මැති­ව­රණ දින හවස හත­රෙන් පසුව කුමක් වේද? | සිළුමිණ

මැති­ව­රණ දින හවස හත­රෙන් පසුව කුමක් වේද?

 

2015 වර්ෂයේ ජන­වාරී 08 වෙනිදා ශ්‍රී ලංකා­වට පම­ණක් නොව ශ්‍රී ලංකාව ගැන උන­න්දු­වෙන් පසු­වන මුළු ලෝක­යාට ම විශේෂ දින­යක් විය. වසර දහ­ය­කට ආසන්න කාල­යක් රාජ්‍ය පාල­නය කළ රාජ­ප­ක්ෂ­ව­රුන් බල­යෙන් ඉවත් කිරීමේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සටන පැවැ­ත්වූයේ එදා ය. දහ­වල ඡන්දය පාවිච්චි කළ රට­වැ­සි­යන් රාත්‍රියේ විද්යුත් මාධ්‍ය වලට ඇස, කණ යොමු­කර සිටියේ ඒ ප්‍රීති­මත් මොහොත උදා­වන තුරු ය.

එහෙත් මධ්‍යම රාත්‍රීය පසුවී එක්තරා මොහො­තක රාජ­ගි­රියේ මැති­ව­රණ කාර්යා­ලය අභ්‍ය­න්ත­රයේ තැති ගත් මිනි­සුන් කිහි­ප­දෙ­නෙක් එකි­නෙ­කාට මුමු­ණ­මින් මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා කරා ගියේ පිටත සිදු­වෙ­මින් පව­තින දේ පැහැ­දිලි කිරී­මට ය. මැති­ව­රණ කාර්යා­ලය අසල රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ ශ්‍රී ලංකා යුද හමු­දාවේ බල ඇණි ආක්‍ර­ම­ණය කර­මින් තිබුණි. කොළඹ නග­රයේ හා තදා­සන්න මර්ම­ස්ථාන කිහි­ප­ය­කට ම එවැනි හමුදා අණු­කණ්ඩ පැමි­ණෙ­මින් තිබුණි.

ඒ අතර මැති­ව­රණ නිල ඡන්ද ප්‍රති­ඵල නිකුත් කිරීම ද අඩ­පණ වූ බවත් කොළඹ ඩී.ඇස්. සේනා­නා­යක විද්‍යා­ලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍ය­ස්ථා­නය වටා ද නොස­න්සු­න්තා­වක් ඇතිව තිබුණ බවත් පසුව මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ සියල්ල සිදු­වූයේ අර­ලිය ගහ මන්දි­රයේ සිදු­වෙ­මින් පැවැති කුම­න්ත්‍ර­ණ­යක ප්‍රති­ඵල නිසා බව ද පසුව ආරංචි විය.

වාර්තා වූ කරුණු වලට අනුව රාජ්‍ය විරෝධී කුම­න්ත්‍ර­ණය පරා­ජය වී ඇත්තේ ඊට පොලි­ස්ප­ති­ව­ර­යා­ගේත් යුද හමු­දා­ප­ති­ව­ර­යා­ගේත් සක්‍රීය සහාය නොලැ­බුණ නිසා ය. මැති­ව­රණ දිනයේ දී කොළඹ ආර­ක්ෂාව සහ­තික කිරීම නම් වූ එම මෙහෙ­යුමේ දී පොලි­ස්ප­ති­ව­රයා හා යුද හමු­දා­ප­ති­ව­රයා දිගින් දිග­ටම අව­ධා­ර­ණය කර ඇත්තේ ප්‍රජා­තන්ත්‍ර විරෝධී කිසිම ක්‍රියා­ව­කට තමන්ගේ සහාය නොලැ­බෙන බව ය. රාජ්‍ය ආර­ක්ෂාව සඳහා කෙත­රම් නීති තිබු­ණත් ඒ නීති ක්‍රියා­ත්මක කර­න්නට හා මහ­ජන ආර­ක්ෂාව උදෙසා කෙත­රම් සන්නාහ සන්නද්ධ බල ඇණි තිබු­ණත් නීතිය හා සාමය ආරක්ෂා වන්නේ ඉහළ මර්ම­ස්ථා­න­යන්හි සිටින පුද්ග­ල­යන්ගේ පුද්ග­ලික කැමැත්ත මත බව රහ­සක් නොවේ. එදින කොළඹ ආර­ක්ෂාව සහ­තික කිරීම සදහා වූ මෙහෙ­යුමේ දී පොලි­ස්ප­ති­ව­ර­යාත් හමු­දා­ප­ති­ව­ර­යාත් තම සහාය නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහා ලබා නොදුන්නා නම් අදත් ආණ්ඩු කරන්නේ රාජ­ප­ක්ෂ­ව­රුන් බව අම­තක කළ යුතු නොවේ.

තීර­ණා­ත්මක මැති­ව­ර­ණ­යක ප්‍රති­ඵල නිකුත් වෙමින් පව­තින මොහො­තක රටේ උදා­වන්නේ අරා­ජි­ක­ත්ව­යකි. බලයේ සිටින ආණ්ඩුව බල­යෙන් ඉව­ත්වෙ­මින් සිටින නිසා රාජ්‍ය­යට අණ නිකුත් කිරීමේ බලය අහෝසි වෙමින් තිබේ. බල­යට පත්ව­න්නට නිය­මිත ආණ්ඩුව දිවු­රුම් දී නොමැති නිසා රාජ්‍ය­යට අණ නිකුත් කිරීමේ අධි­පති බල­යක් නිර්මා­ණය වී නැත. එනිසා රාජ්‍ය පාල­නයේ අරා­ජි­ක­ත්ව­යක් නිර්මා­ණය වීම තාර්කික ය. 2015 ජන­වාරි 9 වැනිදා හිමි­දිරි පාන්දර කොළඹ අග­න­ග­රය ආශ්‍රි­තව සිදු­වූයේ එයයි.

ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාවේ කුමක් සඳ­හන් ව තිබුණ ද එවැනි තීර­ණා­ත්මක හා නිශ්චිත මොහො­තක නීතිය හා සාමය ආරක්ෂා වන්නේ රාජ්‍යයේ ඉහ­ළම නිල­ධා­රීන්ගේ දේශ­පා­ලන හා පෞද්ග­ලික හැසි­රීම මත ය.එසේම ඔවුන්ගේ පෞරු­ෂය මත ය. ඔවුන්ගේ හැසි­රීම තව­දු­ර­ටත් පාල­නය වන සාධ­ක­යක් වන්නේ රටේ පවත්නා පූර්වා­දර්ශී ක්‍රම­වේ­ද­යයි. එනම් රාජ්‍ය බලය ලබා ගැනීම සම්බ­න්ධ­යෙන් රටේ පව­තින ක්‍රම­වේ­ද­යයි.

රාජ්‍ය බලය හුව­මාරු වීම කෙරෙහි තදින් බල­පාන සාධක අතර ශ්‍රී ලංකාව තුළ තව­මත් අංක එකට එන්නේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ක්‍රම­යයි. තව­මත් පර­මා­දර්ශී ලෙස භාවි­තා­වට ගැනෙන්නේ මහ­ජන කැමැත්ත අනුව බල හුව­මා­රු­වයි. එහෙත් යම් නිශ්චිත මොහො­තක ඉහළ දේශ­පා­ලන බල­වේ­ග­යක අව­ශ්‍ය­තාව මත මහ­ජන කැමැත්ත කෙසේ වුවත් රාජ්‍ය බලය තමන් අතට ලැබිය යුතු යැයි තීර­ණය කෙරු­ණ­හොත් පව­ත්වන මහ­ජන ඡන්ද විම­සීම් හුදු නාම මාත්‍රික වන්නේ ය.

එදා 2015 ජන­වාරි 09 වැනිදා හිමි­දිරි පාන්දර ඇති­ව­න්නට ගිය දේශ­පා­ලන කුම­න්ත්‍ර­ණ­යට තිත තැබුණේ රාජ්‍ය බලය තව­දු­ර­ටත් රාජ­ප­ක්ෂ­ව­රුන් අත තිබිය යුතු නැතැයි ද ප්‍රකා­ශ­යට පත්වෙ­මින් පව­තින ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල අනුව රාජ්‍ය පාල­ක­ව­රයා තීරණ විය යුතු යැයි ද ඉහ­ළම රාජ්‍ය නිල­ධා­රීන් දෙදෙ­නෙකු කල්පනා කළ හෙයිනි. යම්හෙ­ය­කින් සන්නද්ධ හමුදා ප්‍රධා­නීන් සිය­ල්ලම ද පොලි­ස්ප­ති­ව­රයා ද ප්‍රකා­ශ­යට පත්වෙ­මින් තිබෙන මහ­ජන කැමැත්ත කුමක් වුවත් තව­දු­ර­ටත් රාජ්‍ය බලය හිමි­විය යුත්තේ රාජ­ප­ක්ෂ­ව­රුන්ට යැයි එදා තීන්දු­වක සිටියා නම් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වත් රටේ පර­මා­දර්ශී රාජ්‍ය පාලන සම්ප්‍ර­දා­යත් අව­ලංගු වන්නේ ය.

ඒ අන්ද­මින් මේ රටේ මූලික නීතිය යම් අව­ස්ථා­වක අව­ලං­ගු­වී­මට පව­තින ඉඩ­කඩ තව­මත් ඒ අන්ද­මින්ම පවතී. ඊට හේතු ගණ­නා­වක් පව­තින අතර, රටේ පවත්නා දේශ­පා­ලන නොස­න්සු­න්තා­වත් රාජ්‍ය බලය කෙසේ හෝ ලබා ගැනී­මට රාජ­ප­ක්ෂ­ව­රුන් අතර පව­තින නොතිත් ආශා­වත් මෛත්‍රී­පාල, රනිල් ආණ්ඩුවේ දේශ­පා­ලන පෞරු­ෂයේ ඌන­තා­වත් ඊට ප්‍රධාන හේතු වේ. යම් සට­ක­පට දේශ­පා­ලන බල­වේ­ග­ය­කට කුම­න්ත්‍ර­ණ­කා­රීව හැසි­රීම සඳහා පව­තින අව­කා­ශය ඕනෑ­ව­ටත් වඩා ධනා­ත්මක ය.

රාජ­පක්ෂ දේශ­පා­ලන බල­වේ­ගය විසින් රාජ්‍යයේ බලය ඇල්ලීම සදහා සූදා­නම් වන්නේ සන්නද්ධ හමු­දාවේ විශ්‍රාම ගිය නිල­ධා­රීන් රැසක් සමඟ ය. ඒ අය අතර යුද සමයේ ඇතිවූ මානව හිමි­කම් කඩ කිරීම් සම්බ­න්ධ­යෙන් ශක්ති­මත් චෝදනා ලැබූ­වන් ද සිටී. ඔවුන්ට අවශ්‍ය වන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ තමන්ට හිත­කර ආණ්ඩු­වක් බල­යට ගෙන එන්නට ය. එසේම ඔවුන්ගේ හිතෛ­ෂීන් තව­මත් රාජ්‍යයේ මර්ම­ස්ථා­න­යන්හි පූර්ණ බලය සහි­තව රාජ­කාරී කර­මින් සිටී. යම් නිශ්චිත මොහො­තක දේශ­පා­ලන හා මිලි­ට­රි­මය ජුන්ටා­වක් නිර්මා­ණය කර ගැනීම ඔවුන්ට ඉතා පහසු ක්‍රියා­වකි. යම් තීර­ණා­ත්මක අව­ස්ථා­වක ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පර­මා­ද­ර්ශ­යට පට­හැ­නිව හා මහ­ජන කැමැ­ත්තට එරෙ­හිව රාජ්‍ය බලය හිමි­විය යුත්තේ කාට­දැයි තීර­ණය කිරීමේ බලය රාජ්‍යයේ යම් යම් බල­වත් නිල­ධා­රීන් සතුව පවතී. ඔවුන්ව දේශ­පා­ලන අධි­කා­රියේ අව­ශ්‍ය­තාව මත කුම­න්ත්‍ර­ණ­කා­රීව හසු­රුවා ගැනීම වැළැ­ක්වීම සඳහා පිය­වර ගත හැක්කේ යහ­පත් දේශ­පා­ලන හා රාජ්‍ය පාලන ක්‍රම­වේ­ද­ය­කට පමණි. එහෙත් අණ්ඩුවේ දේශ­පා­ලන යාන්ත්‍ර­ණ­යම අවුල් ජාලා­වක් බවට පත්ව ඇත. ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා රනිල් වික්‍ර­ම­සිංහ ද සජිත් ප්‍රේම­දාස ද යන්න හැර වෙනත් සිදු­විය හැකි දේශ­පා­ලන කුම­න්ත්‍රණ ගැන ආණ්ඩු­වට වගේ වගක් නැත.

එවැනි භයා­නක වට­පි­ටා­වක සමා­ජයේ ආන­ග­තය ඉදිරි ජනා­ධි­ප­ති­ව­රණ දින හවස හත­රෙන් පසුව රාජ්‍ය බලය ඇල්ලිය හැකි දේශ­පා­ලන හා මිලි­ටරි ජුන්ටා­වක කැමැත්ත මත තිර­ණය වුව­හොත් ඒ සම්බ­න්ධ­යෙන් කතා කර­න්නට කිසි­වෙක් ඉතිරි නොවනු ඇත.

Comments