පැට­වුන්ට ජීවිතේ කියා දෙන කැලෑ ඉස්කෝලේ වලස් අම්මා | Page 3 | සිළුමිණ

පැට­වුන්ට ජීවිතේ කියා දෙන කැලෑ ඉස්කෝලේ වලස් අම්මා

 

වට රජ­යන රැහැයි නාදය පෙරටු කර­ගත් නිශා­චර වන සතුන්ගේ හඬ සිතේ යම් අවි­නි­ශ්චිත බියක් ජනිත කළත්, එකී හැඟුම පරයා ඉස්මතු වන්නේ දඩ­බ්බර සිතු­වි­ලිය.

රාත්‍රියේ අවට රජ කළ බකුසු හුම් හඬ, රැහැයි රූං හඬ, ගෙඹි - මැඩි කයි­තා­ලන් හඬ, අලි - ඇත් කුංචනාද හඬ, ගෝණ ටං හඬ, මුව කෝව් හඬ අත­රට එක් වරම වලස් හූ හඬක් එකතු වුයේ අප කණ්ඩා­යම තුළ විම­ති­යක් ජනිත කර­මිනි. අප රැඳී සිටින්නේ දිය කෙමක් අස­ලය. ඒ අපේ දිය පහ­සුව සඳ­හාය. අප රැගෙන ආවේ පානීය ජලය පමණි. සෙසු අව­ශ්‍යතා වෙනු­වෙන් වනයේ ඇති එවැනි කුඩා ගල් කෙම් ආශ්‍රි­තව රැඳී ඇති දිය මහත් වු ආශි­ර්වා­ද­යකි.

දින තුනක් පුරාව අප රැඳී සිටිය යුතුව ඇත්තේ වියළි කලා­පීය වන­පෙ­තක් තුළය. රැගෙන ආ සීමිත ජලය අර පිරි­මැ­ස්මෙන් භාවි­ත­යේදී එවැනි දිය­කෙම් ආශ්‍රිත ජලය නිසි සෞඛ්‍යා­ර­ක්ෂිත ක්‍රම­වේද අනු­ග­ම­නය කර­මින් භාවි­ත­යට ගැනීම වැද­ගත්ය. රැගෙන ආ පිරි­සුදු පානිය ජලය ඉතිරි වෙන ප්‍රමා­ණය මත අපේ ගමන් කාලය තීර­ණය වේ.

යළිත් මුලින් ඇසුණු වලස් හඬ තීව්‍ර ලෙස ඇහෙන්න වුණේ පෙර සඳ­හන් කරපු දිය­කෙම සමී­ප­යෙනි. අප රාත්‍රිය ගත කරන ස්ථානයේ සිට බලන විට මේ කියන ගල්කෙම පිහිටා ඇත්තේ හුදෙ­කලා මඳක් උසැති ගලක් මතය. රාත්‍රි දසුන් නිරී­ක්ෂිත දෙනෙ­ති­යක් ආධා­ර­යෙන් දිය­කෙම අවට නිරී­ක්ෂ­ණය කරද්දි දැක ගන්න ලැබුණේ වැල­හි­න්නක දිය බීමට පැමිණ ඇති බවකි. ඒ පැමි­ණියේ වැල­හි­න්න­කැයි කිය­න්නට හේතු වුයේ ඇගේ පිටේ කුඩා වලස් පැටව් දෙන්නෙකු එල්ලි සිටි නිසාය. උන් සිටින අස­ලක අප රැඳී සිටීම ගැන වලස් අම්මාට හෝ වලස් දරු­වන්ට වගක් නැති හැඩය. උන් උන්ගේ පාඩුවේ වතුර බොන්නට වූහ. මඳ වේලා­ව­කින් පැටවු දෙන්නා වැල­හි­න්නගේ පිටෙන් බැස ගල් තල්ල මත්තේ දුව පැන නටන්න වූහ. එය හරි­යට මිනිස් මවක හා ආද­රෙන් කෙළි සෙල්ලම් කරන කුඩා දරු­වන් දෙදෙ­නෙ­කුගේ දසු­නක් සිහි ගන්ව­න්නට විය.

“මං හිතන්නේ අයි­යයි, නංගියි. මොකද ඒ පැට­වුන් වයස් පර­ත­ර­යෙන් සම නිවුන්නු වුණත් එක් පැටි­යෙක් පසු වුණේ කෝල ගති පැව­තුම් සහි­ත­වය. ඒ කියන්නේ ජාන­මය වශ­යෙන් ගැහැනු පාර්ශ්ව­යට හිමි ගති ලක්ෂණ තමයි පැටවා කාලේ සිටම මේ අය­ගෙන් වර්ධ­නය වන්නේ සහ දැක­ගත හැකි වන්නේ. අයියා නම් වනයේ ඇති රළු පරලු බවට දැන් තියාම හුරු පුරුදු වෙන්න වගේ­මයි දාංගලේ.” වලස් මව හා පැට­වුන් දෙස බලා සිටි අපේ කණ්ඩා­යමේ සග­යෙක් පව­ස­න්නට විය.

වලස් රැඟු­මන් නිද­හසේ බලා­ගන්න හැකි වුණේ රාත්‍රිය ගත කර­න්නට තෝරා­ගත් ස්ථානය හේතු­වෙනි.

අප සිටිනා ගල පාමු­ලින් දිව යන වැල­හින්න පැමිණි සත්ව මං නිලය මඟ හරි­මින් අප රැදී සීටී­මත්, මේ වෙලාවේ අප රැදි සිටින්නේ සුළං මුවාවේ බැවි­නුත්, වැල­හින්න ඉන්නේ සුළං මුහු­ණතේ බැවි­නුත් අපේ මිනිස් ගඳ සතා වෙත ළඟා වුයේ නැත. නමුදු උන්ගේ සත්ව ගඳ අපට දැනෙ­න්නට විය. අපේ මිනිස් ගඳ වැල­හි­න්නට නොදැ­නීම නිසා උන්ගේ නිද­හස් හැසි­රීම් රටා­වන් හිතේ හැටි­යට දැක­ගැ­නිමේ අව­ස්ථාව ලැබිණි. ‍ගල් පව්වක පිහිටි දිය­කෙ­ම­කට පැමිණි වලස් මවත්, ඇගේ දරු­ව­නුත් හැසි­රෙන අපූ­රුව දකි­මින් පසු වීම නිසා අප පැමිණි කාර­ණ­යද ඒ වන විට අම­තක වෙමින් තිබිණ. කොහොම වුණත් රාත්‍රී දසුන් නැර­ඹිය හැකි දුර­ද­ක්නය අති­නත යව­මින් අපි හැමෝම වලස් හුර­තල් බල­න්නට වීමු. පැට­වුන් වැඩි­පු­රම ඉන්න කැමැති අම්මාගේ පිට මතය. ඒ නිසා මේ තුන් දෙනාම දිස් වෙන්නේ කළු පාට පදුරු ගොමු­වක් ලෙසය. දුර­ද­ක්නය නොති­බුණේ නම් අපට වල­සුන් දිස් වන්නේ කළු ගුලි­යක් ලෙසිනි.

කෙසේ වෙතත් මේ නම් ලැබී ඇත්තේ දුර්ලභ වු අනගි අව­ස්ථා­වක්. වනා­න්තර ඇසුරේ දිවි ගෙවන වල­සුන්ගේ නිද­හස් හැසි­රිම් රටාව ඔවුන් ගැව­සෙන නිද­හස් පරි­ස­රය තුළ­දීම අධ්‍ය­ය­නය කිරීම සදහා අව­කාශ ලැබීම යනු දුර්ලභ වු අව­ස්ථා­වකි. කැලේ ජිවත් වන සතුන්ගේ විශේ­ෂ­යෙන්ම කිරි බී වැඩෙ­න්නන්ගේ පළමු ගුරු වෙන්නේ තමන්ගේ මවය. කුඩා වියේ පටන් මවත් සම­ඟම වනයේ හක්ක­ලං­ක­රද්දි ඇය විසින් තම පර­ම්ප­රා­වට අයිති ඇවැ­තුම් පැවැ­තුම්, ජිව­නෝපා ක්‍රම විධි ගැන පුංචි වුන්ට කියා දෙන්නේ ප්‍රයෝ­ගික වු අත්දැ­කීම් සම­ඟය.

වනය නමැති පාසලේ ගුරු­ව­රි­යක වී වලස් අම්මාත් තමන්ගේ පුංචි උන් දෙන්නා කර­පි­න්න­ගෙන ඇවිත් කියා දෙන්නේ කැලේ ජීවත් වෙන හැටිය. වලස් අම්මා වතුර බොන තුරු දිය­කෙමේ ඉවුරේ කෙළි සෙල්ල­මින් පසු වු වලස් පැටවු මවගේ විධා­න­යෙන් යළිත් ඇයගේ පිට මතට ගොඩ වුහ. ගොඩ වු සැණින් තමන්ගේ යකඩ කොකු හා සම වු දිගු නිය පොතු­ව­ලින් වැල­හි­න්නගේ දිගු ලෝම කැටි­යක් අල්ලා­ගත්තේ, ඇය ඇවිද යද්දි පිට මතින් නොවැ­ටෙන ලෙස­ටය. අයියා එක් පසෙ­කත්, නංගී අනෙක් පසි­නුත් තරයේ අල්ලා ගනිත්ම වලස් අම්මා ගල් කෙම පිහිටි ගල මත සිට අප සිටි දිශා­වට පල්ලම් බැස්සා. ඇය පල්ලම් බසින අතරේ තමන්ගේ දිගු හොම්බෙන් අවට ඉව අල්ල­න්නට වුවාය. කුමක් හෝ අමු­ත්තක් ඒ අධි සංවේදී නාස් පුඬු­ව­ලට ඉව වැටී ඇතැයි ඇගේ හැසි­රී­මෙන් දැනෙ­න්නට විය. හොම්බ සැකසි ඇති සම් ආව­ර­ණ­යන් සොල­ව­මින් සිදු කරන ඉව ඇල්ලි­මට අපේ මිනිස් ගඳ දැනු­ණා­වත් දැයි සිතිණි.

අප සිත මතු වුයේ සැක­යකි, බියකි. පල්ල­මට පැමිණි වැල­හින්න ගල් තැල්ල පාමු­ලට වෙන්න තිබුණු භූමි­යෙන් එන පුස්බක් ගැන ඉව කරන්නේ යැයි මොහො­ත­කින් අපට වැට­හිණි. භූමියේ සතර කොනම ඉව කළ ඇය ඉන් පසු­බිම හාරන්න පටන් ගත්තේ පිස්සු­වෙන් මෙනි. ඒ ඇසිල්ලේ වලස් පැටවු දෙන්නා ද සිය මවගේ පිටෙන් බිමට පැන්නේ ඇයට සහාය වන්නට මෙනි. උදේ සිට සවස් වන තුරු වැටෙන අව් කූට­ක­යෙන් පසෙහි රැඳුණු අව­සන් දිය බිඳු­වත් උරා ගෙන තිබු පස තද වුවත්, සොබා­ද­හම විසින් වල­සුන්ට ලබා දී ඇති යකඩ කොකු හා සමාන දිගු නිය ආධා­ර­යෙන් වැල­හින්න පහ­සු­වෙන් පස් හාර­න්නට වූවාය.

ඇය මේ කුමක් කර­න්නේද? අප බලා සිටියේ නොඉ­ව­සි­ල්ලෙනි.

නිය ආධා­ර­යෙන් හෑරු වළ දෙස ටික වේලා­වක් බලා සිටි ඇය එක්ව­රම තමන්ගේ දිගු හොම්බ තබා සූස් .... සූස් .... හඬින් සිදු කළ ඇදි­ල්ලට අනුව නම් ඒකා­න්ත­යෙන්ම ඒ නම් වේයන් බීමක් බව මට අපට හැඟණි. දෙතුන් වරක් වේයන් උරා බිව් ඇය අන­තු­රුව නොඉ­ව­සිල්ලේ පසු වන පැටව් දෙන්නා­ටත් ඒ සඳහා අව­ස්ථාව ලබා දුන්නාය. ඒ වන විට වේයන් බීමට පැට­වුන්ට එත­රම් හුරු කමක් නොවිණි. උන් ඊට ආග­න්තු­කය. උන්ගේ රටා­වක් නැති සූස් හඬින්ම එය අව­බෝධ කර­ගත හැකිය.

අයි­යාත්, නංගීත් අතර ඒ සඳහා ඇත්තේ තර­ග­යකි. වැඩි වාසිය වලස් අයි­යා­ටය. ඒ බව වට­හා­ගත් වලස් මව තමන් හෑරු ගුල සමී­ප­යෙන් තවත් වළක් හෑරු­වාය. බලා­සි­ටියා. තමන් හෑරු ගුලින් වේයන්ට උඩට එන්න අව­ස්ථාව සලසා දුන්නාය.

ප්‍රමා­ණා­ත්මක සංඛ්‍යා­වක් වේයන් උඩට ආ විට ඇය පැට­වුන්ට උන් උරා බොන්නට ඉඩ දුන්නාය. ඒ අතරේ වලස් මව ඒ ආස­න්න­යේම තවත් ස්ථාන කිහි­ප­ය­කින්ම පොළොව කණි­න්න­ටත්, ගුල් හද­න්න­ටත් වැල­හින්න පෙළ­ඹු­ණාය. ඒ මුල් ගුල්ව­ලින් වේයන් උරා බොන අතරේ ඒ ගුල්වල වේයන් අඩු වත්ම අනෙක් ගුල්ව­ලින් එළි­යට එන වේයන් ගොදුරු කර­ගැ­නී­ම­ටය. මවගේ ක්‍රියාව දෙස බල­මින් පැටව්ද ද තමන්ගේ නිය ආධා­ර­යෙන් ගුල් හාරන්න උත්සාහ ගත්හ.

වේයන් යනු වල­සුන්ගේ ප්‍රිය­තම ආහා­ර­යකි. යම් කිරි රසක් වේයන් උරා බීමෙන්න් වල­සුන් භුක්ති විඳි­නවා වෙන්න ඇත. වල­සුන් විත­රක් නෙමේ ලේන්නු ද කිරි වේයන් ආහා­ර­යට ගැනීම සුල­භව කරති. ඒ රසට වල­සුන් කෙත­රම් ලොල්ද කිය­නවා නම් වේ තුඹ­සක ඉවක් දැනුණු විට වේ ජන­ප­ද­යම කෙසේ හෝ උරා බී ඉවර කිරී­මට වල­සුන් දක්ෂය. අද මැදි­යම් රැය පහු වෙන තුරු මේ වලස් රැඟුම් බලන්න අපට හැකි වනු ඇත.

වේයන් උරා බොමින් සහ ඒ ගැන තමන්ගේ පුංචි පැට­වුන්ට උග­න්ව­මින් සිටින අත­රේදී අන­තු­රක් ළඟම බවට සංඥා කර­මින් මුවෙ­කුගේ කෝව් ගෑමක් එක­ව­රම වන­පෙ­තින් ඇහෙන්න විය. ඒ හඬ ඇසූ සැණින් වැල­හින්න කෙටි බිරුම් හඬක් නඟ­මින් පැට­වුන් දෙන්නා තමන් ළගට කැදවා ගත්තාය. අන­තු­රුව තමන් සිටින නිරා­ව­ර­ණය වුණු භූමිය ආරක්ෂා රහිත බව වටහා ගත් ඇය ඒ ආස­න්නයේ වන වදුළු අත­රට වැදුණේ පැට­වුන් දෙන්නත් කර පින්නා­ගෙ­නය.

පැට­වුන් කර මතින් බිමට බැස්ස වීමෙන් අන­තු­රුව බිම වැති­රෙත්ම පුංචි උන් හණි හණික මවගේ කුස මත පිහිටා ඇති තන බුරු­ලු­වල එල්ලුණේ ලද අව­ස්ථා­වෙන් ප්‍රයෝ­ජන ගන්නා අටි­යෙනි. ආහාර සොයා­ගෙන ලැගු­ම්ප­ළින් නික්මි වන­යට වැදුණු පසුව වලස් පැට­වුන්ට එවැනි අව­ස්ථා­වක් උදා වන්නේ කලා­තු­ර­කිනි. අම්මාගේ හිතේ තියෙන්නේ බඩ­ගි­න්නට ආහා­ර­යක් තියෙන ඉස­ව්වක් හොයා ගැනීම සහ ඉක්ම­නින් ඒ ආහා­රය ගිල දමන හිතකි. ඒ වගේ පසු­බි­මක් පැට­වුන් කිරි උරා බොන්නට හෝ, කිරි බඩ­ගි­නියි කිය­මින් කෙඳි­රි­ගෑ­මක් ඇසු­ණොත් වලස් මවගේ ප්‍රති­චා­රය වෙන්නේ රැවු­මක් හෝ ගෙර­වු­ම­කින් ඉල්ලීම ප්‍රති­ක්ෂේප කිරි­මය.

මවක් සේ පැටව් එක්ක හුර­තල් වුණත්, අහ­ම්බෙන් හෝ අප සිටින බව වලස් මවට ඉව වැටුණේ නම් දරු සුර­තල් පසෙක දා ඇය අප හඹා එනු නිය­තය. ඇය එසේ කරන්න් තම පැට­වුන්ගේ ආර­ක්ෂා­ව­ටය.

වලහා කැලේ අලි­යා­ටත් වඩා නපුරු වන සතෙකි. වලහා පහර දෙන්නේ සැඟවී සිටය. නොසිතූ විටෙක මිනිසා මතට කඩා පනියි. වල­සාට මිනිසා යනු ජන්ම හතු­රෙකි. ඒ බව ඔප්පු කරන්න හැකි නිද­ර්ශක ගැන වනා­න්තර මායි­මට වෙන්න පිහිටා ඇති ගම්මාන ආශ්‍රි­තව නිර­න්ත­ර­වම වගේ අහ­න්නට දකි­න්නට පුළු­වන. වල­හෙක් පහර දීම කියන අභාග්‍ය සම්පන්න අව­ස්ථා­වට මුහුණ දීලා ජීවි­තය බේරා ගත් මිනි­සෙක් වෙත් නම් ඔහුගේ ශරී­රයේ ඉතිරි වන තුවාල කැලැල් සදා කාලික වු මතක සට­හන් බවට පත් වේ.

වල­හාගේ පහර දීම ක්‍රෑරය. වනයේ ඇවි­දින මිනි­හෙකු ඇස ගැටු­ණොත් වලසා පළ­මු­වෙන්ම කරන්නේ මිනි­හට නොදැ­නෙන්න පසු­ප­සින් ගමන් කර­මින් ක්‍රමා­නු­කූ­ලව පහර දිය හැකි මට්ට­මට මිනි­හාට සමීප වීමය. එහෙම හැංගි හැංගි ඇවිත් නොසිතූ අව­ස්ථා­ව­කදී පිටි­ප­ස්සෙන් වෙර අර­ගෙන මිනිස් ඇඟට පනින්නේ මිනිසා බිම පෙරළ ගන්නා අද­හ­සිනි. ඒ පිම්ම සාර්ථක පිම්මක් වුණොත් මිනි­හට අත් වන්නේ දරුණු අව­ස්ථා­ව­කට මුහුණ දීම­ටය. ඒක ජීවි­ත­යත් , මර­ණ­යත් අතර සට­නකි. මිනි­හෙක්ගේ මුහුණ ඉල­ක්කය කර­ග­නි­මින් පහර දෙන වලහා හැකි තාක් තම දිගු හොම්බත්, තියුණු දතුත් ආධාර කර­ග­නි­මින් මිනිස් හිස හපා කයි.

මුහුණේ සම ඉර­මින් අදි­මින් මුහුණ හප­යක් බවට පත් කරයි. බෙල්ලත්, පපු­වත් දිගු නිය ආධා­ර­යෙන් ඇද ඉරා දමයි. එවැනි දරුණු පහ­ර­දීම් අබි­මුව සිහි­සුන් වන මිනිසා මිය ගියේ යැයි සිතා වලසා අතැර යයි. එය මිනි­හගේ වාස­නා­වකි. නමුත් ඒ වන විට­දීත් සිදු විය යුත්ත සිදු වී හමා­රය. වලස් පහර දිමට හසු වී පණ නළ බිඳු­වක් හෝ ඉතිරි වු මිනි­සෙකු වෙත් නම් තමන්ට හැකි වෙර වීරිය ගෙන යළිත් මිනිස් වාස­යක් වෙතට බඩ ගාගෙන හෝ පැමි­ණෙන්නේ, වනා­න්ත­රයේ භයං­ක­ර­ත්වයේ ස්වභා­වය කෙබ­ඳුද යන්න පිළි­බඳ ප්‍රායෝ­ගික වු අත්දැ­කි­මක්ද ලබා ගනි­මිනි.

එවැනි වලස් ප්‍රහා­ර­යන්ට ගොදුරු වන බහු­ත­රය මි පැණි එකතු කරන්න වගේම දඩ­යම පිණිස අන­ව­ස­ර­යෙන් වන­පෙත් ආක්‍ර­ම­ණය කර­න්නන් බවත් සිහි කළ යුතු­මය.

ඒක් වරම වන­පෙත සිසාර ඇහුණේ මුවෙ­කුගේ කෝව් ගෑමකි. බය වුණු මුවෙකු කෑ මොර දෙන්න පටන් ගත්තේ මොකක් නමුත් අන­තු­රක ඉවක් දැනීය. අන­තුරු සංඥාව කන වැකෙත්ම තමන්ගේ පුංචි උන් දෙන්නා ළඟට ගත් වලස් මව අවට විප­රම් කර­මින් උඩු සුළඟ ඉව කරන්න වූහ. ඒ නම් නියත වශ­යෙන්ම වනයේ භීතිය එළැඹී­මට නිය­මිත හෝරාව විය යුතුය.

වන­පෙතේ රැව් දුන්නු මුවාගේ කෝව් ගැම එක් වරම නතර විණි. පරි­ස­රයේ පැවැ­තියේ දැඩි නිහඬ බවකි. වලස් මව තමාගේ ඇක­යට වී කිරි උරා බොමින් සිටි පැටවු පිටට නංවා ගත්තේ ආයෙ­මත් විශාල අන­තු­රක ඉවක් දැනු­ණාක් මෙනි. එක් වරම කිර­ලෙක් හඬන්න පටන් ගත්තේය. ඒ ගල්කෙ­මට ආසන්න ස්ථාන­යක බිම ලැග වුන් කිර­ලෙකි. අපි දිය­කෙම ඇති ඉසව්ව හොදින් නිරී­ක්ෂ­ණය කළෙමු. යම් සෙල­වී­මක් එක් වරම ඇස ගැසිණි. රාත්‍රී දසුන් නර­ඹන දෙනෙ­ති­යට අනුව නම් ඒ සෙල­වීම සනි­ටු­හන් කළේ දිලි­සෙන දෙනෙ­තක් සහ නිර­න්ත­ර­වම සෙල­වෙන දිගු නගු­ටක් ඇති සතෙකි. අපි සිය­ල්ලෝම නිහ­ඬව සිටි­න්නට තිර­ණය කළෙමු. ඒ තියුණු ඉවට අපේ මිනිස් ගඳ යම්ත­මින් හරි දැනු­ණොත් සිදු වන්නේ මේ දිය­කෙ­මෙන් දිය බීම ප්‍රති­ක්ෂේප කරන මේ සතාගේ නික්ම යෑමය. හදි­සි­යේම වැල­හි­න්නත් බිය වද්ද­ව­මින් මේ රාත්‍රියේ භයං­කා­ර­ත්වය පතු­ර­වන මේ සතා මොකෙක් විය හැකිද?

 

Comments