳ මනා හැදෑරීමකින් හා මනා දැනුමකින්. මට තිබෙන්නේ ජනසන්නිවේදනයේ විශේෂවේදී ප්‍රථම පන්ති ගෞරව උපාධියක්. වැඩසටහන් පවා නිර්මාණය කරන්නේ හින්දි භාෂාව හැදෑරීමෙන් සහ හින්දි සිනමාව පිළිබඳ යාවත්කාලීන වීමෙන්. මම හදාරන දෙවල් එයින් ලැබෙන දැනුම තමයි මාගේ නිර්මාණවලට බොහෝ දායක වෙන්නේ. නිසි අවබෝධයකින් හා හොඳ අධ්‍යයනයකින් යුතුව මේ ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් අපට වඩා ගුණාත්මක දේවල් සමාජයට දෙන්න පුළුවන්. අපේ වෘත්තීයට අදාළ දැනුම්වත් වීම අපේ ජීවිතයට පවා වැදගත්කමක් ලැබෙනවා. වැඩසටහන් ගැන කතා කළොත් දැන් වැඩි ප්‍රවණතාවක් තිබෙන්නේ රියැලිටි වැඩසටහන්වලට. එම වැඩසටහන්වලින් පොදුවේ ගත්තොත් දරුවන්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා තම දක්ෂතා පිළිබිඹු කරන්න. නමුත් මේ හැම දේම සීමාවක් ඇතිව කරනවා නම් වඩාත් වටිනවා.

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

Comments