ක්‍රිකට් ශූරයන් සොයා යාමේ ඔබ්සර්වර් මොබිටෙල් සලකුණ | සිළුමිණ

ක්‍රිකට් ශූරයන් සොයා යාමේ ඔබ්සර්වර් මොබිටෙල් සලකුණ

ලාංකේය ක්‍රීඩා කෙත නිරන්තරයෙන් ම පෝෂණය කරනු ලබන තවාන් බිම, තිඹිරිගෙය පාසලය. ලාංකේය පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රිකට්, මලල ක්‍රීඩා, රග්බි, වොලිබෝල්, දැල්පන්දු සහ පිහිනුම් ක්‍රීඩාවන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. මෙහි ක්‍රීඩා ඉලක්ක කරගත් සම්මාන උලෙළවල් අතර අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය) නැතහොත් පත්තර මහ ගෙදර සංවිධානය කරන ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ඇගැයීමේ සම්මාන උ‍ලෙළට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

වාණිජ පරමාර්ථ මුල්කර ගත් සමාජ ක්‍රියාකාරකම් අතු ඉති සේ දෙලුලා වැඩෙන ලාංකේය භූමිය මත ඔබ්සර්වර් මොබිටෙල් සම්මාන උලෙළ යනු මෙරට අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන් කරලිගත කිරීමේ උදාරතර සද්කාර්යයක් බව නොරහසකි. ලාංකේය ධජය යටතේ අන්තර්ජාතික ටෙස්ට් - එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් ක්ෂේත්‍රයට විශිෂ්ටයන් රැසක් දායාද කළ එකම සම්මාන උලෙළ ලෙසද ඔබ්සර්වර් - මොබිටෙල් ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උලෙළට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. මුල් කාල වකවානුවේ මෙකී සම්මාන උ‍ෙලළේ ජයග්‍රහණයන් කොළඹට කේන්ද්‍රගත වුවද පසුගිය කාල පරිච්ඡේදවල කොළඹ අභිබවා යාම තුළ අර්ධ නාගරික සහ ග්‍රාමීය අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද නව ජවයක් එක් වී තිබේ.

හතළිස් එක් වැනි වරටත් කරළිගත වන මෙකී සම්මාන උ‍ලෙළට ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරුවන්ගේ සංගමය, පාසල් ක්‍රිකට් සංගමය, ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය ද සුපුරුදු පරිදි සිය දායකත්වය එක් කරති.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානීයා ලෙස ඉමහත් කීර්තියක් දිනා ගෙන සිටින රන්ජන් මඩුගල්ලේගෙන් සමාරම්භය සනිටුහන් වූ මෙකී සම්මාන උ‍ෙලළේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටයන් අතර අර්ජුන රණතුංගට මෙන්ම මුත්තයියා මුරලිදරන්ට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මුරලි අන්තර්ජාතික ටෙස්ට් සහ එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභියා වන විට ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන් මුරලිට එරෙහිව ක්‍රියාත්මක කළ පන්දුව දමා ගසනවා යැයි කියූ කුමන්ත්‍රණය ඉදිරියේ නායකයකු ලෙස අර්ජුන රණතුංග දියත් කළ සටන නොවන්නට මුරලි ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයක් නොවන්නට ද තිබුණි. එකී මෙකී බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් අංකුර ලෙස ගොඩ වූ එකම වේදිකාව ලෙස ද මෙය හැඳින්විය හැකිය.

ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උ‍ෙලළේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් ඉතිහාසයේ පළමුවරට දෙවැනි කාණ්ඩයේ පාසල් ක්‍රීඩකයකු වසරේ විශිෂ්ටම පාසල් ක්‍රීඩකයා සම්මානය තිස් නව වැනි සම්මාන උ‍ලෙළේ හිමි කර ගැනීමට සමත් වූයේ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ නිපුන් රන්සිකයි. පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය නිරන්තරයෙන් පෝෂණය කරන පාසල සුපිරිම නොවන බව සනාථ කළේ නිපුන් රන්සිකයි. ඒ 2017 දීය. 1979 පටන් ලාංකේය පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ තුන් ඉරියව් දක්ෂයන්ට හෝ පිතිකරුවන්ට උරුම වූ ඔබ්සර්වර් - මොබිටෙල් විශිෂ්ට ම පාසල් ක්‍රීඩකයා සම්මානය මුරලිගෙන් පසු හිමිකර ගත් පළමු පන්දු යවන්නාද නිපුන් රන්සිකයි.

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව හතරගාතයෙන් ගමන් කරන මොහොතක මෙකී සම්මාන උලෙළ ක්‍රිකට් අංකුරවලට වේදිකාවක් බවට පත්ව තිබේ. මෙකී කරළියට ගොඩවන අංකුර ක්‍රීඩකයන්ට ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උලෙළ සිහිනයක් නොව යථාර්ථයක් වනු නොඅනුමානය.

 

Comments