රට­වල් 40ක බෝරා­වරුන් ලංකා­වට ඇවිත් කියන කතාව | සිළුමිණ

රට­වල් 40ක බෝරා­වරුන් ලංකා­වට ඇවිත් කියන කතාව

 

කොළඹ බම්බ­ල­පි­ටිය දුම්රිය ස්ථානය ඉදි­රි­පිට මාර්ගය දෙපස වෙනදා මෙන් නොව සම්පූ­ර්ණ­යෙන් ම වෙනස් වී ගොස් ඇත.නොයෙක් අව­ශ්‍යතා සඳහා ඒ මේ අත දිව යන නගර වැසි­යන් ද දැක ගැනී­මට නැත. එහෙත් රට­වල් හත­ළි­හ­කට අයත් ජාතීන් මුළු ශරී­ර­යම ආව­ර­ණය වන පරිදි ඇඳු­ම්ව­ලින් සැරසී එකි­නෙකා පසු­පස ගමන් කරන අයුරු දැක ගත හැකිය. බ්‍රහ­ස්ප­තින්දා (5) උදෑ­සන 10.00 වන විටත් දස දහස් ගණ­නින් වූ මෙම සුවි­ශේෂ පුද්ග­ල­යන් පිරිස ආධ්‍යා­ත්මික සුව­යක් ‍වෙනුවෙන් මෙහි එක්රොක් වී ඇති බව එහි ගිය අපට අනා­ව­ර­ණය විය.

 

ලෝකය පුරා විසිරී සිටින ලක්ෂ 15කට ආසන්න ‘බෝරා’ ජාති­ක­යන් තම ආග­මික ගෝලීය සම්මේ­ල­නය වෙනු­වෙන් මෙලෙස එක්රොක්ව සිටි­නවා.

විසි­ද­හ­ස­කට අධික මේ පිරිස පාල­නය කිරීම සඳහා ‘බෝරා’ ජාතී­න්ගෙන් සැදු­ම්ලත් ආර­ක්ෂක නිල­ධා­රින් පිරි­සක් කොළ පැහැති කබා­යෙන් සැරසී ඒ මේ අත දුව­මින් සමු­ළුව පැවැ­ත්වෙන ස්ථාන කරා ගෙන යනු දැක ගත හැකිය.

ශ්‍රී ලංකා පොලි­සිය මෙන්ම ත්‍රිවිධ හමුදා ඇඳු­මෙන් සැර­සුණු නිල­ධා­රින්, සෙසු නිල­යන් විශාල පිරි­සක් මේ සඳහා එක්ව ශ්‍රී ලංකා­වට පැමිණ සිටින මේ පිරි­සට උප­රිම ආර­ක්ෂාව සැල­සී­මට පිය­වර ගෙන තිබේ.

බම්බ­ල­පි­ටිය දුම්රිය ස්ථානයේ ඉදි­රි­පිට පිහිටා ඇති මාර්ගය දෙපස කිලෝ­මී­ටර් දෙකට ආසන්න ප්‍රමා­ණ­යක හමුදා රථ වාහන මෙන් ම හදිසි අව­ස්ථා­වල ක්‍රියා­ත්මක වන රථ වාහන ඒකක රඳවා තිබෙනු දැක ගත හැකිය. මේ ප්‍රදේ­ශය හරහා ගමන් කරන සියලු සිවිල් වැසියෝ දැඩි සෝදි­සි­ය­කට ලක්කෙ­රෙති.

ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ බම්බ­ල­පි­ටිය සිට කොල්ලු­පි­ටිය දක්වා වූ ප්‍රදේ­ශයේ මුහුදු මාර්ග­යට සම්බන්ධ වන අතුරු මාර්ග සියල්ල මේ සමු­ළුවේ ආර­ක්ෂක ක්‍රියා­දා­ම­යන්ට යොදා ගෙන තිබෙන අතර ඒ මාර්ග හරහා පැමි­ණෙන බෝරා­වරු දැඩි සෝදි­සි­ය­කට ලක් කරනු ලබති.

බෝරා­ව­රුන්ගේ ප්‍රධාන පල්ලිය පිහිටා ඇත්තේ බම්බ­ල­පි­ටිය දුම්රිය ස්ථානය ඉදි­රි­පිට විශාල ගොඩ­නැ­ඟි­ල්ල­කය. මේ ගොඩ­නැ­ඟිල්ල බෝරා­ව­රු­න්ගෙන් පිරී­ගො­සිනි. ඒ අවට ගොඩ­නැ­ඟිලි මෙන්ම තාව­කා­ලි­කව ඉදි­කර ඇති දේශන ශාලා­ව­ලද අතුරු සිදුරු නැතිව බෝරා­ව­රුන් සිය ආග­මික කට­යු­තු­වල නිර­තව සිටිති.

එලෙස ඉදි කළ තාව­කා­ලික දේශන ශාලා ගණන විස්ස­කට වැඩි බව බෝරා ආග­මික ප්‍රධා­නි­යෙක් අප සමඟ පැව­සීය.

ඉකුත් (2) වැනිදා ආරම්භ වූ බෝරා ගෝලීය සම්මේ­ල­නය ලබන 12 වැනි­දා­යින් අව­සන් වීමට නිය­මි­තය.

බෝරා­ව­රුන්ගේ ජීව­මාන ආග­මික නාය­කයා ලෙස සැල­කෙන සෙයි­ය­ද්නා­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙය පැවැත්වේ. ඔහු 53වන නාය­කයා වන මුෆා­ද්දල් සෙයි­ෆු­ද්දීන් නම් වේ. ඉන්දීය ජාති­ක­යකු වන එතුමෝ මෙයට සහ­භාගි වීමට අ‍ගෝස්තු මස 28 වැනිදා ශ්‍රී ලංකා­වට සැපත් වූහ.

මීට පෙර රට­වල් හතක මෙබඳු බෝරා සමුළු පවත්වා තිබේ. ඉකුත් වසරේ මෙය පවත්වා ඇත්තේ ඇමෙ­රිකා එක්සත් ජන­ප­ද­යේ­දීය. වස­රක් පාසා පැවැ­ත්වෙන මේ සමු­ළුව සිය රටට ගෙන්වා ගැනී­මට රට­වල් පන­හ­කට වැඩි සංඛ්‍යා­වක සාමා­ජි­ක­යින් දැඩි උත්ස­හ­යක් ගන්නා බව බෝරා ආග­මික නාය­ක­යෙකු අප සමඟ පැව­සීය.

දැනට ශ්‍රී ලංකාවේ බෝරා ජාතික පවුල් හාර­සී­ය­කට ආසන්න පිරි­සක් සිටින අතර, ඒ පවු­ල්වල සාමා­ජි­ක­යින් සංඛ්‍යාව දෙද­හ­ස­කට ආසන්න බව කියවේ. ඔවු­න්ගෙන් බහු­ත­ර­යක් වෙළෙඳ ව්‍යාපා­රි­ක­යින් ලෙස කට­යුතු කරති.

බෝරා­ව­රුන් මීට පෙරද ශ්‍රී ලංකාවේ සමු­ළු­වක් පවත්වා තිබේ. ඒ මෙරට යුද්ධ­යක්ද පැවැති අව­ස්ථා­වේදී වීම විශේ­ෂ­ත්ව­යකි. සමු­ළු­වට එක්ව සිටින රට­වල් හත­ළිහ අතර එංග­ල­න්තය, ඇමෙ­රි­කාව, කැන­ඩාව, නව­සී­ල­න්තය, ස්විට්ස­ර්ල­න්තය ඇතුළු ලෝකයේ ප්‍රධාන රට­වල් රැස­කින්ම බෝරා ජාති­ක­යන් සහ­භාගි වී සිටී­මද විශේ­ෂ­ත්ව­යකි.

මේ සඳහා එක්ව සිටින රට­වල් කිහි­ප­යක පුද්ග­ල­යින් ඔවුන් ශ්‍රී ලංකා­වට පැමිණි දින ගණන තුළ ලබා ගත් අත්දැ­කීම් සහ බෝරා සමු­ළුව පිළි­බඳ අද­හස් පළ කළේ මෙසේය.

 

ඉන්දීය ජාතික ශබීර්:

“මේ සමු­ළුව ගිය වසරේ පැවැ­ත්වුණේ ඇම­රි­කා‍ෙව්. මෙත­නින් බොහෝ පිරි­සක් සිටි­නවා එයට සහ­භාගි වූ අය.

අප මෙවර සමු­ළුව නම් කර තිබෙන්නේ ‘We belive in Sri Lanka’ යන තේමාව යටතේ.

ශ්‍රී ලංකාවේ සිටින බෝරා ජාති­ක­යන් දිගින් දිගට ම අපගේ ප්‍රධාන ආග­මික නාය­ක­යි­න්ගෙන් ඉල්ලා තිබෙ­නවා බෝරා සමු­ළුව මෙවර ශ්‍රී ලංකාවේ පව­ත්වන ලෙස. ඒ අනුව මෙවර බෝරා සමු­ළුව ශ්‍රී ලංකාවේ පව­ත්වන්නේ. ශ්‍රී ලංකා­වට ඉකුත් මාස­වල කර­ද­ර­කාරී තත්ත්ව­යක් ඇති වුණා. ජන­තාව අප­හ­සු­තා­වට පත් වුණා. රටේ ආර්ථි­කය කඩා­ගෙන වැටුණා. අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකාව යළි තිබූ තත්ත්ව­යට පත්වී ඊටත් වඩා යහ­පත් වන ලෙසයි.

බොහෝ රට­වල වැරදි මත ප්‍රචා­රය වෙමින් තිබෙ­නවා. ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව නැහැ කියලා. ඒක සම්පූර්ණ බොරු­වක්. ශ්‍රී ලංකාව තුළ හොඳම ආර­ක්ෂාව තිබෙ­නවා. මෙරට ආර­ක්ෂක අංශ අපට ඒ සඳහා ලොකු සහ­යෝ­ග­යක් දක්ව­නවා. අපගේ සමු­ළුව ඉතා සාර්ථ­කව පව­ත්වන්නේ ඒ නිසයි.”

 

කුවේට් ජාතික මුතා­සන්:

“ලංකා­වට අප මේ තරම් බැ‍ඳෙයි කියලා සිතුවේ නැහැ. මේ රට හරිම සුන්දර රටක්. ලෝකය පුරා මේ රට ගැන පැති­රෙන්නේ බොරු චෝදනා. ඒ චෝදනා අප තරයේ ප්‍රති­ක්ෂේප කර­නවා. ලංකාවේ ආර­ක්ෂාව නැහැ කියලා කියන්නේ බොරු­වක්. ශ්‍රී ලංකාව ආර­ක්ෂිත රටක් කියලා මා නොබි­යව ප්‍රකාශ කර­නවා.

අපගේ ආග­මික සමු­ළුව ආරම්භ කරලා දවස් ගණ­නා­වක් වෙනවා. අප කිසිඳු ගැට­ලු­ව­කින් තොරව එය පව­ත්වා­ගෙන යනවා. ජන­තා­වට ආද­රය කරන්නේ කෙසේද ජන­තා­වත් සමඟ එකට වැඩ කට­යුතු කරන්නේ කෙසේද කියන එක ශ්‍රී ලංකා­වට පැමි­ණෙන ඕනෑම අයෙ­කුට ඉගෙන ගන්න පුළු­වන් කියන එක මගේ මත­යයි.

බෝරා­ව­රුන් නිර­න්ත­ර­යෙන් ම අන් අයට මෛත්‍රි කර­නවා, උදව් කර­නවා. අපට සතු­ටින් ඉන්න හැකි­යාව ලැබෙන්නේ අප අස­ල්වැ­සියා ද සතුටු වන විටයි කියලා මට හිතෙන්නේ.

බෝරා­ව­රුන් ලෝකය පුරා විශාල පිරි­සක් නැහැ. එහෙත් බෝරා­ව­රුන් එකි­නෙ­කාට ගෞරව කර­නවා. අප වසර දහසකට වැඩි කාල­යක ඉති­හා­ස­යක් ඇති ආග­මික කණ්ඩා­ය­මක්.”

 

ඊජිප්තු ජාතික රිචාද්:

“අපි ලෝකය වටා අපගේ සාම පණි­වි­ඩය ගෙන යමින්, ජන­තා­වගේ දියු­ණුව වෙනු­වෙන් කළ හැකි සැම දෙයක් ම සිදු කරන පිරි­සක්.

මනු­ෂ්‍ය­ත්වය තුළ අප වැඩි­පුර සිදු කළ යුත්තේ ආධ්‍යා­ත්මික සංව­ර්ධ­න­යයි. මුළු ලෝකයේ ම මාන­වයා යහ­ම­ඟට යනු ඇතැයි අපට සිතිය හැකියි.

අප මේ සමු­ළු­වට සහ­භාගි වී ඉතා සතු­ටින් අපගේ කට­යුතු සිදු කර­නවා. මේ තරම් අචාරශිලී පිරි­සක් මා මීට කලින් ලෝකයේ කිසිඳු රටක දැක නෑ. ලංකාවේ අනෙ­කුත් ප්‍රදේ­ශ­ව­ලට නග­ර­ව­ලට යන්න අපට නොහැකි වුණා. ඒත් කොළඹ නග­රයේ ස්ථාන කිහි­ප­ය­කම සංචා­රය කළා. එහිදී හමුවූ පිරිස් අප සමඟ ඉතා සුහ­දව කතා­බහ කළා. අපගේ ආග­මික සමු­ළුව අව­සන් වූ විගස ලංකාවේ අනෙ­කුත් නගර දැක බලා ගැනී­මට බලා­පො­රොත්තු වෙනවා.”

 

ඉන්දීය ජාතික මුර්තාජ්:

“මම මේ සමු­ළුවේ ආර­ක්ෂක නිල­ධා­රි­යෙකු ලෙස සේවය කර­නවා. මගේ සේවය මා ස්වේච්ඡා­වෙන් ලබා දෙන්නේ. විශේ­ෂ­යෙන් ම මගේ පවුලේ සාම‍ා­ජි­ක­යින් මේ සමු­ළු­වට සහ­භාගි වීමට පැමි­ණියේ ඒ සඳ­හා­මයි.

ආග­මික කට­යු­තු­වල නිරත වනවා සේම අප‍ මේ සමු­ළුව මඟින් එකි­නෙකා හඳුනා ගන්නවා.

සමු­ළු­වට සහ­භාගි වී සිටින පිරිස විසි­ද­හ­ස­කට අධි­කයි. මේ සියලු දෙනා බම්බ­ල­පි­ටිය ආස­න්නයේ මෙන් ම කොළ­ඹින් පිට නගර වලත් නවා­තැන් ගෙන සිටි­නවා. සංචා­රක හෝටල්, නිකේ­තන මෙන් ම පෞද්ග­ලික නිවාස කුලි­යට ගෙන නැවතී සිටි­නවා. මීට අම­ත­රව ශ්‍රී ලංකාවේ සිටින අපගේ බෝරා සාමා­ජි­ක­යින් ඔවුන්ගේ නිවාස වෙළෙ­ඳ­සැල් ඇතුළු තවත් ගොඩ­නැ­ගිලි රැසක්ම අපට නවා­තැන් සඳහා ලබාදී තිබෙ­නවා.”

 

පාකි­ස්තානු ජාතික ඉෂා­දර්:

“ශ්‍රී ලංකාව ත්‍රස්ත­වා­දය ක්‍රියා­ත්මක වූ රටක්. ඒත් අද ඒ තත්ත්වය නැහැ. දැනට මාස කිහි­ප­ය­කට කලින් එවැනි සිදු­වී­මක් වුණා. දැන් ඒක අව­සන් වෙලා. ශ්‍රී ලංකාව කියන්නේ ‍ඕනෑම අයෙ­කුට පැමි­ණිය හැකි රටක්.

මෙහි පැමිණි ඕනෑම අයෙකු ලංකා­ව­ටත ආද­රය කර­නවා කියන එක මගේ අද­හ­සයි.

‘බෝරා’ කියන්නේ මුස්ලිම් ජාති­යම තමයි. එහෙත් අප ආග­මික වශ­යෙන් වෙනත් මාව­තක යන පිරි­සක්. අපි නබි­තු­මාගේ අනු­ගා­මි­ක­යන් තමයි. කිසිඳු අන්ත­වා­දි­ත්ව­යක් නැති මුළු ලෝක­යම එකම පිරි­සක් හැටි­යට දකින්න කැමැති පිරි­සක්.”

 

ලෙබ­නන් ජාතික කාන්තා­වක් වන බදුර්:

“අපිට කිසිඳු ගැට­ලු­ව­කින් තොරව ආගම ඇද­හී­මට අපගේ නාය­ක­තු­මන් අව­ස්ථාව ලබාදී තිබෙ­නවා. විශේ­ෂ­යෙන් ම සාමාන්‍ය මුස්ලිම් පවු­ල්වල ක්‍රියා­ත්මක ක්‍රම­යට වඩා වෙනස් විදි­ය­ක­ටයි අපට මේ අව­ස්ථාව ලබාදී තිබෙන්නේ. ‘බෝරා’ ආග­මි­ක­යකු වීම පිළි­බ­ඳව මට ලොකු සතු­ටක් තිබෙ­නවා. විශේ­ෂ­යෙන් ම පිරි­මි­යාට මෙන් ම කාන්තා­වට ද එම අයි­තීන් ලැබීම සමා­නා­ත්ම­තා­වය පිළි­බ­ඳව හොඳ නිද­සු­නක්.

කාන්තා­ව­කට නිද­හසේ ආගම ඇද­හී­මට ලැබීම මා සිතන්නේ මා ලද භාග්‍ය­යක් ලෙසයි.”

 

අරාබි කාන්තා­වක් වන රසීයා:

“අප මේ ආග­මික සමු­ළුව මඟින් බලා­පො­රොත්තු වන්නේ ශ්‍රී ලංකා­වට යහ­ප­තක් වේවා යැයි කියායි. එසේම මෙහිදී ලෝක­යට හොඳ පණි­වි­ඩ­යක් දීම­ටත් අපට හැකි වෙනවා. මෙහි පැමිණි රට­වල් හත­ළි­හ­කට වැඩි ප්‍රමා­ණ­යක බෝරා සාමා­ජි­ක­යින් තම රටට මේ පණි­වි­ඩය ගෙන යාවි.

මම මගේ ස්වාමි­යාත්, දිය­ණි­යන් සමඟ පැමි­ණියේ ශ්‍රී ලංකාව තුළ අපට ගැට­ලු­වක් නොවනු ඇතැයි සිත­මින්. මගේ ප්‍රාර්ථ­නා­වට අනුව එය එසේ­මයි. ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව ඉතා­මත් හොඳ මට්ට­මක තිබෙ­නවා. වි‍ෙශ්ෂ­යෙන් අපට ආර­ක්ෂාව ලබා දෙන එම පිරි­සට අප තුති පුද­ක­ර­නවා. ඔවුන් නොසි­ටින්න අපට මෙම සමු­ළුව පව­ත්වා­ගෙන යාමට නොහැ­කියි.‍

ශ්‍රී ලාංකික ආබට්:

මම ලංකා­වෙන් එංග­ල­න්ත­යට ගිහිල්ලා දැනට වසර විස්ස­කට වැඩියි. ලංකාවේ පදිංචි කාලේ අපි සිටියේ ගල්කිස්ස ප්‍රදේ­ශයේ.

මම බෝරා ආග­මි­ක­යෙක්. මගේ පවුලේ සාමා­ජි­ක­යින්, ඥාතීන් බහු­ත­ර­යක් පදිං­චි­වෙලා සිටින්නේ එංග­ල­න්තයේ. එහෙත් මගේ පවුලේ අය මේ සමු­ළු­වට ලංකා­වට ආවා. බෝරා මුස්ලි­ම්ව­රුන් ශ්‍රී ලංකාව පුරා විශාල ප්‍රමා­ණ­යක් නැහැ.

මම මේ සමු­ළු­වට සම්බන්ධ වෙලා ආග­මික කට­යු­තු­වල නිරත වෙනවා වගේම ස්වේච්ඡා­වෙන් ආර­ක්ෂක කට­යු­තු­ව­ල­ටත් සම්බන්ධ වෙලා සිටි­නවා.

මෙහි පැමිණ ආහා­ර­පාන සකස් කරන එලෙ­සම විසි­ද­හ­ස­කට අධික පිරි­ස­කට නොයෙක් පහ­සු­කම් ලබා දෙන සියලු දෙනා මේ සියල්ල තමන්ගේ කැමැ­ත්තෙන් කිසිඳු මුද­ලක් අය නොකර තමයි සිදු කරන්නේ. ආග­මික සමු­ළු­වට සම්බ­න්ධව සිටින, පැමි­ණිලා සිටින සියලු දෙනාම එක හා සමා­නයි. අපි අතර උස්ප­හත් භේද නැහැ.

බෝරා ජාති­කයෝ හින්දි, අරාබි සහ තවත් භාෂා කිහි­ප­ය­කම සංයෝ­ජ­න­යක් වූ ඔවුන්ට ආවේ­ණික භාෂා­ව­කින් කතා­බහ කිරී­මට පුරු­දුව සිටිති.

විශේ­ෂ­යෙන් ම ඔවුහු ඉතා අඩු වචන සංඛ්‍යා­ව­කින් යුත් නමක් භාවිතා කරති. තමන්ව හඳුන්වා දීම සඳහා බෝරා ජාතික කාන්තා­වන් මෙන් ම පිරිමි පුද්ග­ල­යන් ඉතා සර­ලව එම නම යොදා ගනිති.

බෝරා­ව­රුන් මෙවර ආග­මික සමු­ළුව සමඟ ශ්‍රී ලංකාව පුරා කතා­බහ කිරී­මට ලක් වුවත් ඔවුන්ට මෙරට තුළ ඉති­හා­ස­යක් තිබේ.

1830 දී පමණ ප්‍රථම බෝරා වෙළෙ­න්දකු ශ්‍රී ලංකා­වට පැමිණ ඇති බව සඳ­හන් වේ. ඔහු ප්‍රථ­ම­යෙන් ගාලු වරා­යට පැමිණි බව කියයි. පසුව වෙළෙ­ඳා­මත් සමඟ බෝරා­ව­රුන් ශ්‍රී ලංකා­වට විටින් විට පැමිණ පදිං­චිව ඇත.

ශ්‍රී ලංකා­වට පැමිණි ප්‍රථම බෝරා ජාති­කයා “ජැෆර්ජි ඊසාජී” නැමැති පුද්ග­ලයා බවට සැල­කෙයි. ඉන්ප­සුව 1850 වසර වන විට කොළඹ නග­ර­යට මොවුන් කෙමෙන් සංක්‍ර­ම­ණය වී සිය වෙළෙඳ ප්‍රජාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරී­මට කට­යුතු කර තිබේ.

මේ ආකා­ර­යට වර්ධ­නය වූ ඔවුන් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපා­ර­යන් ගණ­නා­ව­කට හිමි­කම් කියති.

ඡායා­රූප - සරත් පීරිස්

Comments